Diaspora Diary

Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Friday, May 23, 2014

මගියාගේ සගයා

 

මගක් නැති මගක ඇවිද
මගක් හොයමින් ලුහු බැඳ
නෙක අනෙක මඟ
ගඟක් මෙන් ගැලූ
ගමන් කළ මගෙහි දෙවරක්
එකම අයුරින් අවිද යන්නට බැරි බවද දැන
විටෙක නැවතත්
පනියි එකම ගඟකට

අශුද්ධ පාවඩ
විශුද්ධි මාර්ගය
ප්‍රසිද්ධ නැති ගමනක
එකම විදිහට වෙනස් තැන් තැන්වල
හමුවුණ සගයන්
නො වූයේ ඇයි ද මගියන්
හොයා ගන්නට
අතරමං වුණු වංගගිරි
මේ මහ මූකළානෙහි

නිර්වචනයක් නැති
මගක් නැති වන මගෙහි
පාළුව තිනිකම කපන්නට
කපාගත් මගකට පැමිණ
සහයක් ද දී නැවතුණි
ගමන් සගයාට මඟක් හමු වී
මේ මූකළානෙම

ඒ මඟ ඔහුට හමු වුණ
මා ලුහු බඳින මඟ නම්
මෙපමණ දුරක් නෑවිත්
මීට පෙර මඟ සොයා ගෙන
නැවතුන සගයන් ළඟ ද
නවතින්න තිබුණි

තරඟයක් නැති මැරතන් ජීවිතය
අරුමයක් නැත යැයි  මේ ගමන
කරුමයක් වගේ පෙනුනම
හිතෙනවා ඇති දුවන්නට
තරඟයට මීටර් සියය
මගියෙක් වෙන්න බැරි වුණ සගයට

සගයාට සතුටුයි
මගියා අතැර දුවයයි
එළි පෙහෙළි කළ තැන්
පරණ මාවතට අමුණයි

නැවතී දුවන කෙටිදුර
හිතට සතුට ද එක්කර
ලබනා සතුට හති වැටුනද
දුවයි මීටර් සියයම
තරඟයෙහි සගයා

උදය ආර්. තෙන්නකෝන්
Image: Alle Rechte vorbehalten von richwat2011




Thursday, May 15, 2014

මැයි දිනයේ පසු විපරම- විලංගු දැමූ සාමයක මොඩල් ධනවාදය

Safe!
‘The head of a Mexican drug cartel recently took three suitcases full of money to a Swiss bank and demanded to see the bank president. He asked him,
“How much money does our President have in your bank, I know he deposits his money here.”
The bank president replied, “I am sorry, this is a secret, I cannot tell you, this would violate our bank regulations.”
The man pulled out a pistol and pointed it at the bank president, “Tell me how much money he has here, or I will shoot you!”
The bank president insisted that he could not tell him. The politician fired a shot past him with a silencer and said, “You can see that my gun is loaded, if you don’t tell me, the next shot will be through your head!”
The bank president said in a trembling voice, “You just have to shoot me, I cannot tell you.”
Finally, the Mafioso said, “OK, I trust you that you can keep a secret. I want to deposit my money in your bank.” (Dietrich Fischer)



ජාත්‍යන්තර කම්කරු දිනය සංකේතවත් කරන මැයි පළමු වැනි දා ලෝකයේ සෑම රටකම පාහේ රතු කොඩි, බැනර් පුවරු අතින් ගත් ජනතාව එක් රොක් කර ගත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, වෘත්තීය සමිති යන සමාජ බලවේග විසින් තනි කනියමත් එක්සත්වත් මැයි දිනය සමරණු ලැබීම සුලභ හා කැපී පෙනෙන අවස්ථාවකි. රටින් රටට, දේශපාලනික සන්දර්භයන්ට අනුව මෙම සැමරුම් වෙනස් වන අතර මැයි දිනයේ මූලික හරය වන්නා වූ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම සමස්ථයක් ලෙස පොදු කාරණාවක්ය. මැයි දිනය පිළිබඳව පසු විපරමක් කිරීම සඳහා හේතුවන කාරණා කිහිපයක් නිසා මෙම සටහන තැබීමට බලාපොරොත්තු වෙමි. මේ සඳහා ස්විස්ටර්ලන්යේ මැයි දිනය හා ඒ තුලින් දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ලෙස කියැවෙන දේශපාලනය පිළිබඳ  යම් අදහසකට පැමිණීමට හැකි වනු ඇත්තේ, ස්විස්ටර්ලන්තය යන්න ලෝකයේ තිබෙන බොහෝ රටවල් අතරින් සුවිශේෂී රටක් වන බැවිනි. එනම් ඊට ආවේනික සුවිශේෂී ධනේෂ්වර රාජ්‍යයක් වීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්,  සාමය හා සංහිඳියාව ආදී සංකල්ප වල පරිභෝජන සංස්කෘතියක් ඇති සමාජයක් ලෙස මූර්තිමත් වීම හා ඒ පිළිබඳ පරමාදර්ශීබවක් පෙන්වමින් වෙනත් සමාජයන් උදෙසා ආදේශ කිරීමේ උන්නදුවක්, උත්සාහයක් හා ප්‍රේරණයක් පෙන්නුම් කරන නිසාස.

Wednesday, May 14, 2014

සංයුක්ත මිනිස් සබඳතාවන්ගේ ප්‍රතිවිරෝධය


ජයතිලක අන්කල් සංකීරණය- Jayathilaka Uncle Complex- (දෙවැනි කොටස)

මෙම ලිපිය ලියන්නට හේතු වූ කාරණය මුලි දී සඳහන් කළ ආකාරයට හා ප්‍රවෘත්ති වාර්තාකරණයට අනුව, වැට් බදු වංචාව පිළිබඳ නඩුවේදී තීන්දුව ප්‍රකාශ කරමින් ජයතිලක මහතාට අවුරුදු 102 සිර දඬුවමක් වශයෙන් වූ සිරස්තලයෙන් මා තුල වූ කම්පනය නිසා බව සඳහන් කරන ලදී. එසේ වීමට හේතුව අවුරුදු 102 යනු මනුෂ්‍යකුට ජීවත් වීමට ඉඩ දෙන කාලයක් නොවේ. එහෙත් එම සිරස්තලය එසේ වුවද ඔහුට හිමි එම කාලය වසර තුනකින් ගෙවී යන ලෙස ලිහිල් කර ඇති බව, ප්‍රවෘත්තියේ අන්තර්ගතය කියවීමෙන් පසුව,ඇති වූ කම්පනය සමනය වන්නට විය.
එහෙත් මම මගෙන් අසන ප්‍රශ්නය වන්නේ එම සිදු වීම කියවීමෙන් මා කම්පනයට පත් කළේ ඇයි ද යන්නය. ඔහු විසින් වංචා කළ මුදලත්, ඔහු සතු දේපලත් පිළිබඳ ඇති විස්තර දකින අයෙකුට එවැනි කම්පනයක් ඇති විය හැකි ද. රටෙහි නීතිය සහ යුක්තිය පිළිබඳ සාධාරණ සිතිවිල්ලක ඡායාවක් තුලින් මේ හා සමානව වෙනත් සිද්ධීන් සම්බන්ධව ද බලාපොරොත්තුවක් ඇති වනු ඇති වන අතර චූදිතයා සම්බන්ධයෙන් ඇති විය හැකි වන්නේ අනුකම්පාවට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ලක් විය හැකිය.  ඒ මුදල් සම්භාරය වනාහි රටෙහි ජනයාගේ බදු මුදල් නිසා එම කොල්ලකෑම අනුමත කරන්නෙකු වීමට කිසිවකුට පත්විය හැකි ද. එහෙත් මෙවැනි තත්ත්වයක් ජනාධිපත් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇති විය හැකි ද

Friday, May 9, 2014

ජයතිලක අන්කල් කම්ප්ලෙක්සය(Jayathilaka Uncle Complex- 1 කොටස

Photo: Target-news ~ වැට් හොරාට කෝටි 1198ක දඩ
_____________අධිකරණ ඉතිහාසයයේ ලොකුම දඩය
බිලියන 119ක දඩයක් හා වසර 102ක සිරදඬුවමක්
----------------වැට්බදු හොරාගේ තහනම් කර ඇති දේපොළ  

_________________Colombo High Court imposes Rs 12 billion fine on former Dpty Commissioner of Inland Revnue  

රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.
චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.
ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.
දඩය නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.
වසර පහකට අධික කාලයක් මාහාධිකරණයේ දී මේ නඩුව විභාග වූ අතර එහි දී විත්තිකරුවෝ හතර දෙනෙක් මීට පෙර වරද පිළිගත්හ. තවත් විත්තිකරුවෝ පිරිසක් රට හැර ගොස් සිටිති. මෙතෙක් කල් නඩුව විභාග වූයේ එම සැකරකුවන් නැතිවය.
පැමිණිල්ල වෙනුවෙන් 34 දෙනෙක් සාක්කි දුන්හ.
වරද පිළිගත් සොයිසා ජයතිලක වසර අටක පමණ කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවිය.                   

----------------වැට්බදු හොරාගේ තහනම් කර ඇති දේපොළ

රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.
 තහනම් කර ඇති දේපොළ විස්තර
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තාරාපොත මාදව ග්‍රාමයේ අක්කර 04 රූඩ් 01 පර්චස් 28ක පොල්වත්ත
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම්බලාව ග්‍රාමයේ පිහිටි අක්කර 31 රූඩ් 03 පර්චස් 35ක පොල් ඉඩම
රුපියල් ලක්ෂ 60ක කොටහේන පෑන් ඒෂියා බැංකුවේ බැංකු අණකරය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඩම්ගොල්ල හේන යාය නමැති ඉඩමේ අක්කර 05 රූඩ් 02 පර්චස් 35 ක පොල් ඉඩම

රුපියල් 5000000 ක කොටහේන පෑන් ඒෂියා බැංකුවේ බැංකු අණකරය
ගිණුම් විස්තර

01. රු. 4360841.64      දැනට පොලිය සමග මුදල රු. 9357396.37
02. රු. 1054718.87      දැනට පොලිය සමග මුදල රු. 2061840.43
03. රු. 7235117.70      දැනට පොලිය සමග මුදල රු. 10425455.83
04. රු. 8874589.04      දැනට පොලිය සමග මුදල රු. 14065535.58

The Colombo High Court today imposed a  101 year jail term (to run concurrently in three years)  and Rs 12 billion fine on the former Deputy Commissioner of Inland Revnue G.Soysa  who pleaded guilty in the VAT (Value Added Tax) fraud case .
He was one of the main persons  accused in the multi-billion rupee VAT fraud  which took  place in the country from November 2002 to April 2004.
Earlier  an open warrant  was  issued to arrest 8suspects who are remaining at large overseas and assistance of INTERPOL has been sought to arrest them.

Anura S. Liyanage Target-news -2014 මැයි මස 08 -ලක්මාල් සූරියගොඩ

සුපුරුදු විවධ වෙබ් සයිට්වල පිවිස ලංකාවේ නිව්ස් කියවන්නට පටන් ගන්නා විට නෙත ගැටුනු සිරස්තලය විසින් මා කම්පනයට පත් කරන ලදි. වෙනත් ලිපියක් ලිවීම අවසන් කිරීමේ ඒකාග්‍රතාව බිඳ දමමින්, මෙතරම් නොනසන්සුන් කිරීමට ඇති හේතුව මා තුලම සොයන්නට උත්හාහ ගනිමි.
එම සිරස්තලයත් සමගම ප්‍රවෘත්තිය කියවන්නටත්, එම ප්‍රවෘත්තිය වෙනත් වෙබ් අඩවි හා පුවත් පත්වල පල කර ඇති අන්දම ඉන් අනතුරුව සොයන්නට පටන් ගත්තේ නාට්‍යමය විඝඨනයක් ඇති කරවන අතීතයට සිත ගමන් කිරීමෙනි. ඒ මැගසින් බන්ධනාගාරයේ  පී (P)වාට්ටුවේ දී ජයතිලක අන්කල් මුන ගැසීම හා ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතා, සම්බන්ධතා,හිතවත්කම්, සාකච්ඡා, විවාද ගැටීම් හා අමනාපකම් ආදී සංකීර්ණ මිනිස් ජීවිතයක විනිශ්චය කරගත නොහැකි අත්දැකීම්වලට මුහුණ දීමේ කාලකණ්නි ක්ෂතියක් මා තුල උපද්දවමිනි. එබැවින් මෙම සටහන ඉදිරියට ගෙන යෑම සමාජමය වැදගත් කමක් ඇති බව විශ්වාස කරමින් මෙම සටහනට ඇතුල් වීම පිණිස ජයතිලක අන්කල් පිළිබඳ පල වී ඇති සිංහල බසින් ඇති වාර්තා කිහිපයක් නැවත උපුටා ගනිමින් මෙලෙස පල කරන්නට අදහස් කරමි. ඉන් අනතුරුව මගේ මගේ ආත්මීය කම්පනයේ මූල හේතුන් වෙත හා සමාජ දේශපාලනික කියැවීම වෙත යොමු වීම ඉදිරියට තබමි.

Sunday, May 4, 2014

වැසි නැති රට වැසි


කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ
තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ
නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ
හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ

ඔකාවස් පුරේ සිට හිමි දළදාව
දළැති ඇතුන් පිට මාරුව වැඩියාව
පරයි හඬන හඬ වේ අඬවැඩියාව
අපට තුන් සරණ ඔබේගේ හැකියාව

ධන්‍යගාර කුස හිස් වී ගියා වේ
බද්ද අපිට අපි බද්දට බැඳුණා වේ
නෑසිය හිතවත් පසුම්බි පිරුණාවේ
අල්පේච්ඡ අපි අහිතක් නැතුවා වේ

ලබා උපන් හැටියට ජීවත් වුණෙමු
විසල් නුවර තුන්බිය වුව ගරුකරමු
රතන පිරිත කිය කිය අමතක කරමු
එපින් බිමෙහි මේ නිදහස පිළිගනිමු

 උදය ආර්. තෙන්නකෝන්

Image: Bestimmte Rechte vorbehalten von Nick Kenrick .


Thursday, April 24, 2014

රතු මිනිස් රතු එළියට ජය වේවා!!!!!


දෘෂ්ටිවාදීමය හා පුද්ගලවාදයන් තුලට පටු වී කණ්ඩනය වෙමින් ලංකා සමාජය සුනු විසිණු වී ඇති මොහොතක, එක් වීම නැමැති වචනයට අර්ථයක් ගෙන දීමට ගන්නා මෙම අසීරු තත්ත්වය සංකෙතීය ලෙස හෝ මල් පල ගැන්වීමේ අවස්ථාවක් ලෙස වාමාංශිකයන්ගේ පුනර්ජීවනය ගැන කොන්දේසි විරහිතව සතුටට පත්විය හැකිය. පවත්නා සමාජ ව්‍යවසනයට ක්ණික පිළියමක් ලෙස මෙම එක් වීම නිර්වචනය කර නොගත යුතු සේම, යම් ලෙසකින් අසාර්ථකත්වයකට  පත් වුවද ඒ පිළිබඳව ද කණගාටු වීම හෝ කණස්සල්ලට පත් විය යුතු ද නැත. මන්ද ලාංකික සමාජයට විකල්ප ආදරයක් සොයා යන මිනිසුන්ගේ ආදර සම්බන්ධයක්  වන බැවින් අප සැම මෙම සහයෝගීතාව තව තවත් ශක්තිමත් කරනු පිණිස සහයෝගය පල කළ යුතු වෙමු.

අඳ වඳ බොඳ සඳ

 

අඳ වී වඳ වනු වෙනුවට
විඳවා මිය යනු වෙනුවට
බොඳ වී මීදුම් වනවා වෙනුවට
සඳ ඉර තරු වෙමු අඳුරට එළියට

Tuesday, April 22, 2014

පීඩිතයින්ගේ ගීතය


යුරෝපේ පුරා පමණක් නොවේ ඇවිදිනා
දිනා ගන්න සතර දියත හොල්මන් කරනා
බලා ඉන්න ඉර හඳ තරු අඳුර දුරලනා
පෙළෙන මිනිසුනේ එක්වෙමු පාර ඇත තනා

සටන් පෙරමුණට දස දෙස හේතු උපදිනා
ජාත්‍යන්තර ගීය අපිට සමගිය කියනා
දෙසට බසට තනුව අනුව පද ගොනු කරනා
නිර්ධන නිර්වචන පංති මඟ පළල් වුණා

හඬක් ඇති මහත් ජන බල අහස දෙදෙරනා
බියෙන් තොර බිමක් උදෙසා අතක් එසවෙනා
අයිතියක් නිසා ජන ගඟ පාරට හැරෙනා
සිහිනයක් නොවේ තැන තැන ලොවේ නැගිටිනා


උදය ආර්. තෙන්නකෝන්

Thursday, April 17, 2014

ඉගිලුණු දෙවියන් ඇවිදින මිනිසුන්


උන් අසුන් මත
තබා සැඟ වූ වත
නැඟිට සංසුන් හිත
යාඥා කරන ඔබෙ අත

ආත්මය මිළින පිළිමය
බලාගෙන ඔබේ චලනය
පැතිර යන නිහඬ රිද්මය
ඔබටම අනින හී සරය

Tuesday, April 15, 2014

කාහල නාදයට පෙර පසු නැටුම

 

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර ගන්න තියෙන අවස්ථාවන් හා හැකියාවන් වල ඇති තරම ප්‍රමාණය අනුව ය.
සෑම වසරකම අවුරුද්ද එනවා. අපි වසසට යනවාත් එක්ක අවුරුද්ද පිළිබඳ හැඟීම් වෙනස් වෙනවා. විග්‍රහයන් සිතුම් පැතුම් විවිධාකාර උණත්, අවුරුද්ද සංකේතයක් ලෙස එසේම පවතිනවා. මේ සංස්කෘතික ප්‍රපංචය සරලයි. ඒත් ඒ තුල ඇති දේශපාලනය සංකීර්ණයි

Saturday, April 12, 2014

නැතුවා නොවේ




හිනාවක් කියයි විලාසය
බලෙන් හංගන්න හැදුවට
ඇස් දෙකට බැරිවෙයි
දෘෂ්ටිය නිවැරදිව ගන්නට

කේශ නාලිකා රුධිර ධමනි යටකර
මතුවෙයි හදවතේ ඇති දෙය
ගැඩවිල් පණුවෙක්ගෙ පස්මෙන්
අයාස හිනාවේ මතු පිට

Tuesday, April 8, 2014

මම මචං අපි


නෙගටිව්ව ඔළුවෙන් හිතුවොත්
උත්තරයෙ කෙළවර
කොහේ දැයි දන්නවා මචං

ඒ උනත් ඒකෙන්
ගැලවෙන්න අමාරුයි මචං
නෙගටිව් එකම පොසිටිව් කරං හිතුවත්
මොනවද කරන්නේ මචං

උන් හරිද අපි වැරදි ද
දන්නෙ නෑ මචං
අපි වැරදි නං
උන්ටත් හරියන්න ඕනෑ
අපි හරි නං
ඇයි මෙහෙම හිතෙන්නේ මචං

මචං කියන්නටත් කෙනෙක් නෑ මචං
මටම මම කියන්නෙමි මචං
ප්‍රථම පුරුෂයත් මමයි
උත්තම පුරුෂයත් මමයි
මධ්‍යම පුරුෂයත් මමයි

මම ගාව මමත්
මම ගාව අපිත්
මම ගාව ඔවුනුත්
ඉන්න එක තමයි ප්‍රශ්නේ මචං

මම නිසා අපි වෙන්න
අපි නිසා මම වෙන්න
මම අපි නිසා ඔවුන් වෙන්න
අමාරුයි මචං

කොහෙදෝ ඉඳන් ඇවිදින්
නෙගටිව් එකක්
බයිස්කෝප් පෙන්වමින්
වෙන් කරනවා ඔළුව
පොසිටිව්ව හිතුවත් මචං

හිනා උනත් මුහුණ
හිත දන්නවා හිනාවක් ද බව
කථා කෙරුවත් බරට
මම දන්නවා තරම
මේ බොරුව දරන්නට බෑ මචං

සකල දේශ වාසී නිර්ධනයිනි
එක් වව් කිව්වට
එක් වෙන්න බෑ නේද මචං
මම හෝ උඹ
නැත්තම් ඔවුන්
නොවෙන්නට පුළුවනි
පීඩිතයෙක්
නිර්ධනයෙක්
දුප්පතෙක්

එහෙමත් නැත්තං
හොදි නැති තලප වගේ
ගිල්ල තියරිවලින්
අනුන් ගැන
උණු වෙන පපුවක්
නෑ නේද මචං
උණු උනත් කරන්න පුළුවන්
බිජ්ජක් තියෙනවද මචං
එහෙමත් හිතෙනවා මචං

කාලයේ හැටිද
ධනවාදය ද
බඩට පයින් ගහන නව නිදහස ද
නරුමවාදයේ කරුමය ද

බුද්ධාගේ දර්ශනය
ජීසස්ගෙ චරිතය
තව තව ඈ කැඩපත්
අබිං කිව්වත්
මාක්ස් දිහාවට හැරෙන්න
බැරි ඇයිද මචං

කකුලේ හිට ඔළුවට
කන එකට රෙන එකට
ධනවාදයට බැන්නට
කොමිනිස් වෙන්න පුළුවන් ද මචං

මේ වචන ටික මට කියා ගත්තෙමි. නාන කාමරයට ගොස් කණ්ඩිය දෙස බලා සිටියෙමි මඳ වේලාවක්. කසියම් සැහැල්ලුවක් පැතුවද හිසෙහි බර තුරන් වූ බවක් නොදැනුණි. ඉන් පසු හොඳටම නා ගත්තෙමි. මටත් නොදැනී කපුගේ ගේ උළ ලේනෝ සිංදුව නොදැනීම කිය වුණෙමි. ජාත්‍යන්තර ගීතයේ නාදය හිත තුලින් මිශ්‍ර වී ගියේය එළියට පැමිණ ජනේලය දිහා බලා ගත්තෙමි. එකකට එකක් විවිධයි. මම අපි ඔවුන්. වට පිට බලා සිනා සුනෙමි. බක බක ගාමින් නොව ඒ මටමය.

උදය ආර්. තෙන්නකෝන්





Monday, April 7, 2014

සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ


මධ්‍යම රාත්‍රිය ද පසුකර
ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව
නින්දක් ඇඟට නොදැනෙන
ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ
විඥ්ඥාණයට නොපැමිණි
අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම

Friday, April 4, 2014

අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය


උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම්
සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම්
ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම්
විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම්

Friday, February 28, 2014

මැරුනාලු ගෝපි මැරුවාලු ගෝපි


මිනිහෙක් මැරෙන කං බලා සිට
ලියන්නට තටමන කවියකැයි
නො සිතන්න සොහොයුර

උපමා රූපක අලංකාරික
ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි
නොසිතන්න සොහොයුර

උපදුනොත් මැරෙනවා
සත්‍යකි ලොව දහම කියා කරබාගෙන
ඉන්නටත් පුළුවන්

Thursday, January 9, 2014

විමල් භාෂණ සහ දීප්ති: ලංකා දේශපාලනයේ මතවාදී ට්‍රයියෑංගලය




(සැලකිය යුතුය: මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත. )

පාර පශ්චාත්  යටත් විජිත ශ්‍රී ලංකාවේ[i] මෑත කාලීන මතවාදයන් හා එහි දේශපාලනික චලනය තේරුම් ගැනීමේදී මහා මතවාදයන් තුල අධිනිෂ්චය වී ඇති චූල මතවාදයන් තුනක් රූපකාශ්‍රයෙන් විග්‍රහයට ගැනීමට මෙම ලිපිය මගින් උත්සාහ ගන්නා අතර එහි ඇති ශක්‍යතා පරිමාණය සමාජීය වෙනසකටත් සමාජීය දිශාවේ බහු මානයන් වටහා ගැනීමටත් ඉවහල් වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට මුල පුරන්නක් ලෙස මෙම සටහනට ප්‍රවිෂ්ට වෙමි. මෙහි  කියැවෙන මහා මතවාදය යන්න රාජ්‍ය කේන්ද්‍රකරගත් ජනප්‍රිය සිංහල බෞද්ධ ඒකීය ජාතිවාදික මතවාදය වන අතර එහි ගාමකයන් අඩු වැඩි වශයෙන් පුද්ගලයාගේ සිට පවුල පාසල ආයතන හා සෙසු දේහයන් තුල නියෝජනය වෙමින් පෝෂණය වීම නිරන්තරයෙන් සිදු වෙද්දී, මෙම සමස්ථය තුල අධිනිෂ්චය වි ඇති චූල මතවාදී රූපක ත්‍රිත්වය පර්ෂද (cluster) ගත කළහොත්  විමල්(ජවිපෙ) භාෂණ (හිරු)හා දීප්ති(එක්ස්) ලෙස හැඳින්විය හැකිය.

Image

 මෙම ත්‍රිකෝණික රූපකීය මතවාදයන් තුන වැදගත් වන්නේ පශ්චාත් මර්ධන අවධිය වූ අනූව දශකයෙන් ඔබ්බට පැමිණ ස්ථරගතව සමාජ චලනයට බලපෑම් කිරීමට ඇති හැකියාව නිසාය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස සමාජානුයෝජනය වූ විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීර වංශ වන අතර භාෂණ යනු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මතවාදී කණ්ඩනයකින් පසුව හිරු කණ්ඩායම තුල සමාජානුයෝජනය වූ රෝහිත භාෂන අබේවර්ධනය. දීප්ති යනු ජවිපේ මතවාදයෙන් එලියෙහි, එහෙත් සමාජය සොයා ගිය කෆ්කා කෙනෙකි. එම සොයා යෑමේ දී පශ්චාත් නූතන වාදය තුල සමාජානුයෝජනය වී එක්ස් නම් සමාජ සංවිධානය තුල අනන්‍ය වූ ද ඉන් පසුව එහි බෙදීමෙන් පසු තත්තවය තුල සංවිධිතව  සමාජගත වූ දීප්ති කුමාර ගුණරත්නය.

විමල් භාෂණ හා දීප්ති යනු සංකේතීය රූපකයන් තුනක් පමණක් නොව එක් පරම්පරාවක් නියෝජනය කරමින් ත්‍රිකෝණික වූ මතවාදයන් තුනකි(Ideological Triangle). එක දහස් නවසින අනූවෙන් පසුව වඩාත් බැරෑරුම් ලෙස උතුර සහා දකුණ වශයෙන් ධ්‍රැවිය වූ ලාංකික භූමිය තුල මෙම රූපකයන් තුන ලාංකිය ගැබ තුල පිළිසිඳගත්තේ විකල්පය නියෝජනය කරමිනි. ග්‍රාමීය, නාගරික හා වාර්ගික වශයෙන් අනු පිළිවෙලට විමල් දීප්ති හා භාෂණ පෙළගැස්වූ විට එක් සූත්‍රයක් ගොඩනගා ගත හැකි අතර ජාතිකවාදය,වාර්ගිකවාදය හා විසංයෝජන විචාරවාදය ලෙස ද හඳුනා ගත හැකිය. තවද ප්‍රවාදිත, ප්‍රතිචාදිත හා සහවාදිත යන දයලෙක්තික සම්බන්ධය මෙම රූපක තුන එක් කර සිනමා පෝස්ටරයක් සකසා ගැනීමෙන් පරිකල්පනය කර ගත හැකිය. එහි පෙනුම විය හැක්කේ පිටට පිට දී සිටින විමල් හා භාෂණ මැද සිටින දීප්ති සහිත සිතුවම් රූපකයන්ය. එසේම මෙම ත්‍රිත්වටයහි විභවීය පොදු කුලකය වී ඇත්තේ මාක්ස්වාදයය.  එපමණක් නොව මෙහි ප්‍රභවයේ මූලාශ්‍රය වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. පශ්චාත් මර්ධන කාලය තුල නැවත ගොඩ නැගුණු ජවිපයට ලාංකීය සාමාජ වෙනසේ විකල්පය නිර්මාණය කිරීමේ දාර්ශනික අපොහොසත්කම හේතුවෙන් පශ්චාත් මර්ධන අවධිය බහුමානික චලනයන්ට ගොදුරු වෙද්දී, විකල්පීය බලය නැමැති වස්තුව අන් අයගේ ගිණුම්වල තැන්පත් කර එහි පොලිය පමණක් නොව තැම්පත් මුදල් ද යලි ලබාගත නොහැකි තැන්පත්කරුවෙකු බවට ජවිපය පත්විය. එය බංකොලොත් මූල්‍ය ආයතනයක් බඳු වූ මහා ජාතිවාදී අන්තයයි. එම තැම්පත් කිරීමේ උපරිමය වූයේ සිංහල බෞද්ධ මහා මතවාදයේ පොරෝනය තුලට රිංගීමය.ඒ අනුව නාමික මාක්ස්වාදය හා සමාජවාදය, ධර්මපාල අමරසේකර  හා නලීන්ගේ මහාවංශික සිංහල බෞද්ධ ජාතිවාදය තුලට දිය වන්නට පටන් ගෙන තනුක විය.  එම අන්තරගත වීම ජවිපේ පුරෝගාමි මතවාදය තුල ද සැඟවුණු ඇටවිසමයක්(atavism) ලෙස පැවැති අතර, අනූ හතරේ චන්ද්‍රකා ද ඉන්පසුව මහින්දව ද බලයට පත් කරමින් සමාජ චලනයේ විකල්පීය ගුණය මහා ජාතිකවාදයට කැලතෙන්නට වීම ඓතිහාසික ප්‍රපංචයක් විය. එපමණක් නොව එය වර්තමානය හා අනාගතය මනුෂ්‍ය සමාජයක් ලෙස ආත්ම ඝාතනයකට ලක් කර ඇත. මෙම ඓතිහාසික අත් වැරුද්දේ ප්‍රතිඵලයක් ලෙස සමාජය අඳුරු මහා මහාවංශික මතවාදයේ අවතාරය සමාජ දේහය පුරා සුසමාර්ශයක් ලෙස යලි තහවුරු වීම පටන් ගන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ කවුරුත් දන්නා පරිදි මහා විනාශ කාරී යුද්ධයකට සමාජය ගොදුරුවීමය. මෙකී සිද්ධි දාමයේ සමස්ථය සැලකිල්ලට ගනිමින් ලිපියට ප්‍රස්තුථ චූල මතවාදයන් තුන සමාජය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ද අඳුරු මහා මතවාදය විපරිවර්තනය කරනු හැකි වන්නේ කෙසේ  දැයි වෙන් වෙන් වශයෙන් හා සහ සම්බන්ධිත වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

විමල් විරවංශ

ජවිපය විසින් නිර්මාණය වූ විමල් ජවිපෙන් වෙන් වීමේ සලකුණ ලකුණු කර ඇත්තේ ජවිපයට යලි ගොඩට පැමිණීමට නොහැකි ලෙසය. එය සමපාත වන එක් නිදසුනක් වන්නේ එල්ටීටීයෙන් කරුනා වෙන් වීම යන්නටය. බොහෝ දෙනා මෙම විභේදනයන් සාධනීය දෙයක් ලෙස විග්‍රහ කරමින්, දැන් ජවිපය ශුද්ධ ඇත යැයි පැවසුවද විමල් ජවිපයෙන් වෙන් වූයේ එහි උරුමයේ දයාභාගය(Dayabaga) ද රැගෙනය. එනම් විමල් සවකීය දේශපාලනික පක්ෂය ගොඩනගා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සහවාස වී ඇත්තේ ජවිපය සතු දෘෂ්ටිවාදය රැගෙනය. ජවිපය හා විමල් අතර දෘෂ්ටිවාදීමය වශයෙන් වෙනසක් සලකුණු කිරීමට නොහැකි වී ඇති අතර මතු පිට තලයේදී කුමන දේශපාලන හැඩ ගනු ලැබුවද එම ක්‍රියාකාරම් තුල දෘෂ්ටිවාදී දාර්ශනික ගැඹුරක් අඩංගු වී නොමැත. මේනිසා ජවිපේ දෘෂ්ටිවාදයේ ප්‍රති නිෂ්පාදිතය වූ විමල් නම් රූපකය යන්න සමාජයට වැදගත් බලපෑමක් කරනු ඇත්තේ එම දෘෂ්ටිවාදය සමග සමාජයේ භෞතික සවරූපයට අනුවර්තනය වීමෙනි. විමල් යනු බැරෑරුම් ලෙස නොපැවැතුණු මහා මතවාදය තුලට එම මතවාදය ප්‍රති නිෂ්පාදනය කරමින් බලපැම් සහගත වූ  සිය චූල මතවාදය නියෝජනය කරමින් ජාතිකත්වය පලිහ කර තමන්ට කළ හැකි ඕනැම දෙයක් කරන සෙසු දක්ෂණාංශික දේශපාලන ප්‍රපංචයකි. පශ්චාත් යටත් විජිත ජනප්‍රිය දේශපාලනට සංස්කෘතියක් වූ අගතින් සියල්ල  අනෙකාට වඩා හොඳින් කරමින් සමාජය නියෝජනය කරන පිලිගත් සමාජ පිළිලයකි. එය නම් ජවිපය දෘෂ්ටිවාදය, මහා මතවාදය සමග වෙළමින් තමන් තැන්පත් කළ වටිනාකමට පොලිය ද වැල් පොලියද ලබා ගනිමින් වංචාව දූෂණය කප්පම් කොමිස් යන සකළ දූෂණයන් කරමින් සමාජය තුල යහතින් වැජඹීමේ වරප්‍රසාදය අත් කර ගත්තෙකි.එය ජවිපය විසින් තැන්පත් කළ වස්තුව පැවරුමකින් ලබාගත් උරුමකරුවෙකි. එනිසා විමල් යනු ජවිය කීම තුල ජවිපය යනු එසේ නම් කුමක් දැයි විමසා බැලුව හොත් හමු වන්නේ වෙනස් දෘෂ්ටියක් නැති ක්‍රියාකාරිත්වයකි.  ඔවුන් පාර්ලීමේන්තුව තුල දී, මහා මාර්ග වීදි තුල දී සංවාද සාකච්ඡා තුල සකල විධ අගතීන්ට එරෙහිව සටන් අවි එසවුවද එවා පලක් නොවන්නේ ඇයි දැයි කල්පනා කළ යුතුය. ඔවුන් සතු වූ දෘෂිටිවාදය විමල්ට ද මහින්දටද දන් දීමෙන් සමානයන් වීම තුලය. මෙම පාර පශ්චාත් අවධියේ දී ඔවුන් ආත්මයක් නැති හඬක් ඇති කුහරයක් වී ඇත. විමල් විසින් ගොඩනංවන ලද සංකේතීය ප්‍රචාරක ලේකම් තනතුර ඹහුත් සමග වාෂ්ප වූයේ එහි පුද්ගලයා මිසක සංකේතිය බර තුනී කරමිනි. විජිත හේරත් හෝ පුබුදු ජාගොඩගේ වර්තමාන භූමිකාව පිළිබඳ සංජානනය කර ගෙන බැලුවහොත් අපගේ මනසේ අවතාර කරනු ලබන්නේ විමල් වීරවංශය. මෙය කිසිවකු හරිද වැරදිද යන්න නොව එම භූමිකාව අවසාන කරනු ලැබූ ස්වභාවයේ ගති ලක්ෂණයන්ය. වර්තමානයේ හෝ අනාගතයේ දී වමේ දේශපාලනික ගොඩනැංවීම් වල ප්‍රචාරක ලේකම් තනතුරට අර්ථ සැපයෙනු ඇත්තේ සැක සිහිතභාවයකින් හා විමල් වීරවංශගේ දේශපාලනික සිනාරියෝව තුල මතු කරන අර්තයන්ද මුසු කරමිනි. ඒ අනුව විශ්වාසය හා සැකය තුල එම තනතුරට පත්වන්නාගේ භුමිකාව විනිෂ්චය වෙමින් පැවතුන ද එහි අපේක්ෂිත  භූමිකාව ඉටු වන්නේ කුමන ප්‍රමාණයෙන් දැයි විමර්ෂණය කළ යුතුය.

රෝහිත භාෂණ

රෝහිත භාෂණ යනු මහා මතවාදයට පිටු පා උතුර දෙස බලා සිටගත් සිංහල බෞද්ධ මහාවංශික ද්‍රෝහියෙකි. දකුණේ මාධ්‍ය හා සිංහල දෘෂ්ටිවාදයට, වාමාංශික ප්‍රවාහයට බලපෑම් කිරීමේ සන්දර්භය තේරුම් ගත යුත්තේ එහි ප්‍රභවය හා ව්‍යාප්තිය තුලය. ජවිපෙන් කණ්ඩනය වී හිරු කණ්ඩායම බවට පත්ව ඒ තුලින් දකුණට ඇති කර ඇති දෘෂ්ටිවාදී බලපෑමෙන් වමට හා විකල්ප අපේක්ෂාවන්ට ගැලවිය නොහැකිය. මෙහිදී හිරු කණ්ඩායම යන සාමුහික හැඟවුම්කරණයෙන් නියෝජනය වූ දකුණේ සිට උතුර දෙස බැලීමේ දෘෂ්ටිවාදය සරල ලෙස දෙමළ ජාතිකවාදය හෝ ප්‍රතිපෝෂක ජාතිවාදය ලෙස හෝ බෙදුම්වාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැකි වීම හා එහි ප්‍රාමාණික සත්‍යයක් ගැබ්වුවද මාහා ජාතිවාදය තුල පීඩනයට පත්ව ඇති වාර්ගික අන්‍යතාවයකින් යුක්ත දෙමළ ජනායාගේ යුක්තිය හා ගරුත්වය වෙනුවෙන් දකුණට පිටු පා සිට ගැනීම කිසිවටක නිෂෙධ කළ නොහැකිය. පවත්නා ක්‍රමය තුල දමිළ පීඩිතයාගේ පරිකල්පනීය රාජ්‍යෙය් චූල දෘෂ්ටිවාදී විමුක්තිදායකයාය. මාක්ස්වාදය වැනි ජාත්‍යන්තරවාදයකින් හෝ පංති දෘෂ්ටිවාදය තුල එම වාර්ගික දෘෂ්ටිවාදය පරාජය කිරීමට උත්සාහ ගත්ත ද එය යථාර්ථයක් නොවන්නේ මහා ජාතික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙන් සමාජය හා වාම දේශපාලනයට ගැලවිය නොහැකි විසාවෙනි.  එසේම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන හා හඩ නැඟූ සිංහල හඬ වූයේ හිරු කණ්ඩායම පමණක් නොව තවත් පුද්ගලයින් හා සාමාජ කණ්ඩායම් උතුරේ අරගලය වෙනුවෙන් දකුණේ සිට ක්‍රියාත්මක විය. නිදර්ශන වශයෙන් සඳහන් කළ හොත් වික්‍රමබාහු කරුනාරත්න  හා ඔහුගේ දේශපාලනය,දියැස කණ්ඩායම තුල සිටි ෆැට්ට්‍රික් වසන්ත අහිංසක යන අය ද නිර්මාල් රංජිත්, බෝපගේ වැනි ඇකඩමියානුවන්ද දෙමළ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් මත ප්‍රකාශ කළ වුන්ය. ( නම් සඳහන් නොකළ ද තවත් බොහෝ අය සිටින බව කරුණාවෙන් සලකන්න). එසේ වුවද යුද්ධයත් සමග ඇතිවන වෙනස් කම් හමුවේ හිරු කණ්ඩායමේ සංයුතිය වෙනස්ව අභ්‍යන්තරික ඛණ්ඩනයන් ඇති වුවත් භාෂණ නම් රූපකය තුලින් නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ හා තේරුම් ගත යුත්තේ ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේය.

ලාංකික දේශපාලනයේදී
ජාත්‍යන්තර දේශපාලනයේදී
ලාංකික දේශපාලනයේ දී මාහා මතවාදයේ අනෙකා වීම තුල බලය හා පැවැත්ම තහවුරු කර ගැනිමටත්, අවතාර ප්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍යන්ටත් මෙම චුල දාෂ්ටිවාදය ආයෝජනයකි. අනෙක් අතට දෙමළ ජනයාගේ නොවිසඳුණු ගැටලුවට ජීවයක් උතුරේ දෙමළ දේශපාලනයට ද ලැබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වැදගත්ම කාරණය වන්නේ විකල්ප සමාජ වෙනසකට දේශපාලනික සිහින දකින්නන්ට මෙකී වාර්ගික දාෂ්ටිවාදය මාර්ග බාධකයක් වීමය. අනෙක් වැදගත් කාරණය වන්නේ භාෂණ නොවන වෙනත් විකල්ප පුද්ගලයින් හෝ දේශපාලනික කණ්ඩායම් දෙමළ ජනයාගේ අයිතීන්, ස්වයං නිර්ණ අයිතිය,වෙනම රාජ්‍ය යන මූල දර්මයන් පිළිගනු ලැබුව ද භාෂණ මතවාදයට සමානව හෝ ඉන් එහාට ගමන් කිරීමට නෙහැකි වී ඇත්තේ මන්දැයි සිතිය යුතුය. ඊට ඇති පිළිතුර වන්නේ නව්‍යකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලනයය.

දෙදහස් නවයේ ජන ඝාතක යුද්ධයත් සමග දෙමළ ජනයාගේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වූ අතර වෙනම රාජ්‍ය යන්නට ඇති කොන්දේසිවල ඇති භූමිය යන්න පාර භෞමික වන්නට විය. බලහත්කාරය හා මිලිටරි ආධිපත්‍ය තුල දෙමළ නිජ බිම සිරගත කරනු ලැබුව ද දෘෂ්ටිවාදය විසින් ගොඩනංවන ලද රාජ්‍ය දෙමළ ජනයා තුල ඉදිකර යෑමට ප්‍රභාකරන්ට හැකි විය. ලාංකික දේශපාලනය තුල මෙන්ම ඩයස්පෝරා දේශපාලනය තුල කුමනාකාරයේ බෙදීම් දෙමළ ජනයා තුල ඇති වුවද කාල්පනික රාජ්‍යෙය් සිතියම සිත්වලින් මැකිය නොහැකිය. අනෙක් අතින් ඩයස්පෝරා දේශපාලනය සාකල්‍යවාදී හැඩයන්ට විපරිවර්තනය වීම නිසා භාෂණගේ උතුර දෙසට සිට ගැනීම අතිශය වැදගත් කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය යන අධිනිෂ්චිත කාරණය නැවත වටයකින් තේරුම් ගැනීමෙනි. එනම් පශ්චාත් යුද අවදියේ වැදගත්ම කේන්ද්‍රීය කාරණය වන්නේ යුද්ධයයේදී සිදු වූ අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සටන් කිරීමය. සාමය හා සංහිඳියව යන්න සමාජයක් තුල ස්ථාපිත කිරීමට නම් අගතියට පත් ජනයාට හා ජන කණ්ඩායම්වලට යුක්තිය ඉටුවීම ගැටුම් න්‍යායේ ද ජාත්‍යන්තර නිතියේ ද, ස්භාවික යුක්තියේ ද අන්තර්ගත කොන්දේසියකි. එම ක්‍රියාවලිය වෙනුවෙන් භාෂණ සෘජුවම පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලයේ වැදගත් ලකුණක් සලකුණු කරන අතර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් පිරිසට නොවැටහෙන හෝ අතහැර දමා ඇති හෝ භෞතික නොහැකියාව යන කාරණාවන්ගෙන් තේරුම්ගත හොත් ඔවුනට දෙමළ ජනයාගේ ප්‍රශ්නයේ නාඩිය අල්ලා ගැනිම පිණිස භාෂණ මතවාදය පරාජය කිරීම හෝ අතික්‍රමණය කිරීම අසීරුය.

නිදසුනකට ගත හොත් භූමිය ගින්දරින් සමතලා කොට හැට දහසකට අධික ජීවිත විනාශ කොට සිය භූමිය තුලම සිරකරුවන් කර දමා ඇති කාලයක අප්‍රයෝගික ලෙස එහි සමාජවාදය සඳහා සටන් කිරීමට ගිය ලලිත් කුගන් වෙනුවෙන් කඳුළු සැලීමේ හෘද සාක්ෂිය හා ඒ තුලින් දෙමලාව දිනා ගැනීමේ උපාය උපක්‍රම ඉතාමත් අතාර්කික හා පසුගාමි වනු ඇත්තේ අධිනිෂ්චිත කාරණාව තුල ලලිත් කුගන්ව සූත්‍රගත කර ගැනීමට ඇති දෘෂ්ටිමය දිළිඳුභාවයය. මේ නිසා දකුණේ දෙමළ දේශපාලනය හෝ වාමාංශික ජාතික මාක්ස්වාදය භාෂණ දෘෂ්ටිවාදය තුල ගැටලුවක් නිර්මාණය කරනු ඇත. එය පිළි ගැනීම හා ක්‍රියා කිරීම එක් අතකින් අභ්‍යන්තරික වශයෙන් ලාංකීය විකල්ප දේශපාලනයේ නියැලෙන්නට මර්ධනීය අභියෝගයක් විය හැකි වුවද, පිටුවහල්ව චූල දෘෂ්ටිවාදය ජාත්‍යන්තරීකරණය කිරීමට භාෂණට හැකි වීම දේශීය දේශපාලනයේ අනාගතයට බලපෑමක් නොවනු ඇත් ද යැයි සිතිය නොහැකි ද.එය ලෝක යථාර්ථයට අනුව අනාගතය තුල දී සිදු නොවනු ඇතැයි කීමට තරම් දෙමළ ජාතික ප්‍රශ්නය සරළ වී නැත.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේදී මෙම දෘෂ්ටිවාදය රට තුල පමණක් නොව ඩයස්පෝරාව තුල සිටින අනෙක් ක්‍රියාකාරීන්ට ගැටලුවක් වී ඇතැයි සිතන ප්‍රමාණය සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සංකල්පය හා එහි සංස්කෘතිය මහා ජාතිවාදයේ අඳුරට හෝ පාර පශ්චාත් යටත් විජිත රාජ්‍යයට අදේශ කිරීමට ඇති හැකියාව හා අවබෝධය ද, ඊට ඇති විකල්පීය කැපකිරීම් ද අවම නිසා, බටහිරට හෝ යුරෝපයට අනුව ඩයස්පෝරාව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම යන්න බැරෑරුම් අවස්ථාවකි. නොමළ ගෙයකින් අබ සොයන්නාක් මෙන් එල්ටීටීයට සම්බන්ධයක් නොමැති හෝ එම අපේක්ෂාවෙන් විගලිත් දෙමළාව සොයා ප්‍රජාතන්ත්‍රවාදය උගැන්වීම හෝ සමාජ වෙනස කිසි දිනක අපේක්ෂා කිරීම දේශපාලනික අලසකමක් හෝ මුග්ධබවක් වන්නේය. එසේම එය අභියෝගාත්මක කාරණයක් වන්නේ විදෙස්ගත දමිළ ප්‍රජාව යනු ක්‍රියාකාරිත්වයෙන්( කඳෙන්) යුරෝපය / බටහිර වුවද දෘෂ්ටිවාදයෙන් වාර්ගිකවාදී දෘෂ්ටිය තුල එතුන පුද්ගලයන්ය.මෙය උතුර දෙසට සිටගත් භාෂණ පිටුවහලේ සිට දෙමළ ඩයස්පෝරාව දෙස ද හැරී බැලීම  බලපෑම් සහගතය. අනාගතයේදී ලාංකීය දේශපාලනයේ විකල්ප සිනාරියෝව ගොඩ නැගෙනු ඇත්තේ එකයි එකයි භාගය නම් ක්‍රමයකටය (1, 1, ½: one and one half system). එනම් අභ්‍යන්තරික විකල්ප බලවේගය, භාහිර විකල්ප බලවේගය හා භාගයක් වූ ජාත්‍යන්තර බලවේගය නම් සමස්ථයේ දේශපාලනය තුලිනි.එහි හැඩයට හා ගුණය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුවත්, කල්පනා කිරීමට අවස්ථාව දවසින් දවස බල කරනු ලැබීම නොවැලැක්විය හැකිය.මෙම උදා වෙන තත්ත්වය වෙනත් ලෙස ලාංකීය ගැටලුවට ප්‍රවිෂ්ටවීමට කල්පනා කරන්නන්ට ඇති අභියෝගයක් වන අතර එය වටහා ගත යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ පුද්ගලිකත්වය හෝ අන්‍යතාවන්ගෙන් ඇති ‍දේශපාලනික බෙදීම්වලට වඩා අධිනිෂ්චිතය හා විය යුත්ත හා කළ යුත්ත තේරැම් ගැනීමෙන් පමණකි.

Image

මෙම ලිපියෙහි ඉතිරි කොටසට ගමන් කිරීමට ප්‍රථම චූල මතවාද තුන සූත්‍රගත කිරීමේ ඉහත සහන් අසම්පූර්ණ රූප සටහන තේරුම් ගැනීමට ද කියවන ඔබට බාරවනු ඇත. එසේම අවසානයට හා අරම්භයට පැවසිය යුතු කරුණ නැවත මතක් කරමි.

මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත.

උදය ආර්. තෙන්නකෝන්

[i] මගේ අදහස් දැකිවීමේ දී පාර පශ්චාත් යටත් වාජිත යනුවෙන්  නිරන්තරයෙන් හඳුන්වනු ලබන්නේ ලංකාව පශ්චාත් යටත් විජිත යන නිර්වචනයෙන් එහාට ගොස් ඇති බැවින් හා පශ්චාත් යටත් වාජිත වාදය යන දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සන්දර්භයෙන් විගලිත වීමට නොහැකි නිසාය.