Diaspora Diary

Saturday, November 30, 2013

විපක්ෂයේ සිහින සිනාරියෝව(Scenario) සහ ලංකාවේ අනාගත දේශපාලනය

දෙවන කොටස
 (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක වූයේ ලිපියෙහි අඩංගු සමහර සංකල්පීය වචනවල ඇති තේරුම් ගැනීමේ අසීරුතායයි. නිදර්ශනයක් ලෙස සිනාරියෝ යන්නත්, සංතතිය හා අසංතතිය යන වචනවල ඇති සිංහල සරල අර්ථයයි. සංතතිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන වචනය වන්නේ continuity සහ අසන්තතිය යන්න discontinuity යන අදහසයි. ඒ අනුව සන්තතිය යන්න අඛණ්ඩ පැවැත්ම යන්න ද අසන්තතිය යන්න එහි විරුද්ධාර්තය ද වේ. මේ අනුව පසුගිය කලාපයේ අන්තර්ගත කොටසක උපුටනයක් නැවත ගෙනහැර පාමින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
“පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත.මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ ගනු ලබන්නේ රාජපක්ස රෙජීමයේ අඛණ්ඩ පැවැත්මක් පැවැතීමත්, එසේම ඒ තුල ඛණ්ඩණීය ස්වභාවයක් ඇතත් එම තත්ත්වය නැවත අඛණ්ඩ පැවැත්මක් බවට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව රාජපක්ෂ අණ්ඩු ක්‍රමය තුල ඇත යන්නය. එය එසේ වන්නේ රාජපක්ෂගේ දක්ෂතාවයකට වඩා ප්‍රතිවාදීන්ගේ ඇති අදක්ෂතාවයත්, ඥාති සේවාදායකයේ ඇති බැඳීමත් හේතුවෙනි.)
විපක්ෂයේ සිනාරියෝව
විපක්ෂයේ සිනාරියෝව ගොඩනැගීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට ප්‍රථම විපක්ෂය යන්න කුමක්දැයි වාස්තවිකව වටහා ගත යුතු යැයි හැඟේ. මූලික අර්ථයෙන් ගත් කල විපක්ෂය යන්න පාර්ලීමේන්තුවේ නියොජිතයන්ගෙන් ආණ්ඩු පක්ෂයේ පිරිස නොවන සෙසු පිරිස විපක්ෂයට ගැනේ. එහෙත් මෙම පිරිස විපක්ෂය වේදැයි යන්න නැවත සිතා බැලීමට සිදු වන හේතු ගණනාවක් ඇත. එම  හේතු අතර වැදගත් වන කාරණය වන්නේ ආචාර ධාර්මිකව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ හරය උල්ලංඝණය කිරීමය. එනම් කිසිදු නෛතික හෝ ප්‍රතිපත්තිමය පදනමකින් තොරව විපක්ෂයේ ජනතා නියෝජිතයෙකු හට ආණ්ඩු පක්ෂයට මාරු විය හැකිය. ජනතා පරමාධිපත්‍ය විකෘති කරමින් ජනතා ඡන්දය හා එම ජනතාවගේ අභිලාසය පුද්ගලයෙකුට තීන්දු කළ හැකි අතර විපාක්ෂික ජනයා කැමැති වුවද නැතිද සංකේතිය වශයෙන් නියෝජිතයාට තීනිදු කිරීමේ ස්වකීය අයිතිය විසින් ප්‍රජාතන්ත්‍රීය මූලික මූල ධර්මය කෙළෙසනු ලැබීමයි. මෙය මැත ඉතිහාසය තුල බහුල වශයෙන් සිදුව ඇති බවට ඇති තරම් උදාහරණවලින් පෙන්නුම් කළ හැකිය. මෙම නීති හා සදාචාර විරෝධී ස්වභාවයෙන් සැබැවින්ම පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය යන්න ද විපක්ෂය බවය. නිදසුන් ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියේ ආණ්ඩු කාලය තුල සිට රාජපක්ෂ ආණ්ඩු කාලයේ මේ තාක් දුරට සිදුව ඇති මාරුවීම පරීක්ෂා කළහොත් දැකිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ විසාල පිරිසක් ආචාර ධාර්මික විරෝධීව ආණුඩු පක්ෂය නියෝජනය කිරීමය. ඒ අනුව වඩාත් නිවැරදිව තර්ක කළ හැකි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යන්න එක්සත් ජාතික පක්ෂයේ අර්ධ ආණ්ඩුවකි. එය සභාග හෝ සන්ධාන ආණුඩුවකට වඩා වෙනස් වන්නක් වන අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී ජනතාවට හිමිව ඇති යැයි සලකන තර්ක ඥාණය (Reason) යන ඓතිහාසික නියෝජන ප්‍රජාතන්ත්‍රවායේ මූල ධාර්මික අර්ථය අහොසි කරමින් ජනතාව හිස් මිනිසුන් පිරිසක් බවට පත් කිරීමය. ජනතා කැමැත්ත පර්ලීමේන්තුව තුල මූර්තිමත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු දේශපාලනය අද වන විට අතාර්කික වි ඇතිවාක් පමණක් නොව සමස්ථ සමාජයේ විකෘතිය පිළිබිඹු කරන්නක් ද වේ. එහෙත් එය ජනතාවට ද ගැටලුවක් නැත. බැලූ බැල්මට රටට ද ගැටලුවක් නැත. යම් පමණකින් හෝ පිළිබඹු වන නිර්ණායකයක් ඇත් නම් එය වන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටින පිරිසය. එයද නිෂ්චිතව හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔවුන්ව ලංකා දේශපාලනයේ ආණ්ඩු ක්‍රම වෙනසට වඩා සමාජ වෙනසක් සඳහා සංඥා කරන කොටසක් බවට යම් ඉඟියක් දීම වැදගත් ලක්ෂණයකි. එහෙත් එයට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය විකල්ප විප්ලවීය අර්ථයක්  ඇත්ද යන්න උරගෑමේ ක්‍රමවේදයක් නොමැත.
ඊ ලඟ කරුණ වන්නේ විපක්ෂයේ නියෝජිත පිරිස විපාක්ෂික අර්ථයෙන් සිටිය ද ඇතුමුන් විපක්ෂය නියෝජනය නොකිරීමය. ඔවුන් වක්‍රාකාරයෙන් පවත්නා ආණ්ඩු ක්‍රමය සුරකින්නෝ වෙති. අනෙක් වැදගත් කරුන වන්නේ විපක්ෂය යන්න පක්ෂ එකකට වැඩි ගණනකින් සමන්විත වීමත් මෙම සමස්ථය තුල විපාක්ෂික සම්මුතිකාමයක් දක්නට නොලැබීමය. මේ නිසා විපක්ෂයේ  පොදු සිනාරියෝ ගොඩ නැගීම තරමක් අසීරු වන අතර එයට සිනාරියෝ කිහිපයක් තිබිය හැකි වන්නේ ඒ ඒ පක්ෂවලට ඇති තෝරා ගැනීම් අනුවය. එනිසා එම පක්ෂවල ශඛ්‍යතාවයන්ට අනුව ප්‍රධාන හා උප සිනාරියෝ ගොඩ නැගිය හැකිය.
එක්සත් ජාතික පක්ෂයේ සිනාරියෝව
1994 චණ්ද්‍රකා කුමාරනතුංග ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඇති වූ චලනයන් සැලකිල්ලට ගැනීමේ දී එජාපය අතිශය බරපතල ලෙස ව්‍යච්ඡේදනය වන්නට වූයේ ඊට ආවෙනික අන්‍යයතාවක් නිර්මාණය කර ගනිමිනි. මැතිවරණ ක්‍රමය තුලත්, ඊට පෙර හා පසුත් යන සමස්ථ කාල අවකාශය තුල සංඥා කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හා ජනතා අභිලාස සහ දේශපාලනයේ ඇති දැවැන්ත පරතරයයි. පක්ෂය හා ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලයා ද දේශපාලනය වෙනුවට උපයෝගිතාවාදය මත පදනම් වූ පුද්ගල පැවැත්ම ඉස්මතු වීමයි. මේ නිසා එජාපය යන්න සමාජයේ ස්වරූපය ප්‍රකට කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. එම ස්වරූපයේ වාසිය ආණ්ඩු බලය සහිත නායක්ත්වය ප්‍රයෝජනයට ගත් අතර අවශේස විපාක්ෂික කණ්ඩායම් ද එජාපයට පාඩම් උගන්වමින් පැවැතුණු හා පවත්නා ආණ්ඩු බලයට සහයෝගය දක්වමින් එජාපයේ අනාගත සිනාරියෝව සුණු විසිණු කරන්නට විය. අතීතය එසේ වන විට වර්තමාන එජපයේ ස්වරූපය කෙබඳු වේද යන්න හා එහි නිර්මාණය විය හැකි සිනාරියෝව සතු ශක්‍යතාව අධ්‍යයනය කළ යුතු වේ.
සිනාරියෝව සඳහා අවශ්‍ය මූලික පසු තලය
පියවර 1
තෝරා ගත හැකි ප්‍රශ්න
  1. එජාපයේ නායකත්වය යනු කුමක් ද
  2. එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද
  3. ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද
  4. සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද
පියවර 2
එජාපයේ නායකත්වය යනු කුමක් ද
මෑත කාලය තුලදී ලංකා දේශපාලනයේ දයලෙක්තිකය උපරිමයෙන් ක්‍රියාත්මක වූ සංසිද්ධියක් වේ නම් එය එජාපයේ නායකත්වය පිළිබඳ ගැටලුවයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ සරළ හා ග්‍රම්‍ය නිර්වචනය වූයේ රනිල් වික්‍රමසිංහ යනු නොහැකි නායකයෙකු යන්නය. පහසුවෙන් එසේ පැවැසිය හැකි වුවත් වික්‍රමසිංහ යනු ලංකා සමාජ දේශපාලනයට නොවැටහෙන චරිතයකි. එජාපයේ පරිහාණියේ හේතු කාරකය ඔහු යැයි පැවැසීම අතාර්කික වන්නේ ඔහු පාර පශ්චාත් යටත්විජිත දේශපාලන චරිතයක් වන බැවිනි. සමාජය ඔහුට වඩා පිටු පසින් සිටීමේ ප්‍රතිඵලයේ අස්වැන්න ඔහු බුක්ති විඳුනු ලබන අතර උපයෝගිතාවයට අනුව වේශනිරූපණය වීමේ   නෙහැකියාව ප්‍රකට කළ ද ඔහුගේ  හා එජාපයේ ඉරණමට හරස් කරනු ලැබුවේ අතීතය හා අනුපූරක (complimentary other)අනෙකා විසිනි. එම අනෙකා නම් උතුර හා දකුණ යන දෙ අන්තයේ මර්ධන ඉතිහාසයයි. එනම් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීටීඊ සංවිධානයයි. එය එසේ නොවිනි නම් මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති විය හැකිව තිබුණේ රනිල් වික්‍රම සිංහය. එසේ වූයේ නම් කුමක් වන්නට තිබුණේ දැයි කීම සිනාරියෝවක් නොවන බැවිනුත් අතීතය ගැන අනාවැකි කීමට වඩා එය තේරුම් ගනිමින්  වර්තමාන රනිල් හා අනාගත එජාපයට  ඇති සිනාරියෝව නිර්මාණය කිරීම වැදගත් වනු ඇත.
වර්තමාන රනිල්
පෙර කී පරිදි වර්තමාන රනිල් යනු දයලෙක්තිකය විසින් පරිණත දේශපාලණඥ්යෙකු බවට පත් කළ ප්ලේටෝගේ පරම රජ්‍යෙය් දාර්ශනික පාලකයා බඳුය. මෙය උපහාසයකට හෝ ආ වැඩීමකින් එහාට පැමිණ ගෝලීය ධනවාදයේ හා ලිබරල් අර්ථ ක්‍රමය පදනම් කරගිනිමින් වැටහා ගත යුතු වේ. යුතෝපියානු පාලකයෙකුට හෝ වෙනත් පරිණත රජ්‍ය නායකයන් සමඟ සංසන්දනයෙන් නොව මහින්ද රාජපක්ෂ හා සංසන්දනයෙන් පමණක් බව ගණන් බැලුව හොත් රන්ල් මහින්දට වඩා බර වැඩිය. නමුත් පශ්චාත් යටත් විජිත ජනයාට එම බර වැටහෙනුයේ යකඩ කිලෝ දාහක බරින් යුතු ගෝනිය වන මහින්ද හා පුළුන් කිලෝ එක් දහස් පන්සියයකින් බර ගෝනියක් වන රනිල් අතරින් යකඩ ගෝනිය වන මහින්ද බර වැඩි බවය. එනම් නූතනත්වයට වඩා අතීතය හා සම්ප්‍රදාය බරවැඩි වීමය. එය එසේ උවත් රනිල්  ප්‍රමුක එජාපය ද නොදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයය. එම අර්තයෙන් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති උවද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේ දී ඇති ගැටලුව මහින්දගෙන් එහාට සුභවාදී ලෙස ගමන් කිරීමට ඉඩක් ඇත්දැයි යන්න අවිනිෂ්චිතය. එහෙත් රනිල්ගේ මෑතම කාලීන වෙනස්වීම තුලින් පෙන්නුම් කරන විභවයේ සාධනීය ස්වරූපය වන්නේ, යම් ලෙසකින් ආණ්ඩු ක්‍රම වෙනසක් එජාපය ප්‍රමුකව සෙසු පක්ෂ හා එක්ව සිදුවුව හොත් පවත්නා පවුල්වාදී ඒකාධිපතිත්වය අහෝසිකරමින් සෙසු දේශපාලනය සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය උදෙසා බලපෑම් කළ හැකි ඉදිරිගාමි පිරිසකගේ දෘෂ්ටිවාදීමය මග පෙන්වීම හා තෙරපුම සඳහා අවකාශයක් පාදා ගත හැකි වීමය.
අනෙක් අතට ගොඩ නැගෙන විපක්ෂයේ  නායකත්වයෙන් රාජපක්ෂ නායකත්වයේ ඇති වෙනස වන්නේ අතීත මහින්ද හා අනාගත නිර්වචනය නොවූ නායකත්වය යන්නය. අතීතය නිර්වචනය වී ඇති නිසාත් අනාගතය නිර්වචනයට ඉඩ ප්‍රස්ථාව ඇති නිසාත් විපක්ෂය  එක්ව ගොඩ නැගෙන ආණ්ඩුව පරන ගණක් හැදීම්වලින් තොරව වන සූත්‍ර ආදේශ කිරීමට පරිසරයක් නිර්මාණය කර ගැනීමට ප්‍රගතිශීලී විපාක්ෂිකයන්ගේ වගකීමකි. එබැවින් වර්තමාන තත්තවය වන විට රනිල්ගේ නායකත්වයේ විපරිවර්තනය පෙරට වඩා සාධනීය වී ඇත. මෙම නව හැඩය නිර්මාණශීලී දේශපාලනයට අවකාශයක් ඇති අතර එය කොතෙක් දුරට තාර්කික වන්නේ දැයි කීම න්‍යායට වඩා භාවිතාව තුල සිදු විය යුත්තකි. මෙතෙක් වූ වෙනස් කම් පවා ප්‍රමාද වී ඇතත් විය හැකි සාපේක්ෂ සාධනිය වෙනසක් එජාපය තුල සිදු වී ඇත. ඒ තුල රනිල්ගේ නායකත්වය සෙවැනැලි නායකත්වයක් බවට පත්ව ඇත. එජාපයෙන් හෝ රනිල්ගෙන් සමාජවාදය හෝ සමානාත්මතාව හෝ දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කළ නොහැකි උවත් ඒ සඳහා අවශ්‍ය සංයුතියේ කොටස් කරුවන් වීමට ඉඩක් ඇත් ද නැත් ද යන්නට ඉඩක් පවත්නා තත්වයට වඩා ලැබිය හැකිය.
එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද
සාකච්ඡා සැලසුම් හා සංවාද තුලින් ගම්‍ය කරන්නා වූ සිනාරියෝවට අනුව මහින්ද රාජපක්ෂ රෙජීමය පැරදවීමට ගෙනෙන විකල්ප තක්සේරුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලීමේන්තුවට බලය පැවැරීමය. මේ සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරඟ කිරීමය. ඒ සඳහා ප්‍රකාශ වී ඇති යෝජනා හා බලපෑම් වලට අනුව නිෂ්චිත පැහැදිලිතාවක් දැකිය නොහැකි වුව ද, යම් ලෙසකින් මහින්ද රාජක්ෂව ජනාධිපති වරණයේ දී පාරාජය කිරීම නැමැති ප්‍රධාන මුරිච්චිය ගලවනු ලැබුව හොත් රාජපක්ෂ සන්ධානය අහස් යානයක් කඩා වැවෙන්නාක් මෙන් බිමට ඇද වැටෙනුයේ වැදගත් බොහෝ දේ සිදුවීමෙන්ය. එහෙත් ගොඩ නැගෙන ආණ්ඩු ක්‍රමයෙන් හෝ ඔවුන් සතුව  ඇති වාස්තවික සැලසුම්වලින් සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කළ හැකි ද යන විශ්වාසය ඇතැත්, විපක්ෂයට මහින්දව පැරදවීම කළ හැකි වන්නේ නම් එය කළ හැකි වන්නේ බොහෝ පාර්ශවයන්ගේ එකමුතුවෙන් බැවින්, නිර්මානශීලීන්ට, ඉදිරිගාමීන්ට එය මෙහෙයවීමේ නායකත්ව සුක්කානම නැමති තෙරපුමේ සිනාරියෝව ගොඩ නැගිය යුතුවේ. එය අතීත නිදර්ශනයකින් තේරුම් ගන්නේ නම්, පසු ගිය කාලයේ දෙමළ ජනයාට එරෙහිව රාජපක්ෂ හා එකතු වෙමින් ඔහුට චින්තනයක් ද සපයා දෙමින් දස දසහස් සංඛ්‍යාත ජන සංහාරයක් කිරීමට සාර්ථක ඛේදනීය සිනාරියෝවක් නිර්මාණය කළ ජවිපය (පෙරටුගිමින්ද ඇතුලත්)ට විලෝමීය කාරයයක් නැවත ඇත. එය කොට්ට උරය කණපිට ගැසීමක් නොවන  නමුත්  නිෂේධනීය අන්තාවාදයක සිට සාධනීය අන්තවාදයකට නැවත ගමන් කරමින් අතර මග සිට කිරීමට ඇති කාර්යයක් වන්නේය. එය රනිල්ට හො වෙනත් පුද්ගලයෙකුට චින්තනයක් හැදිම වෙනුවට රටට හැදිය යුතු චින්තනයේ පංගුකාරයන් වීම ය. එහෙත් විපක්ෂයේ සිනාරියොව සඳහා එම කොටස්වල ඇති නැමියාව හා චින්තනමය හැකියාව පිළිබඳ අනාවැකි පල කළ හොහැකි බැවින් ඊට ඉඩ තැබිය යුතු අතරම, ඔවුන්ගෙන් තොරව ආණ්ඩු ක්‍රමයක ස්වරූපය කෙබඳු වේ දැයි යන්න කිව හැක්කේ ආණ්ඩු ක්‍රමයක් නැත යන්නය. ඔවුන් යනු ජවිපය මෙන්ම සෙසු කොටස් වන සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් සියල්ලේ සහයෝගයෙන් මිසක රාජපක්ෂව පරාජය කිරීම කළ හොහැකිය යන්නය. මෙහිදී පාර්ලීමේන්තුවේ පදනමක් නැති උවත්, ජන පදනමක් නැති උවත් දෘෂිටිචාදීමය බලය හා අනන්‍යතා ශක්තීන් විශාල මෙහෙයයක් සිදු කරන බැවින් හැම කෙනෙකුම වැදගත් වන්නෝය. එහෙත් එය එසේ සිදු වීමට ශඛ්‍යතාවක් පෙන්නුම් කරන ප්‍රමාණය ප්‍රාමාණිකව ඇත්තේ පහළ අගයක බැවින් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ සිනාරියෝව සාධනීය අර්ථයෙන් ගැටලුවක් වී ඇත.
ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද
ප්‍රධාන පක්ෂය වන එජාපය මෙන්ම සෙසු කුඩා පක්ෂ හා පුද්ගලයන් තුලත් ප්‍රධාන වශයෙන්ම පැවැතිය හැකි ප්‍රතිවිරෝධය වන්නේ අන්‍යයතාව හා බලය සම්බන්ධ කාරණාවය. මේ සඳහා සාමුහිකව පිළිගත හැකි සම්මුතිකාමී යොජනාවන් හා ආදර්ශයන් ප්‍රකට කරනු වෙනුවට පුද්ගලත්වය තරාදියට දමිමින් මස් රාත්තල ඉල්ලා සිටීම වෙනුවට රටක් ජනතාවක් හා අනාගත පරපුරක් වෙනුවෙන් කැපකිරීම් හා එකිනෙකාගේ(each other/ einanderer) දේශපාලනික සංස්කෘතියකට පුහුණු විය යුතුය. අතීතයෙන් පාඩමි ඉගෙන ගනු විනා අතීතh ක්ෂතියක් (Trauma)ලෙස   ගනිමින් එය තම දේශපාලනික මෙවලම් කර ගැනීමෙන් කිසිවකුට පලක් නොවන අතර පුද්ගලික වශයෙන් තමන්ට ද පලක් අත් නොවනු ඇත. අනෙක් අතට ලාංකීය දේශපාලනික සංයුතිය හා සංස්කෘතිය අනුවත් අපේක්ෂා විභේදනය වී ඇති සවභාවයත් අනුව තනි පක්ෂ දේශපාලනය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගිය හැකි ආයතන වීමට කිසිදු ඉඩක් නොමැත. අවශ්‍ය වන්නේ නම් මේ පිළිබඳ ගෝලීය වශයෙන් ඓතිහාසික තත්ත්වයන් සොයා බැලිය හැකිය. ලාංකිකයන් වන බොහෝ අපට තවමත් කුඩා හෝ ඉඩම් කැබැල්ලක් ඇති බැවින් හැහෝම තමන්ගේ කියා ගෙදරක් සාදා ගැනීමට සිහින දකින්නාක් මෙන් සෑම පක්ෂයක් විසින් ස්වකීය අණසක රටට පැතිරවීමට සිහින දකිනවා විය හැකි උවත්, යථාර්ථය වශයෙන් තමාගේ සිහිනය නැමැති කූඩයට චතුස් කෝටික සිහින දයලෙත්තිකයන් දමා ගැනීමේ උභතෝකෝටිකයෙන් ගැලවිය හැකි නම් අපූර් නිර්මාණශීලි පුද්ගලයෙකු ග්‍රීක පුරාවෘත්තවල මෙන් පැමිණිය යුතුය.
එනිසා හැඩයෙන් හා ගුණයෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝද ගණනාවක් පැරණි හා අලුත් වශයෙන් ඇති විය හැකි අතර සියල්ල නිර්ණය වනු ඇත්තේ සිනාරියෝවෙහි ඇති සූත්‍ර හා විද්‍යාත්මක තත්වය මෙන්ම අවංකභාවය හා කැපවීම තුලය.
සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද
පවත්නා උද්දච්ඡ මුග්ධ අධම ආණ්ඩු ක්‍රමය නැතිකිරීම විසින්ම සමාජයේ හැඩය වෙනස් වීමට බලපානු ඇත. එම වෙනස හා හැඩය තුල ඇති අවකාශය සමාජය යළි ගොඩ නැගීමට වැඩබිමක් කර ගැනීමට හැකි සංස්කෘතියක් නිර්මාණය කර ගත නොහැකි වේද. මෙය ඉතිහාසයේ එක්වරක් වූ දෙය දෙවරක් සිදුවීමක් නොවීමට සන්ධාන ගත ප්‍රගතිශීලින්ගේ නැණ පමන හා නිර්මාණශීලී කැපවීම ඓතිහාසික වනු ඇත. තනිව වීරයෝ වනවාට ඩවා සාමූහික වීරත්වයේ අසිරිය අපට කිව නෙහැකි වනු ඇත් ද?
උතුරේ දෙමළ ජනයාගේ අනාගතය තීරනය කිරීම ඒ ආකාරයෙන් එක්වරම නොවිසඳුනද අතීතය සමග ඇති ගනුදෙනුවෙදී යුක්තිය පිළිබඳ අපේක්ෂාව හිමිවනු ඇත්තේ නව ආණ්ඩු ක්‍රමය ගන්නා ක්‍රියා මාර්ග තුල නොව රාජපක්ෂගේ ඇද වැටීම තුලය. එය ද වෛරයෙන් තොරව යුක්තිය හා සාධාරණත්වය තුලින් දේශපාලනික හා සමාජ සංස්කෘතික සංහිඳියාවක් කරා ගමන් කරන පාලමක් වන්නට පුළුවන.
මේ පිළිබඳ තවත් දේ ඉදිරියට
උදය ආර්. තෙන්නකෝන්

Wednesday, November 20, 2013

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම


පළමු කොටස
හැදින්වීම
ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම දරුණු පැන නැගීම සමාජය තුල හා එහි වැසියා තුලම හිර වී  ගෙවෙමින් යන දේශපාලන ජීවිතය සුවදායක නොමැති බැවින්, ඉන් නිදහස් කර ගැනීම පිණිස දේශපාලන සමාජයේ ප්‍රමුක ප්‍රගතිශීලී පිරිස් හට දිගු හා කෙටි කාලීන  අත්‍යවශ්‍ය වගකීමක් ඉතිහාසය විසින් උරුම කිරීමට බලකෙරෙමින් තිබේ.
මේ සඳහා බල දේශපාලනික වේදිකාවේ දේශපාලනික කණ්ඩායම් හා පුද්ගලයන් හට වෙන් වෙන් වශයෙන් දේශපාලනික හා සාමාජීය සිනාරියෝ ඇත. ගැටලුව ඇත්තේ දේශපාලනික බලයෙන් හෝ සමාජීය බලයෙන් රට වෙනස් කිරීමට කල්පනා කරන්නන්ගේ සිනාරියෝ සතුව ඇති සක්‍රීය ධාරීතාවයෙහි ඇති ගැටලු සහගත බවය. එබැවින් ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශී වෙනස උදෙසා දේශපාලනික සිනාරියෝවන් හඳුනා ගැනීම හා නිර්මාණය කර ගැනීම වැදගත් වන අතර එය මුල් තැනක් ගන්නකි. නමුත් පුද්ගලයන්ට හා දේශපාලනික පක්ෂ කණ්ඩායම්වලට අනුව අඩු වැඩි වශයෙන් මෙකී සිනාරියෝ ගොඩනගා ගැනීම සිදු වුවත් එවා යථාර්ථවාදී ශක්‍යතා ගුණයෙන් යුක්ත වන්නේ දැයි කල්පනා කළ යුතු අතර ඒ පිලිබඳ නැවත සලකා බැලීම පිණිස සිනාරියෝ යන්න කුමක් දැයි හඳුනා ගැනීම හා සිනාරියෝ ගොඩ නැගීම පිළිබඳ න්‍යායික කතිකාවකට පිවිසුමක්  මෙම ලිපිය මගින් පෙන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන සමාජය වර්ගීකරණය කරමින් සිනාරියෝ ගොඩ නැංවීම කරනු අතර ඒ සඳහා පහත සඳහන් සාධකයන් ප්‍රස්තුථ කර ගත හැකි වේ.
1.     රාජපක්ෂ සිනාරියෝව
2.     විපක්ෂ සිනාරියෝව
3.     විකල්ප සිනාරියෝව
4.     වමේ සිනාරියෝව
සිනාරියෝවක් යනු කුමක්ද
සිනාරීයෝවක් යනු අනාගතය පිළිබඳව විය හැකි විස්තාරිත දැක්මන් හෝ අනාගතයේ වියහැකි පැතිකඩයන් හෝ මානයන් පිළිබඳ කතාන්තරයකි. එය බොහෝවිට ආදර්ශමය දැක්මක් හෝ අනාගතය පිළිබඳ අධ්‍යයන ක්‍රමවේදයකි. සිනාරියෝවක් යනු අනාගතය පිළිබඳ අනාවැකි කියවීමක් නොවන අතර  එය තරමක් සමාන වන්නේ අනාගතය පිළිබඳ යම් (simulation) ආභාසනයකටය. නැතිනම් සමාකරණයකටය. එසේත් නැතිනම් ව්‍යාජ වේශයකටය. ඒ අනුව සිනාරියෝ යන්න පැහැදිලිකර ගැනීමේ ක්‍රමයක් හෝ තීරණ ගැනීමේ උපකරණයන්  යන දෙයාකාරයම භාවිතයට ගැනීම සිදු වේ. ප්‍රධාන වශයෙන් වර්තමානයේ  ඇති (discontinuities)අසන්තතීන් පැහැදිලිව හඳුනා ගැනීමට හා ඒවායේ පවතින තෝරාගැනීම් සහ එහි ශක්‍යතාවන්වන්ගේ විපාකයන් හෙලිදරව් කරගැනීම සිනාරියෝවක් මගින් සිදු වේ. සාමාන්‍යෙයන් සිනාරියෝ ගොඩනැංවීම පිළිබඳ න්‍යාය හා ක්‍රමවේදයන් පදනම් වනුයේ ආයතන හා ව්‍යාපාරයන් පිළිබඳ අනාගතය සැලසුම් කර ගැනීමට හා එය සාර්ථකකර ගැනීම පිණිසය. මෙම සංකල්පය දේශපාලන ව්‍යාපාර හෝ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධකර ආදේශකර යම් කිසි කතාන්තර ගොඩ නැගුවහෝත් එය ද අනාගතය ගැන යම් චිත්‍රයක් ඇති කර ගැනීම තුලින් සමාජයේ ඇති විය හැකි චලිතය හඳුනාගතහැකි වනු ඇත.
සිනාරියෝ අධ්‍යයනය ලාංකීය දේශපාලන සන්දර්භයට ගලපා තේරුම් ගැනීමේ දී වර්තමානයේ ඇති අසන්තතීන් මොනවාද යන්න හා මෙම වාස්තවිකයන් හරහා අනාගතයට පිවිසීමට ඇති තෝරා ගැනීම් කුමක් දැයි යන අදහසින් සිනාරියෝ ගොඩ නැගීම කරනු ලැබිය යුතුය. මෙයට කාලය හා අවකාශය පදම්කර ගනිමින් අනාගතයේ විය හැකි යැයි සිතිය හැකි ශක්‍යතාවයන් සැලකිල්ලට ගත හැකි අතර සාමාන්‍යෙයන් ලාංකීය දේශපාලනයේ සිදු වන්නාවූ ගොඩනැංවිම කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය පදනම් කරගෙනය. ආණ්ඩු බලය වෙනස් විම පිළිබඳ සිනාරියො ගොඩනගා ගනිමින් ඊට සම්බ්න්ධ ක්‍රියාකාරී සැලසුම් කිරීමය.මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත දේශපාලනයේ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන්ගේ ඉලක්ක කේනද්‍රගතවූයේ මෙකී බල කේන්ද්‍රයන් අරමුණු කරගෙනය.  ආණ්ඩු මාරු වී ඇති කාලයන් හා අවකෘශයන් අධ්‍යයනය කිරීමේ දී බලය මාරු කිරීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය ද, බලය වෙනත් ආකාරයකින් අල්ලා ගැනීම පිණිස විප්ලවීය අර්ථයෙන් ක්‍රියා කොට අසාර්ථක වූ සිනාරියෝ අපට ඉතිහාසය පුරා දැකිය හැකිය.අතීතයේ සිදු වූ සිනාරියෝ පසෙක තබමින් අනාගතය පිළිබඳව දේශපාලනික වශයෙන් සිනාරියෝ වර්ග දෙකක් යටතේ තේරුම් ගත හැකිය.
1.     විය හැකි සිනාරියෝ
2.     විය යුතු සිනාරියෝ
විය හැකි සිනාරියෝ
පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත. එය විය හැකි සිනාරියෝවක් වනු ඇති අතර එය විවිධ හැඩයන් මෙන්ම චලනයේ වෙනස් කම්වලට භාජනය වීමට නියමිත විය හැකිය. මෙම වෙනස් වීම්වල ඇති අසන්තතීන් පරීක්ෂා කළහොත් රාජපක්ෂ බල ව්‍යුහය පදනම් කර ගත් සිනාරියෝ පහත පරිදි න්‍යයගත කළ හැකිය.
සිනාරියෝ ගොඩ නැංවීම- Scenario Building  No 1
රාජපක්ෂ  සිනාරියෝව-Rajapaksha Scenario
කාලය 2013- 2020
පියවර 1
කේන්ද්‍රීය කාරණා හඳුනාගැනීම (සිනාරියෝ සඳහා පසුතලය සැකසීම)
ලංකා දේශපාලනයේ අනාගතය සඳහා වන පසුතලය ගොඩනැංවීමේ දී ප්‍රශ්නාවලියකින් ප්‍රවිෂ්ටව ප්‍රධාන කාරණාවලට අවතීර්නය විය හැකිය.
ප්‍රශ්න
1.     ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විහ හැක්කේ කවරෙක් ද
2.     ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
3.     ඇති විය හැකි ප්‍රතිවිරෝදතා කෙබඳු වේද
4.     සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද
පියවර 2- ප්‍රධාන කාරණා හඳුනාගැනීම හා විෂ්ලේෂණය
ඉහත ප්‍රශ්නවලට පිළිතුරු රාජපක්ෂ බල කේද්‍රය තුල ස්ථානගත කළ හොත් මේ සඳහා ප්‍රධාන  සහ උප ප්‍රධාන සිනාරියෝ ගොඩ නැගිය හැකිය.
ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විය හැක්කේ කවරෙක් ද
ඒ අනුව පළමු ප්‍රශ්නයේ ප්‍රධාන පිළිතුර වන්නේ ඉදිරි කාලය සඳහා මහින්ද රාජපක්ෂ නම් වන වර්තමාන ජනාධිපතිවරයාම රටෙහි නායකයා වනු ඇති බවය.ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය පසුලතය සැකසෙන විට අභ්‍යන්තරිකව උප සිනාරියෝ ගණනාවක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුව ද  එම සිනාරියෝ නැවත තමා සතු කර ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය රාජපක්ෂ වටාම ගොඩ නැගෙනුයේ ඒ සඳහා විකල්ප බලවත් ශක්‍යතාවයකින් වෙනත් දිශාවකට ගමන් කිරීමට නොහැකි කම නිසාය.
ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය වනු ඇත්තේ ෆ්‍රට් සැලට් කැඳ හැලියකි. එහි ඇති ගුණය වන්නේ ෆ්‍රට් සැලට් අඩංගු වීමය. නමුත් එය කැඳ හැලියකි. ආණ්ඩුවේ සංයුතිය තවත් ප්‍රසාරණය වීමෙන් යම් කේවල් කිරීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති කොටස්වල බලය තව තවත් තනුක කරනු ඇත.එය සිදු වන්නේ පිටත සිටින, එනම් විපක්ෂයේ ඊනියා විකල්ප පිරිස් හා විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් අවසානයේ රාජපක්ෂ හා එකතු වීමෙනි. සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ අනුගාමික කොටස් වන ශිරාල් ලක්තිලක වැනි ඊනියා ලිබරල් වාදීන් මෙම අවසාන නිමේෂයේ රාජපක්ෂට සහයෝලය දෙනු ඇත. කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂයේ තත් කාලීන භූමිකාව ද විමල් වීර වංශ, චම්පික රණවක වැන්නන්ගේ කට හඬට හෙම්බිරිස්සාව වැළදෙනු ඇතත්, දෘෂිටිවාදයෙන් ශක්කි සම්පන්න චම්පික වැන්නෙක් කුමන්ත්‍රණකාරී ලෙස හැසීරීමෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇත.
ඇතිවිය හැකි ප්‍රතිවිරෝධතා
ගණන් කළ නොහැකි තරමේ ප්‍රතිවිරෝදතාවන් ගොඩ නැගිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත්තේ රාජපක්ෂ පවුලේ පිරිස් අතරය. ඉන් ප්‍රමුක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්‍රාමයෙන් අනතුරුව සිහසුන තම පුත්‍රයාට උරුම කිරීමට කරන ප්‍රායෝගික දේශපාලනික හා සමාජීය ක්‍රියාවලිය තුලය. පළමු ප්‍රතිවිරෝධය එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩ නංවන සුපිරි සිංහල බෞද්ධ බලවේගය ප්‍රමුක කර ගත් පිරිස්ය. මේ සඳහා චම්පික රණවක උපක්‍රමිකව විශාල කාරයයක් කරනු ඇත්තේ, ජාත්‍යන්තරව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පීඩනය හා තින්දු තීරණ උපකාර කරගනිමින් සිංහල ජාතියේ නියම ගැලවුම් කරු ගෝඨාභය රාජපක්ෂ බවට සුජාතකරණය කරමිනි. විමල් වීරවංශ ද එම පිලට පැනීමට බොහෝ ශඛ්‍යතාවක් ඇති නමුත් ඔහුගේ දූෂණ හා ක්ෂය වන ජනප්‍රියත්වය විසින් කිසිවකුට අත්‍යවශ්‍ය නොවනු ඇත. එ බැවින් ඔහු රාජපක්ෂ පරපුර පවත්වාගෙන යෑමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.
බැසිල් රාජපක්ෂ රටේ නායකයා වීමේ සිහින සිනාරියෝවක් ගොඩ නගනු ඇතත් එහි ශඛ්‍යතාව අල්ප වනු ඇත්තේ ඕනෑම විටෙක ඔහුව පාලනය කළ හැකි පරිදි තබා ගැනීමට උපදෙස් සැපයීම තමා තුලම සිටින ධම්ම දිසානායක වැන්නන් නාමල් රාජපක්ෂට සහයෝගය දැක්වීමෙනි. මතු වීමට තැත්කරන ඕනෑම අවස්ථාවක ඔහුව අදෘශ්‍ය ලෙස මෙහෙය වීම සඳහා ඩලස් වැනි මාධ්‍ය චැනලයන් යොදාගනු ඇත. කෙසේ වෙතත් පවුල තුල ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතාව තීව්‍ර වනු ඇත්තේ රාජ පක්ෂටම වාසි ගෙනදෙන අයුරින් නිසා, ඇති වන කුමණ්ත්‍රණවලින් මැක්බත් නාටකයේ සවරුපයක් අත්කර නොගනු ඇත. මන්ද රාජපක්ෂ ලේ ඥාතිත්වය රාජ්‍ය හා ජනතාවට වඩා ඝණකම් බැවිනි.
ඉතිරි උප සිනාරියෝ විපක්ෂය හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධාන හා ගැට ගැසුනද පලක් අත්නොවනු ඇත. ( මේ සියල්ල පවත්නා තත්තවය අනුව විපක්ෂයේ හා සෙසු කොටස් (විචල්‍ය ) වෙනස් නොවන ලෙස සලකමින් හා ජනතාව වෙනස් වුවද ඔවුන්ව සුසමාදර්ශී වෙනසකට සූදානම් නොවන බැවින් මෙම මෙසේ සිදු විය හැකිය)
සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද
දෙමාපියන්ට අනුව දරුවන් හැඩ ගැසෙන්නාක් මෙන් රටේ නායකයාට හා ඔහුගේ භාවිතාවට අනුව සමාජය නිර්මාණය වීම මේ වන විටත් සිදුවනු ඇති බැවින් පීඩනය යන්න මහගමසේකරගේ කවියක් වනු ඇත. එනම් “දුක  ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න” යන්න තුල ජනතාව එහි යථාර්ථයක් වනු ඇත. වංචාවට දූෂණයට අනුවර්තනය වූ ජනයා ද අඩු වැඩි වශයෙන් එහි ශුද්‍ර කොටස් කරුවන් බවට පත් වී, ඒ පිළිබඳ පාර්ලීමේන්තුවේ රූපවාහිනියේ බණ කියන අනුර දිසානායක වැන්නන්ට සිනාසෙනු ඇත. එය නාට්‍යාකාරව නරඹනු ඇත. සමාජය අපූරු පන්නයේ සිහිනය වෙනුවට බොරුව කරපින්නාගත් ක්‍රමයකට හැඩ ගැසෙන විට සිහිනයක් සහිත දේශපාලන න්‍යායන්ට හා කැපවීම්වලට මෙම දෙයාකාර අසන්තතින් හඳුනා ගත්ත ද ජනයා මුදා ගැනීම නැමැති මෙහෙයුම්වලින් හෙම්බත්වනු ඇත. අධ්‍යාපනයේ සිටම බොරුව ක්‍රමයක්(System) බවට පත්වීම නිසා අගයයන් (Values)හා ධර්මතා (Norms), බෞද්ධාගම ද යොහෝවාගේ ආගමක් හෝ එසේත් නැතිනම්, සිංලයා බේරා ගැනීම යන මිථ්‍යා අභිමතාර්ථයෙන් සිංහල ජනයා තව තවත් ප්‍රපාතයටම   හෙලීමට ලක් වන ජන වර්ගයක් වීම නොවැල්විය හැකි ආරම්භයක් වනු ඇත.
විපක්ෂයේ විය හැකි සිනාරියෝව ඊ ලඟ කොටසට
උදය ආර්.තෙන්කෝන්