Diaspora Diary

Thursday, January 9, 2014

විමල් භාෂණ සහ දීප්ති: ලංකා දේශපාලනයේ මතවාදී ට්‍රයියෑංගලය




(සැලකිය යුතුය: මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත. )

පාර පශ්චාත්  යටත් විජිත ශ්‍රී ලංකාවේ[i] මෑත කාලීන මතවාදයන් හා එහි දේශපාලනික චලනය තේරුම් ගැනීමේදී මහා මතවාදයන් තුල අධිනිෂ්චය වී ඇති චූල මතවාදයන් තුනක් රූපකාශ්‍රයෙන් විග්‍රහයට ගැනීමට මෙම ලිපිය මගින් උත්සාහ ගන්නා අතර එහි ඇති ශක්‍යතා පරිමාණය සමාජීය වෙනසකටත් සමාජීය දිශාවේ බහු මානයන් වටහා ගැනීමටත් ඉවහල් වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට මුල පුරන්නක් ලෙස මෙම සටහනට ප්‍රවිෂ්ට වෙමි. මෙහි  කියැවෙන මහා මතවාදය යන්න රාජ්‍ය කේන්ද්‍රකරගත් ජනප්‍රිය සිංහල බෞද්ධ ඒකීය ජාතිවාදික මතවාදය වන අතර එහි ගාමකයන් අඩු වැඩි වශයෙන් පුද්ගලයාගේ සිට පවුල පාසල ආයතන හා සෙසු දේහයන් තුල නියෝජනය වෙමින් පෝෂණය වීම නිරන්තරයෙන් සිදු වෙද්දී, මෙම සමස්ථය තුල අධිනිෂ්චය වි ඇති චූල මතවාදී රූපක ත්‍රිත්වය පර්ෂද (cluster) ගත කළහොත්  විමල්(ජවිපෙ) භාෂණ (හිරු)හා දීප්ති(එක්ස්) ලෙස හැඳින්විය හැකිය.

Image

 මෙම ත්‍රිකෝණික රූපකීය මතවාදයන් තුන වැදගත් වන්නේ පශ්චාත් මර්ධන අවධිය වූ අනූව දශකයෙන් ඔබ්බට පැමිණ ස්ථරගතව සමාජ චලනයට බලපෑම් කිරීමට ඇති හැකියාව නිසාය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස සමාජානුයෝජනය වූ විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීර වංශ වන අතර භාෂණ යනු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මතවාදී කණ්ඩනයකින් පසුව හිරු කණ්ඩායම තුල සමාජානුයෝජනය වූ රෝහිත භාෂන අබේවර්ධනය. දීප්ති යනු ජවිපේ මතවාදයෙන් එලියෙහි, එහෙත් සමාජය සොයා ගිය කෆ්කා කෙනෙකි. එම සොයා යෑමේ දී පශ්චාත් නූතන වාදය තුල සමාජානුයෝජනය වී එක්ස් නම් සමාජ සංවිධානය තුල අනන්‍ය වූ ද ඉන් පසුව එහි බෙදීමෙන් පසු තත්තවය තුල සංවිධිතව  සමාජගත වූ දීප්ති කුමාර ගුණරත්නය.

විමල් භාෂණ හා දීප්ති යනු සංකේතීය රූපකයන් තුනක් පමණක් නොව එක් පරම්පරාවක් නියෝජනය කරමින් ත්‍රිකෝණික වූ මතවාදයන් තුනකි(Ideological Triangle). එක දහස් නවසින අනූවෙන් පසුව වඩාත් බැරෑරුම් ලෙස උතුර සහා දකුණ වශයෙන් ධ්‍රැවිය වූ ලාංකික භූමිය තුල මෙම රූපකයන් තුන ලාංකිය ගැබ තුල පිළිසිඳගත්තේ විකල්පය නියෝජනය කරමිනි. ග්‍රාමීය, නාගරික හා වාර්ගික වශයෙන් අනු පිළිවෙලට විමල් දීප්ති හා භාෂණ පෙළගැස්වූ විට එක් සූත්‍රයක් ගොඩනගා ගත හැකි අතර ජාතිකවාදය,වාර්ගිකවාදය හා විසංයෝජන විචාරවාදය ලෙස ද හඳුනා ගත හැකිය. තවද ප්‍රවාදිත, ප්‍රතිචාදිත හා සහවාදිත යන දයලෙක්තික සම්බන්ධය මෙම රූපක තුන එක් කර සිනමා පෝස්ටරයක් සකසා ගැනීමෙන් පරිකල්පනය කර ගත හැකිය. එහි පෙනුම විය හැක්කේ පිටට පිට දී සිටින විමල් හා භාෂණ මැද සිටින දීප්ති සහිත සිතුවම් රූපකයන්ය. එසේම මෙම ත්‍රිත්වටයහි විභවීය පොදු කුලකය වී ඇත්තේ මාක්ස්වාදයය.  එපමණක් නොව මෙහි ප්‍රභවයේ මූලාශ්‍රය වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. පශ්චාත් මර්ධන කාලය තුල නැවත ගොඩ නැගුණු ජවිපයට ලාංකීය සාමාජ වෙනසේ විකල්පය නිර්මාණය කිරීමේ දාර්ශනික අපොහොසත්කම හේතුවෙන් පශ්චාත් මර්ධන අවධිය බහුමානික චලනයන්ට ගොදුරු වෙද්දී, විකල්පීය බලය නැමැති වස්තුව අන් අයගේ ගිණුම්වල තැන්පත් කර එහි පොලිය පමණක් නොව තැම්පත් මුදල් ද යලි ලබාගත නොහැකි තැන්පත්කරුවෙකු බවට ජවිපය පත්විය. එය බංකොලොත් මූල්‍ය ආයතනයක් බඳු වූ මහා ජාතිවාදී අන්තයයි. එම තැම්පත් කිරීමේ උපරිමය වූයේ සිංහල බෞද්ධ මහා මතවාදයේ පොරෝනය තුලට රිංගීමය.ඒ අනුව නාමික මාක්ස්වාදය හා සමාජවාදය, ධර්මපාල අමරසේකර  හා නලීන්ගේ මහාවංශික සිංහල බෞද්ධ ජාතිවාදය තුලට දිය වන්නට පටන් ගෙන තනුක විය.  එම අන්තරගත වීම ජවිපේ පුරෝගාමි මතවාදය තුල ද සැඟවුණු ඇටවිසමයක්(atavism) ලෙස පැවැති අතර, අනූ හතරේ චන්ද්‍රකා ද ඉන්පසුව මහින්දව ද බලයට පත් කරමින් සමාජ චලනයේ විකල්පීය ගුණය මහා ජාතිකවාදයට කැලතෙන්නට වීම ඓතිහාසික ප්‍රපංචයක් විය. එපමණක් නොව එය වර්තමානය හා අනාගතය මනුෂ්‍ය සමාජයක් ලෙස ආත්ම ඝාතනයකට ලක් කර ඇත. මෙම ඓතිහාසික අත් වැරුද්දේ ප්‍රතිඵලයක් ලෙස සමාජය අඳුරු මහා මහාවංශික මතවාදයේ අවතාරය සමාජ දේහය පුරා සුසමාර්ශයක් ලෙස යලි තහවුරු වීම පටන් ගන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ කවුරුත් දන්නා පරිදි මහා විනාශ කාරී යුද්ධයකට සමාජය ගොදුරුවීමය. මෙකී සිද්ධි දාමයේ සමස්ථය සැලකිල්ලට ගනිමින් ලිපියට ප්‍රස්තුථ චූල මතවාදයන් තුන සමාජය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ද අඳුරු මහා මතවාදය විපරිවර්තනය කරනු හැකි වන්නේ කෙසේ  දැයි වෙන් වෙන් වශයෙන් හා සහ සම්බන්ධිත වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

විමල් විරවංශ

ජවිපය විසින් නිර්මාණය වූ විමල් ජවිපෙන් වෙන් වීමේ සලකුණ ලකුණු කර ඇත්තේ ජවිපයට යලි ගොඩට පැමිණීමට නොහැකි ලෙසය. එය සමපාත වන එක් නිදසුනක් වන්නේ එල්ටීටීයෙන් කරුනා වෙන් වීම යන්නටය. බොහෝ දෙනා මෙම විභේදනයන් සාධනීය දෙයක් ලෙස විග්‍රහ කරමින්, දැන් ජවිපය ශුද්ධ ඇත යැයි පැවසුවද විමල් ජවිපයෙන් වෙන් වූයේ එහි උරුමයේ දයාභාගය(Dayabaga) ද රැගෙනය. එනම් විමල් සවකීය දේශපාලනික පක්ෂය ගොඩනගා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සහවාස වී ඇත්තේ ජවිපය සතු දෘෂ්ටිවාදය රැගෙනය. ජවිපය හා විමල් අතර දෘෂ්ටිවාදීමය වශයෙන් වෙනසක් සලකුණු කිරීමට නොහැකි වී ඇති අතර මතු පිට තලයේදී කුමන දේශපාලන හැඩ ගනු ලැබුවද එම ක්‍රියාකාරම් තුල දෘෂ්ටිවාදී දාර්ශනික ගැඹුරක් අඩංගු වී නොමැත. මේනිසා ජවිපේ දෘෂ්ටිවාදයේ ප්‍රති නිෂ්පාදිතය වූ විමල් නම් රූපකය යන්න සමාජයට වැදගත් බලපෑමක් කරනු ඇත්තේ එම දෘෂ්ටිවාදය සමග සමාජයේ භෞතික සවරූපයට අනුවර්තනය වීමෙනි. විමල් යනු බැරෑරුම් ලෙස නොපැවැතුණු මහා මතවාදය තුලට එම මතවාදය ප්‍රති නිෂ්පාදනය කරමින් බලපැම් සහගත වූ  සිය චූල මතවාදය නියෝජනය කරමින් ජාතිකත්වය පලිහ කර තමන්ට කළ හැකි ඕනැම දෙයක් කරන සෙසු දක්ෂණාංශික දේශපාලන ප්‍රපංචයකි. පශ්චාත් යටත් විජිත ජනප්‍රිය දේශපාලනට සංස්කෘතියක් වූ අගතින් සියල්ල  අනෙකාට වඩා හොඳින් කරමින් සමාජය නියෝජනය කරන පිලිගත් සමාජ පිළිලයකි. එය නම් ජවිපය දෘෂ්ටිවාදය, මහා මතවාදය සමග වෙළමින් තමන් තැන්පත් කළ වටිනාකමට පොලිය ද වැල් පොලියද ලබා ගනිමින් වංචාව දූෂණය කප්පම් කොමිස් යන සකළ දූෂණයන් කරමින් සමාජය තුල යහතින් වැජඹීමේ වරප්‍රසාදය අත් කර ගත්තෙකි.එය ජවිපය විසින් තැන්පත් කළ වස්තුව පැවරුමකින් ලබාගත් උරුමකරුවෙකි. එනිසා විමල් යනු ජවිය කීම තුල ජවිපය යනු එසේ නම් කුමක් දැයි විමසා බැලුව හොත් හමු වන්නේ වෙනස් දෘෂ්ටියක් නැති ක්‍රියාකාරිත්වයකි.  ඔවුන් පාර්ලීමේන්තුව තුල දී, මහා මාර්ග වීදි තුල දී සංවාද සාකච්ඡා තුල සකල විධ අගතීන්ට එරෙහිව සටන් අවි එසවුවද එවා පලක් නොවන්නේ ඇයි දැයි කල්පනා කළ යුතුය. ඔවුන් සතු වූ දෘෂිටිවාදය විමල්ට ද මහින්දටද දන් දීමෙන් සමානයන් වීම තුලය. මෙම පාර පශ්චාත් අවධියේ දී ඔවුන් ආත්මයක් නැති හඬක් ඇති කුහරයක් වී ඇත. විමල් විසින් ගොඩනංවන ලද සංකේතීය ප්‍රචාරක ලේකම් තනතුර ඹහුත් සමග වාෂ්ප වූයේ එහි පුද්ගලයා මිසක සංකේතිය බර තුනී කරමිනි. විජිත හේරත් හෝ පුබුදු ජාගොඩගේ වර්තමාන භූමිකාව පිළිබඳ සංජානනය කර ගෙන බැලුවහොත් අපගේ මනසේ අවතාර කරනු ලබන්නේ විමල් වීරවංශය. මෙය කිසිවකු හරිද වැරදිද යන්න නොව එම භූමිකාව අවසාන කරනු ලැබූ ස්වභාවයේ ගති ලක්ෂණයන්ය. වර්තමානයේ හෝ අනාගතයේ දී වමේ දේශපාලනික ගොඩනැංවීම් වල ප්‍රචාරක ලේකම් තනතුරට අර්ථ සැපයෙනු ඇත්තේ සැක සිහිතභාවයකින් හා විමල් වීරවංශගේ දේශපාලනික සිනාරියෝව තුල මතු කරන අර්තයන්ද මුසු කරමිනි. ඒ අනුව විශ්වාසය හා සැකය තුල එම තනතුරට පත්වන්නාගේ භුමිකාව විනිෂ්චය වෙමින් පැවතුන ද එහි අපේක්ෂිත  භූමිකාව ඉටු වන්නේ කුමන ප්‍රමාණයෙන් දැයි විමර්ෂණය කළ යුතුය.

රෝහිත භාෂණ

රෝහිත භාෂණ යනු මහා මතවාදයට පිටු පා උතුර දෙස බලා සිටගත් සිංහල බෞද්ධ මහාවංශික ද්‍රෝහියෙකි. දකුණේ මාධ්‍ය හා සිංහල දෘෂ්ටිවාදයට, වාමාංශික ප්‍රවාහයට බලපෑම් කිරීමේ සන්දර්භය තේරුම් ගත යුත්තේ එහි ප්‍රභවය හා ව්‍යාප්තිය තුලය. ජවිපෙන් කණ්ඩනය වී හිරු කණ්ඩායම බවට පත්ව ඒ තුලින් දකුණට ඇති කර ඇති දෘෂ්ටිවාදී බලපෑමෙන් වමට හා විකල්ප අපේක්ෂාවන්ට ගැලවිය නොහැකිය. මෙහිදී හිරු කණ්ඩායම යන සාමුහික හැඟවුම්කරණයෙන් නියෝජනය වූ දකුණේ සිට උතුර දෙස බැලීමේ දෘෂ්ටිවාදය සරල ලෙස දෙමළ ජාතිකවාදය හෝ ප්‍රතිපෝෂක ජාතිවාදය ලෙස හෝ බෙදුම්වාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැකි වීම හා එහි ප්‍රාමාණික සත්‍යයක් ගැබ්වුවද මාහා ජාතිවාදය තුල පීඩනයට පත්ව ඇති වාර්ගික අන්‍යතාවයකින් යුක්ත දෙමළ ජනායාගේ යුක්තිය හා ගරුත්වය වෙනුවෙන් දකුණට පිටු පා සිට ගැනීම කිසිවටක නිෂෙධ කළ නොහැකිය. පවත්නා ක්‍රමය තුල දමිළ පීඩිතයාගේ පරිකල්පනීය රාජ්‍යෙය් චූල දෘෂ්ටිවාදී විමුක්තිදායකයාය. මාක්ස්වාදය වැනි ජාත්‍යන්තරවාදයකින් හෝ පංති දෘෂ්ටිවාදය තුල එම වාර්ගික දෘෂ්ටිවාදය පරාජය කිරීමට උත්සාහ ගත්ත ද එය යථාර්ථයක් නොවන්නේ මහා ජාතික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙන් සමාජය හා වාම දේශපාලනයට ගැලවිය නොහැකි විසාවෙනි.  එසේම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන හා හඩ නැඟූ සිංහල හඬ වූයේ හිරු කණ්ඩායම පමණක් නොව තවත් පුද්ගලයින් හා සාමාජ කණ්ඩායම් උතුරේ අරගලය වෙනුවෙන් දකුණේ සිට ක්‍රියාත්මක විය. නිදර්ශන වශයෙන් සඳහන් කළ හොත් වික්‍රමබාහු කරුනාරත්න  හා ඔහුගේ දේශපාලනය,දියැස කණ්ඩායම තුල සිටි ෆැට්ට්‍රික් වසන්ත අහිංසක යන අය ද නිර්මාල් රංජිත්, බෝපගේ වැනි ඇකඩමියානුවන්ද දෙමළ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් මත ප්‍රකාශ කළ වුන්ය. ( නම් සඳහන් නොකළ ද තවත් බොහෝ අය සිටින බව කරුණාවෙන් සලකන්න). එසේ වුවද යුද්ධයත් සමග ඇතිවන වෙනස් කම් හමුවේ හිරු කණ්ඩායමේ සංයුතිය වෙනස්ව අභ්‍යන්තරික ඛණ්ඩනයන් ඇති වුවත් භාෂණ නම් රූපකය තුලින් නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ හා තේරුම් ගත යුත්තේ ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේය.

ලාංකික දේශපාලනයේදී
ජාත්‍යන්තර දේශපාලනයේදී
ලාංකික දේශපාලනයේ දී මාහා මතවාදයේ අනෙකා වීම තුල බලය හා පැවැත්ම තහවුරු කර ගැනිමටත්, අවතාර ප්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍යන්ටත් මෙම චුල දාෂ්ටිවාදය ආයෝජනයකි. අනෙක් අතට දෙමළ ජනයාගේ නොවිසඳුණු ගැටලුවට ජීවයක් උතුරේ දෙමළ දේශපාලනයට ද ලැබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වැදගත්ම කාරණය වන්නේ විකල්ප සමාජ වෙනසකට දේශපාලනික සිහින දකින්නන්ට මෙකී වාර්ගික දාෂ්ටිවාදය මාර්ග බාධකයක් වීමය. අනෙක් වැදගත් කාරණය වන්නේ භාෂණ නොවන වෙනත් විකල්ප පුද්ගලයින් හෝ දේශපාලනික කණ්ඩායම් දෙමළ ජනයාගේ අයිතීන්, ස්වයං නිර්ණ අයිතිය,වෙනම රාජ්‍ය යන මූල දර්මයන් පිළිගනු ලැබුව ද භාෂණ මතවාදයට සමානව හෝ ඉන් එහාට ගමන් කිරීමට නෙහැකි වී ඇත්තේ මන්දැයි සිතිය යුතුය. ඊට ඇති පිළිතුර වන්නේ නව්‍යකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලනයය.

දෙදහස් නවයේ ජන ඝාතක යුද්ධයත් සමග දෙමළ ජනයාගේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වූ අතර වෙනම රාජ්‍ය යන්නට ඇති කොන්දේසිවල ඇති භූමිය යන්න පාර භෞමික වන්නට විය. බලහත්කාරය හා මිලිටරි ආධිපත්‍ය තුල දෙමළ නිජ බිම සිරගත කරනු ලැබුව ද දෘෂ්ටිවාදය විසින් ගොඩනංවන ලද රාජ්‍ය දෙමළ ජනයා තුල ඉදිකර යෑමට ප්‍රභාකරන්ට හැකි විය. ලාංකික දේශපාලනය තුල මෙන්ම ඩයස්පෝරා දේශපාලනය තුල කුමනාකාරයේ බෙදීම් දෙමළ ජනයා තුල ඇති වුවද කාල්පනික රාජ්‍යෙය් සිතියම සිත්වලින් මැකිය නොහැකිය. අනෙක් අතින් ඩයස්පෝරා දේශපාලනය සාකල්‍යවාදී හැඩයන්ට විපරිවර්තනය වීම නිසා භාෂණගේ උතුර දෙසට සිට ගැනීම අතිශය වැදගත් කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය යන අධිනිෂ්චිත කාරණය නැවත වටයකින් තේරුම් ගැනීමෙනි. එනම් පශ්චාත් යුද අවදියේ වැදගත්ම කේන්ද්‍රීය කාරණය වන්නේ යුද්ධයයේදී සිදු වූ අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සටන් කිරීමය. සාමය හා සංහිඳියව යන්න සමාජයක් තුල ස්ථාපිත කිරීමට නම් අගතියට පත් ජනයාට හා ජන කණ්ඩායම්වලට යුක්තිය ඉටුවීම ගැටුම් න්‍යායේ ද ජාත්‍යන්තර නිතියේ ද, ස්භාවික යුක්තියේ ද අන්තර්ගත කොන්දේසියකි. එම ක්‍රියාවලිය වෙනුවෙන් භාෂණ සෘජුවම පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලයේ වැදගත් ලකුණක් සලකුණු කරන අතර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් පිරිසට නොවැටහෙන හෝ අතහැර දමා ඇති හෝ භෞතික නොහැකියාව යන කාරණාවන්ගෙන් තේරුම්ගත හොත් ඔවුනට දෙමළ ජනයාගේ ප්‍රශ්නයේ නාඩිය අල්ලා ගැනිම පිණිස භාෂණ මතවාදය පරාජය කිරීම හෝ අතික්‍රමණය කිරීම අසීරුය.

නිදසුනකට ගත හොත් භූමිය ගින්දරින් සමතලා කොට හැට දහසකට අධික ජීවිත විනාශ කොට සිය භූමිය තුලම සිරකරුවන් කර දමා ඇති කාලයක අප්‍රයෝගික ලෙස එහි සමාජවාදය සඳහා සටන් කිරීමට ගිය ලලිත් කුගන් වෙනුවෙන් කඳුළු සැලීමේ හෘද සාක්ෂිය හා ඒ තුලින් දෙමලාව දිනා ගැනීමේ උපාය උපක්‍රම ඉතාමත් අතාර්කික හා පසුගාමි වනු ඇත්තේ අධිනිෂ්චිත කාරණාව තුල ලලිත් කුගන්ව සූත්‍රගත කර ගැනීමට ඇති දෘෂ්ටිමය දිළිඳුභාවයය. මේ නිසා දකුණේ දෙමළ දේශපාලනය හෝ වාමාංශික ජාතික මාක්ස්වාදය භාෂණ දෘෂ්ටිවාදය තුල ගැටලුවක් නිර්මාණය කරනු ඇත. එය පිළි ගැනීම හා ක්‍රියා කිරීම එක් අතකින් අභ්‍යන්තරික වශයෙන් ලාංකීය විකල්ප දේශපාලනයේ නියැලෙන්නට මර්ධනීය අභියෝගයක් විය හැකි වුවද, පිටුවහල්ව චූල දෘෂ්ටිවාදය ජාත්‍යන්තරීකරණය කිරීමට භාෂණට හැකි වීම දේශීය දේශපාලනයේ අනාගතයට බලපෑමක් නොවනු ඇත් ද යැයි සිතිය නොහැකි ද.එය ලෝක යථාර්ථයට අනුව අනාගතය තුල දී සිදු නොවනු ඇතැයි කීමට තරම් දෙමළ ජාතික ප්‍රශ්නය සරළ වී නැත.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේදී මෙම දෘෂ්ටිවාදය රට තුල පමණක් නොව ඩයස්පෝරාව තුල සිටින අනෙක් ක්‍රියාකාරීන්ට ගැටලුවක් වී ඇතැයි සිතන ප්‍රමාණය සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සංකල්පය හා එහි සංස්කෘතිය මහා ජාතිවාදයේ අඳුරට හෝ පාර පශ්චාත් යටත් විජිත රාජ්‍යයට අදේශ කිරීමට ඇති හැකියාව හා අවබෝධය ද, ඊට ඇති විකල්පීය කැපකිරීම් ද අවම නිසා, බටහිරට හෝ යුරෝපයට අනුව ඩයස්පෝරාව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම යන්න බැරෑරුම් අවස්ථාවකි. නොමළ ගෙයකින් අබ සොයන්නාක් මෙන් එල්ටීටීයට සම්බන්ධයක් නොමැති හෝ එම අපේක්ෂාවෙන් විගලිත් දෙමළාව සොයා ප්‍රජාතන්ත්‍රවාදය උගැන්වීම හෝ සමාජ වෙනස කිසි දිනක අපේක්ෂා කිරීම දේශපාලනික අලසකමක් හෝ මුග්ධබවක් වන්නේය. එසේම එය අභියෝගාත්මක කාරණයක් වන්නේ විදෙස්ගත දමිළ ප්‍රජාව යනු ක්‍රියාකාරිත්වයෙන්( කඳෙන්) යුරෝපය / බටහිර වුවද දෘෂ්ටිවාදයෙන් වාර්ගිකවාදී දෘෂ්ටිය තුල එතුන පුද්ගලයන්ය.මෙය උතුර දෙසට සිටගත් භාෂණ පිටුවහලේ සිට දෙමළ ඩයස්පෝරාව දෙස ද හැරී බැලීම  බලපෑම් සහගතය. අනාගතයේදී ලාංකීය දේශපාලනයේ විකල්ප සිනාරියෝව ගොඩ නැගෙනු ඇත්තේ එකයි එකයි භාගය නම් ක්‍රමයකටය (1, 1, ½: one and one half system). එනම් අභ්‍යන්තරික විකල්ප බලවේගය, භාහිර විකල්ප බලවේගය හා භාගයක් වූ ජාත්‍යන්තර බලවේගය නම් සමස්ථයේ දේශපාලනය තුලිනි.එහි හැඩයට හා ගුණය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුවත්, කල්පනා කිරීමට අවස්ථාව දවසින් දවස බල කරනු ලැබීම නොවැලැක්විය හැකිය.මෙම උදා වෙන තත්ත්වය වෙනත් ලෙස ලාංකීය ගැටලුවට ප්‍රවිෂ්ටවීමට කල්පනා කරන්නන්ට ඇති අභියෝගයක් වන අතර එය වටහා ගත යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ පුද්ගලිකත්වය හෝ අන්‍යතාවන්ගෙන් ඇති ‍දේශපාලනික බෙදීම්වලට වඩා අධිනිෂ්චිතය හා විය යුත්ත හා කළ යුත්ත තේරැම් ගැනීමෙන් පමණකි.

Image

මෙම ලිපියෙහි ඉතිරි කොටසට ගමන් කිරීමට ප්‍රථම චූල මතවාද තුන සූත්‍රගත කිරීමේ ඉහත සහන් අසම්පූර්ණ රූප සටහන තේරුම් ගැනීමට ද කියවන ඔබට බාරවනු ඇත. එසේම අවසානයට හා අරම්භයට පැවසිය යුතු කරුණ නැවත මතක් කරමි.

මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත.

උදය ආර්. තෙන්නකෝන්

[i] මගේ අදහස් දැකිවීමේ දී පාර පශ්චාත් යටත් වාජිත යනුවෙන්  නිරන්තරයෙන් හඳුන්වනු ලබන්නේ ලංකාව පශ්චාත් යටත් විජිත යන නිර්වචනයෙන් එහාට ගොස් ඇති බැවින් හා පශ්චාත් යටත් වාජිත වාදය යන දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සන්දර්භයෙන් විගලිත වීමට නොහැකි නිසාය.

Saturday, November 30, 2013

විපක්ෂයේ සිහින සිනාරියෝව(Scenario) සහ ලංකාවේ අනාගත දේශපාලනය

දෙවන කොටස
 (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක වූයේ ලිපියෙහි අඩංගු සමහර සංකල්පීය වචනවල ඇති තේරුම් ගැනීමේ අසීරුතායයි. නිදර්ශනයක් ලෙස සිනාරියෝ යන්නත්, සංතතිය හා අසංතතිය යන වචනවල ඇති සිංහල සරල අර්ථයයි. සංතතිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන වචනය වන්නේ continuity සහ අසන්තතිය යන්න discontinuity යන අදහසයි. ඒ අනුව සන්තතිය යන්න අඛණ්ඩ පැවැත්ම යන්න ද අසන්තතිය යන්න එහි විරුද්ධාර්තය ද වේ. මේ අනුව පසුගිය කලාපයේ අන්තර්ගත කොටසක උපුටනයක් නැවත ගෙනහැර පාමින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
“පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත.මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ ගනු ලබන්නේ රාජපක්ස රෙජීමයේ අඛණ්ඩ පැවැත්මක් පැවැතීමත්, එසේම ඒ තුල ඛණ්ඩණීය ස්වභාවයක් ඇතත් එම තත්ත්වය නැවත අඛණ්ඩ පැවැත්මක් බවට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව රාජපක්ෂ අණ්ඩු ක්‍රමය තුල ඇත යන්නය. එය එසේ වන්නේ රාජපක්ෂගේ දක්ෂතාවයකට වඩා ප්‍රතිවාදීන්ගේ ඇති අදක්ෂතාවයත්, ඥාති සේවාදායකයේ ඇති බැඳීමත් හේතුවෙනි.)
විපක්ෂයේ සිනාරියෝව
විපක්ෂයේ සිනාරියෝව ගොඩනැගීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට ප්‍රථම විපක්ෂය යන්න කුමක්දැයි වාස්තවිකව වටහා ගත යුතු යැයි හැඟේ. මූලික අර්ථයෙන් ගත් කල විපක්ෂය යන්න පාර්ලීමේන්තුවේ නියොජිතයන්ගෙන් ආණ්ඩු පක්ෂයේ පිරිස නොවන සෙසු පිරිස විපක්ෂයට ගැනේ. එහෙත් මෙම පිරිස විපක්ෂය වේදැයි යන්න නැවත සිතා බැලීමට සිදු වන හේතු ගණනාවක් ඇත. එම  හේතු අතර වැදගත් වන කාරණය වන්නේ ආචාර ධාර්මිකව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ හරය උල්ලංඝණය කිරීමය. එනම් කිසිදු නෛතික හෝ ප්‍රතිපත්තිමය පදනමකින් තොරව විපක්ෂයේ ජනතා නියෝජිතයෙකු හට ආණ්ඩු පක්ෂයට මාරු විය හැකිය. ජනතා පරමාධිපත්‍ය විකෘති කරමින් ජනතා ඡන්දය හා එම ජනතාවගේ අභිලාසය පුද්ගලයෙකුට තීන්දු කළ හැකි අතර විපාක්ෂික ජනයා කැමැති වුවද නැතිද සංකේතිය වශයෙන් නියෝජිතයාට තීනිදු කිරීමේ ස්වකීය අයිතිය විසින් ප්‍රජාතන්ත්‍රීය මූලික මූල ධර්මය කෙළෙසනු ලැබීමයි. මෙය මැත ඉතිහාසය තුල බහුල වශයෙන් සිදුව ඇති බවට ඇති තරම් උදාහරණවලින් පෙන්නුම් කළ හැකිය. මෙම නීති හා සදාචාර විරෝධී ස්වභාවයෙන් සැබැවින්ම පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය යන්න ද විපක්ෂය බවය. නිදසුන් ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියේ ආණ්ඩු කාලය තුල සිට රාජපක්ෂ ආණ්ඩු කාලයේ මේ තාක් දුරට සිදුව ඇති මාරුවීම පරීක්ෂා කළහොත් දැකිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ විසාල පිරිසක් ආචාර ධාර්මික විරෝධීව ආණුඩු පක්ෂය නියෝජනය කිරීමය. ඒ අනුව වඩාත් නිවැරදිව තර්ක කළ හැකි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යන්න එක්සත් ජාතික පක්ෂයේ අර්ධ ආණ්ඩුවකි. එය සභාග හෝ සන්ධාන ආණුඩුවකට වඩා වෙනස් වන්නක් වන අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී ජනතාවට හිමිව ඇති යැයි සලකන තර්ක ඥාණය (Reason) යන ඓතිහාසික නියෝජන ප්‍රජාතන්ත්‍රවායේ මූල ධාර්මික අර්ථය අහොසි කරමින් ජනතාව හිස් මිනිසුන් පිරිසක් බවට පත් කිරීමය. ජනතා කැමැත්ත පර්ලීමේන්තුව තුල මූර්තිමත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු දේශපාලනය අද වන විට අතාර්කික වි ඇතිවාක් පමණක් නොව සමස්ථ සමාජයේ විකෘතිය පිළිබිඹු කරන්නක් ද වේ. එහෙත් එය ජනතාවට ද ගැටලුවක් නැත. බැලූ බැල්මට රටට ද ගැටලුවක් නැත. යම් පමණකින් හෝ පිළිබඹු වන නිර්ණායකයක් ඇත් නම් එය වන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටින පිරිසය. එයද නිෂ්චිතව හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔවුන්ව ලංකා දේශපාලනයේ ආණ්ඩු ක්‍රම වෙනසට වඩා සමාජ වෙනසක් සඳහා සංඥා කරන කොටසක් බවට යම් ඉඟියක් දීම වැදගත් ලක්ෂණයකි. එහෙත් එයට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය විකල්ප විප්ලවීය අර්ථයක්  ඇත්ද යන්න උරගෑමේ ක්‍රමවේදයක් නොමැත.
ඊ ලඟ කරුණ වන්නේ විපක්ෂයේ නියෝජිත පිරිස විපාක්ෂික අර්ථයෙන් සිටිය ද ඇතුමුන් විපක්ෂය නියෝජනය නොකිරීමය. ඔවුන් වක්‍රාකාරයෙන් පවත්නා ආණ්ඩු ක්‍රමය සුරකින්නෝ වෙති. අනෙක් වැදගත් කරුන වන්නේ විපක්ෂය යන්න පක්ෂ එකකට වැඩි ගණනකින් සමන්විත වීමත් මෙම සමස්ථය තුල විපාක්ෂික සම්මුතිකාමයක් දක්නට නොලැබීමය. මේ නිසා විපක්ෂයේ  පොදු සිනාරියෝ ගොඩ නැගීම තරමක් අසීරු වන අතර එයට සිනාරියෝ කිහිපයක් තිබිය හැකි වන්නේ ඒ ඒ පක්ෂවලට ඇති තෝරා ගැනීම් අනුවය. එනිසා එම පක්ෂවල ශඛ්‍යතාවයන්ට අනුව ප්‍රධාන හා උප සිනාරියෝ ගොඩ නැගිය හැකිය.
එක්සත් ජාතික පක්ෂයේ සිනාරියෝව
1994 චණ්ද්‍රකා කුමාරනතුංග ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඇති වූ චලනයන් සැලකිල්ලට ගැනීමේ දී එජාපය අතිශය බරපතල ලෙස ව්‍යච්ඡේදනය වන්නට වූයේ ඊට ආවෙනික අන්‍යයතාවක් නිර්මාණය කර ගනිමිනි. මැතිවරණ ක්‍රමය තුලත්, ඊට පෙර හා පසුත් යන සමස්ථ කාල අවකාශය තුල සංඥා කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හා ජනතා අභිලාස සහ දේශපාලනයේ ඇති දැවැන්ත පරතරයයි. පක්ෂය හා ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලයා ද දේශපාලනය වෙනුවට උපයෝගිතාවාදය මත පදනම් වූ පුද්ගල පැවැත්ම ඉස්මතු වීමයි. මේ නිසා එජාපය යන්න සමාජයේ ස්වරූපය ප්‍රකට කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. එම ස්වරූපයේ වාසිය ආණ්ඩු බලය සහිත නායක්ත්වය ප්‍රයෝජනයට ගත් අතර අවශේස විපාක්ෂික කණ්ඩායම් ද එජාපයට පාඩම් උගන්වමින් පැවැතුණු හා පවත්නා ආණ්ඩු බලයට සහයෝගය දක්වමින් එජාපයේ අනාගත සිනාරියෝව සුණු විසිණු කරන්නට විය. අතීතය එසේ වන විට වර්තමාන එජපයේ ස්වරූපය කෙබඳු වේද යන්න හා එහි නිර්මාණය විය හැකි සිනාරියෝව සතු ශක්‍යතාව අධ්‍යයනය කළ යුතු වේ.
සිනාරියෝව සඳහා අවශ්‍ය මූලික පසු තලය
පියවර 1
තෝරා ගත හැකි ප්‍රශ්න
  1. එජාපයේ නායකත්වය යනු කුමක් ද
  2. එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද
  3. ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද
  4. සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද
පියවර 2
එජාපයේ නායකත්වය යනු කුමක් ද
මෑත කාලය තුලදී ලංකා දේශපාලනයේ දයලෙක්තිකය උපරිමයෙන් ක්‍රියාත්මක වූ සංසිද්ධියක් වේ නම් එය එජාපයේ නායකත්වය පිළිබඳ ගැටලුවයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ සරළ හා ග්‍රම්‍ය නිර්වචනය වූයේ රනිල් වික්‍රමසිංහ යනු නොහැකි නායකයෙකු යන්නය. පහසුවෙන් එසේ පැවැසිය හැකි වුවත් වික්‍රමසිංහ යනු ලංකා සමාජ දේශපාලනයට නොවැටහෙන චරිතයකි. එජාපයේ පරිහාණියේ හේතු කාරකය ඔහු යැයි පැවැසීම අතාර්කික වන්නේ ඔහු පාර පශ්චාත් යටත්විජිත දේශපාලන චරිතයක් වන බැවිනි. සමාජය ඔහුට වඩා පිටු පසින් සිටීමේ ප්‍රතිඵලයේ අස්වැන්න ඔහු බුක්ති විඳුනු ලබන අතර උපයෝගිතාවයට අනුව වේශනිරූපණය වීමේ   නෙහැකියාව ප්‍රකට කළ ද ඔහුගේ  හා එජාපයේ ඉරණමට හරස් කරනු ලැබුවේ අතීතය හා අනුපූරක (complimentary other)අනෙකා විසිනි. එම අනෙකා නම් උතුර හා දකුණ යන දෙ අන්තයේ මර්ධන ඉතිහාසයයි. එනම් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීටීඊ සංවිධානයයි. එය එසේ නොවිනි නම් මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති විය හැකිව තිබුණේ රනිල් වික්‍රම සිංහය. එසේ වූයේ නම් කුමක් වන්නට තිබුණේ දැයි කීම සිනාරියෝවක් නොවන බැවිනුත් අතීතය ගැන අනාවැකි කීමට වඩා එය තේරුම් ගනිමින්  වර්තමාන රනිල් හා අනාගත එජාපයට  ඇති සිනාරියෝව නිර්මාණය කිරීම වැදගත් වනු ඇත.
වර්තමාන රනිල්
පෙර කී පරිදි වර්තමාන රනිල් යනු දයලෙක්තිකය විසින් පරිණත දේශපාලණඥ්යෙකු බවට පත් කළ ප්ලේටෝගේ පරම රජ්‍යෙය් දාර්ශනික පාලකයා බඳුය. මෙය උපහාසයකට හෝ ආ වැඩීමකින් එහාට පැමිණ ගෝලීය ධනවාදයේ හා ලිබරල් අර්ථ ක්‍රමය පදනම් කරගිනිමින් වැටහා ගත යුතු වේ. යුතෝපියානු පාලකයෙකුට හෝ වෙනත් පරිණත රජ්‍ය නායකයන් සමඟ සංසන්දනයෙන් නොව මහින්ද රාජපක්ෂ හා සංසන්දනයෙන් පමණක් බව ගණන් බැලුව හොත් රන්ල් මහින්දට වඩා බර වැඩිය. නමුත් පශ්චාත් යටත් විජිත ජනයාට එම බර වැටහෙනුයේ යකඩ කිලෝ දාහක බරින් යුතු ගෝනිය වන මහින්ද හා පුළුන් කිලෝ එක් දහස් පන්සියයකින් බර ගෝනියක් වන රනිල් අතරින් යකඩ ගෝනිය වන මහින්ද බර වැඩි බවය. එනම් නූතනත්වයට වඩා අතීතය හා සම්ප්‍රදාය බරවැඩි වීමය. එය එසේ උවත් රනිල්  ප්‍රමුක එජාපය ද නොදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයය. එම අර්තයෙන් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති උවද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේ දී ඇති ගැටලුව මහින්දගෙන් එහාට සුභවාදී ලෙස ගමන් කිරීමට ඉඩක් ඇත්දැයි යන්න අවිනිෂ්චිතය. එහෙත් රනිල්ගේ මෑතම කාලීන වෙනස්වීම තුලින් පෙන්නුම් කරන විභවයේ සාධනීය ස්වරූපය වන්නේ, යම් ලෙසකින් ආණ්ඩු ක්‍රම වෙනසක් එජාපය ප්‍රමුකව සෙසු පක්ෂ හා එක්ව සිදුවුව හොත් පවත්නා පවුල්වාදී ඒකාධිපතිත්වය අහෝසිකරමින් සෙසු දේශපාලනය සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය උදෙසා බලපෑම් කළ හැකි ඉදිරිගාමි පිරිසකගේ දෘෂ්ටිවාදීමය මග පෙන්වීම හා තෙරපුම සඳහා අවකාශයක් පාදා ගත හැකි වීමය.
අනෙක් අතට ගොඩ නැගෙන විපක්ෂයේ  නායකත්වයෙන් රාජපක්ෂ නායකත්වයේ ඇති වෙනස වන්නේ අතීත මහින්ද හා අනාගත නිර්වචනය නොවූ නායකත්වය යන්නය. අතීතය නිර්වචනය වී ඇති නිසාත් අනාගතය නිර්වචනයට ඉඩ ප්‍රස්ථාව ඇති නිසාත් විපක්ෂය  එක්ව ගොඩ නැගෙන ආණ්ඩුව පරන ගණක් හැදීම්වලින් තොරව වන සූත්‍ර ආදේශ කිරීමට පරිසරයක් නිර්මාණය කර ගැනීමට ප්‍රගතිශීලී විපාක්ෂිකයන්ගේ වගකීමකි. එබැවින් වර්තමාන තත්තවය වන විට රනිල්ගේ නායකත්වයේ විපරිවර්තනය පෙරට වඩා සාධනීය වී ඇත. මෙම නව හැඩය නිර්මාණශීලී දේශපාලනයට අවකාශයක් ඇති අතර එය කොතෙක් දුරට තාර්කික වන්නේ දැයි කීම න්‍යායට වඩා භාවිතාව තුල සිදු විය යුත්තකි. මෙතෙක් වූ වෙනස් කම් පවා ප්‍රමාද වී ඇතත් විය හැකි සාපේක්ෂ සාධනිය වෙනසක් එජාපය තුල සිදු වී ඇත. ඒ තුල රනිල්ගේ නායකත්වය සෙවැනැලි නායකත්වයක් බවට පත්ව ඇත. එජාපයෙන් හෝ රනිල්ගෙන් සමාජවාදය හෝ සමානාත්මතාව හෝ දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කළ නොහැකි උවත් ඒ සඳහා අවශ්‍ය සංයුතියේ කොටස් කරුවන් වීමට ඉඩක් ඇත් ද නැත් ද යන්නට ඉඩක් පවත්නා තත්වයට වඩා ලැබිය හැකිය.
එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද
සාකච්ඡා සැලසුම් හා සංවාද තුලින් ගම්‍ය කරන්නා වූ සිනාරියෝවට අනුව මහින්ද රාජපක්ෂ රෙජීමය පැරදවීමට ගෙනෙන විකල්ප තක්සේරුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලීමේන්තුවට බලය පැවැරීමය. මේ සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරඟ කිරීමය. ඒ සඳහා ප්‍රකාශ වී ඇති යෝජනා හා බලපෑම් වලට අනුව නිෂ්චිත පැහැදිලිතාවක් දැකිය නොහැකි වුව ද, යම් ලෙසකින් මහින්ද රාජක්ෂව ජනාධිපති වරණයේ දී පාරාජය කිරීම නැමැති ප්‍රධාන මුරිච්චිය ගලවනු ලැබුව හොත් රාජපක්ෂ සන්ධානය අහස් යානයක් කඩා වැවෙන්නාක් මෙන් බිමට ඇද වැටෙනුයේ වැදගත් බොහෝ දේ සිදුවීමෙන්ය. එහෙත් ගොඩ නැගෙන ආණ්ඩු ක්‍රමයෙන් හෝ ඔවුන් සතුව  ඇති වාස්තවික සැලසුම්වලින් සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කළ හැකි ද යන විශ්වාසය ඇතැත්, විපක්ෂයට මහින්දව පැරදවීම කළ හැකි වන්නේ නම් එය කළ හැකි වන්නේ බොහෝ පාර්ශවයන්ගේ එකමුතුවෙන් බැවින්, නිර්මානශීලීන්ට, ඉදිරිගාමීන්ට එය මෙහෙයවීමේ නායකත්ව සුක්කානම නැමති තෙරපුමේ සිනාරියෝව ගොඩ නැගිය යුතුවේ. එය අතීත නිදර්ශනයකින් තේරුම් ගන්නේ නම්, පසු ගිය කාලයේ දෙමළ ජනයාට එරෙහිව රාජපක්ෂ හා එකතු වෙමින් ඔහුට චින්තනයක් ද සපයා දෙමින් දස දසහස් සංඛ්‍යාත ජන සංහාරයක් කිරීමට සාර්ථක ඛේදනීය සිනාරියෝවක් නිර්මාණය කළ ජවිපය (පෙරටුගිමින්ද ඇතුලත්)ට විලෝමීය කාරයයක් නැවත ඇත. එය කොට්ට උරය කණපිට ගැසීමක් නොවන  නමුත්  නිෂේධනීය අන්තාවාදයක සිට සාධනීය අන්තවාදයකට නැවත ගමන් කරමින් අතර මග සිට කිරීමට ඇති කාර්යයක් වන්නේය. එය රනිල්ට හො වෙනත් පුද්ගලයෙකුට චින්තනයක් හැදිම වෙනුවට රටට හැදිය යුතු චින්තනයේ පංගුකාරයන් වීම ය. එහෙත් විපක්ෂයේ සිනාරියොව සඳහා එම කොටස්වල ඇති නැමියාව හා චින්තනමය හැකියාව පිළිබඳ අනාවැකි පල කළ හොහැකි බැවින් ඊට ඉඩ තැබිය යුතු අතරම, ඔවුන්ගෙන් තොරව ආණ්ඩු ක්‍රමයක ස්වරූපය කෙබඳු වේ දැයි යන්න කිව හැක්කේ ආණ්ඩු ක්‍රමයක් නැත යන්නය. ඔවුන් යනු ජවිපය මෙන්ම සෙසු කොටස් වන සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් සියල්ලේ සහයෝගයෙන් මිසක රාජපක්ෂව පරාජය කිරීම කළ හොහැකිය යන්නය. මෙහිදී පාර්ලීමේන්තුවේ පදනමක් නැති උවත්, ජන පදනමක් නැති උවත් දෘෂිටිචාදීමය බලය හා අනන්‍යතා ශක්තීන් විශාල මෙහෙයයක් සිදු කරන බැවින් හැම කෙනෙකුම වැදගත් වන්නෝය. එහෙත් එය එසේ සිදු වීමට ශඛ්‍යතාවක් පෙන්නුම් කරන ප්‍රමාණය ප්‍රාමාණිකව ඇත්තේ පහළ අගයක බැවින් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ සිනාරියෝව සාධනීය අර්ථයෙන් ගැටලුවක් වී ඇත.
ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද
ප්‍රධාන පක්ෂය වන එජාපය මෙන්ම සෙසු කුඩා පක්ෂ හා පුද්ගලයන් තුලත් ප්‍රධාන වශයෙන්ම පැවැතිය හැකි ප්‍රතිවිරෝධය වන්නේ අන්‍යයතාව හා බලය සම්බන්ධ කාරණාවය. මේ සඳහා සාමුහිකව පිළිගත හැකි සම්මුතිකාමී යොජනාවන් හා ආදර්ශයන් ප්‍රකට කරනු වෙනුවට පුද්ගලත්වය තරාදියට දමිමින් මස් රාත්තල ඉල්ලා සිටීම වෙනුවට රටක් ජනතාවක් හා අනාගත පරපුරක් වෙනුවෙන් කැපකිරීම් හා එකිනෙකාගේ(each other/ einanderer) දේශපාලනික සංස්කෘතියකට පුහුණු විය යුතුය. අතීතයෙන් පාඩමි ඉගෙන ගනු විනා අතීතh ක්ෂතියක් (Trauma)ලෙස   ගනිමින් එය තම දේශපාලනික මෙවලම් කර ගැනීමෙන් කිසිවකුට පලක් නොවන අතර පුද්ගලික වශයෙන් තමන්ට ද පලක් අත් නොවනු ඇත. අනෙක් අතට ලාංකීය දේශපාලනික සංයුතිය හා සංස්කෘතිය අනුවත් අපේක්ෂා විභේදනය වී ඇති සවභාවයත් අනුව තනි පක්ෂ දේශපාලනය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගිය හැකි ආයතන වීමට කිසිදු ඉඩක් නොමැත. අවශ්‍ය වන්නේ නම් මේ පිළිබඳ ගෝලීය වශයෙන් ඓතිහාසික තත්ත්වයන් සොයා බැලිය හැකිය. ලාංකිකයන් වන බොහෝ අපට තවමත් කුඩා හෝ ඉඩම් කැබැල්ලක් ඇති බැවින් හැහෝම තමන්ගේ කියා ගෙදරක් සාදා ගැනීමට සිහින දකින්නාක් මෙන් සෑම පක්ෂයක් විසින් ස්වකීය අණසක රටට පැතිරවීමට සිහින දකිනවා විය හැකි උවත්, යථාර්ථය වශයෙන් තමාගේ සිහිනය නැමැති කූඩයට චතුස් කෝටික සිහින දයලෙත්තිකයන් දමා ගැනීමේ උභතෝකෝටිකයෙන් ගැලවිය හැකි නම් අපූර් නිර්මාණශීලි පුද්ගලයෙකු ග්‍රීක පුරාවෘත්තවල මෙන් පැමිණිය යුතුය.
එනිසා හැඩයෙන් හා ගුණයෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝද ගණනාවක් පැරණි හා අලුත් වශයෙන් ඇති විය හැකි අතර සියල්ල නිර්ණය වනු ඇත්තේ සිනාරියෝවෙහි ඇති සූත්‍ර හා විද්‍යාත්මක තත්වය මෙන්ම අවංකභාවය හා කැපවීම තුලය.
සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද
පවත්නා උද්දච්ඡ මුග්ධ අධම ආණ්ඩු ක්‍රමය නැතිකිරීම විසින්ම සමාජයේ හැඩය වෙනස් වීමට බලපානු ඇත. එම වෙනස හා හැඩය තුල ඇති අවකාශය සමාජය යළි ගොඩ නැගීමට වැඩබිමක් කර ගැනීමට හැකි සංස්කෘතියක් නිර්මාණය කර ගත නොහැකි වේද. මෙය ඉතිහාසයේ එක්වරක් වූ දෙය දෙවරක් සිදුවීමක් නොවීමට සන්ධාන ගත ප්‍රගතිශීලින්ගේ නැණ පමන හා නිර්මාණශීලී කැපවීම ඓතිහාසික වනු ඇත. තනිව වීරයෝ වනවාට ඩවා සාමූහික වීරත්වයේ අසිරිය අපට කිව නෙහැකි වනු ඇත් ද?
උතුරේ දෙමළ ජනයාගේ අනාගතය තීරනය කිරීම ඒ ආකාරයෙන් එක්වරම නොවිසඳුනද අතීතය සමග ඇති ගනුදෙනුවෙදී යුක්තිය පිළිබඳ අපේක්ෂාව හිමිවනු ඇත්තේ නව ආණ්ඩු ක්‍රමය ගන්නා ක්‍රියා මාර්ග තුල නොව රාජපක්ෂගේ ඇද වැටීම තුලය. එය ද වෛරයෙන් තොරව යුක්තිය හා සාධාරණත්වය තුලින් දේශපාලනික හා සමාජ සංස්කෘතික සංහිඳියාවක් කරා ගමන් කරන පාලමක් වන්නට පුළුවන.
මේ පිළිබඳ තවත් දේ ඉදිරියට
උදය ආර්. තෙන්නකෝන්

Wednesday, November 20, 2013

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම


පළමු කොටස
හැදින්වීම
ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම දරුණු පැන නැගීම සමාජය තුල හා එහි වැසියා තුලම හිර වී  ගෙවෙමින් යන දේශපාලන ජීවිතය සුවදායක නොමැති බැවින්, ඉන් නිදහස් කර ගැනීම පිණිස දේශපාලන සමාජයේ ප්‍රමුක ප්‍රගතිශීලී පිරිස් හට දිගු හා කෙටි කාලීන  අත්‍යවශ්‍ය වගකීමක් ඉතිහාසය විසින් උරුම කිරීමට බලකෙරෙමින් තිබේ.
මේ සඳහා බල දේශපාලනික වේදිකාවේ දේශපාලනික කණ්ඩායම් හා පුද්ගලයන් හට වෙන් වෙන් වශයෙන් දේශපාලනික හා සාමාජීය සිනාරියෝ ඇත. ගැටලුව ඇත්තේ දේශපාලනික බලයෙන් හෝ සමාජීය බලයෙන් රට වෙනස් කිරීමට කල්පනා කරන්නන්ගේ සිනාරියෝ සතුව ඇති සක්‍රීය ධාරීතාවයෙහි ඇති ගැටලු සහගත බවය. එබැවින් ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශී වෙනස උදෙසා දේශපාලනික සිනාරියෝවන් හඳුනා ගැනීම හා නිර්මාණය කර ගැනීම වැදගත් වන අතර එය මුල් තැනක් ගන්නකි. නමුත් පුද්ගලයන්ට හා දේශපාලනික පක්ෂ කණ්ඩායම්වලට අනුව අඩු වැඩි වශයෙන් මෙකී සිනාරියෝ ගොඩනගා ගැනීම සිදු වුවත් එවා යථාර්ථවාදී ශක්‍යතා ගුණයෙන් යුක්ත වන්නේ දැයි කල්පනා කළ යුතු අතර ඒ පිලිබඳ නැවත සලකා බැලීම පිණිස සිනාරියෝ යන්න කුමක් දැයි හඳුනා ගැනීම හා සිනාරියෝ ගොඩ නැගීම පිළිබඳ න්‍යායික කතිකාවකට පිවිසුමක්  මෙම ලිපිය මගින් පෙන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන සමාජය වර්ගීකරණය කරමින් සිනාරියෝ ගොඩ නැංවීම කරනු අතර ඒ සඳහා පහත සඳහන් සාධකයන් ප්‍රස්තුථ කර ගත හැකි වේ.
1.     රාජපක්ෂ සිනාරියෝව
2.     විපක්ෂ සිනාරියෝව
3.     විකල්ප සිනාරියෝව
4.     වමේ සිනාරියෝව
සිනාරියෝවක් යනු කුමක්ද
සිනාරීයෝවක් යනු අනාගතය පිළිබඳව විය හැකි විස්තාරිත දැක්මන් හෝ අනාගතයේ වියහැකි පැතිකඩයන් හෝ මානයන් පිළිබඳ කතාන්තරයකි. එය බොහෝවිට ආදර්ශමය දැක්මක් හෝ අනාගතය පිළිබඳ අධ්‍යයන ක්‍රමවේදයකි. සිනාරියෝවක් යනු අනාගතය පිළිබඳ අනාවැකි කියවීමක් නොවන අතර  එය තරමක් සමාන වන්නේ අනාගතය පිළිබඳ යම් (simulation) ආභාසනයකටය. නැතිනම් සමාකරණයකටය. එසේත් නැතිනම් ව්‍යාජ වේශයකටය. ඒ අනුව සිනාරියෝ යන්න පැහැදිලිකර ගැනීමේ ක්‍රමයක් හෝ තීරණ ගැනීමේ උපකරණයන්  යන දෙයාකාරයම භාවිතයට ගැනීම සිදු වේ. ප්‍රධාන වශයෙන් වර්තමානයේ  ඇති (discontinuities)අසන්තතීන් පැහැදිලිව හඳුනා ගැනීමට හා ඒවායේ පවතින තෝරාගැනීම් සහ එහි ශක්‍යතාවන්වන්ගේ විපාකයන් හෙලිදරව් කරගැනීම සිනාරියෝවක් මගින් සිදු වේ. සාමාන්‍යෙයන් සිනාරියෝ ගොඩනැංවීම පිළිබඳ න්‍යාය හා ක්‍රමවේදයන් පදනම් වනුයේ ආයතන හා ව්‍යාපාරයන් පිළිබඳ අනාගතය සැලසුම් කර ගැනීමට හා එය සාර්ථකකර ගැනීම පිණිසය. මෙම සංකල්පය දේශපාලන ව්‍යාපාර හෝ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධකර ආදේශකර යම් කිසි කතාන්තර ගොඩ නැගුවහෝත් එය ද අනාගතය ගැන යම් චිත්‍රයක් ඇති කර ගැනීම තුලින් සමාජයේ ඇති විය හැකි චලිතය හඳුනාගතහැකි වනු ඇත.
සිනාරියෝ අධ්‍යයනය ලාංකීය දේශපාලන සන්දර්භයට ගලපා තේරුම් ගැනීමේ දී වර්තමානයේ ඇති අසන්තතීන් මොනවාද යන්න හා මෙම වාස්තවිකයන් හරහා අනාගතයට පිවිසීමට ඇති තෝරා ගැනීම් කුමක් දැයි යන අදහසින් සිනාරියෝ ගොඩ නැගීම කරනු ලැබිය යුතුය. මෙයට කාලය හා අවකාශය පදම්කර ගනිමින් අනාගතයේ විය හැකි යැයි සිතිය හැකි ශක්‍යතාවයන් සැලකිල්ලට ගත හැකි අතර සාමාන්‍යෙයන් ලාංකීය දේශපාලනයේ සිදු වන්නාවූ ගොඩනැංවිම කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය පදනම් කරගෙනය. ආණ්ඩු බලය වෙනස් විම පිළිබඳ සිනාරියො ගොඩනගා ගනිමින් ඊට සම්බ්න්ධ ක්‍රියාකාරී සැලසුම් කිරීමය.මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත දේශපාලනයේ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන්ගේ ඉලක්ක කේනද්‍රගතවූයේ මෙකී බල කේන්ද්‍රයන් අරමුණු කරගෙනය.  ආණ්ඩු මාරු වී ඇති කාලයන් හා අවකෘශයන් අධ්‍යයනය කිරීමේ දී බලය මාරු කිරීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය ද, බලය වෙනත් ආකාරයකින් අල්ලා ගැනීම පිණිස විප්ලවීය අර්ථයෙන් ක්‍රියා කොට අසාර්ථක වූ සිනාරියෝ අපට ඉතිහාසය පුරා දැකිය හැකිය.අතීතයේ සිදු වූ සිනාරියෝ පසෙක තබමින් අනාගතය පිළිබඳව දේශපාලනික වශයෙන් සිනාරියෝ වර්ග දෙකක් යටතේ තේරුම් ගත හැකිය.
1.     විය හැකි සිනාරියෝ
2.     විය යුතු සිනාරියෝ
විය හැකි සිනාරියෝ
පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත. එය විය හැකි සිනාරියෝවක් වනු ඇති අතර එය විවිධ හැඩයන් මෙන්ම චලනයේ වෙනස් කම්වලට භාජනය වීමට නියමිත විය හැකිය. මෙම වෙනස් වීම්වල ඇති අසන්තතීන් පරීක්ෂා කළහොත් රාජපක්ෂ බල ව්‍යුහය පදනම් කර ගත් සිනාරියෝ පහත පරිදි න්‍යයගත කළ හැකිය.
සිනාරියෝ ගොඩ නැංවීම- Scenario Building  No 1
රාජපක්ෂ  සිනාරියෝව-Rajapaksha Scenario
කාලය 2013- 2020
පියවර 1
කේන්ද්‍රීය කාරණා හඳුනාගැනීම (සිනාරියෝ සඳහා පසුතලය සැකසීම)
ලංකා දේශපාලනයේ අනාගතය සඳහා වන පසුතලය ගොඩනැංවීමේ දී ප්‍රශ්නාවලියකින් ප්‍රවිෂ්ටව ප්‍රධාන කාරණාවලට අවතීර්නය විය හැකිය.
ප්‍රශ්න
1.     ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විහ හැක්කේ කවරෙක් ද
2.     ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
3.     ඇති විය හැකි ප්‍රතිවිරෝදතා කෙබඳු වේද
4.     සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද
පියවර 2- ප්‍රධාන කාරණා හඳුනාගැනීම හා විෂ්ලේෂණය
ඉහත ප්‍රශ්නවලට පිළිතුරු රාජපක්ෂ බල කේද්‍රය තුල ස්ථානගත කළ හොත් මේ සඳහා ප්‍රධාන  සහ උප ප්‍රධාන සිනාරියෝ ගොඩ නැගිය හැකිය.
ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විය හැක්කේ කවරෙක් ද
ඒ අනුව පළමු ප්‍රශ්නයේ ප්‍රධාන පිළිතුර වන්නේ ඉදිරි කාලය සඳහා මහින්ද රාජපක්ෂ නම් වන වර්තමාන ජනාධිපතිවරයාම රටෙහි නායකයා වනු ඇති බවය.ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය පසුලතය සැකසෙන විට අභ්‍යන්තරිකව උප සිනාරියෝ ගණනාවක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුව ද  එම සිනාරියෝ නැවත තමා සතු කර ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය රාජපක්ෂ වටාම ගොඩ නැගෙනුයේ ඒ සඳහා විකල්ප බලවත් ශක්‍යතාවයකින් වෙනත් දිශාවකට ගමන් කිරීමට නොහැකි කම නිසාය.
ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය වනු ඇත්තේ ෆ්‍රට් සැලට් කැඳ හැලියකි. එහි ඇති ගුණය වන්නේ ෆ්‍රට් සැලට් අඩංගු වීමය. නමුත් එය කැඳ හැලියකි. ආණ්ඩුවේ සංයුතිය තවත් ප්‍රසාරණය වීමෙන් යම් කේවල් කිරීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති කොටස්වල බලය තව තවත් තනුක කරනු ඇත.එය සිදු වන්නේ පිටත සිටින, එනම් විපක්ෂයේ ඊනියා විකල්ප පිරිස් හා විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් අවසානයේ රාජපක්ෂ හා එකතු වීමෙනි. සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ අනුගාමික කොටස් වන ශිරාල් ලක්තිලක වැනි ඊනියා ලිබරල් වාදීන් මෙම අවසාන නිමේෂයේ රාජපක්ෂට සහයෝලය දෙනු ඇත. කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂයේ තත් කාලීන භූමිකාව ද විමල් වීර වංශ, චම්පික රණවක වැන්නන්ගේ කට හඬට හෙම්බිරිස්සාව වැළදෙනු ඇතත්, දෘෂිටිවාදයෙන් ශක්කි සම්පන්න චම්පික වැන්නෙක් කුමන්ත්‍රණකාරී ලෙස හැසීරීමෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇත.
ඇතිවිය හැකි ප්‍රතිවිරෝධතා
ගණන් කළ නොහැකි තරමේ ප්‍රතිවිරෝදතාවන් ගොඩ නැගිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත්තේ රාජපක්ෂ පවුලේ පිරිස් අතරය. ඉන් ප්‍රමුක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්‍රාමයෙන් අනතුරුව සිහසුන තම පුත්‍රයාට උරුම කිරීමට කරන ප්‍රායෝගික දේශපාලනික හා සමාජීය ක්‍රියාවලිය තුලය. පළමු ප්‍රතිවිරෝධය එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩ නංවන සුපිරි සිංහල බෞද්ධ බලවේගය ප්‍රමුක කර ගත් පිරිස්ය. මේ සඳහා චම්පික රණවක උපක්‍රමිකව විශාල කාරයයක් කරනු ඇත්තේ, ජාත්‍යන්තරව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පීඩනය හා තින්දු තීරණ උපකාර කරගනිමින් සිංහල ජාතියේ නියම ගැලවුම් කරු ගෝඨාභය රාජපක්ෂ බවට සුජාතකරණය කරමිනි. විමල් වීරවංශ ද එම පිලට පැනීමට බොහෝ ශඛ්‍යතාවක් ඇති නමුත් ඔහුගේ දූෂණ හා ක්ෂය වන ජනප්‍රියත්වය විසින් කිසිවකුට අත්‍යවශ්‍ය නොවනු ඇත. එ බැවින් ඔහු රාජපක්ෂ පරපුර පවත්වාගෙන යෑමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.
බැසිල් රාජපක්ෂ රටේ නායකයා වීමේ සිහින සිනාරියෝවක් ගොඩ නගනු ඇතත් එහි ශඛ්‍යතාව අල්ප වනු ඇත්තේ ඕනෑම විටෙක ඔහුව පාලනය කළ හැකි පරිදි තබා ගැනීමට උපදෙස් සැපයීම තමා තුලම සිටින ධම්ම දිසානායක වැන්නන් නාමල් රාජපක්ෂට සහයෝගය දැක්වීමෙනි. මතු වීමට තැත්කරන ඕනෑම අවස්ථාවක ඔහුව අදෘශ්‍ය ලෙස මෙහෙය වීම සඳහා ඩලස් වැනි මාධ්‍ය චැනලයන් යොදාගනු ඇත. කෙසේ වෙතත් පවුල තුල ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතාව තීව්‍ර වනු ඇත්තේ රාජ පක්ෂටම වාසි ගෙනදෙන අයුරින් නිසා, ඇති වන කුමණ්ත්‍රණවලින් මැක්බත් නාටකයේ සවරුපයක් අත්කර නොගනු ඇත. මන්ද රාජපක්ෂ ලේ ඥාතිත්වය රාජ්‍ය හා ජනතාවට වඩා ඝණකම් බැවිනි.
ඉතිරි උප සිනාරියෝ විපක්ෂය හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධාන හා ගැට ගැසුනද පලක් අත්නොවනු ඇත. ( මේ සියල්ල පවත්නා තත්තවය අනුව විපක්ෂයේ හා සෙසු කොටස් (විචල්‍ය ) වෙනස් නොවන ලෙස සලකමින් හා ජනතාව වෙනස් වුවද ඔවුන්ව සුසමාදර්ශී වෙනසකට සූදානම් නොවන බැවින් මෙම මෙසේ සිදු විය හැකිය)
සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද
දෙමාපියන්ට අනුව දරුවන් හැඩ ගැසෙන්නාක් මෙන් රටේ නායකයාට හා ඔහුගේ භාවිතාවට අනුව සමාජය නිර්මාණය වීම මේ වන විටත් සිදුවනු ඇති බැවින් පීඩනය යන්න මහගමසේකරගේ කවියක් වනු ඇත. එනම් “දුක  ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න” යන්න තුල ජනතාව එහි යථාර්ථයක් වනු ඇත. වංචාවට දූෂණයට අනුවර්තනය වූ ජනයා ද අඩු වැඩි වශයෙන් එහි ශුද්‍ර කොටස් කරුවන් බවට පත් වී, ඒ පිළිබඳ පාර්ලීමේන්තුවේ රූපවාහිනියේ බණ කියන අනුර දිසානායක වැන්නන්ට සිනාසෙනු ඇත. එය නාට්‍යාකාරව නරඹනු ඇත. සමාජය අපූරු පන්නයේ සිහිනය වෙනුවට බොරුව කරපින්නාගත් ක්‍රමයකට හැඩ ගැසෙන විට සිහිනයක් සහිත දේශපාලන න්‍යායන්ට හා කැපවීම්වලට මෙම දෙයාකාර අසන්තතින් හඳුනා ගත්ත ද ජනයා මුදා ගැනීම නැමැති මෙහෙයුම්වලින් හෙම්බත්වනු ඇත. අධ්‍යාපනයේ සිටම බොරුව ක්‍රමයක්(System) බවට පත්වීම නිසා අගයයන් (Values)හා ධර්මතා (Norms), බෞද්ධාගම ද යොහෝවාගේ ආගමක් හෝ එසේත් නැතිනම්, සිංලයා බේරා ගැනීම යන මිථ්‍යා අභිමතාර්ථයෙන් සිංහල ජනයා තව තවත් ප්‍රපාතයටම   හෙලීමට ලක් වන ජන වර්ගයක් වීම නොවැල්විය හැකි ආරම්භයක් වනු ඇත.
විපක්ෂයේ විය හැකි සිනාරියෝව ඊ ලඟ කොටසට
උදය ආර්.තෙන්කෝන්


Monday, October 28, 2013

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

Image
සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක්  හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම, ලාංකික සමාජය පුරා වෙලී ඇති අගතිය දුරුකර ගැනීමට ඉවහල් වනු ඇතැයි සිතමි.  ඔහුගේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගත් අති ජාතිවාදය විසින් බෞද්ධ දර්ශනයේ මූලික සංකල්ප පවා විකෘති කිරීමත්, ඒ තුලින් ෆැසිස්ට් බෞද්ධ දර්ශනයක් බවට පරිවර්තනය කිරීමට සිංහල බෞද්ධ ජාතිවාදයට හැකිවාව ලැබී ඇත. ඔහුගේ මෙම සංකල්පීය ව්‍යාපෘතිය හරියට සම්පූර්ණ ගෙයක් කුඩා කාමරයකට ඇතුල් කිරීමක්, නැතිනම් බූලියකට බැරල් එකක් බැස්සීමක් වැනි චින්තනයකට පටුවීමත් නිසා ඔහුගේ ලෝක දැක්ම ලංකාව නැමති ලෝකයට බොන්ෂායි කර ගැනීම නිසා නිලීන් වැනි බුද්ධිමතෙකුගේ නිර්මාණශිලීත්වය ඇත්තේ එම විකෘතිය තුලමය. එනම් ඔහුගේ පැවැත්ම හා අනන්‍යතාව ඇත්තේ බොන්ෂායි ලෝක දැක්ම තුලය. ඔහු විසින් ගොඩනංවන බලහත්කාරය  රාජ්‍ය ප්‍රමුක සෙසු දේහයන් සිය අවිඥ්ඥාණික ආර්ශය කරගන්නා විට, සමාජ භාවිතාව හා චින්තනය නන්නත්තාර වීමෙන් ආත්මිය වශයෙක් ඉරිතැලුණු සත්වයෙකු සිංහල බෞද්ධයා ලෙස අපට හමු වේ. මෙම සත්වයා මූල ධාර්මිකව විකෘති ආත්මයක් සහිත සත්වයෙකි. එම තත්ත්වය බිහිවීමේ ඇරඹුමේ දොරටුව වන්නේ ථෙරවාද බුදු දහම ලාංකීය සමාජය තුලට ඇතුලු වීමෙනි. අවිහිංසාව මෙන්ම මනුෂ්‍යත්වය මුඛ්‍ය කොටගත් දර්ශනයක් රාජ්‍ය හා බද්ධ වීමේ දී එහි මූලධාර්මික පිපිරීම සිදු වන්නේ හිංසනය සාධාරණීය කරණය කිරීමෙනි. ආගමික සංස්ථාවේ පැවැත්ම උදෙසා රාජ්‍ය බලය වැදගත් සාධකයක් වීමෙනි. අනෙක් අතට හින්දු දර්ශනය හා එම සංස්කෘතියෙන් මිදීමට නොහැකි වීමෙනි. එම නිසා ලංකාව විෂයෙහි දී බුදු දහමේ ආත්මය කෙළෙසීම රාජ්‍ය හා බද්ධවීම නිසාත්, විපරිවර්තනය සිදුවීම හින්දු ආගම නිසාත් ඇති වීම තුල සිංහල බෞද්ධයා ගේ ආත්මය පළමුව හින්දු ආත්මය තුලත් දෙවැනුව සිංහල බෞද්ධ රජ්‍ය දෘෂ්ටිවාදය (දෙමළා අනෙකා වීම තුලත්) විසිනුත්  බෙදීමකට ලක් කිරීම සිදු වී ඇත. තුන්වැනි බෙදීම සිදුවන්නේ යටත් විජිත වාදය හා ධනවාදයේ ගති ලක්ෂණ උත්තරාරෝපනය වීම තුලදීය. මෙම ත්‍රිත්වය තුලට කොටුවන සිංහල බෞද්ධයාව තේරුම්ගත යුත්තේ හා සාධණීය වෙනසකට ලක්කළ යුත්තේ සමස්ථයෙන් මිසක ඒක කෝණික කල්පිතයන්ගෙන් නොවේ. එහෙත් නලීන් ද සිල්වාට සිංහල බෞද්ධ හැර සියල්ල අනෙකාය. ඒ තුල න්‍යාය ගත කරන ඔහුගේ ප්‍රවාද සිය ජයග්‍රණය උදෙසා ඔහුට සිතෙන සිතෙන අයුරින් හා වාසිදායක අයුරින් යොදා ගැනීම ඔහුව විමසන කල පැහැදිලි වන්නේය. ඔහු ප්‍රාමාණික බුද්ධිමතෙක් හා උගතෙක් වන යථාර්ථය තුල ඔහුට නො වැටහෙන සත්‍ය නම් හිතාමතා කරන වංචනිකත්වයක් මිස, අවිඥ්ඥාණිකත්වයක් නොවනු ඇතැයි සිතේ. චංචාව තුල ඇති වී ඇති අන්‍යතාව හා පැවැත්ම විසින් ඔහුගේ සසරට ඔහු ආදරය කරන්නට වන්නේය. එබැවින් සිජහල බෞද්ධ චින්තනය නැමැති කබරයාව ඕනෑම මොහොතක තලගොයෙකු කර ගැනීමට තාර්තික ඔහුගේ ලෝකය විවර වී ඇත.
මෑතක දී ඉරිදා දිවයින කාලාපයකට ලියන ලද ලිපියක බෞද්ධ දාර්ශනික චින්තන කැබැල්ලක් වන“අනේ අනිච්ඡං“ යන්න ගැන ඔහුගේ විග්‍රහය හා අනේ අනිච්ඡං තුල ඇති භෞතික යථාර්ථය තේරුම් ගත යුත්තකි.
මහාචාර්ය නලීන්ගේ   සඳහන් කරීම:
“මැකෝලිගේ දරුවන් ගබ්සා වූ සිලනීස්‌ කණ්‌ඩායමට පණ දීමට උත්සාහ දරද්දී සිංහලයෝ විවිධ ආකාරයෙන් තම යුදෙවු ක්‍රිස්‌තියානි යටත්විජිත විරෝධී සටන ඉදිරියට ම ගෙන ගියහ. වාරියපොළ සුමංගල හිමියන් ඇතුළු භික්‌ෂුන් වහන්සේ ද අනගාරික ධර්මපාලතුමා දකැප්පෙටිපොළ නිළමෙ ඇතුළු ගිහියෝ ද එයට සහභාගි වූහ. එහෙත් ඇතැම් මුස්‌ලිමුන්ගෙන් එයට සහායක්‌ ලැබුණ ද උඩ සිට පගළට ක්‍රියාත්මක වන දෙමළ ජාතිකවාදය හේතුවෙන් දෙමළ ජනයාගෙන් ඒ සඳහා කිසිම ආධාරයක්‌ නො ලැබිණි. අරුමුගම් නාවලර්තුමාගේ ව්‍යාපාරය වුව ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී රාමුව තුළ ම වූ හින්දු පුනර්ජීවනයක්‌ පමණක්‌ විය. ඉංගිරිසිහු සියලු ජනවර්ගවිශේෂයෙන් ම දෙමළ ජනවර්ගය සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. ඉංගිරිසින්ට හා පොදුවේ බටහිරයන්ට යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ ජාතීන් අතර ප්‍රධාන ම තැනක්‌ ගත්තේ සිංහල ජාතිය ය. බටහිරයන්ගේ ඉන්ද්‍රිය පිනවන,පෞද්ගලිකත්වය ඉස්‌මතු කරන සංස්‌කෘතියට අභියෝග කළ හැකි එකම සංස්‌කෘතිය හෙළ (සිංහල) බෞද්ධ සංස්‌කෘතිය යෑයි සිතමි. අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුරහෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේ විට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත. (අනාත්ම හෙවත් නොපැවැත්ම පිළිබඳප්‍රශ්නය විදුසර පත්‍රයෙහි දිගින් දිගට ම සාකච්ඡා කෙරෙයි) බටහිර දාර්ශනිකයන්ගෙ පඹගාල පශ්චාත්නූතනවාදීහු ව්‍යාජ විදග්ධ වචනවලින් ප්‍රදර්ශනය කරති. පට්‌ටපල් බොරු වූ කතන්දරවලින්සමන්විත බටහිර විද්‍යාවට සමස්‌තයක්‌ ලෙස ගත් කල ලෝකය කාලකණ්‌නි කිරීම හැර කළ හැකි දෙයක්‌ නැත.“
නලීන් ද සිල්වා මහතා ඉහතින් සඳහන් කරන අදහස්වල ඇති පරස්පරයන් වෙන වෙනම විග්‍රහ කළ යුතු වුවත් ඔහු විසින් ඉදිරිපත් කරන, අපගේ මාතෘකාවට අදාල කොටස වන්නේ පහත උපුටනයය.
“අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේ විට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේජියෑක්‌ලාගේ දර්ශනවල නැත.“
සිංහල සංස්කෘතියට හා සිංහලයාට ඇති එහෙත් අනෙක් සංස්කෘතින්ට, දර්ශනයන්ට නැති මෙම දාර්ශනික ගැඹුර සබැවින්ම කුමක් ද. මෙයට ඇති මගේ පිළිතුර නම් දයලෙක්තිකය අහිමි වීම හා නන්නත්තාර වීමය. එය තවත් විස්තර කරනු ලැබුවහොත් ඇතිවීම හා නැතිවීම මිස පැවතීම යන්න ඉහත ගැමියාට සිංහලයාට සංස්කෘතියට නොමැති වීමය. පවතී එහෙත් නොපවතී. ජීවත් වේ එහෙත් ජීවිතයක් නැත. පැවතීම තුල කාලයක් ඇත එහෙත් ඊට අර්ථයක් නැත. අර්ථය සඳහා අවකාශයක් නැත. අවුරුදු සියයක් ජීවත් වුව ද මෙම තිථිය (පැවැත්ම) සඳහා අර්ථවත් ජීවිතයක් මෙකී ගැමීයාට ලැබෙන්නේ නැත. එබැවින් අනේ අනිච්ඡං හා සමානම තවත් ගැඹුරු දාර්ශනික කැබැල්ලක් වන්නේ “ ඔහේ ඉන්නවා“ යන්නය. නගරයේ ජීවත්ව සිට ඈත ගමකට ගොස් දින කිහිපයක් ජීවත්ව බැලුවහොත් දැනෙන දෙයක් වනුයේ කාලය හෙමින් ගමන් කරන බවය. ඒ නිකං ඔහේ සිටීම තුලය. නිකං ඔහේ සිටීම යන්න සමාජ ක්‍රමයක ගැටළුවකි. එහි ඵලයක් ලෙස අනේ අනිච්ඡංවීම වීම පුද්ගලික හෝ දාර්ශනික ගැඹුරකට වඩා රාජ්‍ය හා සමාජ ක්‍රමයේ ගැටලුවක් වීම නලීන් දකින්නේ යහපත් ප්‍රපංචයක් ලෙසිනි. සමාජ සංවර්ධනය අහුරන නිෂ්ක්‍රීයත්වයකට මග පාදන විරාමය භෞතික ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයකට ඇතුලු කරමින් යථාර්ථය තුල නන්නත්තාරකර දැමීමකි.
ඇතිවීම හා නැතිවීම අතර ඇති පැවතීම දයලෙක්තිකයකට හසු නොවීම තුල ඉතිහාසයක් නොමැති වනු ඇත. සංස්කෘතියක් නොමැති වනු ඇත. (යටත් විජිත වාදය සම්බන්ධයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් කරන විග්‍රහයේදී ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි කීමේ තර්කය හා යථාර්ථය ලංකාව සම්බන්ධයෙන් ද පරතරයක් ඇති නොකරන බව මගේ හැඟීමයි.) එවැනි සමාජයකට විශාල කාල අවකාශයක් පවා පැවැත්මේ අර්ථ විරහිත ක්ෂණයකි. එම ක්ෂණය තුල ඇතිවන අනේ අනිච්ඡං යන සිතිවිල්ල බෞද්ධ චින්නතන කැබැල්ලක් පමණක්ම නොව හින්දු චිනතය ද, එක් තැන පල් වූ පැරණි සමාජ නෂ්ටාවශේෂයන්ගේ පරාවර්තනයකි. එම නෂ්ඨාවශේෂයන් දුරු වී නැති සමාජයකට අනේ අනිච්ඡං තවමත් වලංගු වනු ඇත.
එබැවින් ජීවිතය අහස් වෙඩිල්ලක් වැනිය. උල්කාපාකයක් වැනිය. පැවැත්මට කාලයක් හා එම කාලයට අර්ථයක් ලබාගත හැකි සමාජයක් නැති සංස්කෘතියක පහසුම මග මෙලොව අමතක කර එලොව සිහිපත්කරවීමය. එය නම් හින්දු  බුදු මගය. අනේ අනිච්චං කීම හැර වෙන විකල්පයක් නැත.  එහෙත් නලීන්ගේ මෙම ගැඹුරු ගැමියා, සිංහලයා මොහොතක පහළ වන මෙම සිතිවිල්ල හා අඛන්ඩව නොබැඳී ඉන්පසුව බටහිරට හැරෙමින් භෞතිකයට ලොබ බඳින්නේය.කළ හැකි නම් ලෝක විනාශයටම පෙලඹෙන්නේ මන්ද යන්න තුල කියැවෙන්නේ ආත්මීය නන්නත්තාරවීමයය. මරණ දැන්වීමේ හේතු පාඨය හැරුණු කොට, භෞතික වස්තූන්ට ලොබ බදින්නේය. වැටට, නියරට, කෙස් ගසක වෙනසට මරා ගන්නේය. ඉන් අනතුරුව එක් මොහොතක තමන්ට අදාල නොවන වියුක්ත දෙයකට අනේ අනිච්ඡං කියන්නේය. මෙම ආත්මීය නන්නත්තාර වීම තුල කරන රංගනය යන්න පුද්ගලයාගේ ප්‍රශ්නයක් වුවද එහි මූලය නැවත ගමන්කරනුයේ රාජ්‍ය වෙතය. පුද්ගයා  නන්නත්තාර කිරීමෙන් සාමාජයද සංස්කෘතියද නන්නත්තාරවීමේ දී එම සමාජයට හා සංස්කෘතියට හිමි දයලෙක්තිකයද නන්නත්තාර වන්නේය. එවිට පැවැත්ම අස්ථාවර වන්නේය. ඊට අවශ්‍ය ප්‍රතිවිරෝදය දයලෙක්තික වනුයේ ශූන්‍යත්වයට ගමන් කිරීමෙනි. එසේ නොවිමට නම් රටක් ලෙස ඊට අර්ථයක් පැවැතිය යුතුය. නලීන්ට අනුව නම් තවමත් රටක් යනු සිංහලයන්ගේ රටකි. බෞද්ධ ජාතියකි. නලින්ගේ ප්‍රක්ෂේපණය රටේ නායකයාටද බෞද්ධ පූජකයාටද නිවැරදි විය හැකිය. බලය ලබා ගැනීම සඳහා විපාක්ෂිකයාටද විකල්පිකයාටද නිවැරදිය. ජාතිකවාදී වාමාංශිකයාටද නිවැරදිය. මෙය ස්වභාවික යුක්ති මූලධර්මයට විරුද්ධ වූ දයලෙක්තිකයක් බැවින් බලවත් කොටස වන රාජ්‍ය තුලින් ප්‍රකාශමාන වන්නේ නන්නත්තාර ප්‍රවාදයන්ය, ප්‍රතිවිරෝධයන්ය, සහවාදයන්ය. ජනතාවට කියන්නට ඇත්තේ අනේ අනිච්චං කියා මිස වෙනකක් නොවේය. එය පැරණි යුගයේත්, ආශ්චර්යය කරා ගමන් කරන පාර පශ්චාත් යටත් විජිත මහින්ද යුගයේද කියන්නට ඇත්තේ ඇනේ අනිච්ඡංය යන්නය.
අනෙක් අතට මෙම දාර්ශනික ගැඹුර රාජ්‍ය පාලකයන්ට නොහැඟෙන්නේ මන්දැයි ද උත්පාද තිථි භංග යන යථාර්ථය තුල උත්පාදය හා භංගය අමතක කර, තිථිය ගැන පමණක් කල්පනා කරන, ක්‍රියාකරන රාජපක්ෂ හා පවුල් ජාලය හා ඔහුගේ කඳ පණුවන් වූ ඒජන්තයින්ට ද ඊනියා සංඝ සමාජයට ද මෙම ගැඹුර නැත්තේ ඇයි ද යන්න නොතේරෙන්නේ මන් ද යැයි නලීන්ට ප්‍රශ්න කළ නොහැක්කේ ඇයිද යන්න ඇති ගැටලුවකි. රටක් ලෙස සමාජයක් ලෙස යුක්ති ධාර්මිකව පාලනය ගෙන යා යුතු ලෙසට පටහැනිව මර්ධනය දූෂණය හා ප්‍රජාතන්ත්‍රීය විරෝධීව ක්‍රියා කිරීම දෙමළාව චප්ප කිරීමෙන් පමණක් සාධාරණිය කරණය කිරීමට හැකිවන නලින්ගේ සිංහල බෞද්ධ ශිෂ්ටත්වය අතිශය ම්ලේච්ඡය. ඊට කිව යුතු වන්නේ ද අනේ අනිච්ඡං කියා ය.
උදය ආර්. තෙන්නකෝන්

Wednesday, October 23, 2013

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම


සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි. පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර එක්වීම සිදු වෙමින්) විසරනය වන කාල පරිච්චේදයක් ලෙස පාර පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. එම සිදු වීම ප්‍රගතිය විසින් නොව අගතිය විසින් සිදු කිරීමේ යථාර්ථය හඳුනාගත යුතුව ඇත.

Friday, September 13, 2013

One’s Burden Is One’s Freedom: Rejected Refugees in the Context of Sri Lanka

 2013-09-28 14.48.21

Asylum seekers are not refugees but they are refugees without rights to be refugees. From a victim to be a refugee, the context of distance is legally bounded in universal human rights as well as state level rules and laws in a second or a third country of refugees. It is complicated in practice to decide whether that is qualified for refugee or not, even though there is a political and a social sense to determine human beings, who wish to be as a refugee. In the stratification of human history, refugees are brought to the last and bottom strata in the society having with fragile identity.  But even it is so, in the global context, if someone falls down to be a refugee, it is not easy to enter into that level, as it is a competitive and complicated human tragedy.