Diaspora Diary

Monday, May 20, 2013

නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනිකයන් ලෙස



හැඳින්විම
පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන් අප්‍රමාණව විවිධ විෂයයන් ඔස්සේ කියවිය හැකිය. එම කියවීම් ශාස්ත්‍රාලීය පර්යේෂණ අධ්‍යයනයන්ගේ සිට අනෙකුත් උගත් බුද්ධිමතුන්ගේ දැනුම් සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සංයුක්තව සමාජය තුල විවිධ හැඩයන්ගෙන් ස්ථාපිත වී ඇත. සංවර්ධනය, දියුණුව, සමෘධිය, සාමය සංහිඳියාව, සමානාත්මතාව ආදී නොයෙකුත් සුභවාදී පරමාර්ථ පෙරදැරි කරගෙන සියලු දේශපාලන පක්ෂ සංවිධාන ඇතුලු සියල්ල තම ප්‍රතිපත්තියට අන්තර්ගත කරගෙන ඇත.  මෙකී තේරුම් ගැනීම හෝ නැවත ගොඩ නැංවීම යන අදහස තුල එක් අතකින් ගම්‍යමාන වන අරුත වන්නේ පවත්නා සමාජ ක්‍රමය යටත් විජිත පාලන ක්‍රමයේ සංතතික දිගුවක් බවය. ඓතිහාසිකව පැමිණි ස්වභාවික පරිනාමීය සමාජ ගමනට බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද නව සමාජ ක්‍රමය වන්නා වූ යටත් විජිත ධනවාදය හා බටහිර ආර්ථික සමාජ සංස්කෘතික අගයයන් විසින් පැවැතුණු සාම්ප්‍රදායික සමාජ ක්‍රමය විනාශයට යොමු කර ඇති බව යන්න ප්‍රධාන පෙළේ තේරුම් ගැනීමකි. එය හොඳ සහ නරක, කළු සහ සුදු, අතීතය නූතනය, බටහිර හා පෙරදිග, දියුණු හා නොදියුණු යන ද්විත්ව ප්‍රතිවරෝධතාවන් හැඟවුම් කරනු ලබයි. එම තේරුම් ගැනීම ජාතිකවාදී මතවාදයේ දී මෙන්ම මාක්ස්වාදී මතවාදයේදී ද යම් සමාන කමක් ගනු ලබන්නේ ධනවාදය හා අධිරාජ්‍යවාදය යන ප්‍රතිවිරෝධයන් සමාන ආකාරයෙන් එකට සිට ගැනීමේ දී ය. ඒ අනුව ජාතිකවාදය අතීතය දෙසට හැරී තම අනන්‍යතාව අත හැරුන තැනට පියමංකිරීමට ප්‍රයත්න දරන අතර සමාජවාදී මතවාදය අනාගතයට හැරෙමින් යුතෝපියානු රාජ්‍යයකට සිහින මවන්නේය. මෙම මතවාදයන් දෙකටම ධනවාදය හා අධිරාජ්‍යවාදය හැරුණු විට හමුවන ප්‍රධාන අනෙක් ප්‍රතිවිරෝධය වනනේ බහුතර සිංහල ජනකායක් සහිත ලාංකීය සමාජයේ සිටින අනෙක් සුළුතර කොටසක් වන දමිළ ජනකාය ය. මෙම මහා පොදු සාධකය හමුවේ දී ජාතිකවාදය හා සමාජවාදය අතීතයට ගමන් කිරීම කරනු ලබන්නේ මහ ජාතිකත්ව අනන්‍යතාව නිර්මාණය කර ඇති ඉතිහාසය වෙතටය. ලිඛිත හා භෞතික ඉතිහාසයට අනුව සිංහල මහ ජාතිය වුවත් සුළු ජාතිය වීමේ අවිඥාණික භීතිය විසින් මෙම මහා පොදු සාධකය මෙකි මතවාදයන් දෙකටම අවසානයේ ගෙන එන්නේ ප්‍රතිගාමී සංජානනයකි. (ශුද්‍ර තලයේ ක්‍රියාත්මක සමහර වාමාංශික පක්ෂ කණ්ඩායම් මෙහි විලෝමය ද නියෝජයන කරන යථාර්ථයක් ද ඇත.)  මෙකී මතවාදයන් දෙකට අමතරව විකල්ප ලෙස පෙනෙන අනෙක් මතවාදයන් ලෙස ලිබරල්වාදී සාම මතවාදය හා සාකල්‍යවාදී මතවාදය ද ලෙස පෙළ ගැස්විය හැකිය. කුමන පෙළ ගැස්වීමක් වුවද, පශ්චාත් යටත් විජිත ලාංකීය ඉතිහාසය තුල අධිනිශ්චය වී ඇති බලසම්පන්න මතවාදය වන්නේ ජාතිකවාදී ප්‍රවේශයය. විකල්ප   දර්ශනවාදී මතවාදයක් ලෙස ඇති මාක්ස්වාදය පදනම් කරගත් සමාජවාදි මතවාදී ප්‍රකාශනය ද පශ්චාත් යටත් විජිත සන්දර්භයේ දී ලංකාව තුල අවසානයේ ගොනුවනුයේ ජාතිකවාදී මතවාදයටමය. සාකල්‍යවාදී හා ලිබරල් සාමවාදී මතවාදයන් පුළුල් ලෝක දැක්මක් පෙන්නුම් කරන්නේ වුවද, මර්ධනකාරී සාම්ප්‍රදායික රාජ්‍යයට අවනත සන්දර්භයේදී එය ද වක්‍රාකාරයෙන් ජාතික මතවාදයටම සේවය කරන අතර රැඩිකල් සමාජ වෙනසක බලාපොරොත්තුවක් තැබිය හැකි සමාජ බලවේග බිහිවීම සමස්ථ ජාතිකවාදයේ බලය තුල අකර්මන්‍ය වීම හා එය නියෝජනය කරන උගත් මධ්‍යම පාංතික චින්තනයන් සිය වෘත්තීමය හා ආයතනික ව්‍යුහයන් තුල සාම්ප්‍රදායික ලාංකිකයාම වී ඇත.
එබැවින් මේ අප ගෙවන කාල පරිච්ඡේදය යනු   පාර පශ්චාත් යටත් විජිත සන්දර්භයකි. එනම් යටත් විජිත ව්‍යුහයන්, මතවාදයන්, දේශපාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රපංචයන්ගෙන් යුත් පශ්චාත් යටත් විජිත ආකෘතිය විනිවිද යන, පරමය තත්ත්වයකට පත්ව ඇත. එය නූතන ධනවාදයේ ආනිශාංෂික ප්‍රතිපලයක කොටසකි. මෙම  දේශපාලන සමාජීය හා සංස්කෘතික තත්ත්වය තුල විකල්පය යන්න කුමක් දැයි යන උභතෝකෝටිකය තුල අතරමං වනු ඇත. ධනවාදයට විකල්පය සමාජවාදය යන ලෝක සම්මත ප්‍රවාදය ලංකාව විෂයෙහි භාවිතාවක් බවට පත්ව ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව හෝ නූතන වර්ධනයන් සහිත මාක්ස්වාදයට පදනම්ව හෝ නොව, ආකෘතික වශයෙන් ලෙනින්වාදයට හා රුසියානු මොඩලයට අනූන වූ සන්දර්භීය වශයෙන් ආපසු ජාතිකවාදයට ගමන් කරන භාවිතාවක් දැකිය හැකි  තත්ත්වයක් තුළ ය. එය අවසානයේ අධිනිෂ්චිත කාරණයේ දී ජාතිකවාදය සමග සමානව සිට ගැනීම තුල, පශ්චාත් පාර යටත් විජිත ලංකාවට පෙන්නුම් කරන සමජවාදී භාවිතාව තුල විකල්පයක් නැත. විකල්පය වන්නේ ජාතිකවාදයේම කාසියේ අනෙක් පැත්තය. මෙය ජාතික සමාජවාදය ලෙස විකල්යක් පෙන්නුම් කළ ද අග්‍රගන්‍ය මහජාතිය ලෙස ඇති මතවාදී අරටුව විසින් සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති නිසි අනන්‍යතාත්මක විසඳුමකට අවංකව නිර්මාණාත්මක නොවීම තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් හෝ සමානාත්මතාව පසිඳලනු ලැබීමට ඇති ඉඩකඩ අවම විය හැකිය. ඒ වෙනුවට වඩාත් ලෙහෙසියෙන් විය හැකි වන්නේ නවාකාරයේ ෆැසිස්ට්වාදයකට සමාජය ගමන් කිරීම ය. එහි විපාක කුමක් වුව ද අධිනිෂ්චිත තත්තවයන් සිය වෘත්තිමය දේශපාලනය තුලට සාමාන්‍යකරණය වීම නිසා බලය පිණිස තරඟ කිරීම ද ඒ තුල අනන්‍යතාව රැක ගැනීමට දරණ ප්‍රයත්නයන් හේතුවෙන් සමාජ ප්‍රගමනයේ ප්‍රගතිශීලී දයලෙක්තිකය අඳුරු වී යෑම ඉතිහාසය තුල දැකිය හැකිය. නිශ්චිත සමාජීය තත්ත්වයන් තුල දී දර්ශනයේ දිළිඳු බවින් ගන්නා තීරණ හේතුවෙන් වැරදි වෙනස්කම්වලට භාජනය වන සමාජය නැවත නිවැරදි කර ගැනීම දර්ශනය නිවැරදි කර ගැනීමට වඩා සිය ගූණයකින් අසීරු විය හැකි බවට ඇති හොඳම නිදසුන මෙම පාර පශ්චාත් අවධියය.

වසර හැටකට අධික මෑත ඉතිහාසයේ වාමාංශික භාවිතාව දෙස බැලූ කල, මාක්ස්වාදී දේශපාලනයට ජාතිකවාදී භාවිතාව පැමීණීමේ ඓතිහාසික බලපෑම එක් අතකින් යටත් විජිත දේශපාලන භාවිතාව හේතුවන අතර අනෙක් අතට තම අනෙකා හා කරන දේශපාලනයේ දී අදූර දර්ශීවීම ද  ලංකාව සාර්ව හා ශුද්‍රාකාරයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම ලෙස පෙන්විය හැකිය. පුළුල් අර්ථයෙන් අපෝහකය තේරුම් නො ගැනීමය. ප්‍රධාන වශයෙන් ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස් පක්ෂය හා ඉන් පසුව බිහි වූ වාමාංශික දේශපාලන ධාහරාවන් ද සෘජු ජාතිවාදීත්වයක් පෙන්නුම් නොකළ ද දාර්ශනික වශයෙන් ජාතිකවාදී ය. වාමාංශික ව්‍යාපාරයේ නූතනම ප්‍රකාශනය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය සමස්ථය තුල පෙන්නුම් කරන යථාර්ථය ද ජතිකවාදයමය. එය සෙසු වාමාංශික ධහරාවන්ට වඩා ඉතා ග්‍රම්‍ය ලෙසත් රැඩිකල් ලෙසත් ජාතිවාදය ප්‍රකට කරන ජාතිකවාදයක්ය. විනාශයන් ගණනාවකට වගකිව යුත්තන් වුවත්, පාඩම් නූගතුන්ය. මතවාදීමය කාරණා මත යැයි කියමින් ඉන් ඉවත් වූ පිරිස්ගේ ද වෙනසක් පෙන්නුම් කරීමට තරම් පරිණත කමක් පෙන්වන්නේ ද නැත. එහෙත් සමාජ අවකාශය බලාගෙන සිටිනු ඇත. මේ සියල්ල පුද්ගලයින් ලෙස ජාතිවාදීන් නොවීමට නොගන්නා උත්සාහයක් ද නැත. ප්‍රායෝගික ක්‍රියාමාර්ග තේරීමේ දී ද එය පෙන්නුම් කිරීමට සමත් වන්නේ වුවද, සිංහල මහ ජාතික අනන්‍යතා අර්බුදය තුල ජාතිකවාදයෙන් පිට පැනිය නොහැකි වී ඇති අතර ඊට උපකාරක ශක්තිය සුළු ජාතික ජාතිකවාදයත්, සෝවියට් සමාජවාදයත්, යටත්විජිත විමුක්ති අරගල පිළිබඳ ප්‍රවාදයනුත්, පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුල ස්ථාපිත වි ඇති ප්‍රජාතණ්ත්‍රීය ව්‍යුහයන්ගේ ඇති ගැටලුවත් විසින් මාක්ස්වාදය සිංහල ජාතිකකරණය වීමටකට පටු වී ඇත. ඉහත හැඳින්වීම පදනම්ව මෙම ප්‍රවාදය ඉදිරියට ගෙන යැමේදී, සිංහල දේශපාලන කථිකාව තුල සිටින බුද්ධිමතුන් අතර මේ මොහොතේ දී,මතවාදීමය වශයෙන් වඩාත් බල සම්පන්න දාර්ශනිකයින් දෙදෙනෙකු පමණක්  ලාංකීය සිංහල සමාජයේ අධිනිශ්චය වී ඇත. ඔවුන් දෙදෙනා වනාහී මහාචාර්ය නලීන් ද සිල්වා සහ දීප්ති කුමාර ගූණරත්නය ය. මෙම තේරුම් ගැනීම මගේ පුද්ගලික නිරීක්ෂණයක හා අවබෝධයේ අංශුමාත්‍රයක් වන්නේ වුවත්, එය එසේ නොවන්නේ නම්, දහසක් ප්‍රවාද ගොඩනැංවීමේ අවකාශයට ඉඩතැබිමට මෙයම අවස්ථාවක් වනු ඇත.
ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.මෙම විග්‍රහය අලංකාරෝක්තික අගය කිරීමක් ලෙස කෙනෙකුට සිතුණත්, එය වනාහි යථාර්ථයට ලංවන කැඩපතකි.මෙහිදී නලින් ද සිල්වා ජාතිකවාදී දාර්ශනිකයා බවට පත් වීම හා ඔහු වටා භ්‍රමණය වන ලාංකීය සිංහල දේශපාලනය ලාංකික ජාතියක් ලෙස ගොඩ ඒමේ ගැටලුවේත්, සුළු ජාතික පීඩනයේ සමාජ වෛරසය බවට පත්වීමේත්, ලෝකය පිළිබඳ දැක්ම දූපත් මානසිකත්වයටත් ඉන් එහාට පැමිණ සිංහල ජාතියේ ලෝක දැක්ම දක්වා පටුවීමේ සන්දර්භය මුල් අධියරේදී පරීක්ෂාකිරීමට ගන්නා කුඩා උත්සාහක් ලෙස මෙසේ සටහන් තබමි.

පළමු ප්‍රවාදය: නලීන් ද සිල්වා ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා ලෙස-
මෙම ප්‍රවාදයට පිවිසීමේ දී මුලින්ම එල්ලවිය හැකි ගැටලුව හා චෝදනාව වන්නේ ගුණදාස අමරසේකරට හිමිවිය යුතු තැන කුමක් ද යන්න ය. ඔහු ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා නොවන්නේ ද යන්නය. එහෙත් ඊට ඇති කෙටි පිළිතුර නම් ඔහු ද නලීන් පිටුපස සිටවිය යුතු තැනැත්තෙක් යන්නය. එහෙත් ඔහුගේ ඇති ඓතිහාසික දේශපාලනික වැදගත්නම වන්නේ මාක්ස්වාදය ජාතිකකරණයට ලක් කිරීම පිණිස හා ජාතිකවාදයට ගැටගැසීමට නියෝජනාත්මක දෘෂ්ටිවාදය සපයන්නන් අතර ප්‍රබලයකු විම නිසාය.   අමරසේකර හා  නලීන් අතර ඇති වෙනස නලීන් ද සිල්වාට අනුවම  මෙසේ හඳුනා ගත හැකිය.
‘‘අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පී සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්දු ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රශ්න එකල අප අතින් සාකච්ඡා විණි
ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය. (කාලය)

අමරසේකරගෙන් සුවිශේෂී වන නලීන් ද සිල්වා, සිංහල බෞද්ධ ජාතික චින්තනය මත සිය සියළුම ස්කන්ධයන් තබමින් ශපථ කර සිටින ප්‍රාර්ථනය යනු එසේ මෙසේ ප්‍රාර්ථනයක් නොව, පාරමිතා පුරමින් බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා තරමටම අසීරු කටයුත්තක අපගේ ජාතිකවාදයේ දර්ශනවාදියා පෙනි සිටින්නේය. ඔහු තම පරමාර්ථය වෙනුවෙන් භෞතිකවාදයේ සිට පාර භෞත්කවාදයටත්, මනුෂ්‍යයින්ගේ සිට දෙවියන් යක්ෂයන් සමඟත් කටයුතු කරමින් තම ඒකායන ප්‍රාර්ථනයට දිවා රැය දෙක වෙහෙසෙන්නේය. එහිදී 2009 මැයි මස තම භෞතික රාජ්‍ය ස්ථාපිත කර ගැනීමට හැකිවිය. එය භෞතික පරම සිංහල රාජ්‍යය වන්නේය. බටහිර හා අධිරාජ්‍යවාදය මත නිෂ්චය වී තිබුණු තම පරසතුරුභාවය යටපත් කිරීමෙන් ලඟාකර ගත් සිංහල රාජ්‍යය. ඉන් නොනැවතී ඉන් එහාට උරුමකර ගත හැකි අතීත පාර රාජ්‍ය වෙනුවෙන් දාර්ශනික සිහින දකින්නේය. එය අවසානයකින් කෙළවර වන්නේ නම් විය යුතු වන්නේ සිංහල බෞද්ධයින් හැර අන් කිසිවකු නොමැති පරම පාර අතීත කල්පිත රාජ්‍යයකි. එය එසේ වන්නේ නම්, පට්ටපල් බොරුවක්ව ඇති බටහිර විද්‍යාව ප්‍රමුඛ සියලු ආදර්ශයන් දිවයිනෙන් අතු ගාදැමිය යුතුය. එවිට අධිරාජ්‍යවාදය හා සම්බන්ධිත සියලු ව්‍යුහයන් විනිර්මුක්ත වන අතර බෞද්ධ දර්ශනය පදනම් වූ පරම සමාජ මොඩලයක් ලංකාව තුල ස්ථාපිත වනු ඇත.ඒ අනුව කසි කබල් මාක්ස්වාදය ද, සමාජවාදය ද භූමියෙන් අතුගෑවි යනු ඇත. දෙමළ මුස්ලිම් සුළු ජාතීන් පැරණි සිංහලයින් බුදු දහමට අවනත වූවන් හෝ අනුවර්තනය වූවන් සේ සිංහල බෞද්ධ අණසක යට ශීලාචාර විය යුතු ය.  

ඔහුගේ ජාතික චින්තනයේ ඇති බරපතල කම සහ එහි ඇති දිග පළල හේතුවෙන් මේ පිළිබඳ වන ප්‍රවේශයට ප්‍රවිශ්ට වීමට එකම දොරටුවක් ප්‍රමාණවත් නොමැති බැවින් ප්‍රවේශයට පහසුව පිණිස දොරටු කිහිපයකින් උප ප්‍රවාද ගොඩ නගා ගැනීම සංකීරණත්වයෙන් ගොඩ ඒමට ඇති පිළියමකි. එසේම කර තියාගත් රෝගියා රැගෙන දුවන අතීතයේ මං සළකුණු සෙවීමටත් පහසු වනු ඇත. ඒ අනුව විග්‍රහයේ පහසුව පිණිස මෙලෙස උප ප්‍රවාදයන් ලෙස කොටස් කරගත හැකිය.
යටත් විජිතවාදය හා ධර්මපාල ප්‍රවාදය
ලාංකිය ඉතිහාසය පිළිබඳ ප්‍රවාදය
බුදු දහම පිළිබඳ පුවාදය
ධනවාදය හා අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රවාදය
මාක්වාදය පිළිබඳ ප්‍රවාදය
පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
පාර පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
මේ ආදී වශයෙන් ඔහුගේ දර්ශනය තේරුම් ගැනීමටත් ඒ තුලින් ලාංකීය සමාජයේ සෙසු ව්‍යුහයන් තේරුම් ගැනීම ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
උදය ආර්.තෙන්නකෝන්


1 comment:

  1. Good Luck ................ I hope Good debate ..............

    ReplyDelete

Feel free to comment- කොහොමද කියන්න