පසුගිය
දිනක වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර
පැවැති සමුළුවකට පැමිණි සහෝදරයෙක් මුණ ගැසිණි. මගේ තවත් මිතුරෙකු හමුවීමට
යන අතරතුර ඔහු හා කතා කිරීමේ අවස්ථාව අපි සියලූ දෙනා සපුරා ගත්තෙමු. ලංකාවේ
දී නම් පෙට්ටි කඩයකින් තේ වීදුරුවක් බී, බුලත්
විටක් කන ගමන් බොහෝ දේවල් බොහෝ විට කතා කරන්නෙමු. එවැනි තේ කඩ
ස්විස්ටර්ලන්තයේ නැත. තිඛෙන පොඩිම තේ කඩයකටවත් ගොඩවීමට අපි පොඩි වැඩිය.
එබැවින් දුම්රිය ස්ථානයෙහි අමුත්තන් සඳහා විවේක ගැනීමට ඇති කාමරයට ඇතුළු වී
තිබුණු කෙටි කාලය ප්‍රයෝජනයට ගත්තෙමු.
ඔහු නියෝජනය කරන්නා වූ දේශපාලන ධාරාව හා මතවාදය ද , මා විශ්වාස කරන ක්‍රියා කරන මතවාදය අතර විශාල වෙනසක් නොමැත. වෙනස පැවැතියේ අංශු මාත්‍රයකිනි. නමුත් එම අංශු මාත්‍රය, පසුගිය
කාලය තුළ කුමන වෙනස්කම් ඇතිවීමට හේතු වූවාදැයි තක්සේරු කළ නොහැකිය. එම
අංශු මාත්‍ර වෙනසට එකඟ නොවීම හේතුවෙන් අපගේ සහෝදරත්වය බිඳ වැටුණු අතර, මාගේ
දෑතට විලංගු වැටී වසර දෙකක් සිපිරි ගෙවල්වල ජීවත් වන්නට විය. සහෝදරයා
ද්‍රෝහියා බවට පත් විය. යුද්ධයේ පෙර ගමන් කරුවන් බවට පත්ව සහෝදරත්වය වෙනුවට
දේශප්‍රේමීත්වය ද, ජාතිවාදීත්වය
ද කර පින්නා ගෙන යුද්ධය සඳහා අවශ්‍ය මතවාදී ආයුධ සපයමින් රාජපකෂ ආණ්ඩුව
ශක්තිමත් කරන ලදී. කොන්දේසි විරහිත යුද්ධයකින් පසුව සියලූ දේශප්‍රේමීහු
අමා මහා නිර්වානය පසක් කර ගත් සේක. දැන් සොහොන් බිමක් වූ ශාපලත් භූමියේ
මානව අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය, සරණාගත කඳවුරු, පැහැර ගැනීම්, අයුක්තිය
අසාධාරණය ආදී වාග් සංග්‍රාම දේශපාලනය වෙත යොමු වී ඇත. ඉතා කෙටි කලක් තුළ
බොහෝ දේ වෙනස් වී ඇත. සහෝදරයින්ට නැවත ද්‍රෝහීන් හමුවීම ගැටළුවක් වී නැත.
දේශපාලනයේ දී සදාකාලික සතුරෝත්, මිතුරෝත්
නැත යන්නට යළි පණ දෙමින් අපි හමු වූයෙමු. කා සතුව වුව ද වැරදි ඇති විය
හැකිය. වැරදි පමණක් පෙන්වමින් විවේචනය කිරීම කාලය කා දැමීමට මිස සමාජ
ප්‍රගමනයට යහපත් වන්නේ නැත.
අප
එකිනෙකාට අසන්නට හා කියන්නට බොහෝ දේවල් තිබිණි. කවුරුත් දන්නා කරුණු කාරණා
වුව ද බොහෝ විට වැරදුන හා වැරදීමට ඉඩ ඇති සිදුවෙමින් පවතින කරුණු කාරණා
හා දේෂපාලන පරිසරය පිළිබඳ ඉතාමත් සංයුක්ත ලෙස කතා කළෙමු. අමුත්තන්ගේ කුටිය
සිංහල භාෂාවෙන් දෝංකාර දෙන්නට වූ අතර නැවතත් අප අපගේ රටෙහි සිටින බවක්
හැගෙන්නට විය
ජාතිවාදයෙන්, දේශප්‍රේමීත්වයෙන් හා සිංහල බෞද්ධ අධිපතිවාදයෙහි වෙලී ගැලී සිට යළි පංති අරගලය හා සමාජවාදයේ ගමන් මග වෙත නැවත පැමිණ ඇත, තමන්
දිවි හිමියෙන් උදව් කළ සිහසුන් ගත කළ මහාභාර කරුවාගේ දෝශ දර්ශනයට ලක්ව
උතුරේ දෙමළාට හැර වූ තුවක්කුව නැවත තමන්ට හරවමින් සිටින බව අවබෝධ කර
ගනිමින් සිටිය ද, මීට දශක දෙකකට පෙර ද, ඊටත්
දශක දෙකකට පෙර දී දෙවතාවකදීම සිදු වූයේ මෙවැනිම ඉරණම බව හිතාමතා අමතක කරන
ලද්දේ කුමන කාරණයකට ද කුමන දේෂපාලන උපක්‍රමයකට ද යන්න යළි යළිත් සිහිපත්
කිරීම කාලෝචිතය. පළමු වර ඛේදවාචයක් වීමෙන් සිදු වූ දෙය දෙවැනුව විඝටනයක්
වීමෙන් කෙළවර වන බව අපි සහෝදර සියලූ දෙනා ඉගෙන ගත්තෝ වුව ද තුන්වන වර සිදු
වන්නේ කුමක් ද යන්න නම් බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුය. මන්ද දැන් එළඹ ඇත්තේ
එම අභියෝගයටය.
එම අභියෝගය ප්‍රතිවිරෝධතා ගණනාවක් උරුම කරමින් තමන්ගේ ස්ථාවරය, අනන්‍යතාවය, අවංකත්වය
හා දේශපාලන භාවිතාව උරගා බලන පළමු පරීකෂණය වී ඇත. එනම් ජාත්‍යන්තර බලපෑම
මත රාජපකෂ රෙජිමයට කිරීමට සිදු වන දේශපාලන ප්‍රතිසංස්කරණයන්ය. ඊනියා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නාම මාත්‍රික ලෙස හෝ ක්‍රියාත්මක කිරීමට එකඟ බව ප්‍රකාශ කිරීම උපාය උපක්‍රමයක් වන අතර, ඊට
දක්වන ප්‍රතිචාරය කුමක් දැයි අපගේ සොයුරාගෙන් දැන ගන්නට වූ කාලීන ප්‍රශ්නය
විය. කොටියා පැරදවීමෙන් ජාතික ප්‍රශ්නය අහවර යැයි සිතූ නමුදු යළිත් වරක්
උභතෝකෝටිකයක සිර වී සිටින බව මිසක් ඊට දේශපාලනික පිළිතුරක් සැපයීම අසීරු
වූයේ තමන් අතීතයේ නෙලා ගත් අස්වනුවලින් තවමත් ජීවත් වන නිසාය.
දැන් දැන් ලාංකික දේශපාලන භූමිය නිර්මාණය වෙමින් පවතින්නේ යහපත් ප්‍රගතිශීලී මාවතකට නොව, සංවර්ධනය, සාමය හා සංහිඳියාව යනාදි වචන උච්ඡාරණයකින් එදා වේල සපුරා ගැනීමේ හා විදේශ ණය ආධාර ලබා ගැනීමේ කූඨ උපායක වන අතරම, බටහිර
විරෝධීත්වයක් පෙන්වා එක් පසෙකින් ඊනියා ජනතාව මුලාකොට අනෙක් පසෙන්
පිටරුටියන් ද රවටා එසේ ලැඛෙන මූල්‍ය කොටස්වලින් ද වංචාකාරී ලෙස මුදල් ගසා
කන ගෝත්‍රික ජඪ පවුල් වාදී පාලන ක්‍රමයකටය. මේ සඳහා විකල්ප දේශපාලනයට ඇති
අවකාශය කුමක් ද
එකඟතා හා ප්‍රති විරෝධතා සමඟින් මිතුරා සමුගත්තේය.
(මෙම සටහන තැබුවේ ජවිපේ දෙකඩ වීමට පෙර ස්වස්ටර්ලන්තයේ දී අපගේ මිත්‍ර නීතිඥ මහතෙකු මුණ ගැසීමෙන් පසුව ය. වර්ෂය 2011)
- උදය ආර්. තෙන්නකෝන්
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න