Diaspora Diary

Wednesday, April 3, 2013

අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම


කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූර දර්ශී, තරුණ ගැටවරයන්ගේ  බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසය සඳහන් කරයි. එහෙත් එහි පරමාර්ථ කැපවීම හා අවංකත්වය යන ගුණාංගයන් විසින් ද එයින් ලැබූ අත්දැකීම් හා විප්ලවීය පෞර්ෂය ද යන සියල්ල හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝට පසුව කියුබානු විප්ලවය යන නාමය කියුබානු ඉතිහාසයට එතකු කිරීමට හැකි වූ නිසාවෙන් මොන්කාඩා ප්‍රහාරය යනු කියුබානු විප්ලවයේ මාතාව(mother of Cuban revolution) බවට පත්ව ඇත.
මෙකී රූපකයෙන් සංඥා කරන අර්ථය 71 අප්‍රේල් කරැල්ලට ආදේශ කරමින් විප්ලවයේ මාතාව හෝ විප්ලවය යැයි කීමට තරම් ඉතිහාසයක් ලාංකික අපට ඉතිරි කර නොතිබුණ ද, 71 අරගලය යනු පරමාද්ශීය අරගලයක් යැයි ද, කැපවිම, අවංකත්වය හා සමාජ අසාධාරණත්වයට හා යුක්තිය උදෙසා කරන ලද පරිත්‍යාගයක මාතාවක් යැයි කීම හා මානව ගුණාංගයන්ගෙන් පිරුණු අරගලයක් යන අර්ථයෙන් ලාංකිය සමාජය උඩු යටිකුරු කළ සංසිද්ධියක් ලෙස හැඳින්විම අදටත් වලංගුවක්ව ඇත.

මීට වසර හතලිස් දෙකකට පෙර ලංකා ඉතිහාසයේ බක් මාසය යන්න සමාජය තිගැස්මකට ලක් කළ පෙර නොවූ විරූ චලනයක් ඇති කළ අවස්ථාවක් යැයි කිම අසත්‍යයක් නොවනු ඇත. අප්‍රේල් නඟිටිම, අප්‍රේල් අරගලය, හැත්තෑ එකේ කැරැල්ල, හා හැත්තෑ එකේ අරගලය යනා දී විශේෂණ යෙදුම්වලින් වසරින් වසර මෙනෙහි කරන ඉතිහාසයේ කථාන්දරය සුන්දර නොවුවද ලංකා සමාජයේ එක් සුවිශේෂී කොටසකට විර කාව්‍යයක් බඳු ය. ඒ වනාහී අරගලයට සහභාගී වූ වන්ටය. අරගලයේ දී මිය ගිය සගයන් විරුවන් ලෙසින් මිහිදන් වෙද්දී ජීවත්ව මිය ගිය, තවමත් ජීවත්ව සිටින එම අරගලයේ සටන් සගයන්  එක් එක් මතවාදයන්ට, දේශපාලනයන්ට අනුව විවිධාකාරයේ නිර්වචනයන් සහිත පුද්ගලයන්ය. වරෙක ද්‍රෙහීන් ලෙස ද, සංශෝධනවාදීන් ලෙස ද, විඥ්ඥානවාදීන් ලෙස ද, තියරිකාරයින් ලෙස ද, පිස්සන්, විහිළු කාරයන් ආදී බොහෝ හැඳින්වීම්වලින් යුක්තව හංවඩු ගැසී ඇත්තේ ජවිපේ නො වන්නන් ය. සමස්ථයක් ලෙස ජවිපයට අනුව ඔවුන් ද්‍රෝහීන් ය. මේ දක්වා අප්‍රෙල් අරගලයේ උරුමය රැගෙන ආ වුන් අතර ජීවත්ව සිටින හෝ එහි සිට මිය ගිය සගයන් හැරුණු විට සෙසු අනෙකා ලඝු වනුයේ ද්‍රෝහීන්ගේ ගොඩටය. මෙම ද්‍රෝහීන්ගේ ඉතිහාසය ලියන ඉතිහාස කරුවා කවරෙක් ද? ඉතිහාසය හදාරන්නට පෙර ඉතිහසඥයා හැදෑරිය යුතු යැයි රුසියානු ඉතිහාසකරුවකු වන ඊ. එච් කාර් ඉතිහාසය යනු කුමක් ද යන අධ්‍යයන කෘතියේ පැවසීම සැලකිල්ලට ගත යුත්තකි. එක් අරගලයකට සම්බන්ධ වූ එකම සගයන්, එම අරගලයේ දින සැමරුමේ දී ම, කොටසක් ද්‍රෝහීන් ද කොටසක් විරුවන් ද වීම යන අර්ථකතනයන්ගෙන් මෙතෙක් ගොඩ නගා ඇති ඉතිහාසය ඒක පාර්ශවීය ඉතිහාසයක් බව කිව යුත් සේම, ඒ තුලින් කරන ලද සමාජ හානිය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීම, අප්‍රේල් අරගල කරුවන්ට සහ අරගලයක ආනාගත පරමාර්ත සඳහා ද වැදගත්වනු ඇත.
අප්‍රෙල් අරගලය යනු  තනි මිනිසකු ගේ හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් නොවූ අතර එය මුළු මහත් සටන් කාමීන්ගේ ක්‍රියාවලියක සමස්ථයකි. එහෙත් අප අප්‍රේල් අරගලය යන්න තේරුම් ගන්නට ඇති මතවාදයන් හා ආඛ්‍යාන මත බැස ගන්නා නිගමන මත වීරයා ද ද්‍රෝහියා ද යන්න තීරණය කරනු ලැබුවද, අදාල සිදුවීමට මෙම දෙදෙනාගේම දායකත්වය ලැබි ඇත. එහෙත් සත්‍යය යන්න එකක්ම නොවන බව තේරැම් ගන්නේ කෙසේ ද.

විරුවා පිළිබඳ ගොඩනැංවිම කෙසේ වුවද ද්‍රෝහියෙකු විම පිළිබඳ ඇති ගොඩනැංවීමේ සත්‍ය ගවේශනය කළ යුත්තකි. සත්‍ය යනු එකක් ද නැතිනම් ඊට පැති කහිපයක් ඇත් ද යන්න බැලීමේ දී ආඛයාන පිළිබඳ අධ්‍යයනය වැදගත් වේ. අප්‍රේල් අරගලය යන්න ද බහුවිධ ආඛ්‍යානයන්ගෙන් යුක්ක වූ මාහා ආඛ්‍යානයකි. අරගලයේ සිදුවීම් පදනම්ව පසුකාලිනව ඇතිවන බෙදීම්වල සත්‍ය තේරුම් ගත හැකි වන්නේ පුද්ගල ආඛ්‍යානයන් සම්ස්තය සමග ගැට ගැසිමේ දී තේරුම් ගන්නා සත්‍යට අනුවය. මේ අනුව වීරයකු වීම හා ද්‍රෝහියෙකු වීම යන සත්‍යෙය් පරමාර්ථය වන්නේ  සමාජවාදය යන සංකල්පය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීම යන්න ය. එහි දී එයට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයන් ද්‍රෝහී ගණයට නම් කළ ද, එසේ නම් කිරීමේ සත්‍යෙය් පරිසමාප්තියක් ඇත් ද යන්න පිළිබඳ සිතිය යුතුය.

සත්‍ය එකක් නොව සත්‍යයට පැති කිහිපයක් ඇති බව තේරැම් ගැනිම මෙම ගැටලුවට යම් පිටුවහලක් වනු ඇතැයි සිතමි. මෙය යම් ආකාරයකට තේරුම් ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස  රෂෝමෝන් ආඛ්‍යානවේදය (Rashomon Narrotology) යන ක්‍රමවේදය හඳුන්වාදිමට කැමැත්තෙමි. රෂෝමෝන් යනු ප්‍රකට සිනමාකරුවතකු වන අකිර කුරසාවා විසින් නිර්මාණය කරන ලද ජපන් චිත්‍රපටයකි. චිත්‍රපටයට පසුබිම් වූ, අකුතගාවා නම් කෙටිකතාකරුවා විසින් රචිත කෙටි කතාව වන රෂෝමොන්, මෙම වස්තු බීජයට පදනම් සංකල්පය වේ. කුරසාවා තම චිත්‍රපටය තුලින් කීමට උත්සාකරනුයේ සිදු විමක් වූ කල එම සිදු වීමේ සත්‍යයට පැති කිහිපයක් ඇති බවය. එයට සහභාගී වන්නාගේ දෘෂ්ටිවාදයේ සිට ඔහු හෝ ඇය දකින සත්‍යය ය පිළිබඳවය ය. සිදුවීම සත්‍යය වුව ද සිදුවීම අර්ථ කතනය කිරීමේ   සත්‍යයට ප්‍රවේශයන් ගණාවක් තිබිය හැකිය. සිද්ධිය නැතිනම් කරුණ (Fact) අර්ථකථනය කරන්නා සහ කරනු ලබන විදිය අනුව සත්‍යය වෙනස් විය හැකිය.

ප්‍රස්තුතයට අදාලව අප්‍රේල් අරගලයේ ද්‍රෝහීන් වීමේ හෝ විරුවන් විමේ සත්‍යය කාගේ සත්‍යයක් දැයි තේරුම් ගැනීමට අවශ්‍ය කාල වකවාණුවක් වන්නේ, එය එක් අධිපති මතවාදයක බලයෙන් යටත්කර, නිහඬ කර, මර්ධනය කර ඇති බොහෝ අප්‍රේල් අරගලකරුවන්ගේ දැනුම, ඥාණය, අවංකත්වය, කැපකිරීම, පරමාදර්ශිභාවයන් විලෝමය ද සත්‍යයක් යන්න පසක් කරමින් සිටින බැවිනි. ගොඩනංවන ලද ඉතිහාසය හා එහි ක්‍රියාකාරීත්වය විසින් අනෙකා පිළිබඳ කරන ලද අර්ථ ගැන්වීම් දෙස නැවත හැරී බැලීමේ වැගත්කම සමාජීයව හා දේශපාලනිකව වැදගත්විම තුල පැරැණි ඉතිහාසයේ ගොඩනැංවීම් ප්‍රශ්න කිරීමට බලකරමින් සිටිනු ඇත. ඒක පාක්ෂික බලාධිකාරී මතවාදයක් විසින් පටවා ඇති පරම සත්‍ය  නැමැති මිණුම් දණ්ඩෙන් මැන ඇති සියල්ල සාපේක්ෂ සත්‍ය සොයා ගැනීමට අන්ධබවින් එලියට පැමිණිය යුතුව ඇත. එය මෙම යුගයේ නව දේහපාලනය සඳහා වන ප්‍රගතිශීලී පියවරක් ද වනු ඇත.
අප්‍රේල් අරගලය අසාර්ථක උත්සාහයක් වීම හේතුවෙන් අති බහුතරයක් වූ ක්‍රියාකාරීන්ට හිර ගෙවල් හිමිවිය.වධ බන්ධන උරුම විය. අරගලය සිදු වූ අයුරු, නායකත්වය ක්‍රියා කළ අයුරු සහ මතවාදයන් පිළිබඳව හිර ගෙවල් තුල මෙන්ම ඉන් පිටතදී එසේම වෙනත් හේතූන් නිසාවෙන් ද ජවිපේ නායකත්වය සමග විසන්වාධයන්ට ලක්විය. බොහො පිරිස් ක්‍රමිකව තමන්ගේ පක්ෂයෙන් වෙන්වීම හා වෙන් කිරීම තුල අනෙකා බවට පත් වූ අතර ජවිපේ දැක්මෙන් ඔවුන්ව ද්‍රෝහීන් බවට පත්විය. මෙම ද්‍රෝහින්ගේ ඉතිහාසය යනු තවමත් ශුද්‍ර ඉතිහාසයකි. එහෙත් මෙම ද්‍රෝහීන් ප්‍රමුකව සියලු දෙනා විසින් අප්‍රේල් අරගලයේ දි බිහිකළ සමාජ දේශපාලන සංස්කෘතිය වැදගත් සලකුණක් ලෙස ද ඉන් පසු පශ්චාත් අරගල යුගය තුල සමාජ චින්තනයේ දිශාව වෙනස් මානයකින් ද සලකුණු කරන්නට විය. දේශපාලනය හා ප්‍රතිපත්ති, කලාව හා සාහිත්‍යය ද, භාෂාව හා සම්ප්‍රදායන් ද වෙනස් කෝණයන්ගෙන් විග්‍රහවන්නට විය. ලංකාව තුල කේන්ද්‍රෙය් සිට පරිවාරය දක්වා මෙම චලනය සිදුවිය. කැරලිකරුවන්, අරගලකරුවන්, විප්ලවාදීන්, චේගුවෙරාකරුවන් යන අන්‍යයතාවලින් පමණක් නොව ත්‍රස්තවාදීන් යන නාමය ද මුලින්ම යොදන්නට ඇත්තේ (නිවැරදි නම්) මෙම අරගල කරුවන්ට විය හැකිය. (මගේ මිතුරෙකුගේ මැදිරිගිරිය ගමෙහි කැරැල්ලට සහභාගී වූ   පුද්ගලයෙකුට කැරැල්ලෙන් පසු භාවිත කර ඇති අන්වර්ථ නාමය ත්‍රස්තවාදි අත්තා යන්නය. මැත දේශපාලනයේ දී ඔහුගේ මුනුපුරාද ත්‍රස්තවාදීයෙකු ලෙස හංවඩු ගසද්දී, ඔහුව ත්‍රස්තවාදියෙකුම කරමින් විරුද්ධ වී ඇත්තේ ත්‍රස්තවාදි අත්තාගේ පවුලම බව මිතුරා සඳහන් කරන්නේ එහි ඇති උත්ප්‍රාසය ජනනය කරමිනි.)
රටක රාජ්‍යයකට, එවකට රැජිණගේ ව්‍යවස්ථාවට එරෙහිව කැරළි ගැසූවන් රාජ්‍යෙය් මතවාදවය විසින් සමස්ථයම ද්‍රෝහීන් ලෙස නම් කිරීම  තේරුම් ගැනීම හා අරගලය හා එහි ව්‍යුහය තුලම ද්‍රෝහීන් තේරුම් ගැනීම වෙනත් අර්ථයකින්  කළ යුත්තකි. කැරැල්ලෙන් පසුව කණ්ඩනය වු සමස්තය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ලෙස වර්ධනය වීම අද දක්වාම ලංකා සමාජයට බලපෑම් සහගත වි ඇත.

පළමුකොටස රෝහණ විජේවිරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස ද (එයින් ද කලින් කලට කැඩී වෙන්වන්නට විය). දෙවැන්න, ජවිපේ සමඟ එක් නොවූ පිරිස අනෙකා බවට පත් වූ සියල්ල ද්‍රෝහින් ලෙස අනන්‍යවන්නට විය. තුන්වැන්න ඉහත දෙකටම අයත් නොවී නිහඬව සමාන්‍ය ජීවිතයට හුරුවන්නට විය.
මෙහිදී අවධානය යොමු කළ යුතු කොටස වන්නේ මෙම ද්‍රෝහීන් කොටසය. ඔවුන් ද්‍රෝහීන් බවට පත් වූයේ කෙසේ ද, ඔවුන් පිළිබඳ ගොඩනංවන ලද ඉතිහාසය කාගේ ඉතිහාසය ද, ඔවුන් අප්‍රේල් විරුවන් වන්නේ ද නොවන්නේ ද, එය කාගේ මිනුම් දණ්ඩෙන් ද. මෙකී අවබෝධය වැදගත් වන්නේ සමාජ භාවිතාව හා ඉතිහාසය විසින්  සමාජය හා මිනිසුන්ව නිවැරදිව දකින්නන් වූවන් සම්මා දිට්ඨිවාදින් ලෙසත් වැරදිව දකින්නන් වූවන්  මිථ්‍යා දිට්ඨිවාදින් ලෙසත්  ඉතිහාසගත කරනු ලැබ ඇති අතර  මෙහිදි  විමසිය යුත්ත වන්නේ මෙම ප්‍රවදයන්ගේ සත්‍යය විලෝමය බවට පත්විමේ සමාජ විපර්යාසයක් අප හමුවේ ඇති නිසාවෙනි. විරුවන් ද්‍රෝහින් ද, ද්‍රෝහීන් විරුවන් ද විම තුල අප්‍රේල් විරුවන් යනු මිය ගිය අය පමණක් ද නැති නම් ජීවත්ව සිටින්නන්  රෂෝමාන් ආඛ්‍යානවේදයට අනුව ද්‍රෝහීන් හෝ විරුවන් කර ගත හැකිය. ඉතිහාසය ලියන්නාට අනුව කුමක් ලීවද කියවන්නාගේ කාර්්‍යෙය් කොටසක් වන්නේ ලියන්නා ද කියවිමය. සත්‍ය ඇත්තේ ඔහුට හෝ ඇයට අනුවය.
මේ අනුව වසර හතලිස් දෙකක් ගෙවෙන මෙම අප්‍රේල් සැමරුමේ සමාජ අර්ථයට ප්‍රවාදයන් තුනක් එක් කිරිමට කැමැත්තෙමි.
1.      විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහීන් වීම අඩු වැඩි ලෙස
2.      ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි ලෙස
3.      හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතු වීම.

පළමු ප්‍රවාදය- විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහින් වීම අඩු වැඩි ලෙස

ප්‍රවාදයට හේතු- මෙතෙක් වසර හතලිස් දෙකක කාලය පක්ෂයක් ලෙසත්, හැත්තැ එකේ අරගලයේ දිගුවක් ලෙසත් සමාජය විනාශයට මිස මිනිසාට ආදරය කිරීම වෙනුවට වෛරය හා හිංසනය මුදාහැරිම. මානවවාදය වෙනුවට ජාතිවාදය ද ඒ නිසාම ෆැසිස්ට්වාදය ද, අවබෝධය වෙනුවට අන්ධභාවය ද හිමිකර ගැනිම හා භාවිතය
සමාජවාදී,මාක්ස්වාදී කොමියුනිස්ට්  යැයි කියමින් මාක්ස්වාදි කොමියුනිස්ට් විරෝධි වෙමින්  විශාල ජන සංහාරයකට ප්‍රධාන කොටස්කරුවන් වීම. වරෙක තමන්ගේම නායකත්වය විසින්ද දෙවැනුව මර්ධනකාරී රාජ්‍යයට සක්‍රීය ලෙස සහාය දෙමින් ද කටයුතු කිරීම. අවම වශයෙන් ඒ පිළිබඳ හැරී බැලිමක් නොකිරීමේ මුග්ධත්වයෙන් පසු වීම. පැරැණි වමට එල්ලකරන ලද විවේචනය, භාවිතාවේ දී තමන් ඊටත් එහා ප්‍රතිගාමිත්වයකට ගමන් කිරීම. සබෑවටම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න කල්පනා කිරීම.

දෙවැනි ප්‍රවාදය- ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි වශයෙන්
ප්‍රවාදයට හේතු- මොවුන් නිහඬවූවන්ගෙන් ද විරුවන්ගෙන් ද ද්‍රෝහින් වන්නේ විවිධ මත දරන්නන්විම හා ක්‍රියාකාරී දේශපාලනය හා වෙනත් සමාජ කටයුතු කිරීමය. එසේම ද්‍රෝහීන් වනුයේ අරගලය තුල නොව පශ්චාත් අරගල අවධියේ දි ය. හිර ගෙවල්වල ඇතිවන සංවාදයන්ගේ දී හා ඉන් පිටත ද, කාලයෙන් කාලයට ය. ද්‍රෝහීන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ කුමන හෝ හැකියාවක් දක්ෂකමක් ප්‍රකට කිරීම. හිර ගෙවල් තුල දී අධ්‍යාපනය ලැබීම හා ඉන් පිටදී විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවිණයන් බවට පත්වීම හා වැඩි වශයෙන් හිංසනය පිටු දැකීම, ජාතිවාදයට විරුද්ධ වීම හා මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාපේක්ෂ අර්ථයෙන් හෝ පෙනී සිටීම. යුධ විරෝධී වීම සහ සමාජය සමස්ථයක් ලෙසත් ශුද්‍ර වශයෙනුත් තේරුම් ගැනීමට ප්‍රවණතාවත් දැක්වීම. මෙහිදී නම් සඳහන් නොකළ ද ප්‍රධාන පෙළේ නායකත්වයේ සිටි පුද්ගලයන් බුද්ධිමතුන් වශයෙන් විවිධ විෂයයන්ගේ කළ ප්‍රශස්ථ නිෂ්පාදනයන් (ප්‍රවාදයන්) විරුවන් විසින් යටපත් කිරීම. අදට පවා ඔවුන්ගේ අදහස්  පක්ෂ කාඩරයට හරාම් කර තිබීම හා ඔවුන්ව පීළිබඳ ගොඩනංවා ඇති චිත්‍රය සම්ප්‍රධායක් ලෙස පවත්වාගෙන යෑම, දේශපාලන කුහකත්වය හා දැනුම හා ඥාණය පිළිබඳව ඇති හිදැස පියැවීමට අසමත් විම. යම් පිරිස් සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී නොසිටිය ද, සමාජ වාදය සමාජ පරිනාමයේ අවධියක් ලෙස කල්පනා කරන්නේ නම්, එම පරිනාමය සඳහා වෙනත් ආකාරයෙන් දායක වන අතර, වැරදි භාවිතාවන් සහිත සමාජවාදින්ට වඩා ප්‍රගතිශිලි නොවන්නේ ද යන්න සිතිය යුත්තකි.

තුන්වැනි ප්‍රවාදය- හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතුය
ප්‍රවාදයට හේතු- අරගලයේ අත්දැකීම් පදම්කරගත් පොතපත  පුද්ලගලික වශයෙන් ඉතා ස්වල්පයක් බිහි ව තිබුණ ද මතු පරපුරටත්, බහුවිධ ආඛ්‍යානවේදයකින් නිවැරදි කියවිමකට ඇති සමාජීය අවශ්‍යතාව හා වගකීම නිසා, වියැකී යන අප්‍රේල් පරපුරේ කතාව සාර්ව(macro) වේවා ශුද්‍ර(micro) වේවා අඛ්‍යානගත වීම සම්‍ය දෘෂ්ටිය මිථ්‍ය දෘෂ්ටිය වීමටක් එහි විලෝමය වීමට හෝ තුන් වැන්නක් වීමටත් මෙම අත් දැකීම් උපස්ථම්භක වීම. සංවේදී බවේ සිට වීරත්වයත්, අනවබෝධය, අවංකත්වයත්, ත්‍රාසය හා හිංසනයත්, ආධුනිකත්වය හා නිර්මාණාත්මක බවත් ඇතුලු මෙකි නොකි බොහෝ  ජීව ගුණයන් කැටිව ඇතැත්  එය සමාජ ගත විමේ අවමය වීම නිසා අප්‍රේල් අරගලයට තවමත් සාපේක්ෂ සාධාරණයක් ඉටු වී නොමැත.

අප්‍රේල් අරගලය එම අරගලයේ ස්වකීය ඉතිහාසයේ ගුණයෙන් සැමරීම වෙනුවට, එහි පරමාර්ථ හා ආත්මීය ගුණයන්ට පටහැනිව මහා ධහරාවේ සැමරීම් සිදුකිරීම අප්‍රේල් අරගලයට ද, මිය ගිය හා ජීවත්ව සිටින් එහි සැබෑ සටන් කරුවන්ට ද කරනු ලබන අසාධාරණයක් වන අතරම ඉතිහාසකරුවාට ඇවැසි පරිද්දෙන් ගොඩනංවනු ලබන මතවාදය  මිත්‍යා දෘෂ්ටියක්ම වෙමින් අනාගතය නැවත නැවත හොල්මන් කරනු ඇත. එහෙත් අන් සියල්ල නිශ්චලව නොපවතින බැවින් සත්‍යෙය් ඇති තවත් පැතිවල ඇති ආලෝකයෙන් අඳුර දුරු කිරීමට, අඳුර දුරු කරවීමට බල නොකරන තාක්, සිදු නො කරන තාක්, අප මේ අත් විඳින සමාජ අගතිය තව තවත් නපුර වෙතම වර්ධනය වනු ඇත.

හතලිස් දෙවැනි අප්‍රෙල් විරු සමරුවට සාධාරණ අර්ථයක් දිය හැකි වන්නේ  මිය ගිය විරුවන් ද, ජීවත් වන අප්‍රේල් අරගලයේ පරම්පරාව දෙස බහු විධ ආඛ්‍යානවේදය නොහොත් රෂොමොන් අඛ්‍යානවේදයෙන් යුතුව පුද්ගලයා ද ඉතිහාසයද තේරුම් ගැනීමෙන් පමණකි. අලුත් සමාජයකට මළකඩ කෑ පටු දෘෂ්ටිවාදයන්ගෙන් ප්‍රයෝජයක් අත් නොවනු ඇත. අප්‍රේල් සැමරුමට නව අරුතක් ලැබෙනුයේ අවංකව උවමනාවෙන් හා බුද්ධිමත්භාවයෙන් යුතුව හැරී බලමින් ක්‍රියාකිරීමෙන්ම පමණකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon











Monday, April 1, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන...

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන...: දැ න් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙ...

Sunday, March 31, 2013

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම




දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම් කරමින් සිටී. ජාතිවාදය හා අවස්ථාවදය ද, බලය හා මුග්ධත්වය ද යන ගැටලුවන් පිරි ඇති නූල් බෝලය නැමැති ලංකා සමාජය ගැට ගැසී ඇති ස්වභාවය හා එම ගැට ලෙහා දැමීමට ගන්නා ක්‍රියා මාර්ග වෙනුවට, ඉවසිල්වන්ත කමක් හා ගැට ලෙහීම සඳහා ක්‍රමවේදයක් නැති තැන කරනු ලබන සරල දෙය වන, ගැට තවත් තද කිරීම කරමින් සිටී.යුද්ධය නැමැති ගැටයට වැඩිම කාලයක් හිරව ඒ හේතුවෙන් ඇති වූ තවත් ගැට රාශියක අඩංගුව බවට මෙකී නූල් බෝලය පත්ව ඇත. ලෙහා දැමීමට හැකි ගැට පවා ලෙහා දමන බව පෙන්වමින් කරනු ලබන්නේ, එම ගැට තව තවත් තද කරමින් සිටීමය. එනම් ගැටලු යටපත් කිරීමය. මර්ධනය කිරීමය. අවසානයේ දී ඒවා කපා දැමීමය. නැතිනම් විනාශ කිරීමය. කපා දැමීම සිදුවන්නේ කිසිවක්ම කරකියාගත නොහැකි වූ විටකය.
දැන් කල්පනා කළ යුත්තේ සැබැවින්ම අප පසුකරමින් සිටින්නේ එම අවධියේ ද යන්න ය. එම කල්පනාවට උත්තරය නම් ඔව් යන්න ය. ලෙහන්නට බැරි, ලෙහන්නට උවමනාවක් නැති, එය සමඟ සෙල්ලම් කරන රාජපක්ෂ ඔබරය වැල්ලේ කැරකෙන්නේය. නොයෙක් ආකාරයේ මැජික් සංදර්ශන වලින් ආකර්ශනය ලබා ගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව පවතී. හිරි වැටුණු සමාජය එදිනෙදා අරගලයට එක්ව ජීවිතයේ ශිකරය තරණය කරද්දී, ඔවුන්ව සතුටු කිරීමට පහසුම මැජික් සංදර්ශනය වන ජාතිවාදය අලුත් ආකාරයකින් කරලියට ගෙනවිත් ඇත. සුළු ජාතීන් දෙකක් දෙපස තබා ගෙන සිංහල මහ ජාතිවාදය විසින් ඔවුන්ව පාලනය කිරීම හා එහි ප්‍රතිවිරෝධයන් තම පැවැත්මේ අනාගත ආශිර්වාදය කරගැනීමට රාජපක්ෂ පවුල් පාලනය සිය උපාය මාර්ගය කර ගන්නේ නම්, ඔහුගේ පමණක් නොව මුළු මහත් සමාජයේ ඛේදවාචකය අලුත් වටයකින් ආරම්භ වීම නොවැලැක් විය හැකි වනු ඇත.
නිදහසින් පසු ලංකාව සරළ සමාජ වර්ගීකරණයකට ලක් කළ හොත් විවිධ විෂයයන් හා කාලවලට අනුව බෙදා වෙන්කර එකට මුසු කර විග්‍රහ කළ හැකි අතර එම වර්ග කිරීම් බෙදීම් හා න්‍යායගත කිරීම සියල්ල එකට මුසු වූ එකම තැනක් බවට පත්ව ඇති යුගය ලෙස රාජපක්ෂ පාලන කාලය වන මෙම විනාශයේ  අරම්භක යුගය ලෙස සැකිය හැකිය. මතුපිටින් දකින ආගන්තුකයෙකුට හෝ ඉතාලියේ සිට මැදපෙරදිග සිට නිවාඩුවක් ලබා මව්බිමට පැමිණෙන සිංහ කොඩිය අතට ගත් සිංහල බෞද්ධයෙකුට ද යුදධයේ පිහිටෙන් සරණාගතව යුරෝපා රටක පුරවැසිකම ගත්ත හා පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව ආරක්ෂාකාරී දේශපාලනයට අනුගත වූ දමිළ සංචාරකයන්ට නම් ලංකාව දියුණුව කරා යන සේද මාවතකි. එසේම වංචාවෙන් දූෂණයෙන්, දේශපාලනික පිහිටෙන් කූඨ ව්‍යාපාර, කුඩු ජාවාරම්කරුවන්ට නම් ආශ්චර්යයක් වී ඇත. එහෙත් රටක්, සමාජයක්, සංස්කෘතියක් කියා කියනු ලබන්නේ එයට නම් ලංකාව දියුණව කරා ගමන් කරන අඩු ආයුෂ සහිත රටකි. එහෙත්  ඊට වඩා වෙනස්ව බුද්ධිමත්ව සන්සුන් සිතින් රටක් ලෙස සමාජයක් ලෙස මනුෂ්‍යයින් ලෙස කල්පනා කරන්නන්ට අවශ්‍ය නම්, මෙම ගෙවී යන නිමේෂය පිළිබඳව ඇති වන්නේ තැති ගැන්මකි.බියකි. දුක මුසු වූ තරහකි. අපේක්ෂා භංගත්වයකි. චලිතයේ ස්වභාවය අනුව මොනයම් ආකාර හෝ යහපතකට නැමීයාවක් දක්වන ස්වභාවයක සලකුණක් නැත. මෙම තත්ත්වය යහපත උදෙසා හැරවීමේ ක්‍රමවේදයක් ද නැත. තිබෙන ක්‍රමවේද ප්‍රමාණවත් නොවන අතර එය මාරාන්තික රෝගයක් ඇති ලෙඩෙකුට දෙන පැනඩෝල් පෙත්තක් වැනි ය. එම නිසා දැන් උදා වී ඇත්තේ  හදිසි අවස්ථාවකි. 

හදිසි අවස්ථාව හඳුනා ගැනීම
සිදු වෙමින් යන විනාශය විසින් අනාගතයේ  සිදුවීමට නියමිත විනාශය හඳුනා ගැනිම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. බහුතර සමාජය විනාශයේ සහභාගී  කොටස් කරුවන්  වීම තුල මෙහි ඇති අනතුරේ ප්‍රමාණය දැනෙන්නේ නැත. සමාජ විනාශය සඳහා සහභාගිත්වයෙන් මෙපිටට විත් ඊට විරෝධය දක්වන්නාගේ ආස්ථානයට ගොනු කිරිම හදිසි අවස්ථාව සඳහා ඇති දේශපාලනික ක්‍රියා මාර්ගය වනු ඇත.  එහෙත් දිනෙන් දින දකින්නට ලැබෙන සිදුවීම් මඟින් ගම්‍ය කරන යථාර්ථය වන්නේ විරුද්ධාභාෂයය.  
 එලියෙන් හා කාර්කික ඥාණයකින් බැලීමේ දී ලංකා සමාජ දයලෙක්තිකය ඉතා කැමැත්තෙන් තෝරා ගෙන ඇත්තේ විනාශයමය.  මෑත ඉතිහාසයේ අත්දැකීම්වලට අනුව අප හැම සියලු දෙනාට සමාජයක් ලෙස මිනිසුන් ලෙස ජීවත් විමට ඉගෙන ගත හැකි පාඩම් ඉතිහාසය විසින් ඇති තරම් කියා දි තිබුණ ද නැවතත් එවැන්නකටම අත වැනීමේ සංඥාවක් ලෙස බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායම් මතු වීම හා ඊට රාජ්‍ය අනුමැතිය හා නිහඬතාවය විසින් සාධාරණීයකරණය කර ඇත. නීතියක් යුක්තියක් ධර්මයක් නැති සමාජයක බිහිවනු ඇත්තේ ම්ලේච්ඡයන් පිරිසකි. එය දිනෙන් දින පෙන්නුම් කිරීම මුළු මහත් සමාජ දේහය පුරාම පැතිර ඇත. හිංසනය ජාති මාමක වීර ක්‍රියාවක් බවට පත් කරමින් සාධාරණිය කරණය කිරීම රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ භයානක ප්‍රවණතාව පැපිලියාන සිද්ධියේ දී සිහිගන්වනු ඇත්තේ  83 ජූලි කෝලහාලයය. බෞද්ධ සංඝයාවහන්සේ නමක් ගල්වලින් අදාල ගොඩනැගිල්ල විනාශ කරද්දී, පොලිස් ආරක්ෂකයින් බලාගෙන සිටිති. ඇත්තටම සමහර විට පොලිසියට එම අවස්ථාව පාලනය කිරීමට උවමනාවක් තිබුණ ද එසේ කළ නොහැකි වී ඇති අදිසි බලයේ පාලනය සම්මත නීතියෙන් ඔබ්බට ගොස් ඇති බව කදිමට පෙන්වන අතරම, එයින් ගම්‍ය කරන නපුර මොන තරම් විශාල විය හැකි දැයි අද ගණන් බැලීම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. ඒ අනුව හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීම, සාමාන්‍ය අවස්ථාවක දී ක්‍රියා කරන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. ගෙයක් ගින්නකට හසුව ඇති විටක, මුලින්ම කළ යුත්තේ ගිනි නිවා දැමීමට ක්‍රියා කිරීමය. එවැනි අවස්ථාවක් වනාහි කොන්දේසි විරහිත තත්ත්වයකි. වාද බේදකම්, දර්ශන මතවාද පසෙක ලා අනතුරින් ගෙදර ගලවා ගැනීම ය. මේ මොහොත තවත් ගින්නක් ඇවිලිමට පටන් ගන්නට සැරසෙන වෙලාවකි. දේශපාලනයේ දී මෙම තත්ත්වය කෙසේ වැදගත් වේද, කෙසේ ක්‍රියා කළ යුතුද යන්න විවාධ සම්පන්න කාරණයක් වුවත් විනාශයේ හදිසි අවස්ථාව  දැන් සමාජීය වගකීම අභ්‍යන්තරික වශයෙන් ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. එනම් ආරාක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම( Responsibility to Protect) යන මානව වාදී සංකල්පය පිළිබඳව දේශීය දේශපාලනය තුල සිතා බැලීමය.

සාමාන්‍ය ලෙස මෙම වගකීම පවතින්නේ ගැටලුව පවතින රටෙහි රාජ්‍යයටය. සියලු ජනයාගේ වගකීමට නෛතිකව බැඳී ඇත්තේ වෙනස්කමකින් තොරව සැලකීමටය. වර්තමාන රජය දෙමළ ජනයාගේ සුවිශේෂී වූ මූලිකම අයිතිවාසිකම් පවා කඩකරමින් පීඩිතයන් බවට ද ඔවුන් තවදුරටත් සවකීය රටවැසියන් ලෙස කල්පනා කරනු වෙනුවට යටත් වැසියන් කර ඇති අවස්ථාවක් එක් පසකින් නිර්මාණය කර තිබෙන අතර අනෙක් පසින් එම ලබ්බට තැබූ අතම පුහුලට තැබීමේ අවස්ථාව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හා ආරක්ෂාව සැලසෙන බව සාක්ෂි සහිත රහසකි. මෙකී රාජ්‍ය ආරක්ෂාව සරල බවේ සිට සංකීර්ණත්වය දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ඓතිහාසික සාධක ද සිය පැවැත්ම පදනම්කර ගෙන ජාතියේ ආරක්ෂාව බවට විතැන් කිරීම නැවත වටයකින් කළ හැකිය. ඒ සඳහා වන නියම මෙවලම අන්කිසිවක් නොව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයම ය. ලෝකෝත්තර දර්ශනයක් ලෙස බිහිව ව්‍යාප්ත වූ බුදු දහම, ලාංකීය සංදර්භයේ දී රාජ්‍ය සමඟ මිශ්‍රව ලෞකික ආයතනයක්  වීමෙන් හා ආගම හා රාජ්‍ය අනතර් පැවැත්මක් ඇති කරගැනීමේ ඓතිහාසික සංදර්භයේ දී ඇති වූ දෘෂ්ටිවාදය එහි ප්‍රකාශනය වන්නේය. ආගම බුදු දහම වන විට රාජ්‍ය සිංහල වීම තුලින් උපන් සිංහල බෞද්ධ මතවාදය රාජ්‍යෙය් මතවාදය බවට පත්වීම යනු ෆැසිස්ට් තත්ත්වයකි. පාලකයා හා රාජ්‍ය ෆැසිස්ට් වීම හා මහ ජාතියේ දෘෂ්ටිවාදය ෆැසිස්ට් වීමෙන් ඇතිව ඇති ප්‍රතිථලය වන්නේ   මහ සමාජය ද ෆැසිස්ට් වීම ය.
ෆැසිස්ට්වාදයේ නැඟීම
 එම නිසා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම යන ප්‍රවාදය රාජපක්ෂ පවුල් රාජ්‍යයට වලංගු වන්නේ නැත. එබැවින් මෙම අවස්ථාව හඳුනා ගැනීම පවුල් රාජ්‍යය  හැරුණු විට සෙසු දේශපාලන බලවේගවල වගකීමේ කොටසකි. රාජ්‍යයක්, පාලකයෙක්, පාලක පවුලක් හා සමාජයක් මහ ජාතියේ  ෆැසිස්ට් හිස්ටීරියාවෙන් පෙළෙමින් සිටින අවස්ථාවක දී, දේශපාලනය කිරීම යනු තමන් සිතා සිටින පරමාදර්ශිය, අනාගත අපේක්ෂණයන් සහිත ව්‍යාපෘතිය නොවනු ඇත. එසේම එයට අවස්ථාව ද නො සලස්වනු ඇත.
එල්ටීටීය විනාශ කිරීමෙන් පසුව උතුරේ දේශපාලනය කිරීමට සැලසුම් කළා නම්, එම ෆැසිස්ට් සැලසුමේ ප්‍රතිපලයේ යථාර්ථය දැන් තේරුම් ගත හැකි ය. අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තවාදී ක්‍රියාවන් තුලින් ඇති කරනු ලබන විනාශයෙන් අප්‍රසාදයෙන් අඩපණ වන ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට න්‍යාය සැකසෙන දේශපාලනය ද, පාලකයන් මාරු වීමෙන් හෝ ආණ්ඩු මාරු වීමෙන් තමන්ට බලයක් ලාබා ගත නො හැකි බැවින් විනාශයෙන් පසුව ඇතිවන අලුත් තත්ත්වය තමන්ට අවකාශය උදාකර දේ යන න්‍යායෙන් න්‍යාය සැලසුම් කරන දේශපාලනය ද, එක් සුළු ජාතියකට විනාශය සිදු වෙද්දී අනෙක් සුලු ජාතිය මහා ජාතියේ හිංසනයට සයෝගය දීම යන විනිච්ඡයෙන් දැන් උඹලගෙ වාරය යන නිහඬ සතුටු සිතිවිල්ලේ ඇති දමිළ දේශපාලනය ද, මේ සියල්ල තුල විදේශ මැදිහත් වීමකින් වෙනසකට බලාපොරොත්තු තබන දේශපාලනය ද යන මෙකී නොකී න්‍යාය පත්‍රවලින් වර්තමානයත් අනාගතයත් නිශ්චය කරනු ඇත. එහෙත් එයට ඉඩක් ලැබේද, අවකාශයක් ඇති වේද යන්න මෙම හදිසි අවස්ථාවම තීරණය කරනු ඇත.
පාලක පංතීන් මෙන්ම සෙසු බලවේගයන්ද අධිනිෂ්චය වන්නා වූ ප්‍රධාන සමාජ දයලෙක්තිකය තම උපාය මාර්ගය බවට පමණක් පත්කර ගනිමින් දේශපාලනය තේරීම යනු තම අරමුණට ලඟාවිම නොව තමන් ඇතුලු සමාජයම විනාශයකට ගමන් කිරීමකි. මන්ද රට ඇත්තේ ෆැසිස් තත්ත්වයකය. මෙය තේරුම් ගැනීමට  ෆැසිස්ට්වාදය  යන්න පිළිබඳව ද තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මෙම යෙදුම  මුලින්ම භාවිත කරනු ලැබුවේ ඒකාධිපති දක්ෂිණාංශික  ජාතිවාදී පාලන ක්‍රමයන් වූ ඉතාලියේ මුසොලෝනි ( 1922-43), නාසි ජර්මානු පාලන කාලයේ දී වූ අතර ස්පාඥ්ඤයේ ෆ්‍රැන්කෝ ද ෆැසිස්ට්වාදීන් වීය. ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්‍රෙෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත්, ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමත්, බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්‍රෙව්ශයකට ඇතුලු වීමේ  ප්‍රවණතාවය දක්වනු ඇත.
එසේම ජෝර්ජ් ඕවල්ගේ විග්‍රහයට අනුව, ජාතිවාදය යන්න විශ්වීය ලෙසම සලකනු ලබන්නේ නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී ලෙසය. නමුත් මෙය ජාතික ව්‍යාපාරයන්ට ආදේශ කිරීමේදී ප්‍රකාශකයා ලෙස පිළිගැනීම නොකරීම තුල පමණක් පවතිනු ලැබේ. අරාබි ජාතිවාදය. පෝලන්ත ජාතිවාදය, ෆින්ලන්ත ජාතිවාදය, ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය, මුස්ලිම් ලීගය, යුදෙව්වාදය, සහ අයි. ආර්. ඒ යන සියල්ල විස්තර කරනු ලබන්නේ ෆැසිස්ට්වාදි ලෙස නමුත් එකම ජනතාව ලෙස නොවෙති.

බැලූ බැල්මට අර්ථකථනය කිරීමට හෝ තේරුම් ගැනිමට නොහැකි බවක් ෆැසිස්ට් ක්‍රමයක් තුල දක්නට ලැබීම සුවිශේෂත්වයක් ද වන අතර ආර්ථික දියුණුවක් ද පෙන්නුම් කරනු ලැබේ. අනෙක් අතට ෆැසිස්ට් යන සංඥාර්ථයෙන් ජර්මනිය ඉතාලිය මතකයට නැඟුණ ද, ෆැසිස්ට් සමාජයක් නිශ්චිත නිර්වචයකට යටත් කිරීමට ද අසීරු බවට ද නිදසුන් ඇති අතර ලංකාව ද අප හමුවේ ඇති තවත් නිදසුනකි. ඉතාලිය, ජර්මනිය හා ස්පාඥ්ඥය සම්බන්ධයෙන් ට්‍රෙට්ස්කිගේ විග්‍රහයට අනුව පොදු ලක්ෂණයක් වන්නේ සුළු ධනේෂ්වර කොටස් වන නව මධ්‍යම පංතික කොටස්, රාජ්‍ය ආයතන හා පරිපාලන, පුද්ගලික අංශවල කොටස් ඉතා පහසුවෙන් මෙම බහුජන ව්‍යාපාරයන් සඳහා යොමු වීම කැපී පෙනෙන්නකි. එක් අතකින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රෙමයේ දී ලාභය හා තරඟය අතර ඇති ගැටුමේ එක් ප්‍රතිථලයක් යැයි ද බොදුබල සේනා වැනි ෆැසිස්ට් කල්ලි මෙහෙයවන ආකාරයෙන් පෙනී යන්නකි. මුස්ලිම් වෙළෙඳ ආර්ථිකයට බෞද්ධ වෙළෙඳ ආර්ථිකය මහා ජාතියේ උරුමයක් ලෙස කඩා පැනීම මුස්ලිම් විරෝධයේ එක් වැදගත් ලක්ෂණයක් ද වන්නේය.


බුද්ධිමතුගේ නායකත්වය

මෙම භයානක තත්තවය තව තවත් වර්ධනය විමට ඇති ප්‍රවණතාත්මක වර්ධනයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ද, සම්ස්ථයක් ලෙස පවතින පාලන ක්‍රමයේ විනාශකාරීත්වය හේතුවෙන් ද විය නොහැකි බලකිරීමකට පවත්නා දේශපානයන්ට එක් විය යුතු යැයි යෝජනා කළ යුතු වුවද පවත්නා දේශපාලනික සතුරුභාවයන් හේතුවෙන් එක්වීම යන්න අති මහත් දුෂ්කර තත්තවයක් වුවද, තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ගෙන් වියුක්තව පොදු නපුර පැරදවීමට අවශ්‍ය ක්‍රමවේදයකට සූදානම් විම ප්‍රගතිශීලින්ගේ කාර්යභාරයක් ද වන අතර මෙතෙක් සමාජයේ නිහඬව සිටින බුද්ධිමතුන්ගේ පුනරුදයකට කාලයක් ද වනු ඇත. පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසය බිඳිම හා පලුදුවිම තුල දැන් කළ යුතුව ඇත්තේ රටෙහි යහ පැවැත්ම උදෙසා යාණ්ත්‍රණයක් සැකසීම හා එය ජයග්‍රහණය කරවිමට අවමයේ සිට උපරිමය දක්වා කැප කිරීමය. ඒකාධිපතිවාදයෙන්, ෆැසිසිට්වාදයෙන්, පවුල්වාදයෙන් යුක්ත විනාශයෙන් රට බේරා ගැනීමට සාමුහිකත්වයෙන් තොරව ජයග්‍රහණයත් නොමැත. එසේම දාර්ශනිකයන් පාලකයන් වන තුරු හෝ ලෝකයේ පාලකයන්ට හා කුමාරවරුන්ට දර්ශනයේ බලය හා ආත්මය තිබෙන තුරු, සෙසු ලෝකය පාපයෙන් තුරන් නොවනු ඇත. ප්ලේටෝ නම් දාර්හනිකයාගේ මෙම අදහසේ යථාර්ථය ලංකාවට අතිශය වලංගුවක්ව ඇත. ඥාණවන්තයින්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා දාර්ශනිකයන්ගේ සේවාව අවශ්‍ය කරන හදිසි අවස්ථාවකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon








Thursday, March 21, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය: ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය,   සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන...

අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය





ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය,  සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු ලබන නාමකරණයට දේශපාලනික අර්ථයක් ඇත. එය පශ්චාත් යටත් විජිත යන යෙදුමට ද පොදුවන අතර, ලංකාව විෂයෙහි දී, භාෂාමය ලෝකයේ නිතර කියැවෙන අලුත් වචනය වන පශ්චාත් යුද අවධිය යන දේශපාලනික හැඟවුම්කරණය පුණර්උච්ඡාරණය කිරීමේ සන්දර්භය තේරුම් ගැනීම දේශපාලනික, සමාජීය සංස්කෘතික හා ආචාර ධාර්මික වශයෙන් වැදගත් වනු ඇත. 
 
දෙදහස් නවයේ මැයි මස නන්දිකඩාල් කලපුවට කොටු කරනු ලැබූ දෙමළ විමුක්ති සටන යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශවය විසින් සළකුණු කරනු ලැබූ නිදහස, පීඩනයට පත්, අගතියට පත් ජනයාට නිදහසක් නොවී, යුද්ධය හා යුද්ධයට හේතුකාරක මූලයන් විසින් බිහිකර ඇති ප්‍රතිවිරෝධයන් හා ආකල්පයන් තවමත් ක්‍රියාත්මකව පැවතීම තුල පශ්චාත් යුද තත්ත්වය යන නාමකරණය දේශපාලනය තුල බැරෑරුම් ලෙස වලංගුව පවතී.
 
පශ්චාත් යුද තත්ත්වයෙන් මිදීමේ හැකියාව, පවත්නා මහින්ද පාලන ක්‍රමයට ඇත්තේ වුවද, එය දේශපාලනික මුග්ධබවෙහි සාගරයක ගිලී සිටීම හේතුවෙන් විසඳුමක් නො මැති තැන, යුක්තිය පසිඳලීම හා සාමය ස්ථාපිත කිරීම අනාගතයේ ඇති සිහිනයකි. එය අභ්‍යන්තරය තුලින් සාපේක්ෂක වශයෙන් පිළිගත හැකි අයුරකින් හෝ විසඳා ගිනීමට නොහැකි නම්, එය තුන් වැනි පාර්ශවයක කාර්යයක් වනු නොවනුමානය. වසර තිහකට අධික කාලයක් පුරා විවිධ හැඩයන්ගෙන් වර්ධනය වූ වාර්ගික ගැටුම හා මහා විනාශයකින් කෙළවර වූ සිවිල් යුද්ධය විසින් ඇති කරනු ලැබූ අගතිය විසින් යුක්තිය අපේක්ෂා කරන්නේය. යුක්තිය ඉෂ්ට කිරීම යන්න ජයග්‍රාහකයාගේ සාමයේ ( Victor’s Peace) වචන පෙළහර පෑමෙන් ඔබ්බේ ඇති සංකිර්ණ ක්‍රියාවලියකි.එය දේශපාලන වේදිකාවන්ගේ, එදිනෙදා පාදඩ මාධ්‍ය භාවිතාවේ, ජාතිවාදී, වර්ගවාදී පෙළඹ වීම් සහිත ව්‍යාපෘතීන්ගේ කොටසක් නොවන අතර එහි ඇති අති මහත් බර දේශීය දේශපාලනයට ඇති වගකීමක් වන්නේ නමුත් එය හරියාකාරව ඉටු නොකිරීමේ අසමාර්ථය දේශීය දේශපාලයෙන් ඔබ්බට විතැන් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියක් යන්න ලෝක ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයන්, යුධ අපරාද, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් පිළිබඳ හැරී බැලීමේදී හොඳින් පෙනී යන්නකි.

අනෙක් අතට, ලංකාව දූපතක් ලෙස සාගරයෙන් වටව වෙනම ලෝකයක් ලෙස සලකා දේශපාලනික තීන්දු ගනු ලැබුව ද, සිතාගෙන සිටිය ද, ලංකාව නැමැති ජාතික රාජ්‍ය සෑම සියලු ආකාරයකින්ම ජාත්‍යන්තරය හා ගැට ගැසී ඇත. නූතන භූ දේහපාලනය හා අන්තර්ජාතික ක්‍රියාකාරීත්වයත්, ජාතික රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හේතුවෙන් ස්වයිරීත්වය යන පැරැණි නිර්වචනය ද අර්ථ රාමුවෙන් පිට පැන ඇත. සම්භාව්‍ය ජාතික රාජ්‍යෙය් නිර්සචනයන් විනිවිද පුළුල් වීම සිදු වී ඇති බැවින් ස්වයිරීත්වය ප්‍රායෝගිකව ඇති යථාර්ථය කුමක් ද යන්නත් බැලීම රටෙහි තරම හා ක්‍රියාව අනුව තේරුම් ගත යුතුය. එසේම වසර තිහකට වඩා පැරණි වාර්ගික ගැටුමේ ප්‍රතිථල අභ්‍යන්තරිකත්වයෙන් ඔබ්බට විතැන් වී ජාත්‍යන්තරකරණය වීම අතීතයේ සිට ප්‍රසාරණය වීම මිස හැකිලීමක් දක්නට නැත. මේ නිසා පශ්චාත් යුද ලංකාව යනු නිකම්ම නිකම් වචනයක් නොව, විශ්ව ප්‍රඥ්ප්තීන්, ජාත්‍යන්තර නීතින්, හා මානව ශිෂ්ටාචාරයේ සම්මුතිකාමී වගවිමේ සන්දර්භයන් තුල නිර්ණය වන්නා වූ සංසිද්ධියක් වී ඇත. දේශීයව කුමන ගණන්කාර කම් ප්‍රදර්ශනය කළ ද, තර්ක විතර්කයන්ගෙන් ජය ගනිමින් ජත්‍යාල සුඛාස්වාදයක් ලබා ගත්ත ද, ලාංකික ජනාවාර්ගික ප්‍රශ්නය හා විනාශකාරී යුද්ධය විසින් ඇති කළ ප්‍රතිථලයනට වගවීමේ ජාත්‍යන්තර සන්දර්භය නිර්මාණය වී ඇත.නිර්මාණය කරමින් සිටිති. එය සාපේක්ෂ වශයෙන් ලෝකයේ අන් සිදුවිම්වලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීම මිස නොසලකා හැරීමක් ලෙස සැලකිය නො හැකි ය. මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති මාතෘකාවන් අතර ප්‍රධාන වී ඇත්තේ, යුධ අපරාධ( War Crimes) හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity) යන චෝදනාවන්ට වගවිය යුතු ද යන කාරණාය.

යුද අපරාධ(War Crimes)

යුද අපරාධ නැමැති සංකල්පයේ ආත්මය නැතිනම් හදවත යනුවෙන් සැලකෙන්නේ රටක හෝ එහි හමුදාවෙහි ක්‍රියාකාරකම් සඳහා අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවය. ජාත්‍යන්තර නීතියේ දී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු  දරුණුම ගණයේ අපරාධ අතර ඇති අපරාධයන් ය.මේවා ඉතා බැරෑරුම් ලෙස සලකනණු ලබන අතර එම අපරාධයන් සඳහා ගත වන කාල වකවානුවක් ද නොමැති ය. එයින් අදහස් වන්නේ අපරාධයන්ට වරද කරුවන් වන්නන් සඳහා දඬුවම් පැමිණවීමට අපරාධය සිදු වූ කාලයේ සිට කොපමණ කලක් ගතවන්නේ ද යන්න සලකනු ලබන්නේ නැත යන්න ය.

යුද අපරාධ පිළිබඳ සංකල්පය මෑතක පැමිණියක් ය. දෙවන ලෝක යුද්ධයට පෙර එය සාමාන්‍යෙයන් පිළිගණු  ලැබුවේ යුද්ධයේ ස්වභාවයේ කොටසක ඇති භයානක දෙයක් ලෙස වන අතර යුද අපරාධයන්ගේ වාර්තා ගත නිදසුන් ග්‍රීක හා රෝම කාල පරිච්ඡේදයන් වෙත ගමන් කරනු ඇත.

විසිවන ශතවර්ෂයට පෙර හමුදාවන් නිරන්තරයෙන්ම සතුරු හමුදාවට හා සටන්කරුවන් නොවන පුද්ගලයන්ට ද ඉතා අමානුෂික ලෙස සලකන්නට විය. එහෙත් යුද්ධය ජය ගත් පසු එම අපරාධ වලට පදනම් වූවන්ට කිසිදු දඬුවමක් තිබුණේ ද යන්න ගැටලුවකි. සෙන්පතියන් හා දේශපාලනඥයින් සාමාන්‍යෙයන් ඕනෑම දඬුවමක දී යුද්ධයකදී ක්‍රියාකළ ආකාරයෙන් බේරී පලා යන්නට විය. එසේ නොමැතිව, ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව වරදකරුවන් කිරීම හෝ දඬුවම් දීම සිදු වන්නේය.

යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යුහාත්මක ප්‍රෙව්ශයක් හෝ දේශපාලන නායකයින් හා හමුදා නායකයින්  ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ තත්වයන් පිලිබඳව හෝ ඔවුන්ගේ බට කණ්ඩායම් සම්බන්ධව අපරාධමය වගකීමක් ගත යුතු ද යන්න කිසිදු විදියේ පොදු ගිවිසුමක් නොතිබිණි. මෙම ආකල්පයන් වෙනසකට ලක් වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර දශ ලක්ෂ ගනන් ජනයා විශේෂයෙන් නාසි ජර්මනිය විසින් යුදෙව්වන් ඝාතනයට ලක් විමේ දී හා ජපානය විසින් සිවිල් වැසියන්ට හා යුද සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකිම නිසා ය.

සාමාන්‍යෙයන් ජයග්‍රහණයට පත් රටක් හෝ පාර්ශවයක් යුධ අපරාද සඳහා නඩු කිමට පිවිසීම හෝ තම ජනයාට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවන්නේ කලාතුරකිනි.මේ නිසා එවැනි යුධ අපරාධ නඩු යනු වෛරය පිරිමැසිමේ නඩු  ලෙස සැලකිය හැකි අතර තමන්ගේම අයුක්තියේ ක්‍රියාවන් ලෙස දැකිය හැකිය. මෙම තත්තවය එසේම නොවන බව වියට්නාම යුද්ධයේ දි අමරිකානුවන් යුද අපරාධවලට වගකිව යුතු බවට ද  පැරණි යුගෝස්ලාවියාව මෙම සම්ප්‍රධායට විශේෂිත ව්‍යතිරේකයන් ලෙස දැකිය හැකිය.(BBC Ethic Guide)
ලංකාවෙහි පැවැති යුද්ධය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන යුද අපරාධ සම්බන්ධ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව යුද අපරාධ කණ්ඩායම් තුනකට හෝ වර්ග සංහාරය යන්න ඇතුලත් වන්නේ නම් හතරකට වැටෙන්නේය.

1.      සාමයට එරෙහි අපරාධ (Crimes against peace)
2.      යුද අපරාද(War Crimes)
3.      මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity)
4.      වර්ග සංහාරය(Genocide)

මෙම වර්ගකිරීම්වලට අදාලව අපරාධ බවට ඇතුලත්වන කරුණු ජාත්‍යන්තර අපරාධ අධිකාරණයේ රෝම ප්‍රඥප්තියේ ද,(Rome Stature of the International Criminal Court) ජිනීවා සම්මුතියේ ද අඩංගුව පවතින අතර ලාංකීය සන්දර්භය එයට ඇතුලත් ද නැත් ද යන්න පිළිබඳ දැවෙන කාරණයක් වී ඇත.

යුද අපරාධ සම්බන්ධ විෂයය පශ්චාත් යුද තත්ත්වය හා අත්‍යන්ත සබඳකමක් පෙන්නුම් කළ ද එය ඈතක ඇති විෂයයක් වී ඇත.ඒ පිළිබඳ අපේක්ෂා සහගතව සිටින හා කටයුතු කරන පාර්ශවයන්ට කාලයේ ඉවසීමටත්, දේශිය හා ජාතයන්තර දේශපාලනයේ චලනයේ දිශාවන් වෙතත් අවදානය යොමු කළ යුතුව ඇත. එහෙත් යුද්ධයකින් පසුව ඇති විය යුතු සංහිඳියාවට ඇති නොහැකියාව විසින්ම යුද අපරාධ යන ඈතක ඇති නපුර ලං කර ගැනීමට පාලක රෙජීමය අති සමත්කමක් දක්වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දක්වන සංවේදී බවේ තරම නිසාය. මෙම තත්වය යටතේ යටත් පිරිසෙන්,දේශීය හා විශ්ව සම්මුතීන්ට අනුව අගතියට පත් වූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු වුවද අභ්‍යන්තර හා භාහිර බල දේශපාලනයේ දී, අතීතය තම තමන්ගේ න්‍යාය පත්‍ර බවට පත්කර ගෙන එක් කොටසක් ක්‍රියා කරන අතර, එම අතීතයම ඉන් ඔබ්බට පැමිණ පැවැත්මක් බවට පත්වීමේ යථාර්ථයෙන් ද ගැලවිය නොහැකි වී ඇත. මෙම යථාර්ථයේ ගැටලුව මනුෂ්‍යත්වය හා යුක්තිය මතම පදනම්ව සංයුක්ත ලෙස වර්ග කිරීමේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තේරුම් ගත යුතුය. එනම් දේශීය යථාර්ථය හා ජාත්‍යන්තර යථාර්තය යන සරළ බෙදීම් දෙකය.

දේශීය යථාර්ථයේ අනුකූලතාව ජාත්‍යන්තර යථාර්ථයට සහ සම්බන්ධයක් ඇති අතර යුක්තිය සාමය හා සංහිඳියාව සඳහා නැගෙන ජාතික තෙරපුම මෙහිදී වැදගත් සාධකයකි.එහෙත් මෙම සංවේදී කාරණාව සම්බන්ධයේ දී, මහා ජාතිවාදයේ අඳුරු සෙවනැල්ලට සියල්ලෝ එකතු වී කටයුතු කිරීම, රාජපක්ෂ ආණ්ඩුවට පමණත් නොව පරම්පරා ගණනකට මහ ජාතිවාදය ඔසවා තබන්නකි.මෙය තේරුම් ගැනීමේ වැදගත් අවස්ථාව වන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හා සම්බන්ධ ක්‍රියාවලියය. මානව හිමිකම් හා සම්බන්ධ වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලිය තේරුම්ගත හැක්කේ, රාජපක්ෂ හැර සියල්ලන්ගේ සාමාජ හෘද සාක්ෂියේ නිරුවත වසා ගැනීමේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනය ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට විවිධ මතයන් ගෙන හැර දක්වමින් විරුද්ධ වීමේ දේශපාලනය මෙන්ම මනෝභාව ද වැදගත් වන්නේ ජාතිවාදය යන්න වචන ඔබ්බේ ඇති ආකල්පමය, මුල් බැසගත් සංස්කෘතික ලක්ෂණ හා සෙසු සමස්ථයන් තුලින් ඇති කරන මානසික තත්ත්වය නිසාය. මෙම ජාතිවාදය වසා ගැනීමේ ඇති ජනප්‍රියම ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදයයි.(අධිරාජ්‍යවාදය යන්න ඓතිහාසිකව පැන නැගුණු ලෝක යථාර්ථයක් වුවද එය තේරුම් ගැනීම නිෂ්චිත තත්ත්වයන් යටතේ කළ යුත්තකි.)

වඳුරා සමඟ සිට ගැනීම නොහොත් අධිරාජ්‍ය විරෝධී සටන 

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රවාදයේ ධූරාවලි ලැයිස්තුවට අයිති නොවන දේශපාලන කණ්ඩායම කුමක්දැයි නම් කිරීමට පවා අසීරුවන තරමට මානව  හිමිකම් හා අධිරාජ්‍යවාදය සමඟ ගැට ගසා ඇත. මෙකී ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ ජාතියක් ලෙස, සිංහල බෞද්ධ වාමාංශිකයින් ලෙස, සිංහල දෙමළ මුස්ලිම් රාජපක්ෂ හිතවාදීන් ලෙස හා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස උසේ අනු පිළිවෙලට රාජ පක්ෂ පිටු පසින් ධූරාවලි ගත කළ හැකිය. එයට අනුව සිංහලයින්ගේ අණසකින් යුත් රටක් ඇත. මනුෂ්‍යයින් ලෙස සමාජයක් නැත. බලය මත පදනම් වූ ලෝක දැක්මකින් යුතු කුඩාම දේශපාලන කණ්ඩායම්වල සිට විපක්ෂය හා පාලක පක්ෂය යන කොටස් වලින් යුතු සමස්ථය  මනුෂ්‍යත්වයේ යථාර්ථයෙන් මෙපිට ඇත.මේ අනුව පශ්චාත් යුද අවධියේ දේශපාලනික අර්ථය නැති කිරීමට නම් රටක් හා ශිෂිට සමාජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇත. අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට ඇති මූලයන් ආකස්මිකව ඇති වූවක් නොවන අතර අවිහිංසාවාදයේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමට හේතු වූ මූලයන් බුද්ධිමත්ව සමාලෝචනය කරමින් මහා ජාතියේ සුළු ජාතික භීතියෙන් නොව මනුෂයත්වයේ මිනුම් දඬුවලින් ප්‍රශ්නයට ඇතුල් විය යුතු වේ. එසේ ඇතුලු විමේ දී, ප්‍රධාන වගකීම රටක ජනයා නියෝජනය කරන පාලන ක්‍රමය සතුවන අතර එය විසින් එය ඉටු නොකරන්නේ නම්,සෙසු දේශපාලන ප්‍රවාහ හා සිවිල් සමාජය හමුවේ ඇත් ප්‍රධාන වගකීමක්වනු ඇත. එහෙත් අභාග්‍යයකට නැත්තේ ද එම හඬමය. තිබෙන හඬ ද මහ ජාතිවාදය විසින් යටපත් කර දමා ඇත.

පැවතුණු යුද්ධයත්, සිදු වූ මානව හිමිකම් උල්ංඝණයන් හා අපරාධයන් සඳහා සෘජු වග උත්තරකරුවන් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් වග කිව යුතු අතර ඔවුන්ට පමණක් වගකිමේ දෑත් දිගු කිරීමෙන් සමාජයක් ලෙස ගැලවිය නො හැකි ය. වක්‍රාකාරයෙන් මානව සංහාරයන් හා යුධමය ක්‍රියාවලියක් දක්වා සමාජ මනස දෘෂ්ටිමය ලෙස මෙහෙය වූ පිරිස් ද සපුරාම වගකිව යුතු වන්නේය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය විසින් නිර්මාණය කරනු ලැබූ, රාජපක්ෂ ආණ්ඩුවේ සහායක බලවේග මෙම මානව විරෝධී සංහාරයට ආචාර ධාර්මිකව වගකිව යුත්තෝ වන්නෝය. එහෙත් මෙම වගවීමට විනිශ්චයාසනයක් දේශියව හෝ ජාත්‍යන්තරව නොමැත. ඒ සඳහා කොතෙතුත් සාක්ෂි ගබඩා වුවත් ඊට වගවීමේ සමාජ හෘද සාක්ෂියක් පවා නොමැත්තේය. 

මීට වසර දෙකකට ප්‍රථම එනම් 2011 වර්ෂය මුල දී අන්තර් ජාලයට මුදාහල වීඩියෝ පටයක් ඇත. මෑතක දී ද ෆේස් බුක් සමාජ මාධ්‍ය  ජාලයට මුදාහැර ඇති අවස්ථාවක දී, එය නැරඹුවෙමි. කථා නායකයා පූජ්‍ය දඹර අමිල හිමියන් ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකි. අමිල හිමියන්ගේ ඹප්පු කිරිමට අනුව යුද ජයග්‍රහනයේ සැබෑ  උරුමකරුවන් අන් කිසිවකු නොව, යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සහ රාජපක්ෂ රෙජිමයට යුද්ධය සඳහා ඔක්ෂිජන් දුන් ජනතා විමුක්ති පෙරමුණ හා ඒ හා බද්ධ වූ බහු ජන ව්‍යාපාරයන්ය. එසේ නම්, එම යථාර්ථයට ප්‍රතිමුකව යුද්ධයේ සිදු වූ අපරාධ වලට වග උත්තර කරුවන් වීමේ අයිතියක් ඔවුන් සතු නොවන්නේ ද.(වීඩියෝ පටය). මහින්ද රාජපක්ෂ යුද්ධය පස්සට අදින අවස්ථාවේ දී හරියට බල්ලෙකු නෑවීමට ගෙන යන්නාක් මෙන් ඔහුව යුද්ධය වෙත දක්කන ලද්දේ ජවිපය බවට එහි නායකත්වය විසින් පිළි ගන්නා සත්‍යයකි. මෙම ප්‍රකාශය ජවිපේ නායක සෝමවංශ අමරසිංහගේ ආඩම්බරකාරී හේතු පාඨයක් වුවද එහි ඇති මානුෂීය ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට සමාජයක් ලෙසම සිංහල සමාජය අසමත් වී ඇත. එසේම චම්පික රණවක වැනි ජාතික හෙළ උරුමය  නායකත්වය ද ඊටම නො දෙවෙනි ස්ථානයක සිටින අතර නලීන් ද සිල්වා අමරසේකර වැනි දෘෂ්ටිවාදී ජාතිවාදී බලවේගයන් ද යුද්ධය ජය ගැන්වීමේ ලැයිස්තුවෙහි ඇත.යුද්ධයේ අවසාන කාලය වන විට, බහුතර දකුණු සමාජය යුද්ධයේ ජයග්‍රාහී විඝඨනය නාට්‍යානුසාරීව ජන මාධ්‍ය හරහා කොටස්කරුවන් බවට පත්ව ජයග්‍රහනයේ ආශ්වාදය බුක්ති විඳින්නට විය. රතිඥ්ඥා බෙර හඬ නන්වමින් අවසන කිරි උතුරා කිරිබත් කමින් මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ගැටුමේ හේතුවට ඵලයක් සොයා ගැනීමේ අසමත්කමේ ව්‍යාධියෙන් පෙලෙමින්ය.

එහෙත් 2009 මැයි මාසයෙන් පසුව මහා සතුරාගෙන්, මහා අනෙකාගෙන් නිදහස් වූ සමාජය ඉතිහාසයේ අවසානය යැයි යන හැඟීමකින් කටයුතු කළ ද, මහා රික්තයකින් මහා සමාජය ගල් ගැසෙන්නට වූයේ විනාශයත් සමඟ අහිමි කරගත් හෘද සාක්ෂිය සහිතවය. සංඛ්‍යාත්මක වශයෙන් සුළු පිරිසක් හැරුණු විට, බහුතරයේ කැමැත්ත අභිලාෂය හා මනෝභාවය වූයේ ඓතිහාසික සතුරාගේ කඩා වැටීමය.විනාශයමය. එනම් දෙමළාගේ අවසානය ය.

දූපතක් රටක් රාජ්‍යයක් තුල ජන වර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් ඇති විය. එය ස්වකීය රාජ්‍යෙය් අවශ්‍යතාවයට කැමැත්තට හා අභිලාෂයට පමණක් අනුව සිදු වූවක් නොවූ අතර එසේ වූවත් ලෝක සම්මතයෙන්, නීති හා සම්මුතීන්ගෙන් බැහැරව ක්‍රියා කළ නොහැකි බව දිනෙන් දින යථාර්ථයක් වී තිබේ. අත්තනෝමතිකව බලය හා මුග්ධකම මත ඕනෑම දෙයක් කළ හැකි වුවද එහි විපාකයන්ගෙන් බැහැර විමට පහසු නොවන බව පෙනී යන්නේ, යුද්ධය අතර තුර හා අවසානයේ දි හා ඉන් අනතුරුව සිදු වූ යේ යැයි සලකන මානව විරෝධී අපරාධයන් විසින් සාක්ෂි සපයන නිසාය.

තුන්වැනි බලවේගය

එහෙත් යුධ අපරාධ, හා මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා සෘජු වගකීම නෛතිකමය වශයෙන් පාලක රෙජීමයට පැවරුණ ද සදාචාරාත්මක වශයෙන් ඇති සමාජ වගකීම නිර්වචනය වී නොමැති සමාජයක් තුල, සෙසු අයගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය.රාජපක්ෂව දඬුකඳේ ගැසීයෙන් හෝ බලයෙන් පහ කිරීමෙන් මිය ගිය සමාජ ආත්මයට පිළියමක් වන්නේ නැත. සමාජ සංහිඳියාවක් හෝ යුක්තියක් හා සාමයක් ලැබෙන්නේ නැත. එය නිවැරදිව නිදසුනකින් තේරුම් ගැනිමට නම්, නාසි ජර්මනිය වෙත හැරීම වටිනාකමක් ගෙන දෙන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, යුද්ධයේ දී සිදු වූ අපරාධ හිට්ලර් මතට පටවා චෝදනා නගන්නට වුවත් ඔහු පසු පස සිට නිහඩව සහය වූ ජාතික සමාජවාදී බහුතරය සිටින්නට විය. යුද්ධයෙන් පසුව සංහිඳියාව ඇති කිරීමේ දී නිහඬව සිටි පරම්පරාවේ වරද හා සදාචාරය පිළිබඳ ගැටුම මතු කළ අවස්ථාවක් වූයේ 1968 ජර්මන් ශිෂ්‍ය අරගලයයි.

1968 ව්‍යාපාරයේ හදවත වූ පරම්පරා ගැටුමක හැඟීම ඇති කිරීමට විශෙෂිත බලයක් ජර්මනිය තුල ගෙන දුන්නේ නාසි කාල පරිච්ඡේදයෙ දීර්ඝ සෙවැවැල්ල විසිනි. පැරිසියේ සිසුන් ඒකාධිපති ඩිගොල්ට එරෙහිව අරගල කරද්දී, ජර්මානු සිසුන් තමන්ව දුටුවේ, හිට්ලර්ට සහ නාසින්ගේ අපරාධවලදී නිහඬව කුමණ්ත්‍රණකාරීව උන් තම දෙමව්පියන් අපරාධයන්ට සහාය දීමට එරෙහිව කළ අරගලයන් ලෙසය.(Utopia or Auschwitz: Germany's 1968 Generation and the Holocaust)
නමුත් ලංකාවේ රාජපක්ෂට හා පාපකාරී සමාජ පරම්පරාවට යන සමස්ථයට එරෙහිට ඇඟිල්ල දිගු කිරීමේ සැබැ ලාංකීය උවමනාව ඇති ව්‍යාපාරයකට ඇති කාලය දුරය. නිසි ගර්භාෂයක පිළිසිඳ ගත යුතු එම කළල නම් වූ සමාජ ප්‍රබුද්ධත්වයට සංසර්ගගත විම අද යුගයේ ලාංකික සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු අලුතින් හිතන ජනයාගේ කාර්යය වනු ඇත. එය හුදෙකලා සංසිද්ධියක් නොවන අතර පුළු ල් ලෝක දැක්මක් සතු කරගත් ප්‍රතිපත්තිගරුක, ආචාර ධර්මීය මනුෂ්‍යත්වයේ ව්‍යාපාරයක් විය යුතුය. විවිධත්වයට ගරුකරමින් තමන්ට ඇති අයිතිය අනෙකාට ද ලැබිය යුතු නම්, එයට ජාතිය, වර්ගය, හා භූමිය බාධකයක් නොවීමේ සරල සිද්ධාන්තයවත් වටහා ගතහැකි මිනිසුන් ද ව්‍යාපාරද, අදහස් හා මතවාද අලුතින් කල්පනා කළ යුත්තේ, දිනෙන් දින මිනිසා අලුත්වන නිසාය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිතන ක්‍රියාකරන විකල්ප තුන්වෙනි බලවේගයකට ලංකාවේ මනස පෑදේවා!!!

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon




Monday, February 11, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය: අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහය...