Diaspora Diary

Wednesday, November 4, 2015

ශිෂ්‍ය මර්ධනය කුමාර අත්අඩංගුවට ගැනීම: රෙසිප්‍රෝකල් අනෙකාගේ දයලෙක්තිකය- Dialectics of Reciprocal Other

Image result for kumar gunaratnam

පසුගිය දින උද්ඝෝෂණ විරෝධතාවක නිරත ශිෂ්‍ය කණ්ඩායමට පොලිසිය විසින් එල්ල කළ අමානුෂික ම්ලේඡ්ච ප්‍රහාරයත් ඉන් අනතුරුව එහි උණුසුම යන්නටත් මත්තෙන් අත්අඩංගුවට ගන්නා ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙක් වන කුමාර ගුණරත්නම් පිළිබඳ විවිධ අඛ්‍යාන කියවීමට ඇසීමට හා දැකීමට හැකී වී ඇත. එම අඛ්‍යානයන්ගෙන් මතු වෙන අර්ථ දෙස බැලීමේ දී, සත්‍ය යනු කුමක් ද යන්නත් දැනුම යනු කුමක්ද යන්නත්, සාධාරණීයකරණය කුමක් ද යන්නත්, විශ්වාසය කුමක් ද යන්නත් පිළිබඳ ඇතිවන අදහස සංකීරණ කරමින් එහි ප්‍රකාශනය එක් එක් දෘෂිටිවාදයන්ට අනුව ආඛ්‍යාන ගත වීම නොවැලැක්විය හැකි වී ඇත. මේ සඳහා මාධ්‍ය සිය වෙළෙඳ පල අභිලාෂයන් සපුරා ගනු ලබන්නේ බොර දියේ මාළු බෑම වැනි න්‍යායක සිටය.එබැවින් ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද අධ්‍යයනය කළ යුත්තේ ඉතිහාසයට පෙර ඉතිහාඥයයා අධ්‍යයනය කිරීම යන ශික්ෂණයට යටත්වය.
කුමන තත්ත්වයක සිට වුවද ශිෂ්‍යයන් වෙත යොමු කරන ලද හිංසනය පිළිගත නොහැකි හා ඊට එරෙහිවෙමින් සටන් කිරීම සාධාරණ අයිතියක් හා අවැසිකමක් මෙන්ම කුමාර ගුණරත්නම්ව අත්අඩංගුවට ගැනීම ද වාමාංශික අර්ථයෙන් හෙළා දැකිය යුත්තති. ඔහුව අත්අඩංගුවට පත්කිරීම ආගමන විගමන නීතියට අනුව සාධාරණියකරණය කරන්නන්ට පවත්නා නීතය අනුව යම් තර්කයක් ගෙන ආවද එය ගැටලුවක් බවට පත් වන්නේ ඔහුව අත්අඩංගුවට පත්කර ගන්නා කාලය හා අවකාශය නිසාය. එම කාලය හා අවකාශය වනාහී ශිෂ්‍ය උද්ඝෝෂණය හා කුමාරගේ දේශපාලනය අතර සම්බන්ධයක් පෙන්නුම් කරමින් වෙනත් අර්ථයන් මෙම පසු බිම තුල සැඟ වී ඇති නිසාය.
මෙම සිදුවීම් දෙක දෙස රාජ්‍ය පැත්තෙන් බැලීමේ දී රාජ්‍ය පිළිබඳ සම්භාව්‍ය නිර්වචනයන් නැවත නැවතත් ඒ ලෙසම අර්ථ ගැන්වීම සිදු වීම එතරම් පුදුම විය යුත්තක් නොවේ. අලුත් ආණ්ඩුව වේවා පරණ ආණ්ඩුව වේවා සිදු විය යුත්ත මෙය වීම මාක්ස් ලෙනින් ග්‍රාම්ස්චි අල්තුසර් ආදී වාම න්‍යයායන්ගෙන් තහවුරු කරයි. එනම් පොලිසිය, නීතිය රාජ්‍යෙය් මර්ධන උපකරණයක් හා දීෂ්ටිවාදයක් යන ප්‍රවාදයය. මේ නිසා ශිෂ්‍යයන්ට පහර දීම ඉතිහාසය තුල සිදු වූ පළමු වැන්න හා අවසානය නොවීමත්, දේශපාලනමය හේතූන් මතුකරමින් අත්අඩංගුවට ගැනීම් හා සිරගත කරමින් නීති සම්පාදනය වීම ද අවසාන හා පළමු වැන්න ද නොවීම යන කාරණයෙන් ඉහත සිදුවීම් දෙක තේරුම් ගත යුතුය.
ඉහත සිදුවීම් හැඳින්වීමක් ලෙස පාදක කරගනිමින් මෙම ලිපිය ලිවීමට පෙළඹෙන්නේ මා විසින් මේ දිනවල සිදු කෙරෙන වම පිළිබඳ පර්යේෂණයට සම්බන්ධ විෂය තේමාවක් ලෙසිනි. ඒ අනුව රෙසිප්‍රෝකල් අනෙකාගෙ දයලෙක්තිකය යන්න කුමක් දැයි වම සම්බන්ධ කර ගනිමින් ඉතා කෙටියෙන් හැඳින්වීම වැදගත් කොට සලකමි. මෙහිදී වියුක්ත හා සංයුක්ත ලෙසින් ගත් කල ලාංකීය වම මත පිහිටමින් දයලෙක්තිකය තේරුම් ගැනීම හා එය වාමාංශික දේශපාලනය තුල හැඩ ගැසෙන ආකාරයත් ඒතුල රෙසිප්‍රෝකල් අනෙකා විසින් නිර්මාණය වන දයලෙක්තිකය ලාංකීය වමට අදාල වන්නේ හා බල පානු ඇත්තේ කෙසේද යන්නත් අවසානයක් නැති අවසානයක ඇති වාමාංශික ගමන් පථයට ඇති අවකාශය කුමක් ද  යන්නත් පිළිබඳ ඥාණ විභාගය කිරීමය.

රෙසිප්‍රෝකල් අනෙකාගේ දයලෙක්තිකය

ලංකාව තුල ක්‍රියාකාරී වාමාංශික දේශපාලනික සංවිධාන පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයන් ගත් විට ප්‍රමාණාත්මක වශයෙන් බොහෝ ප්‍රමාණයක් පවතින ඉතිහාසයක් අප සතුව ඇත. මේ සියලුම කොටස් එක් ඩොමේන් එකක් ලෙස ගත් කල ඒ තුල රෙසිප්‍රෝකල් අනෙකාය. එනම් එකිනෙකාට අනෙකාය. යම් පමණකට සහයෝගයෙන් වැඩ කරන්නන් සාධනීය අනෙකා වෙද්දී වෙන වෙනම වැඩ කරන්නන් නිෂේධනීය අනෙකා වන්නේය. දෙවැනුව සඳහන් කරන අනෙකා ප්‍රමාණාත්මකව වැඩි වීම විවිධත්වයේ ඒක මිතියට එරෙහි වීම මත දයලෙක්තික සම්බන්ධතාව සංයුක්ත හා වියුක්ත සමාජය වෙත විශ්වාසය හා දැනුම යන කාරණයේ දී විසංයෝජනීය වන්නේය. මෙය මානව සාධාරණය සඳහා සිහින දකින සමාජයකට හානි කරන අතරම එම සමාජයේ රජයට හා තට්ටු මාරු ලෙස ඇති වන ආණ්ඩු වලට ඉදිරියටත් ආරක්ෂාව සහිත විශ්වාසයක් හා සාධාරණියකරණයක් ගෙන දීම ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහිත සිවිල් සමාජයෙන් ද සහයෝගය ලැබෙන්නකි. එවැනි තත්ත්වයක දී ජනතාව යන වියුක්ත සංකල්පය වාමාංශික අර්ථයෙන් අනන්ත වියුක්තයක්ම වන්නට ඉඩ ඇති අතර එසේ නොමැති නම් වමේ වමක් සඳහා ද විකල්පයේ විකල්පයක් සඳහා ද නව සහවාදයක් මෙම දයලෙක්තිකය විසින් ඇති වීමට අවශ්‍ය උවමනාව හා අවකාශය ඇති අතර එයද වියුක්ත තලයේ ම බලාපොරොත්තු සහිත සුන්දර සිහිනයක් වී ඇත.

ශිෂ්‍ය ප්‍රහාරය හා කුමාර වෙත නැවත පැමිණීම

මෙම සිදුවීම් දෙක සඳහා නිෂ්පාදනය වන දැනුම කථිකාමය විශ්ලේෂණයකට ගත් විට ප්‍රධාන ආඛ්‍යාන දෙකක් දැකිය හැකිය.
1.      ජනතා විමුක්ති පෙරමුණ
2.      පෙරටුගාමී සමාජවාදී පක්ෂය
පොදු සාධකයක් ලෙස ශිෂ්‍ය ව්‍යපාරය දේශපාලන බලය සඳහා මෙම දෙක නියෝජනය කරන්නේ කවරහු ද වැඩි බලය ඇත්තේ කා අතද යන්නත්, එය තම  ජනප්‍රියවාදී  අනන්‍යතාව සඳහාත් යොදා ගන්නා විට වාමාශික අර්ථය වෙනුවට ප්‍රතිසංස්කරණ (සම්භාව්‍ය අර්ථයෙන්) සඳහා කරන අරගල හා එහි දේශපාලනයේ අවසාන හා සමකාලීන නිෂ්පාදනය ගැට ගැසෙනුයේ කුමන අරමුණු සඳහා ද හා කුමන දිශාවකටද යන්නත් ගැටලු කාරීය. එය වාමාශික අර්ථයෙන් එකිනෙකාට නැවත සිතීමට පොළඹවනවාට වඩා ශිෂ්‍ය ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ උවමනාව හා බලය මත ඇති වන ප්‍රතිවිරෝධය සතුරුය. මෙම සහෝදර සතුරු බව විසින් ඇති කරන රෙසිප්‍රෝකල් අනෙකා සෑම විටම රාජ්‍යයට වක්‍රව සහය වන්නේ ඔවුන්ගේ අපේක්ෂිත පීඩිත ජනයාගේ වාමාංශික විශ්වාසය තනුක කිරීමෙන්ය.
වාමාශික ව්‍යාපාරයේ ඉතිහාසය තුල අති බැරූරුම් අරගල දෙකක් දකුණෙන්ද තව එකක් උතුරෙන් ද ඇති කරමින් මේ සමස්ථයේම වරෙක වින්දිතයන් ලෙසද වරෙක එහි ප්‍රතිවාදියා ලෙසින් ද යන උරුමය හිමිකර ගත් ජවිපය  පසුව ඇති වන බෙදීම නිසා එක දෙක වීම මෑතක සිදු වුවත් එය ක්ෂුද්‍රව බැලීමේ දී ඇමීභාකරණය වී ඇත. කිසිම විටක අනෙකාගෙන් එකෙක් වීමට ගන්නා උත්සාහයේ දී කිසිවකුට එකෙකු වීමට ජවිපේ උරුමය ඉඩ දේ දැයි යන්න සැක සහිත අනාගතයකි. එසේ වීමට නම් බරලතල ඥාණ විභාගයකට යා යුතු අතර එය දෙස බැලිය යුත්තේ ද වියුක්ත හා සංයුක්ත වම සහ වාමාංශිකයා අනෙකා වුවත් සාධනීය එකිනෙකා බවට පත් වීමෙනි. එසේම යටත් විජිත රාජ්‍යෙය් ඒක කේන්ද්‍රීය දෘෂිටිවාදය විසින් ඇති කර ඇති අනන්‍යතාව සුසමාදර්ශයක් කර ගැනීමෙන්ය. එනම් බහුත්ව අනන්‍යතා සහිත භෞමික දේශපාලනික යථාර්ථයක් තුලය. මෙම ආදේශය රටක් ලෙස ලාංකීය අනෙක් සියලු වාමාංශයට ද සකල දේශවාසී නිර්ධනයිනි යන පාඨයට ද වලංගුය.
මෙම ලිපියේ සඳහන් සම්පිණ්ඩිත සාරංශගත අදහස තවදුරටත් විස්තාරණය කිරීම මගේ පර්යේෂණයට ඇතුලත්ය.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon
   

   

No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න