Diaspora Diary

Wednesday, June 26, 2013

යටත් විජිතවාදයේ - අපි ඔවුන් සහ එකිනෙකා- උදය ආර්. තෙන්නකෝන්

Image


3 කොටස

‘‘ලෝකය යනු ක්රියාවලියකි, ඉඳි ආප්පයක් මෙන් එකට බැඳී ඇති ක්රියාවලියකි. මේ ක්රියාවලිය කොටස්වලට කඩා එකින් එක ගෙන ඒවා ග්රහණය කර ගැනීමට, පිළිබඳ දැනුම ලබා ගැනීමට අපි උත්සාහ කරමු. නම් අපි මේ කැඩූ කොටස්වලට දැනුමක් ලබා දෙමු. මෙහිදී අප කර ඇති මුල්ම කාර්යයක් වී ඇත්තේ ක්රියාවලිය මොහෙතකට නතර කර නතරකර ගත් ක්රියාවලිය ග්රහණය කර ගැනීමට උත්සාහ කිරීමයි
 ( නලීන් ද සිල්වා - මගේ  ලෝකය),,
මෙතෙක් පැවැත ආ ලංකා සමාජ ඉතිහාසයේ ගමන් මග අතර එක්තරා දුර ප්‍රමාණයකට එම මාර්ගය අතරතුර දී යටත්විජිතවාදය නැමති පාලමෙන්  එකට බැඳී, සහසම්බන්ධ වී ඇත. 
මාර්ගය  එම පාලම පසුකර ඊට අනුරූපීව යම් දුරක් ගමන් කර ඇත. ඉදිරියට මාර්ගය සැකසීම පිළිබඳ දාර්ශනික ගැටලුවක පැටලී සිටින ලංකාව එය සකසා ගත යුත්තේ කෙසේද යන කාරණයේ දී, අපට හමුවන එක් දාර්ශනිකයකු වන්නේ මාහාචාර්ය නලීන් සිල්වා යන්නත්, ඔහුගේ දාර්ශනික භාවිතාව තුල යෝජනා වනුයේ යලි අතීතයට එනම් ආපසු ගමන් කර යටත් විජිත වාදය නැමැති පාලම කඩා දමා මාර්ගය සකසා ගැනීමය. එම මාර්ගය සිංහල බෞද්ධ ජාතිකවාදය මත පදනම් වූ අතීතකාමී දාර්ශනික යොජනාවක් වන විට, ඊට ප්‍රතිපක්ෂ එහෙත් සමාජ ගමන් මගෙහි ඉදි වි ඇති පාලම නම් වූ යටත්විජතවාදය සම්බන්ධයෙන් එකම අදහසෙහි සිටින ජාතික මාක්ස්වාදී යෝජනාව පාලම කඩා අනාගතයට ගමන් කිරීම යන ප්‍රවාදයන්ය. ප්‍රධාන වශයෙන් මෙම මතවාදයන් දෙක ප්‍රස්තුත කර බැලීමේ දී පාලම කඩා අතීතයට ගිය , අනාගතයට ගිය නැවත මේ දෙපිරිසටම හමුවන මාහා පොදු සාධකයක් ඇත. එනම් ලංකාව තුල වෙසෙන දමිළ නම් වූ සංස්කාතික අනන්යතාවයය. එබැවින් නැවත මෙම දෙපිරිසම අතීතයටත් අනාගතයටත් එකම ගැටලුවක සිර වී ඇත. පෙර ලිපි දෙකින් පළමු කොටස සමස්ථයට ප්‍රවිෂ්ඨ වීමෙනුත් දෙවැනි කොටස යටත් විජිතවාදය හා නලින්ගේ සම්බන්ධය පිළිබඳ ප්‍රවාදගත කරනු ලැබිමට උත්සාහ කරනු ලැබූ සාරංශය මෙය වේ.


යටත් විජිතවාදය ඓතිහාසික දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවලියක් ලෙස ග්‍රහණය කරගනිමින් ලංකාව පිළිබඳව තවදුරටත් නැවත සිතීම වැදගත්වනු ඇත. එසේ කල්පනා කිරීමේ දී, එහි හේතු කාරකය අධිරාජ්‍යවාදය ද අධිරාජ්‍යවාදයෙහි හේතු කාරකය ධනවාදය ලෙස සූත්‍රගත කළ හැකි වුවත් මෙම සන්දර්භයන් එකිනෙකට සහ සම්බන්ධ සේම සුවිශේෂීව ද සැලකිය හැකිය. අධිරාජ්‍යවාදය ගැන ඇති අවධානය විවිධ අවස්ථාවන්හි දී එලියට පැමිණ මතුව දේශපාලනික උවමනාවන් සනසවා යට ගිය ද, යලි යලිත් කාලීන වේශයන්ගෙන් මතු විය හැකිය. අධිරාජ්‍යවාදය පිළිබඳව ජෝෂප් ෂුම්පීටර් (Joseph Schumpeter  Imperialism and Social Classes-)  පවසන ආකාරයට එය සමාජ වෛරසයක් (Social atavism) බඳුය. එහෙත් යටත් විජිතවාදය යන්න ඓතිහාසිකයක් බැවින් එය ඉතිහාසයේ නිශ්චිත මොහොතකි. මෙම නිශ්චිත කාලය විසින් අපට දී ඇති ජීවිතය සංස්කෘතිය තුල ඇති වන ක්ෂතියෙහි(trauma) ප්‍රකාශනයක් ලෙස අධිරාජ්‍යවාදය හෝ ධනවාදය හෝ ලෙස අප අභියසට පැමිණිය ද  අපට නිශ්චිත අර්ථයක් නැත. අර්ථයක් ඇත්තේ නම් චීනය විසින් ලංකාව මත පතුරවන ආර්ථික යටත් කර ගැනීම නලීන් ද සිල්වාට හෝ ජාතික මාක්ස්වාදීන්ට අධිරාජ්‍යවාදයේ දේශපාලනයෙන් කම්පනයක් ඇති විය යුතුය. එහෙත් චීනය යන්න වෙස්වලාගත් පුදුම සත්වයකි. මහින්ද රාජපක්ෂ නැමැති පටු ලෝක දැක්මක් හිමි බහු ආත්මීය සත්වයාට නම් චීනය සුර ඹිදෙනකි. අනන්‍යතාව හා පැවැත්ම මත සියල්ල භ්‍රමණය කරන බහිරව අවතාරයකි. චීනයේ හැසීරීම ධනේෂ්වර අමානුෂික කෘරත්වය උවත් එය කිසිවකුට නොපෙනෙන්නේ, චිනයට අයත් සංස්කෘතිය ලංකාව තුල රෝපණය කිරීමට උත්සාහ නොගන්නා නිසාය. සූරා කෑම හැර වෙන කිසිදු උවමනාවත් නැති ම්ලේච්ඡත්වක් ඇතත්, කිසිවකුට එය නොපෙනෙන්නේය. එය පැරණි සමාජවාදි හා පෙරදිග කඩතුරාවෙන් වැසී ඇති නිසාවෙන් ද ඉන්දියාව තරමටවත් අනෙකා පිලිබඳ භීතිය චිනය කෙරෙහි නැත්තේ ඇයිද යන්න ජාතිවාදීන් කල්පනා කළ යුතු කාරණයකි. තම ස්වාධිපත්‍යයට බලපෑමක් නොකරන්නෙකු ලෙසත් සිංහල බෞද්ධ හෝ හින්දු දෙමළ හෝ ක්‍රිස්තියානි සිංහල දෙමළ කිසිවෙකුට බටහිර තරම් අස්වාභාවික  නොවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඇත්තේ යටත්විජිතවාදය පිළිබඳව ඇති අතීත සංජානනයය. මැක්ඩොනලඩ් සංස්කෘතිය හෝ කොකාකෝලා සංස්කාතියට භීතිකාවක් ඇති වුවත් චයිනිස් (රෙස්ටොරන්ට්) සංස්කෘතිය සිංහලයාගේම එකක් වී තිබීම හා එහි ඇති අජිනමොටෝ රසකාරකයට වශී වීම අධිරාජ්‍යවාදයට හෝ යටත්විජිතවාදයට එරෙහිව පාරට බසින ජාතිවාදියාට සූත්‍රගත වන්නේ නැත. ආසියාතික අධිරාජ්‍යයන් ඉංග්‍රීසින්ට නැතිනම් පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට යටත්වීම දෛවයේ අනිවාර්යයක් බව පවසන හෙගල් චීනය පිළිබඳව පවසන්නේ යම් දිනක හෝ වෙනත් කලෙක එම ඉරනමට ඇතුල්වීමට හැකිවනු ඇත යන්න පවසයි. මෙම ප්‍රකාශය කරනු ලබන්නේ චිනය සමාජවාදී රාජ්‍යක් ලෙස පැවැති මොහොතක නොවන අතර මාක්ස් සහ එංගල්ස් පැවසුවේ ධනවාදය නැමැති කාලතුවක්කුවලින් චීන මහා ප්‍රාකාරය බිඳ දමන බවය. මීට වසර දශක ගණනාවකට පෙර එය යථාර්ථයක් නොවුන ද. චීනය අද ගමන් කුමන දිශාවකටද යන්න පිළිබඳ අදහස බරපතල එකකි. එසේ වන්නේ චීනයට ධනේශ්වර සංස්කෘතිය නොමැතිව  ලාභය සඳහා සියල්ල සූරාකන ම්ලේච්ඡත්වයක් ඇති නිසාය. එය ධනවාදයේ ගෝත්‍රික ම්ලේච්ඡත්වය වන අතරම නව යටත්විජිත කොල්ල කෑමක් ද වන්නේය. මානවහිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වැනි විෂයයන් චීනයට අවැදගත් වන්නේත්, එය කතා කිරීම ලංකික ජාති/ ජාතිකවාදීන්ට බටහිර ආක්‍රමණයක් වන්නේත්, අන් කිසිවක් නොව ධනේශ්වර සංස්කෘතියට ඇති බිය නිසාය.
මේ අර්ථයෙන් බැලීමේදී ලංකාවෙහි සමාජ විරුද්ධාභාෂය තේරුම් ගැනීම  සරල නොවන අතර අප යටත්විජිතවාදය පිළිබඳ කතා කිරීම වැඩකට නැති නාඩි නොවැටෙන විෂයයක් බවට පත් විය හැකි වුවත්, ලංකාව සුසමාදර්ශී මානව වෙනසකට විප්ලවීය වෙනසක් අපේක්ෂා කරන්නේ නම් හෝ  අවම/ උපරිම වශයෙන් ප්‍රතිසංස්කරණයක් හෝ අපේක්ෂාකරන්නේ නම් යටත් විජිතවාදය පිළිබඳව ගැඹුරු සමාජ හැදෑරීමක් කළ යුතුය. එය පණ්ඩිත මානී හෝ දැනුම ප්‍රදර්ශනය සඳහා නොව දැනුම බුද්ධිමත්ව මානව ප්‍රජාවේ යහපත පිණිස ව්‍යවහාරික කරගත හැකි සංස්කෘතියක් ඇතිකර ගනු පිණිසය. ඒ සඳහා වන වෙනසක අපේක්ෂාව දීර්ඝ කාලයක් වුවත් එම කාලය පවා උදාකළ ගතහැකි වන්නේ මේ මොහොතේ සිට සිතීමෙන් හා වැඩ කිරීමෙනි. 
යටත් විජිතවාදය සංකල්පගත කිරීම
යටත්විජිතවාදය  තුල ඇති වචනයේ සංකල්පීය අර්ථය විජිතවාදයෙන් වෙන් කර තුල ඇති ව්‍යුහාත්මක අර්ථයන් සොයා යෑමේදී හමුවන ප්‍රධානතම හැඟවුම් සංකල්පය වන්නේ යටත් කර ගැනීම (subjugation) යන නෛසර්ගික ප්‍රබල සංසිද්ධියය. මේ පිළිබඳ වන සංජානනය ධනවාදය හා අධිරාජ්‍යවාදය සමඟ අතීතයේ මෑතම යුගය හා ගැට ගසා න්‍යායගත කිරීමේ දී, යටත් කර ගැනීම යන්න ඉන් ඔබ්බෙහි වූ ඈත අතීතයට ගැටගැසී ඇත. එම අතීත කාලයන් ලෝක ධනවාදයට පෙර වූ විවිධ යුගයන් නියෝජනය කරන්නකි.මෙතෙක් පැවැති ඉතිහාසය වනාහී පංති සටන්වල ඉතිහාසය යැයි මාක්ස් සහ එංගල්ස් කියන අදහසෙහි පවා හැඟවුම්කාරක අර්ථය වන්නේ යටත්කර ගැනීමය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල යටත්කර ගැනීම යන්න ලිඛිත ඉතිහාසයේ එන ජනප්‍රිය එහෙත් ස්වාභාවික ප්‍රවාදය ලෙස අපට මුලින්ම හමුවන මිථ්‍යාවන්(මිථ්‍යාව යන්න යෙදීමෙන් අදහස් වන්නේ අසත්‍යක් යන්න නොවන අතර ඉතිහාය තුලදී එම කාරණය ඔප්පු කළ නොහැකි ප්‍රවාදයක් කිසාවෙනි.)දෙකත් ඇත. එනම් බුදුන්ගේ ලංකාගමනය හා අපගේ සිංහල වර්ගයාට නම දෙන පූර්වජයා වන විජයගේ ආගමනයය. අනෙකාගේ අර්ථයෙන් යුක්තිය පිළිබඳ මූලධර්මයෙන් හා යටත් කරගැනීමේ අර්ථයෙන් එම ඓතිහාසිකයන් තේරුම් කර ගැනීම යනු අධිපති දෘෂ්ටිවාදයෙන් ‘‘ශිෂ්ටත්වය‘‘ හා ‘‘අර්යාගමනය‘‘ සිදු වීමය. එම සංකල්පයන් දෙක සිංහල බෞද්ධයාගේ උරුමයක් වීම තුල හැඟවුම් කරන්නේ යටත් විජිතවාදියාගේම  සමාන කමය. යටත්විජිත පාලන කාලය තුල ගොඩනැංවණු ‘‘ආර්යසංකල්පයෙන් හැඟවුම් කරනු ලබන්නේ එම අර්ථයමය. මෙ අර්ථයෙන් ලංකාව විෂයෙහි දී මේ පිළිබඳව බැලීමේ දී   යටත්කර ගැනීම යන් සන්දර්භයන් දෙකක දී හඳුනාගත හැකිය.
1.      පූර්ව යටත්කර ගැනීම ස්වභාවික සංසිද්ධියක් ලෙස( ඉතිහාසයක් නැත)
2.      යටත්විජිතවාදය තුල වන යටත්කර ගැනීම සංස්කෘතික සංසිද්ධියක් ලෙස (ඉතිහාසයක් ඇත)

පළමු කාරණය පසුවට තබමින් දෙවැනි කාරණය මෙහි ප්‍රධාන ප්‍රවාදයට සම්බන්ධ කිරීමේ දී යටත් විජිතවාදය තවදුරටත් සූත්‍රගත කළහොත් අවස්ථා ත්‍රිකෝණයක් ලෙස ද එය අපෝහක සම්බන්ධයක් ඇති   මිනිස් ක්‍රියාවලියක් ලෙස ද හැඳින්විය හැකිය. සම්භාව්‍ය හෝ සාම්ප්‍රදායික අර්ථයෙන් ඔබ්බෙහි ඇති සමාජිය සන්දර්භයක් තුල තේරුම් ගතහොත් සමාජීය සංස්කෘතික හා දේශපාලනික අර්ථයන් සොයා අප මේ වෙලී සිටින සමාජ අවිනිශ්චිතතාව තේරුම් ගැනීමට ඉවහල් වු ඇත. අපගේ කල්පනාව පරිදි මේ සඳහා භාෂාමය ප්‍රෙවේශයකින් සමාජීය සංස්කෘතික හා දේශපාලනික යථාරථය යම් දුරකට තේරුම්කරගනීමට බලාපොරෝත්තු වේ.
මුලින්ම මෙය භාෂාමය ත්‍රිකෝණයක් ලෙස ද එය  ඔස්යේ  යටත් විජිත අවස්ථා ත්‍රිකෝණයෙහි ඇති තෛමානික ප්‍රතිවිරෝධයන් හා සහසම්බන්ධවන් හඳුනාගත හැකිය. මෙම න්‍යාය ගත කිරීම තහවුරු කර ගැනීම සඳහා ජර්මානු වාග් විද්‍යාවේ එන වියරණ රීති තුනක් පාදක කරගෙන යටත්විජිත ඓතිහාසිකය තේරුම් කර ගනිමු.  මේ මගින් අප සොයන ලාංකීය සමාජ ගමනෙහි අනිවාර්ය සංසිද්ධියෙහි දිශානතිය සලකුණු කරගත හැකිවණු ඇත.
ජර්මානු භාෂාවේ එන මූලික ව්‍යාකරණ සිද්ධාන්ත අතර පහත අවස්ථා තුන ගොඩ නැගෙන අයුරු ද, ඒ ඔස්සේ චින්තන ගතවන සංස්කාතික සමාජීය හා දේශපාලනික සන්දර්යන්ගේ තර්කය වෙත ප්‍රවිෂ්ඨ විය හැකි වනු ඇත.
1.   Reflexiv (මම- ich)
2.   Transitv (අනෙකා- ander)
3.   Reziprok ( එකිනෙකා- einander)
තෛමානික අවස්ථා ත්‍රිකෝණය -  1
Image
                           
Reflexiv -   පරාවර්තී

මෙය තවදුරටත් විස්තර කරතොත් භාෂාව ගොඩනැගී ඇති අයුරුත් ඊට අනුව චින්තනමය මතවාදය ගොඩ නැගීම තේරුම් ගත හැකිය. පරාවර්තිත යන්න, කරනු ලබන ක්‍රියාව තමාට පරාවර්තනය වේ. නැතිනම් ක්‍රියාවෙන් තමා දෙසට හැරේ. තමා තුලට පමණක් පරාවර්තනය වේ. මෙම ක්‍රියාවලිය සෑම ක්‍රියාවකටම සම්බන්ධයක් නොමැති අතර සම්බන්ධිත ක්‍රියාව අනෙකුත් ක්‍රියාවලින් හා සහසම්බන්ධ වේ. මේ පිළිබඳ නිදසුන් කිහිපයක් ඇසුරු කිරීමෙන් වඩාත් හොඳින් තේරුම් ගත හැකි වෙතැයි සිතමි.
ජර්මානු භාෂාවේ  ගොඩනැගී ඇති ව්‍යාකරණයට තර්කනයක් නැතැයි යන්න සමහර රීතිවලදී මතුවිය හැකි වුවත්, ඊට සංස්කෘතියක් ඇති බව තේරුම් ගතහොත්, ඒ ඔස්සේ මෙම සංකල්පය වටහා ගැනීමට පහසු වනු ඇත. සෑම ක්‍රියාවක්ම පරාවරතිත නොවන අතර තමා වෙතට පරාවර්තිත වීම සිදුවනුයේ භාහිර හේතුකාරකයක් නිසාය.
නිදර්ශන-
(a) මම ඔහු පිළිබඳව උරණ වෙමි.  
(b) මම කාලගුණය ගැන සතුටු වෙමි.
(c) ඔහු ඒ ගැන පැමිණිලි කරයි
යන වාක්‍ය ගත හොත් එහි උරණ වීම, සුතුටු වීම හා පැමිණිලි කිරීම යන ක්‍රියාවන් පරාවර්තිත ක්‍රියාවන්ය. ඔහු තුල ඇති කිසියම් හේතුවක් නිසා මම උරණ වීම මා තුලම ඇති වන්නකි. කාල ගුණය එසේ තිබිය දී සතුටු වනුයේ මා ය. සතුට මා තුල පාරාවර්තිත ය. මම ඔහු ගැන පැමිණිලි කරයි. එහෙත් එම ක්‍රියාව මට පරාවර්තිතය. ඒ අනුව A,  Aට පාරාවර්තිතය
Image


 



මෙම අවස්ථාව අපගේ ප්‍රස්තුථ කාරණයට ආදේශ කළහොත්, මෙසේ ද සඳහන් කළ හැකිය.
1.      නලීන් සිල්වා යටත්විජිත වාදයට උරණ වේ.
2.      ජාතික මාක්ස්වාදීන් ද යටත්වජිත වාදයට උරණ වෙති.
3.      ඔවුන් බටහිර සංස්කෘතිය පිළිබඳ සතුටු නොවෙති.
4.      එබැවින් ඔවුහු ඒ ගැන පැමිණිලි කරති.
Transitiv  -   සකර්මක
සකර්මක යනු කර්මකාරක විභක්තියකින් යුකත්ත වූ ක්‍රයාවන්ය.මේ තුල ක්‍රියාවට යටත් වන්නෙක් හෝ බල පෑමක් ඇති වන කර්ම කාරකයක් ඇත. A   B කරනු ලබන ක්‍රියාව  සකර්මකය. මේ තුල කර්තෘ සහ කර්මය පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ තුලින් අනෙකාට, ස්ථානයට හා අවස්ථාවට බලපෑමක් වනු ඇත. එය හොඳ නරක කළු සුදු හෝ වෙනත් දෙයක් විය හැකිය.

Image                                                        

Reziprok - එකිනෙක- රෙසිප්‍රෝක් යන වචනය සිංහලයට පරිවර්තනය කිරීමේ දී පරස්පර වශයෙන් දක්වා ඇතත් මෙහි යම් කිසි නොගැලපිමක් ඇති කරනු ලබන නිසා මීට ඩවාත් උචිත වචනය වන්නේ එකිනෙක යන අර්ථයයි. මෙහි දී සිදුවන ක්‍රියාවන් එකිකෙට හුවමරුවන බැවින්  ක්‍රියවලිය දෙකක් ලෙසත් එකක් ලෙසත් සැලකිය හැකි වුවත්  මෙහි එකතුවෙන් සම්බන්ධයක් ගොඩ නැගේ.
1.      ඇය ඔහුට පෙම් කරන්නීය.
2.      ඔහු ඇයට පෙම් කරන්නේය.
1+ 2. ඔවුහු ඔවුනට පෙම්කරන්නෝය.

Image                                                                         

මෙම ක්‍රියාව ජර්මානු භාෂාමය අර්ථයට අනුව පරස්පරයක් නොව එකම ක්‍රියාව දෙපැත්තට ක්‍රියාකරන්කි.මෙම භාෂාමය රීතීන්ගෙන් ගම්‍ය වන්නා වූ සංකල්පීය අර්ථයන් අපගේ ප්‍රස්තුක මාතෘකාවට ආදේශ කරමින් දැක්ම පුළුල් කර ගැනීම සඳහා මිසක මෙහි භාෂාමය ව්‍යාකරණය පමණක් පිළිබඳව අවධානය යොමු කරන්නක් නොව මන්ද ව්‍යරණ වේදියෙකුට භාෂාවම පමණක් ගැන අවධානය යොමු විය හැකි නිසාවෙනි.යටත් විජිතවාදයෙහි භාෂාමය දේශපාලනමය හා සංස්කෘතික  අර්ථය නැවත චිත්‍රයට නැගීම මෙන්ම මතවාදී ආස්ථානයන් ස්ථානගත වී ඇත්තේ කොහේ කෙසේ ද යන්න පමණක් නොව නව මානයක් සොයා ගැනීමට අදාල කරගත හැකිය. මේ අනුව භාෂාමය ත්‍රිකෝණය යටත්විජිතවාදයට ගෙන ආ විට පහත ආකාරයට තේරුම්ගත හැකිය.
Image
                             
යටත්විජිතවාදය යනුවෙන් ඓතිහාසික සංසිද්ධියක් ඇත. ඒ තුල මම (Reflexiv) අනෙකා(Transitiv) එකිනෙකා (Reziprok) යන තෛමානික සම්බන්ධතා, විරෝධතා සහ සහසම්බන්ධතා ඇත. එහෙත් ලාංකික ජාතිකවාදීන්ට/ ජාතිවාදින්ට හා ජාතික මක්ස්වාදින්ට ආදේශ කර බැලීමේ දී හමු වන්නේ ද්විත්ව සම්බන්ධතා පමණි. එනම් මම සහ අනෙකා ය. ජාතිවාදීන්ට එකිනෙකා හමුවන්නේ නැත. සිංහලයින්ට බෞද්ධයින්ට, නලීන් ද සිල්වාට එකිනෙකා හමුවන්නේ නැත. හමු වන්නේ නැත යන්නෙහි අර්ථය පිළි නොගැනීමය(Recognition). තෛමානීය ත්‍රිකෝණික සම්බන්ධතා ඒ ආකාරටයන්ම යටත් විජිත පශ්චාත් හා පාර පශ්චාත් යටත් විජිත සංස්කෘතිය තුල සිදු වුවද  ගැටලුව ඇත්තේ පිළිනොගැනීම තුලය. පිළි නොගැනීම යන්න අනන්‍යතාව හා සංස්කෘතිය පිළිබඳ ව පමණක් නොව පැවැත්මේ දේශපාලනික පාරාවර්තනයකි. මෙම තත්ත්වයම වාමාංශිකයින්ටද ලාංකීය මාක්ස්වාදීන්ට ද එලෙසින්ම අදාල වන්නා සේම  ඔවුන් සපුරාම මාක්ස් විරෝධීන්ය.  එය එසේ වන්නේ කෙසේ ද යන්න යටත්විජිතවාදය පිළිබඳ ව කෙරී ඇති සම්භාව්‍ය ප්‍රවාදයන් කිහිපයක් තුලින් දාර්ශනික අර්ථයකින් ද වියුක්ත හා සංයුක්ත අර්ථයෙන් ලංකාව දෙසට හැරී බැලීමේ දී  වටහා ගත හැකිවනු ඇත. ඒ අනුව එම   මතවාදයන්ගේ දිශා ගත වීම හා ඉහත තෛමාණික ත්‍රිකෝණයේ අවස්ථාවන්ගේ ඇති ගැටලුවලට නව මානයක් සොයා ගැනීමට සහායක් වනු ඇත. මේ අනුව යටත් විජිත වාදය පිළිබඳව ඇති අදහස් අතර ප්‍රධාන ප්‍රවාද කිහිපයක් මේ සඳහා ආදේශ කර ඉදිරියට ගෙන ඒමට අපේක්ෂිව එහි දී අවධානයට ලක්වන ප්‍රවාද පහතින් සටහන් තබමි.
1.      හේගල්ගේ ප්‍රවාදය
2.      කාල් මාක්ස්ගේ ප්‍රවාදය
3.      සයිද්ගේ පෙරදිගවාදය පිළිබඳ ප්‍රවාදය

සූත්‍රගත තෛමානික ත්‍රිකෝණයේ අවස්ථාවන්ට මෙකී ප්‍රධාන ප්‍රවාදයන් ආදේශ කරනු ලැබුවහොත් සාධාරණ වුනු ඇත්තේ මෙලෙසය
5




4.      යාඉන් (Jain) සහ නායා (Naja) ප්‍රවාදය යන (අපගේ නව ප්‍රවාදය)   ඔස්සේ නලින් හා ලාංකික ජාතික මාක්ස්වාදයත් තේරුම්කර අනාගත දිශානතියේ සුභවාදී සුසමාදර්ශය සොයා ගැනීම අරමුණ වන්නේය.
ඉදිරියට සම්බන්ධය
උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon


No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න