Diaspora Diary

Showing posts with label Democracy. Show all posts
Showing posts with label Democracy. Show all posts

Friday, January 12, 2024

රනිල්ට ඉතිරි වී ඇත්තේ කොරහ බිඳගෙන ජනතාව දෙසට යෑමයි


   


                                                   

නො වෙන්නත් බැරි දෙය

මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. ඒක කොහෙත්ම වෙන්න බෑ කියල හිතන්නත් බෑ. දවසින් දවස එකකට එකක් වෙනස් දේවල් ලංකා දේශපාලනයේ සිදු වෙන්න පටන් ගෙන තිබෙන නිසා අනාගතය පුරෝකතනය කරන එකත් ලේසි පහසු නෑ. කිසිම අතකින් ස්ථාවරත්යක් නැති රාජ්‍යයක් පවතින්න න්‍යායන් අවශ්‍ය වෙනවා කියලා හිතා ගෙන කොපමණ ගැලපීම් කළත් වැඩක් වෙන්නෙ නෑ. ආකෘතියකට අනුව සන්දර්භයක් නිර්මාණාය වී තිබේ නම්, අපිට ඊ ලඟට සිද්ධ වෙන්න නියමිත දේ යම් කිසි විදහකට කියන්න පුලුවන්. නමුත් එහෙම දෙයක් තියේද කියන එක ප්‍රශ්නයක් විදිහටමයි තවමත් තියන්නේ. මේ නිසා ආකෘකියකුත් නැති සංදර්භයකුත් නැති රාජ්‍යයකට මුහුණ දෙන්නට තිබෙන හොඳම තත්ත්වයයි දැන් අප අත් විඳිමින් ඉන්නේ. හෙට මොනවා වෙයිද මොනවා කරයි ද දන්නේ දෙවියෝ පමණකි යන තත්ත්වයට රට පත් වී ඇත.

ඇතැයි සිතන ව්‍යවස්ථාවේ විශ්වාසය

සිදුවිය හැකි බොහෝ දේවල් අතර සිදුවීමට ඇති නිෂ්චිත දෙයක් ලෙස මේ වසරේ දී ජනාධිපතිවරණය තියන්න සිද්ධ වී  ඇත යන විශ්වාසය වෙතයි හැම දෙයක්ම දැන් කේන්ද්‍රගත වී තිබෙන්නේ. එහෙම හිතන්නේ රටක් විදිහට පවතිනවා යැයි සිතන ව්‍යවස්ථාව හේතුකොට ගෙන යි. මේ ගැන ඇති යම්කිසි විශ්වාසයක් පදනම් කරගෙන වෙන්න පුලුවන් දේ නම් අලුත් පාලකයෙක් පත්කර ගැනීමට ඇති පසුබිමයි. ඒ සඳහා සියලු දෙනා සූදානම් වෙමින් පිටිය සකසා ගෙන යන ආකාරය දවසින් දවස බහුවිධ වේස අරගනිමින් දවස ගෙවී යයි.

දෘෂ්ටිවාදය සහ සත්‍යය

අස්ථාවර රාජ්‍යය ස්ථාවර කිරීම සඳහා ශපත කරන හැම අපේක්ෂකයෙකුම ඒ සඳහා විශ්වාසයක් පෙන්වති. ඒ ගැන ජනතාව විශ්වාස කරවීම පිණිසයි දැන් තිබෙන තරඟය. විශ්වාස කරවීම කියන්නේ දෘෂ්ටිවාදයක් අන් අය මත ඒත්තු ගන්වනු ලැබීම යි. මේ නිසා විශ්වාසය සහ දෘෂ්ටිවාදය අතර ඇති සබැඳියාවට කියන්න පුලුවන් “ඇත්ත” කියලා. දැන් ඔක්කොමලා කතා කරන්නේ ඇත්ත. අස්ථාවර රාජ්‍යය ස්ථාවර කරන්න සූදානම් වන අය විසින් ප්‍රකාශ කරන ඇත්ත සහ අස්ථාර රාජ්‍යය ස්ථාවර කරන්නට භාවිතාවෙන් ක්‍රියාකරන ඇත්ත තේරුම් ගැනීම වැදගත්. මේ ඇත්තවල් දෙක ආත්මීය ඇත්ත (subjective truth) සහ වාස්තවික ඇත්ත (objective truth) කියලා තේරුම් ගන්නත් පුලුවන්. නමුත් මේ දෙකෙන් කුමන ඇත්ත ද, නියම ඇත්ත (real truth) කියා කියන්නට බැරි තරමට දෘෂ්ටිවාද සැරි සරමින් ජන මාධ්‍ය සහා සමාජ මාධ්‍යත් තම තමන්ගේ ප්‍රචාරණ මාධ්‍යයත් ලහි ලහියේ ක්‍රිියාත්මක වීමටයි අපි කියන්නේ ජනාධිපතිවරණය හෝ මැතිවරණය කියලා.

ආත්මීය ඇත්ත යනු න්‍යායික ඇත්තයි (theoritical truth). වාස්තවික ඇත්ත යනු ඓනද්‍රීය ඇත්තයි(organic truth). මේ දෙකෙන් පළමු වැන්න අයිති පාලන ආණ්ඩුවට පිටත සිටින එසේම ඊට එරෙහිව සිටින පොදුවේ ගත් විට විපක්ෂය කියන කොටස් නියෝජනයටයි. ඓන්ද්‍රීය ඇත්ත ආණ්ඩුව සතුයි. විපක්ෂයේ ඇත්ත සහිනයක් නම් ආණ්ඩුවේ ඇත්ත යථාර්ථයක්. නමුත් යථාර්ථයක් වී ඇති ඇත්ත අස්ථාවර රාජ්‍යය ස්ථාවර කිරීමට කොතරම් සමත් දැයි කියන්න වෙන්නේ පුරෝකතන හෝ සංඛ්‍යා ලේඛන අනුව නොව රටේ ජනතාවගේ සුභ  සිද්ධිය මත යි.

 ජනතාව සහ ජීවන සංස්කෘතිය

දැන් ජනතාවට එල්ලෙන්න වැල් නැති ගාණට හෙම්බත් වී ජීවත් වන්නට සිදු වී ඇත්තේ රාජ්‍යයේ ඇති අස්ථාවරත්ය නිසා ය. පවත්නා පාලනය ඒ සඳහා ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග අරගන්නේ ජනතාවට සුභ සෙත ඇති වීම පිණිස යැයි කාට නම් කිව හැකි ද. වැඩි වන බදු බර, ඉහල යන බඩු මිල, කප්පාදු වෙමින් යන ජීවන තත්ත්වයන් යන සමස්ථය, මේ නව ලිබරල් පරිභෝජනයත් ඒ හා බැඳී ඇති අනවරත තරඟකාරී ජීවන විලාසිතාවට කොහෙත්ම ගැපෙන්නේ නැත. ඒනිසා මෙම ජීවන සංස්කෘතිය හැම අතින්ම කඩා වැටී ඇති හෙයින්  ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කිසිසේත්ම මේ ශෛලිය තෘප්තිමත් කරන්නේ නැත. මේ නිසා ආණ්ඩුව විසින් පෙන්වන අර්බුදයේ  ඇත්ත යනු ධනවාදයේ ඓන්ද්‍රීය ඇත්තයි. අපේ වගේ අව වර්ධිත ඇට්ටකුණා ධනවාදී සංස්කෘතියකට මේ අවුල ජීවන පතුලේ ඉඳලම බලපෑම් කරනවා.

අවුලේ වාසිය සජිත්ට ද අනුරට ද?


මේ අවුල ආණ්ඩුවට විරුද්ධව සිටින අනාගත නායකයන්ට වාසියක් ගෙන දුන්නත්, අවුලෙන් ගැලවීමට අවශ්‍ය ආර්ථික සමාජ දේශපාලන චින්තනයකින් තොර නායකත්වයට පවා මුහුණ දීමට සිදු වන නස්පැත්තිය රනිල් පාලනයෙන් වෙනස් වීමට නම් සමාජ දේහය ගැඹුරු පරිවර්තනයකට ලක්කිරීමට සිදු වෙනවා. එකට සුදුසු නායකත්වයක් වගේම සුදුසු ජනතාවක් ද සිටිය යුතු ය. ඡන්දයක් විසින් දෙන අවස්ථාව ක්ෂික ලොතරැයි දිනුමක් වගෙයි. ඒ දිනුම හරියට ප්‍රයෝජනයට ගන්නේ කොහොමද යන්න බුද්ධිමත් තීරණයක්.

ඒ කෙසේ නමුත් මේ ආණුඩව එනම් විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ස්ථාවර කරනු පිණිස ය යන පුරෝකතනය තුල සිට ගන්නා ක්‍රියාමාර්ග  අනාගත රාජ්‍යයට ප්‍රතිඥා දෙන අපේක්ෂකයන්ට බැලූ බැල්මට වාසි සහගත වී ඇත්තේ ජනතාව මත ඇති පීඩනයට ආණ්ඩුවත් පාලකයාත් වගකිව යුතු නියාමය නිසා ය.

දැන් එක් අතකින් තරඟයකට රට වැටී ඇත. අනෙක් අතින් සංවිධානාත්මක පිරිස් රජයට බල කරමින් තම අයිතීන් වෙනුවෙන් කරන සටන් නැවත වටයකින් ආණ්ඩුවටත් නායක රනිල්ටත් පාරාවල්ලක් වී ඇත. ඒ අනුව ගණන් හැදීමේ දී, අනාගත වාසිය ඇත්තේ කිහිප දෙකෙකු අත බෙදී ඇති ජනතාවගෙන් වැඩි පිරිස හිමි කොටසට ය. මේ ජනාතාව තම තමන්ගේ ගොඩට වැඩි වැඩියෙන් ගොනු කරගෙන අවසානයේ කැමැත්ත ප්‍රකාශ කරවා ගැනීමේ අවසානය විසින් ඊ ලඟ නායකයා පත් වනු ඇත. ඒ අතරේ සජිත්, අනුර, ධම්මික, දිලිත් ඇතුලු තවත් අය එකතු විය හැකි වුවත් කරට කර සටන පවතින්නේ දැනට අනුව අනුර සහ සජිත් අතර බව කාගෙත් විශ්වාසය වී ඇත. මේ දෙදෙනාගෙන් කවරෙකු දිනුවද පාලන බලයේ සිටින රනිල්ට වැදගත් නැත. ඔහුට මෙවර තරඟ කර ජය ගත හැකි ද යන්න නිෂ්චය කර ගැනීම සහ ඊට අනුව ක්‍රියාත්මක කිරීමයි රනිල්ගේ ඉදිරි දේශපාලනය. අනෙක් සියලු දෙනාම දන්නා දෙයක් ඔහු නො දැන ගැනීමටත් ඔහුට සහසම්බන්ධ බුද්ධි තොරතුරුවලට නො තේරීමට විදිහක් කොහෙත්ම නැත. එම නිසා රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේ දී ජය ගත නො හැකි නම්, ඔහු ඉදිරියේ දී කරන දෙය ඉතා වැදගත්ම දෙයක් වන්නට නියමිත ය. හොඳ නරක දෙකටම පොදුය. මේ දෙකම බලය පතා විය හැකි ය.

රනිල් කොරහ බිඳියි ද?

අපේ වහරේ ඇති වැකියක් වන්නේ “යන යකා යන්නේ කොරහත් බිඳගෙනය” යන්න පරාජය වීමට නියමිත රනිල්ට ආදේශ කරනු ලැබුවොත් ඔහු විසින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක් විය හැකි ද.

එකක් වන්නේ ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් සඳහා ආණ්ඩුව විසුරුවා හැරීම යි. අනෙක නම් දැනට ඔහු සහා එජාපය උත්සාහ කරන පුලුල් සන්ධානය පිහිටුවා නිර්පාක්ෂික අපේක්ෂකයා බවට පත් වීමයි.

මෙම සාධක දෙක සලාකා බලන විට පළමු වැන්නට යොමු වීමෙන් රනිල්ට වාසි සහගත තත්ත්වයක් ඇති විය නො හැකි ය.  මේ නිසා අවසාන තුරුම්බුව වී ඇත්තේ දෙවැන්න වෙත යොමු වීම ය. ඒ වෙත ගමන් කරන්නේ නම්, එයින් ඔහුට ජය අත් විය යුතු ය. ජය අත් පත් කර ගැනීමට නම් ජනතා කැමැත්ත තිබිය යුතු ය. ජනතා කැමැත්ත ලැබීමට නම් ජනතා අභිලාෂයන් ඉෂ්ඨ සිද්ධ විය යුතු ය. එය සිදු කිරීමට නම් ස්ථාවර රාජ්‍යයක් තිබිය යුතු ය. එහෙම දෙයක් නැති තැන දවසින් දවස සිදු වෙමින් යන්නේ ජනතාව පීඩනයට සහ අසහනයට පත් වීම ය. ඉතින් මොනාකාරයේ පුළුල් සන්ධානයක් හැදුවත් ජනතා කැමැත්ත රනිල්ට ලැබේ ද. මේ බව ඔහු නොදනී ද. මේ බව රනිල් දන්නේ නම් ඔහුට ඩෙකාට්ස් කියූ දෙය කිව හැකි වනු ඇත. “මම දනිමි එනිසා මම පවතිමි”  ( I know, therefore I exist) යන්න ය.

එහෙම නම් ඔහු දන්නේ කුමක් ද

දැන් අපට පුරෝකතනය කරන්න්න වෙනවා ඔහු දන්නවා කියා. එනම්, ජනතාවට ඇති පීඩනය සහ විප්කෂය විසින් පොළඹවන, සහ විපක්ෂය විසින් ආණ්ඩුවට කරන බලපෑම සහ ඒ ඔස්සේ ජනතා ආකර්ශනය දිනා ගනාගෙන ඇති බව. මේ නිසා එය වෙනස් කිරීම සිදු කිරීමට නම් ජනතා ප්‍රශ්න වෙත යොමු වී ඒ කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතු බව. එය සිදු කිරීම කළ හැකි යැයි හිතන්නේ ඡන්දයට පෙර ආසන්න කාලය තුල දී ය. ඒ අතර කාලයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට රාජ්‍ය ආදායම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට රාජ්‍යය ශක්‍යතා විශ්වාසය තහවුරු කළ යුතුය යන නිගමනය. අනෙක් කරුණ වන්නේ, ඉදිරියේ දී බලයට එන නායකයා සතු බලය කෙසේ පැවතිය යුතු දැයි තීරණය කිරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන දෙසට යොමු වී මේ කාරණා ඉටු කරන්නට හැකි වන්නේ නම් සිදු වන දේ ගැන ගණන් බැලීමට ඇති හැකියාවය. මේ හා බැඳුණු තවත් කාරණයක් වන්නේ දෙමළ ජනයාගේ ඉල්ලීම කෙරෙහි යොමු වී ඔවුන්ගේ අභිලාෂයන් වෙත පෙර නො වූ පරිදි මැදිහත් වීම ය. එය දකුණේ දේශපාලනය තුල කළමාණාකරණය කර ගැනීමට ඇති වාසිය වී ඇත්තේ, ප්‍රධාන බලවේග දෙක වන මාලිමාව සහ ටෙලිපෝනයට විරුද්ධත්වයක් පෑම හෝ නොපෑමේ වාසිය ද ලබා ගත හැකි වෙතැයි යන විශ්වාසය තුල ය.

ජනතාව අපට පුදුම කරාවිද

මෙයින් පළමු කරුණ වන ජනතාව දෙසට හැරී ඔවුන්ගේ අභිලාෂයන් වෙත යොමු වන්නේ නම්, එය එසේ කරන්නට සිදු වන්නේ පවත්නා බංකොලොත්බවට පිළියමක් ලෙස රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග රිවස් කිරීමෙනි. දැනටමත් පාරට පැමිණ ඇති වැටුප් වැඩිකිරීමේ සටන එකින් එක වර්ධනය වී සමස්ථ රාජ්‍ය සේවයට ව්‍යාප්ත වීමට ඇති හැකියාව පාලනය කර ගැනීමෙන් හෝ බදු සහ ආර්ථික පීඩනය දුරු කරලීමෙනි. මහ බැංකුවේ අධිපතිගේ අදහසට අනුව වැඩි කළ බදු වෙනස් කරනවා වෙනුවට ආදායම් තත්ත්වය ඉහළ නැංවීමයි කළ යුත්තේ නම්, මුලින්ම රාජ්‍ය සේවයේ සේවක ආදායම වැඩි කළ යුතු ය. එය දෙන්නම් කාසිවලට කල් දැමිය නො හැකි බව සක් සුදක් සේ පැහැදිලිය.

නමුත් මේ සියල්ල සිදු කරනු ලැබුවත් ජනතාව ඔහුට නැවත අවස්ථාවක් ලබා දේවි ද යන්න ගැනත් ඔහුට මනා අවබෝධයක් ඇත්නම් කළ යුත්තේ, යන යකා කොරහ බඳගෙන යාම ය. නමුත් මේ යකා බිඳින කොරහ නිසා ගැටලුව ඇති විය හැක්කේ ජනතාවට නොව, ඊ ලඟට බලයට පත්වන්නාට ය. සහන දීමනා, වැටුප්, මිල අඩුකිරීම්, ඇතුලු ජනතාව වෙත දිහ හැකි උපරිම දෑ ඉටු කරමින් ජනතා අභිලාෂයන් ලබා දී රාජ්‍යය රිවස් කළ හැකි ය. එයට කිසිවකුට විරුද්ධ විය නො හැකි අතර, අනෙක් හැම නායකයකුගෙත්, ජනතාවගේත්, මහ මග සටන් කරන්නාගේත් අපේක්ෂාව එය වන බැවිනි. ඔහුට ජය ගත හැකි වුව හොත් රිවස් දැමූ රාජ්‍යය ඉස්සරහට ගැනීමට එම න්‍යායේම විරුද්ධ සංසිද්ධිය ක්‍රියාත්මක කළ හැකි අතර පරාජයට පත් වුව හොත්, අනාගත නායකයාට ඒ බර කරගසා යෑමට සිදු වනු ඇතැත්, නව නායකයාට සහ අලුතින් පත්විය හැකි ආණ්ඩුවට හිටපු නායකයාගේ ක්‍රියාමාර්ග රිවස් කළ නොහැකි වනු ඇත. ඒ අනුව නැවත ගෝඨාභය දක්වා රට ගමන් කිරීමෙන් පසු නැවත අභියෝගය බාර ගන්න ග්‍රීක මිත්‍යා කතා කායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ යැයි පුරෝකතනය කරන රනිල් එළැඹෙන කාලය තුල ජනතාවාදී නායකයෙකු බව භාවිතාවෙන් පෙන්වන්නට තීරණය කළ හොත් ජනතාවට සහනයක් අත් වනු ඇත. එය කෙටිකාලීන වුවත් අනාගත පාලකයාට අභියෝගයක් ඉදිරි කරනු ඇත.

මෙම ලිපිය පටන් ගැන්මේ දීම සිතූ දෙය යථාර්ථයක් කළ හැකි වන්නේ බලයේ සිටින ඓන්ද්‍රීය ඇත්ත නියෝජනය කරන්නා වන රනිල්ට මිස, ආත්මීය  ඇත්ත සතු  අනාගත බලයට සිහින දකින සජිත් හෝ අනුරට නොව. ඔවුන්ගෙන් බලයට පත්වන කාට වුව රනිල් ගෙන දී යන්නේ රනිල්ගේ පරාජය හෝ ජය ගන්නාට අභියෝගයකි. එයින් අනුරට ඇති අභියෝගය තවත් දෙගුණ තෙුගුණ විය හැකි ය. එය භාර ගැනීමට මාලීමාව සූදානම් ය. අනුර ද සූදානම්ය. බලය ඉල්ලන්නේ අභියෝග බාර නො ගන්නට නොවේ. එහෙත් යම් විකට සජිත් එහෙම කරන්නත් බැරි නෑ.

අස්වැසිල්ල පුරෝකතනය කිරීම

කෙසේ වෙතත්, මේ වසරේ මැද සිට ලංකාවට යම් අස්වැසිල්ලක් ඇති වනු ඇතැයි සිතිය හැකි වේ ද. ඒ බව ආණ්ඩු පාර්ශවයෙන්, විශේෂයෙන් රනිල් පාර්ශවයෙන් වක්‍රව කරන ප්‍රකාශවලින් ද අනුමාන කළ හැකි වේ. එය තාවකාලික විය හැකිය නමුත් එය ඉදිරියට යෑම නායකයා මෙන්ම ජනතාවගෙත් කැපවීමක් ය. මෙරු බවට පත් වූ සිහිනයක් නොවී ජනතාවට වාසනාව උදාකර දිය හැකි පාලකයෙකුත්, පාලකයාට වාසනාව උදාකර ගත හැකි ඥාණවන්ත ජනතාවකුත් රටට ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම හැර අසුභවාදී අනාගතයක් ප්‍රාර්ථනා කළ නො හැකි ය. ප්‍රාර්ථනාව සිහිනයක් වුවත් සිදුවිය හැකි යථාර්ථයට සහතික නැත.

ත්‍රිත්ව අභියෝගය

එහෙත් නව ලිබරල් ක්‍රමවේද අනුගමනය කරන රනිල් හෝ රාජපක්ෂ පාලනයටත්, සජිත් නියෝජනය කරන දේශපාලනයටත් මේ ප්‍රාර්ථනාව ජය ගත හැකි වේදැයි ද යන සංසන්දනයේ දී, එතරම් ලොකු වෙනසක් බලාපොරොත්තු විය නො හැකි ය. ජවිපේ ප්‍රමුක මාලිමාවට මේ තත්ත්වය අලුත්ම තත්ත්වයක් උදාකරනු ඇත. එය එක් අතකින් ත්‍රිත්ව අභියෝගයන් වේ.

එක බංකොලොත් රටක් නව ක්‍රමයකට පරිවර්තනය කිරීම සඳහා ඇති ව්‍යාස්ථාපිත බලය සහ ජනතාව ඒ කෙරෙහි දක්වන විශවාසය.

දෙක. මෙකී වෙනස සඳහා අනුගමනය කරන ආර්ථික දර්ශනය හා දේශපාලන උපායන්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් සඳහා පවතින දර්ශනය කුමක්ද යන්න.

තුන. පවතින රාජ්‍යය පවත්වාගෙන යමින් වෙනසක් සහ විපරිවර්තනයක් සඳහා අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ට මුහුණ දීමේ දී, ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ අයිතීන් වෙනුවෙන් වන ගැටුම් හඳුනා ගන්නේ කෙසේද හා ඒවා විපරිවර්තනය කර ගනු ලබන්නේ කෙසේද, කුමන දැක්මක් ඔස්සේ ද යන අභියෝගයන් ප්‍රධාන වේ.  මාලිමාවට මුහුණ දීමට සිදු වන්නේ තනි රටක සමාජවාදය ක්‍රියාත්මක කිරීමට උදාවන අභියෝගය ය.

නව මිනිසා සහ නව සංස්කෘතිය



එහෙත් මාලිමාව සමාජවාදයක් වෙත ගමන් කරන මාර්ගය අනුගමනය කරනු බලන බවක භාවිතාවක් නැතැත්, සමාජ ප්‍රාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නම්, එවැනි රාජ්‍ය ක්‍රමයකට සරිලන ගුණය හා ස්වරූපය දෙස බැරෑරුම් දක්මකට ගමන් කළ යුතු වේ. වාම විභවයක් සහ රතු පැහැයක් ඇති මාලිමාව චීන ක්‍රමයේ භාවිතාවකට ගමන් කරන්නේ නම්, අප වැනි රටකට කොතරම් දුරට ඔරොත්තු දේද, යන්න සංස්කෘතික ප්‍රශ්නයක් වගේම, ගෝලීය බල දේශපාලනයේ ගොදුරු බිමක් වී ඇති ලංකාව කලාපීය පීඩනයෙන් මිදීමට තරම් හය්යක් හදා ගත හැකි ද යන්න සැලකිය යුතු කාරණයකි. නව පාලන ක්‍රමයක්, නව රාජ්‍යයක් බිහි කිරීම අභිලාෂය නම්, මේ සඳහා නව මිනිසකු බිහිකර ගත යුතු ය. ඒ මිනිසා නම් සාක්‍යල්‍යවාදී මිනිසා ය.

පිළිතුරු ඇති නැති නිගමනය

ඒ මිනිසාට උචිත ක්‍රමය වන්නාවූ නව චින්තනයන් සහිත සාකල්‍ය ඒකකත්වයක් සහිත දර්ශනයකට ගමන් කළ යුතු වන්නේ නව ලිබරල්වාදී අසීමාන්තික පරිභෝජන රටාවේ වහල් බවින් මිදුණු ආධ්‍යාත්මික අභ්‍යන්තරයත්, ශික්ෂණයෙන් යුක්ත අධ්‍යාත්මික භාවිතාවක් සහිතව ඇති භාහිරත් වෙතට දේශපාලන සංස්කෘතියත් ආර්ථික සංස්කෘතියත් ගොඩ නැංවීම ය. මේ සඳහා වන නව ශිෂ්ටාචාරය වෙත අවතීර්ණය වීමට දක්වන අවංක එහෙත් ගැඹුුරු දාර්ශයක් ඔස්සේ පියවර ගතහොත් පමණය. මෙම දර්ශනය ඊනියා නො බැඳි පිළිවෙත ලෙස සිතන්නේ නම්, කළ හැකි දෙයක් නො මැති ය. නූතන සංවර්ධනය යන මිත්‍යාව පසු පස ගමන් කරන්නේ නම්, නැවත යන්නට ඇති පාර ධනේෂ්වර මාවතමය. මේ එකක්වත් නො මැති මාවත ඇත්තේ අප සතුවම ය. නමුත් අප සතු බටහිර මිනිසාගේ ව්‍යාජ ජීවන විලාසිතාව නව මිනිසකුගේ විලාසිතාවක් බවට පත් කර ගැනීම යනු දවසක දෙකක වසරක කාලයක් නො වුනද වසර දහයක් ප්‍රමාණවත් ය. වැදගත් වන්නේ ඊට ඇවැසි පාලන දැක්ම, චින්තනය, විනය සහ මානව ගුණය ය.

තවත් නිගමනයක්

ඉතින් අර සියල්ල එසේ කරන රනිල් මේ කාලය තුල, රටෙන් හොරා කා ගත් ධනය නැවත ආපසු ගන්නත් කටයුතු කරයි කියා නම් බලාපොරොත්තු තැබිය නො හැකි ය. එසේ සිතන්නට තරම් විශ්වාසයක් ඇති කරන්නේ නැති වුවත් එය ඔහු විසින් අනාගත නායක්තවයට ඉතිරි කරනු ඇත. රනිල්ට රාජපක්ෂලාත්, රාජපක්ෂලාට රනිලුත් යන අන්තර් පරායත්තතාවය නිසා පශ්චාත් ගෝඨාවාදී බලය යනු  එකිනෙකා රැකෙන ක්‍රමයකි.  රාජපක්ෂලාගේ ඉරණම රනිල් විසින් විසඳුවා වුව ද  එය තාවකාලික අවසන් වීමට නියමිත ය. මෙන්න මේ බව දන්නා රාජපක්ෂලා පවා රනිල්ට එක්වන්ට බැරි නැත. නමුත් එය එසේ වන්නේ නම් සිදු විය හැකි දෙය පවා රනිල් තො දැන ගන්නට හේතු නැත. රනිල් තමන්ගේ වල ඔය විදිහටම කපා ගෙන සිය දිවිත් දසා ගනීවි යැයි හිතිය හැකි ද.  පංතිමය වශයෙන් රනිල්ට තවදුරටත් රාජපක්ෂලාව ආරක්ෂා කර ගැනීමට හැකි වනු නො මැත. ඒ තමන්ගේ බලය අන් හැමටම වඩා වැදගත් වන බැවිනි.

උදය ආර්. තෙන්නකෝන්

11.01.24  

 

 

Monday, August 25, 2014

IDEOLOGY VERSUS JUSTICE, DEMOCRACY AND FUTURE IN SRI LANKA

Presentation about Sri Lanka was presented in a workshop organized by International Fellowship of Reconciliation- Hundred Years for Non Violence- Konstanz Germany
By Udaya R. Tennakoon





Reflecting 
on the violence of the 
past and addressing the challenges of 
today, approximately 150 delegates from IFOR 
member organizations across the globe will gather in Konstanz, 
Germany 100 years after the outbreak of World War I. World- renowned 
nonviolence experts, representatives from like-minded peace organizations, and 
members of the general public will join IFOR in mourning, celebration, and envisioning the future.