Diaspora Diary

Showing posts with label Left poetry. Show all posts
Showing posts with label Left poetry. Show all posts

Sunday, December 28, 2014

මම ද ඔබ ද ඔවුන් ද


මම තරම් ඔබද
ඔබ තරම් මම ද
දරාගෙන අපි අපේ මතවාද
ගල්වගේ ඉඳිමු

මට ඔබගේ ද
ඔබට මගේ ද
ඇති අයිතියේ කොටස
ඉවසන්න බැරි හැටි
හිත රිදෙයි
කෝපය ඇවිස්සී
යකා නටයි
ඒ අපිට
වේදනාවක් ඇති නිසයි

දයලෙක්තිකය ගැන
අපි අපිම කතා කෙරුවට
දයලෙක්තික අපට
ඉවසීමේ කාලයක් නැත
මම මිසක අනෙකා වැරදිය

කතුරකින් කපන
පීත්ත පටියක් වගේ
සබඳකම් කැපුවහම
වාවන්නෙ නැත
මගේ නම් හද
ඔබේ හද ද
එසේ යැයි හිතුවොත් වැරදිද

එහෙම වෙන කොට
හිත රිදෙන කොට
ආ මග නතර කොට
අපි අපේ වෙන වැඩ කරන කොට

හරිම හරි සතුටෙන්
ඔබෙත් මගෙත් ඔවුන්ගෙත්
හැමෝගෙම මිතුරෙක්
ඔබේ අත ගෙන සිප
තරාදියකට දමා ඔබ
කිරයි බරයි කියමින්

බැලුම් පුම්බා පාට පාටට
අහසට අරිමින්
ඔබත් මමත් ඔවුනුත් රවට්ටා
දෙකයි පණහේ වාසියට
ඕනැම අතකට හැරී
පස්ස පෙන්නයි
මට
ඔබට
ඔවුන්ට

මම ඔබ
අපි තනි මිනිසුන්ය
කම් නැත
අපට කළ කැත වැඩ

ඔවුන් යනු අප නොවන
උතුම් ලොව
මෙලොව තව නැති
හදන්නට වෙහෙසෙන
ඔවුන්ය
ඈත හිටින හඳ තරුවල ද
අම්මා මුත්තාගේ ද
ඇස්වල කෙස් ගස් දකින
ශත දෙකේ වාසියට
කැත වැඩ නොපෙනෙන
කැත වැඩ කිරන්නේ
මනින්නේ
වාසියේ තුලාවෙනි

එයයි පොලිටික්ස්
දහම කොමිනිස්
අන්ධ නොමිනිස්
පව් නැද්ද ජේමිස්

කට පුරා ලොකුවට
සහෝදරයා කියා
මිදි යුෂ වෛරයේ
බඳුනක හළා
ඔවුන්ගේ රශ්මිය ද
හීනියට ඔතා
යාළුවගේ සූත්තිය
යයි ඉහල දුම් වළලු තියා
තිරයට මුවා වී
අතීතය
ඔබේ ද මගේද
පවා දෙන හැටි
අපි බලමු
අපි අපේ දෑ අපි ලඟ තියාන

මම ද‍
ඔබද ඔවුන් ද
අපි නොවන
අපි නොදත්
පීඩිතයන් ගැන හරිම ආදරෙන් කල්පයක් කතාකරමු
මිත්‍රයින්ට ඔය වගේ
හැමදාම මම නම් රැවටෙමි
ඔබත් එහෙමැයි මට සිතේ

උදය ආර්. තෙන්නකෝන්