Diaspora Diary

Wednesday, May 27, 2015

සොඳුරු හීනයක්

සොඳුරු හීනයක්


අඩ නින්ද
සුව නින්ද
වෙනු පිණිස
දුටිමි මහ රැය
සොඳුරු හීනයක්

හෙළි පෙහෙළි කළ
නැවදැළි හේනක
අස්වැද්දුවෙමි
රතු රෝස වගාවක්

ඒ වන ලැහැබ මැද
දඬු වැට බැඳ
මායිම ලකුණු කර
ගසක් උඩ තැනුවෙමි
අටිටාලයක්

රෝස පැළ දළු ලා
කැකුලු පීදී
අමුතුම තාලයක හේනක්
වැඩක් නැති
පලක් නැති
බව කියන හේනක්

එහෙත් ලස්සන
විවිධ දෑ තරට
හිරු එලිය මුසු කර
ආදරය බෙදා දෙන
බව නොතේරෙන
කුතුහලය උතුරන
පෙර නොදුටු හේනක්

වඳුරන් රිලවුන්
දඬු වැටට නගිමින්
කරන විපරම්
අට්ටාලයේ මම
උදෑසන දුටිමි

ඌරන් මීයන්
ඉත්තෑ කබල්ලෑවන් අතර
හූ කියන නරියන්
නිදන රෝස සුවඳට
ඉව කරති සඳ එළියට

සතුට ඉහවහ ගිය
සමනල මී මැසි
ඉගිල එන කුරුල්ලන්
ලැගුම් ගෙන නිදහසින්

අලියෙකුට පාගා තලන්නට
වඳුරෙකුට බරු ගසා කන්නට
ලං උනොත් කළ ‍නොහැකි
කටු අතු මත පිපුණු
සුවඳට වසඟ වුණු
කැලෑවේ හේනක්

කඩා ගෙන මලක්
පඹයාට දුනිමි මම
කඩාගෙන මල්
ඒ දෙස බලා උන්
වඳුරන්ට දුනිමි මම

කන්නට නොවුනත්
සුවඳට හැඟුම්විත්
වඳුරන් ද පෙරළා
දිගු කළාහුය එ මල
සිය අසල් වැසියාට

දැනුන බව ඔවුනොවුනට
දැනුනෙමි බලා උන් මට
බැස අට්ටාලයෙන් පහළට
මුදා හැර මම ගියෙමි දඬු වැට

උදය ආර්. තෙන්නකෝන්




Thursday, May 21, 2015

විතියා දුවේ විතියා ඔබේ

 

නපුරු බියකරු තිරිසනුන් වෙද
එලොව මෙලොවේ  භූතයින් වෙද
මලක් පොඩිකර තලා පණ බිඳ  
ලොවක් නැත  මෙතරම් සසළ හද  

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

යුධයකින් පසු අස්වැන්න  ලැබුනා
මිනිස්කම් මළ හිත් හැඟුම් පිරුනා
කුරිරුකම් කුර ගගා බිම සරනා
මල් කැකුළු පෙති මිළින වී වැටුනා

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

ඉම කොනක් නැති අනන්තයදෝ
නිදහසක් නැති තුන් බියක් දෝ
කරටි ගිලිහුණු තල් අරඹ දෝ
උතුරු හදවත කඳුළු කොහෙදෝ

විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..

උදය ආර්. තෙන්නකෝන්



Wednesday, May 20, 2015

නෝරා යෝනාස් සහ ආදර ඉබ්බෝ

Udaya R. Tennakoon

Udaya R. Tennakoon


නිමිත්ත: ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරය අසලින් එම වැවට දිවෙන ගඟෙහි පාළමේ බැඳ ඇති ආදරය සිහිගන්වන ඉබ්බෝ

ගඟ ඉවුරු දෙක
මූට්ටු කළ පාළම
ආදර දෙහදක
පූට්ටු කළ සළකුණු
පාලම් දෙවැටේ
බැන්ද බැමි
සිර කර දැමූ
පූජනීය පඬුරුය
ආදර ඉබ්බෝ

මෙහොතින් මොහොත
වෙනස් වී ගලා යන
පහළ  ගඟ දිය බලා
බැඳුන හදවත්
නොබිදෙන වග කියන
බාරයක් වගේය  
ආදර ඉබ්බෝ

අගුල් දමා
යතුරු කා ළඟ ද
ඔය බැඳුනු හදවත්
ඇරෙන්නේ නැතිද
කැඩෙන්‍නේ නැතිද
රහසකින්වත් පව් නොකර
අන් අයෙකුට

පාළම හරහ යන එන මට
උපහාස හිනාවක් හිත යට
ගලා යන දියපාර දුටු විට
මටම සඟවා ගන්න හිතුවට

රාධා ද ක්‍රිෂ්ණාද සාලිය ද මාලා ද
හීතලේ මැරෙද්දී බලා උන් රෝස් වද
උතුම් බව පසක් කර තුරන් වූ රෝමියෝ ජුලියට් ද
මේ බැඳුනු ඉබ්බෝ

නො ලිය වුණු නො කිය වුණු
කාට කාටක් හිමි වූ
ආවේනිකම දුක සතුට
දෙක අතර වේදනා සංඥා සංකාර
බැඳගත් රහසක් ද
මේ බැඳුනු ඉබ්බෝ
ගැට ගැසුණු පාළමේ
ආදරය පෙන්වන
මටම වත්දෝ උපහාස දනවන
ආදර ඉබ්බෝ

උදය ආර්. තෙන්නකෝන්



Tuesday, May 19, 2015

ධ්‍රැවීය වූ කවිය

 Image result for polarized Tamil war
පසු යුද්ධයේ කවි එය
මෙවලම් පන නැතිය
උපමා උපමේය
සංකල්ප රූපකය

යුද්ධයක් කළාහුය
දෙමළාට එරෙහිය
ඔවුහු ජයෙ ගෙන හුය
වෙලී යළි යළි ආත්මය

යුද්ධය අහවරය
ලැබුනේලු සාමය
හොයා හොයා රූපකය
පන්දම් අඳුරු අහු මුළුය

සිදු වී හමාරය
ගැන වූ විනාශය
හරියට උනන්දුය
බොහෝ කවි පැල වේය

අවිවලට වැඩි සැරය
අලවන මුහුණු පොත් කවිය
මැවෙන පත්තර වෙබ් පිටුය
විරෝධය කතෘ බලන අපිටමය

නැත්තේ ද හදවතය
නැත්තේ ද දෙමළාය
නැත්තේ උපමා උපමේය
අහිමි කළ උන්ගෙ උරුමය

දැන් අවැසි සාමය
අරුත නති හිඳියාවය
යුක්තිය නැතිවය
උණ්ඩ නැති කවිය

උන්ගෙන් ගොඩක් ඈතය
රූපකය අනන්තය
අහිමි කළ ආදරය
රූපක  නොමැති කවියක් ය

සිංහල පශ්චාත්තාපය
හංගලා ගහන කොළයක්ය
සීරුවෙන් ඇති අවිය
රජය කවිවල සිංහලය

වචනය නෙවෙයි රූපකය
පද නොවේ උපමේය
දකුණු ඇස බලන බැල්මය
හංගන ඇත්ත රූපකය

උන් ඉන්නෙ ඈතය
කවියෝ ඉන්නේ මෑතකය
හොඳම දේ නම් අසීරුය
තෙවැනි ඇසකින් බැලීමය

හරිම සැක වම් ඇසේ බැල්මය
ආදරය අඩු කළ ගණිතයය
මරා ගත් ඒ ආත්මය
වම් ඇසේ අඳුර බොහොමය

උදය ආර්. තෙන්නකෝන්


Sunday, May 17, 2015

දෙමළ මාසය


 

බුදුන්ගේ තෙමඟුළ
සිංහල මාසය
දෙමළ හදවත
භූමියට ගිනිබිඳ


උදය ආර්. තෙන්නකෝන්

දෙමළ මස සිහිකිරීම හෙවත් සංහාර කලපුව


ඇත්ත යුක්තිය මළ උන්ට
හිරු බැස ගිහින් බටහිරට
රත් පැහැ අහස ඇති හවස
බලා උන් වාර කොපමණ ද

එනවා එනවා වගේ යනවා
දෙනවා දෙනවා වගේ පෙනෙනා
මොනවා මෙනවා උනත් කියනා
යුක්තිය හැමදාම දෑස් අඳ කරනා

ගණිතයෙන් අංක එක්කොට සසඳා
ඉතිහාසයෙන් උන් අපි තර්ක පරදා
වර්ග සංහාර බිම පහුරු ගා ගිල දා
ඇදෙන්නෙ තුඹසට ද ඇත්ත මග දා

කලපුවක් බලා හඳ තරු ඇති රැයම
කැළඹුමක් කළා ඒ හඬ ඇත ලොවම
පිළිමයක් වෙළා  හැරගිය ඒ සෝ සුසුම
පිළියමක් වෙන්න කළ යුතු දෑ බොහොම

කාලයෙන් වැසෙන දෑ බොහෝ දෑ අතරේ
ඉපදිලා මියගියත් මේ මිනිස් සංසාර කතරේ
සමතලා කෙරුවාට අතීතය හංගනා අතරේ
දැනෙන දේ මිනිසුන්ට හරි බරයි මිතුරේ

උදය ආර්. තෙන්නකෝන්