Diaspora Diary

Sunday, January 7, 2024

2024 විප්‍රවාසී සති දිනපොත- ඇතුල පිට මානව සංකලනය- ජීවිතය, කාලව සාහිත්‍ය, දේශපාලනය හා දර්ශනය



ජනවාරී   1

 ඥාව් කියා ගන්න බැරුව ඉන්න මිනිස්සුත් කිරිබත් උයලා පුළු පුළුවන් විදිහට සම්ප්‍රධාය පවත්වගෙන යනවා. රතිඥ්ඥා පත්තු කරනවා මිල ගනන් දරන්න බැරි උණත්.  සුභ අලුත් අවුරුද්දක් කියලා පුරුදු විදිහට කියනා. ඒක සම්ප්‍රධායක්. ඒක ඇත්ත ද නැත්ත ද කියන එක තමන්ම දන්නේ පරණ විදිහටම ජීවිතේ පවත්වාගෙන යන කොටයි.  සිදුවෙන දේ මොනවා උනත් බලාපොරොත්තු තියා ගන්නවා හැර වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු හැමෝම ඉන්නේ ජීවිත බලාපොරොත්තුවක. මැරෙන බව දැනගත්ත උනාට මැරෙන්නේ කවදද කියලා දන්නෙ නෑ. ඒක නිසායි බලාපොරොත්තු කියන එලියත් එක්ක හීන දකින්නේ. ඒක මෙහෙමයි කියලා කියන්නත් බෑ. මැරෙනවා කියලා දැනගෙන ඇඳේ ඉන්න කෙනාටත් එක මොහොතක් හරි ජීවත් වෙන්නයි ආසාව. හැම මිනිහෙක්ම මේ මොහොතට හරි ආසයි. ඉතින් ඔය කියන මේ මොහොත මොන මොන විදිහට විග්‍රහකරගත්තත්, ඒක ආත්මීයයි. බාහිර නෙවෙයි මොහොත තියෙන්නේ අපි තුල. ජීවිතය කියන්නේ ඒක. ජීවත් වෙනවා කියන්නේ ඒක. ඒත් මේ මොහොත කියන්නේ මොකක්ද ? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? 

ජනවාරි 2

 “මේ මොහොතේ ජීවත් වෙන්න” කියලා කියන අදහස ගැන මට තියෙන්නේ කුතුහලයක්. ඒක දාර්ශනික විදිහට ගත්තම මොකක්දෝ එකක් තියෙනවා. මොහොතක් කියන්නේ එලියේ තියෙන දෙයක් ද එහෙමත් නැත්තම් තමන් සහ තමන්ගේ හිත ඇතුලේ තියෙන දෙයක් ද. ඒකියන්නේ අපේ සිතේ තියෙන දෙයක් ද. මොහොත කියලා කියන්නේ නිතරම විපරිවර්තනයට භාජනය වන්නක්. මොහොත කියන්නේ නො නැවතී ගමන් කරන ධර්මතාවයක්. හරියට ඉර හඳ ගළන ගඟ වගේ වෙනස් වෙමින් පවතින දෙයක්. මේ මොහොතේ ඉන්නවා කියන්නේ වෙනස් වෙමින් පැවතීම, වෙනස්වීමේ ප්‍රවාහයේ පැවතීම. ඒ අනුව මේ ප්‍රවාහයේ ඉන්නවා කියන එක. එතකොට ලෝකය පවතින විදිහට පවතින්න දෙන්න කියන එක ද? මිනිසා එහෙම ඉන්න සත්වයෙක් නෙවෙයි. මේ මොහොත තුල හිතෙන් හිටියට ඒ මොහොතේම භාහිරත් එක්ක කරන ක්‍රියාව නිසා වෙනසක පත්වෙනවා. ඒක නැවත මොහොත බවට පත්වෙනවා. ඒ අර්ථයෙන් මේ මොහොතේ ජීවත් වෙනවා කියනකොට “මම” කියන කෙනාට මොකද වෙන්නේ. පුද්ගලයාට භාහිරින් ලැබෙනවා සංඥාර්ථයක්. එහෙමත් නැත්නම් අනන්‍යතාවක්. මේකයි අපි පවත්වාගෙන යන්නේ. හැබැයි අනන්‍යතාව කියන එක වෙනස් නො වන ප්‍රපංචයක් විදිහටයි බොහෝ දෙනා සලකන්නේ. මේ කියන අනන්‍යතාව නො වෙනස්ව තියා ගන්නයි හැමෝම හදන්නේ. ඒක එහෙම වෙන්නෙ නෑ. එහෙම හිතනවා. විශ්ව ධර්මතාවට එරෙහි දෙයක් ජීවිතයට අපි ගලපාගෙන ව්‍යාජයක ජීවත් වෙනවා. පුද්ගලයාට ආයතනයට, පක්ෂයට ගලපා ගන්නවා. වෙනස් වීම පිළිගත්තට අනන්‍යතාව වෙනස් නොවන දෙයක් විදිහටයි සලකන්නේ.. මේකේ මූලය එන්නේ “මම” කියන පුද්ගල ගොඩනැංවීමකින් මිසක ස්වභාව ධර්මයෙන් නෙවෙයි. මේ මොහොත සහ අනන්‍යතාව කියන දෙක අතර තියෙන්නේ මේ ප්‍රතිවිරෝධය මෙන්ම සහ සම්බන්ධයයි. ඒක අපෝහක නම් වාමංශිකයා ගැන තියෙන හා තමන් හිතන ආකාරය ගැන හිතන්න පුලුවන් නම් හොඳයි නේ ද

 ජනවාරි 3

 මේ අවුරුද්ද ලෝකයේ තවත් රටවල් කිහිපයකට මෙන්ම ලංකාවටත් මැතිවරණ වර්ෂයක්. අර්බුදය, ආර්ථිකය, දේශපාලනය, ජීවිතය, බලාපොරොත්තුව. ලංකාවට නම් මෙතෙක් ආව මගේ යන්න කිසිම චාන්ස් එකක් නෑ. ඒක වෙනස් කරන්න ඕන කිව්වට, කරනවා කිව්වට, එහෙම කරයි කියලා හෝ කරන්න පුලුවන් කියලා විශ්වාසයක් තියෙනවද? පශ්චාත් යටත් විජිත ලංකාවේ දේශපාලනයේ ඒ වෙනස කරනවා නම් දැනට ධාවන පථයේ ඉන්න තරඟකරුවන් දිහා බලද්දි ඉන්නේ මාලිමාව.

ඉතින් මාලිමාව ලොකු ගේමක් දෙනවා මේ පාර. වපුරන හැටියටයි අස්වන්න කියන්නාක් වාගේ අතුරු උපද්‍රවයක් නොතිබුණෝත් හොඳ අස්වැන්නක් ගන්න පුලුවන්. ඒත් වපුරන්නේ  රාසායනික පොහොර ගහලා නම්, අස්වැන්න කාබනිකයි කියලා කියන එකයි අවුල, හිතන එකයි ඒකට රැවටෙන එකයි අවුල.

ඒක වපුරන අයගෙ පැත්තෙන් ඔන්ටොලොජිකල් අවුලක්. ඒ කියන්නේ සත්භාවීය අවුලක්. මෙන්න මේ අවුල විසින් නැවත සමාජය අවුල් කරන්න පුලුවන්, එහෙම නැත්තම් වෙනත් සංස්කෘතියකට හැරෙන්න පුලුවන්. ඒක නව පංතිමය සංස්කෘතියක් ගොඩ නැගෙන්න ඉඩ හැදේවි. ඒක මාලිමාවේම වැඩක් නෙවෙයි. ඊට පස්සේ අනිත් අයගෙත් වැඩක්. ඒ වෙනස ඕන නම් අනිත් අයත් වැඩ කරන්න වෙනවා. හැබැයි වැඩ කරනවා කියන්නේ පක්ෂේ සාමාජිතක්වය ගන්න එකවත්, බැතිමතෙක් වන එක නෙවෙයි. එතැන දී ගැටලුවක් තියෙනවා.. ඒ ගැටලුව තියෙන්නේ මාලිමාව විසින් ඉල්ලා සිටින අනන්‍යතාව සහ එය විසින්ම ඇති කරන ප්‍රතිවිරෝධය. මේක අයිතිය, උරුමය සහ බලය වගේ තවත් බොහෝ සංකල්පීය දේවල්. මේ මොනවත් ගැන හිතන්නැතුව කරන්න තියෙන්නේ මාලිමාවට සහයෝගයක් දෙන එක. මොකද වෙන කවුරුත් නෑ. අපි කැමැති වුණත් නැතැත් රටේ ඉදිරි අනාගතයට 2024 ඇවිත් තියෙනවා.  එතැන දී හිතන්න තියෙන්නේ මාලිමාවට මේ සැරේ චාන්ස් එකක් නොදුන්නොත් ඊ ළඟ පාර ඒ චාන්ස් එක දෙනවා කියන එක ද නැත්තම්, මේ පාර චාන්ස් එක දීලා වැඩේ හරියන්නැත්තම් ඊ ලඟට වෙනත් අතක් බලන්න පුලුවන් කියන එක ද..

 ජනවාරි 4

 

මේ දවස මතක් වෙත් දි පෙබරවාරි 4 මතක් වෙනවා. ඒ දවස ගැන ලියන්න ඕන දේවල් අද ලියන එක වැඩක් නැති වුණත් මොකක්ද මේ නිදහස කියන්නේ.. මට හිතෙන්නෙම මේ සංකල්ප අයිති අපේ හිත්වලටමයි. මම නිදහස කියලා කියන කොට එන අදහසම ද ඔබට තියෙන්නේ.. හැබැයි සමාජයක් විදිහට මේ සංකාල්පය පොදු කරනවා. පොදු කෙරුවට එතන නිදහසක් ඇත්තටම නෑ. ඒක නිසා පුද්ගල නිදහස ගැන කතා කරනවා. සමාජ නිදහස ඇතුලේ තමයි පුද්ගල නිදහස තියෙන්නේ. මේක මම කියන්නේ නිකංම හිතට එන එකක් වගේ පෙනුනට, කල්පනා කරද්දියි මට තේරුනේ ඇයි මේ අදහස මේ වෙලාවේ ආවේ කියලා. නිදහස කිව්වට නිදහසක් නෑ. තියෙන්නේ තෝරා ගැනීමක්. එකඟතාවයක්.

 ජනවාරි 5

 යුක්තිය මෙහෙයුම කියාගෙන පොලිසය දැන් වැටලීමක් කරන එක ගැන මාර වැඩක් වෙලා තියෙන්නේ. මේක හොඳ ද නරක ද කියන දෙක අතර හිරවීමක්. හැබැයි ඔය පොදුයි කියලා හිතන සාමාන්‍ය ජනතාවට නම් ඕකට තියෙන්නේ හොඳ හරි නරක හිරි කියන එකයි, ඒකට හේතුවයි. ප්‍රශ්නෙ තියෙන්නේ බුද්ධිමතුන්, සිවිල් සමාජය, නීතිඥ්ඥයන්, මානව හිමිකම් කියන අය. මෙතනනෙ ඇත්තටම වැඩේ තියෙන්නේ. කුඩු අල්ලනවද නැද්ද, ඒක කරන්නේ ඇත්තටද බොරුවට ද එහෙමත් නැත්තම් ගේම් එකක් ද කියන එකට කොහොමද පෙනී හිටින්නේ කියන කාරණය. ඇත්තටම මේ ප්‍රශ්නය මගෙන්ම මම අහගන්නංකො. ඇත්තටම ගත්තොත් මගෙ ඇතුලේ දැනෙන දේ තමයි මේ වැඩේ හොඳයි කියන එක. ඊට පස්සෙයි ඉතිරි ඒවා කතා කරන්න වෙන්නේ. කුඩු බොන කෙනෙක් හෝ කුඩු විකුණන හෝ මොන විදිහකින් හරි ඒ දෙයකින් වාසි ගන්න කෙනෙක් හැරුණු කොට මේ වසංගයට එරෙහි වෙන්නෑ කියන අදහසේ ඉන්න කවුරු හරි ඉන්නවා නං එතන හිතන්න දෙයක් තියෙනවා. දවස් දෙක තුනකට ලංකාවේ හිර ගෙදරකට ගිහින් බලන්න. මුලු මහත් සමාජයම බොන්ෂායි කැඩපතක් තමයි හිර ගෙදර කියන්නේ. එතැන බලන්න පුලුවන් රටේ තියෙන ඛේදවාචකය. යුක්තිය මෙහෙයුම අවංක වැඩක් උනොත්, ඇත්තටම 2024 පස්සේ බලය ගන්න කාට උනත් අංක එකේ වගකීම් අතරට එන වැඩක්. හොඳ වැඩක් කරලා බාර දුන්නට පස්සේ ඒක පවත්තවාගෙන යන එක.

ඒක කවුද හිරියටම කරන්නේ කියන කණ්ඩායමට මෙවර මැතිවරණය වාසි වෙන්න පුලුවන්. හැබැයි ඒක හරියට සාර්ථක උනොත් විතරයි. ඒක නාට්‍යක් තියලා කියන්න පුලුවන් උනාට මේ කරන අයට නාට්‍යක් කරන්න බෑ දේශපාලනය වෙනුවෙන්. මොකද ඒකට තියෙන කාලය වැඩියි. දිගටම නාට්‍ය පෙන්වන්න වෙනවා.. එතකොට දන්නනෙම නැතුව නාට්‍ය ඇත්ත වෙන්න තියෙන ඉඩ වැඩියි. මේක ජාතික ප්‍රශ්නයක්. ඉතින් ජාතික ප්‍රශ්නය නැවත ඔම්ලට් දාන්න පුලුවන්. අනිත් අතට ආණ්ඩුවට මේක කැමැති වුණත් අකමැති වුණත් කරන්න සිද්ධ වෙන එක හේතුවක් තියෙනවා. මත් ද්‍රව්‍යය නිසා සමාජ පරිභෝජනය හැකිලිලා තියෙන්නේ. මිල දී ගැනීමට ඇති නො හැකියාව නිසා විශේෂයෙන් අග නාගරික අව වරප්‍රසාදිත දුගී ජනයාට තියෙන පීඩන දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. මත් ද්‍රව්‍යවලින් සංසරණය වන සල්ලි පවා ආපසු ආර්ථිකයට එකතු වෙන්නේ නෑ.. මේක ධනේෂ්වරයේම ගැටලුවක්. අර්බුදයක් ඇති මේ වෙලාවේ ඒකට තියෙන එක විසඳුමක් විදිහට ගන්නත් පුලුවන්. මේකම අනිත් පැත්තට දේශපාලන වාසියක් වෙන්නත් පුලුවන්.  

 ජනවාරි 6

 අපි දෙයක් නොකර ඉන්නකොට අපි ගැන සහ එලිය ගැන සාධාරණීයකරණය කරන එක කරන  ලේසියි. එතැන ආත්මීය කොටස නැති නිසා. ඒත් අපි දෙයක් කරන කොට ඒක යුක්තිඅයුක්තිබවට එන්න හරි අමාරුයි. ඒක එන්නේ භාවිතාව කියන දේ තුල. අන්න එකකොටයි අපිට න්‍යායන් අවශ්‍ය වෙන්නේ. නැතිනම් අලුතින් හොයා ගන්න වෙන්නේ.. ඇත්ත කියන්නේ මොකක්ද කියලා හිතනව නම් හිතන්න වෙන්නේ.. තමන්ට බෝලේ පාස් උනොත්, මිනිහා කියන සත්වයා ඒක කොහොම හරි කරනවා.. හැබයි ඇත්ත කියන එක තමන්ට කුඩා කරගෙන. තමන්ගේ ආරක්ෂාවට, පැවැත්මටයි ඒක කරන්නේ. නමුත් ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ පරාර්ථකාමී  මිනිස්සු  ගැනයි හිතන්න වෙන්නේ. ඒකත් ව්‍යුහාත්මකයි, සංයුක්තියි. විශ්වීය විදිහට ගන්න කොටයි, අපි කරන දෙය මොකක්ද කියන එක ගැන හිතන්න වෙන්නේ.. විශ්වීයව හිතන මිනිස්සු තමන් කරන්නේ මොකක්ද කියන එකම තීරණය වෙන්නේ ඇත්ත කියන මතයි. විශ්වාසය කියන එකයි, සත්භාවයයි කියන දේවල් එක්ක නිසා සාධාරණීයකරණය කියන වචනය අදාල නෑ.. තමන් කරන වැඩේම සත්භාවීය වෙනවා. යුක්තිසහගත වෙන්නේ  ඒ වැඩෙන් පස්සේ. එලියේ අය කතා කරන දෙයක් වුණාට පස්සේ නොයෙක් අර්ථකතන කරන්න පුලුවන්, ඒත් සත්භාවිය කොටස අයින් කරන්න බෑ. මේකට අවංකකම, හෘද සාක්ෂිය, අධ්‍යාත්මය වගේ සංකල්පත් එකතු වෙනවා.

 ජනවාරි 7



කොක්ටේල් සහ අන්සතු බිමේ දිනපොත යන කාව්‍ය කෘති දෙක සම්බන්ධකරගෙන කවි රසවින්දන සහ සංස්කෘතිකමය වැඩක් කරන්න ගත්ත එක අලුත් දෙයක්. අද අපේ කවි වැඩේ මාතලේට ගිහින්. මම මෙහෙ ඉඳන් බලාගෙන ඉන්නවා. ඇත්තටම මේ වැඩේ හරිම අහඹු වැඩක්. විපරිවර්තනීය වැඩක්. පටන් ගත්ත විදිහ නෙවෙයි අද තියෙන විදිහ. හෙට තියෙන්නේ කොහොමද කියන එක දන්නෑ. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. මෙතැන සත්භාවය, ඇත්ත උවමනාව, අවංකත්වය, දුෂ්කරතාවය, විශ්වාසය කියන කාරණය. එලිය විසින් මේ ගැන අවිශ්වාස කරන්න පුලුවන්. ඒත් ඒක අදාල නෑ. ඒක බලන්න වෙන්නේ වැඩේ ඇතුලේ මිසක අර්ථකතන ඔස්සේ තේරුම් ගැන්න බෑ. ඒක අපිට ලෙහා ගන්නත් බෑ.. එක අතකින් නිල රාජ්‍ය නො වන සංවිධානයකින් ව්‍යාපෘතියක් විදිහට නොකර, නිල ආධාර නැතුව හතර වැනි වතාවටත් කොහොම හරි කරන්න පුලුවන් වුණා.. එහෙම වුණත් ඒකෙ තියෙන දුෂ්කරකම ගැන කිව්වට වැඩක් නෑ. ඒ නිසා  දැන් නම් ඉස්සරට යන්න හරිම අමාරුයි.. ඉස්සරහට යන්න අවම මූල්‍ය තත්ත්වයක් අවශ්‍ය වෙනවා. ඒකට කැප වෙන අයට දිගටම මේ කැපවීම කරන්න නම් ඕ අයට අවම පැවැත්මක් තියෙන්න වෙනවා. පැවැත්මට වෙන දෙයක් කළොත් මේක මිස් වෙනවා. දෙකම යම් තුලනයකින් කරන එතයි වැඩේ. ඒත් අද රටේ තියෙන තත්ත්වයත් එක්ක ඒක ලේසි නෑ.

ඉතින් ඒ කොහොම වුණත් මේ කටයුත්ත බොහොම ප්‍රයෝජනවත් වැඩක්. සමාජයට අවශ්‍ය වැඩක්. ඇත්ත තේරුම් ගැනීමකට සමාජයේ සමගියට, අන්නෝන්‍ය විශ්වාසයට ගෞරවයට නියම සංහිඳියාවකට මේ වගේ දේවල් තව තවත් කරන්න ඕන. ඒකට

හොඳ අවකාශයක් අපේ මේ සාමූහික උත්සාහය තුල තියෙනවා වගේම ඉල්ලුම තියෙනවා. ක්‍රියාත්මක කරන්න නම් මිනිස් ස්වෙච්ඡා ශ්‍රමය හැරුණු කොට අනිත් දේවල් අපිට නිකං ලැබෙන්නෑ.. ඒවට ඕන කරනවා සල්ලි. මේ සල්ලි දෙන්නේ කවුද කොහෙන්ද කොහොමද කියන එක අදාල වෙන්නෙ නෑ හෝ අදාලයි නම් අපිට දැන් ඒ ගැන හිතන්න වෙනවා.

 වැඩේ කරන්නේ අවංකව ඇත්තට නම් ඒකට අපිට උද්ව් කරන්න කියලා කිව්වම මිනිස්සුන්ට ආධාර කරන්න පුලුවන්. ඒ විදිහටයි මේ කරපු හරිය කරේ. ඒත් එක් ප්‍රමානවත් නෑ. ඉස්සරට මේ වැඩේ යන්න නම් විදියක් හොයා ගන්න වෙනවා. ඒකට කවුරු හරි උදව් කරන එක වගේම අපිත් ඒකට මාර්ගයක් හොයා ගත්තොත්, වැඩේ මීට වඩා හොඳට කරන්න පුලුවන් වෙයි කියන එකයි විශ්වාසය.

මේ වන තුරු මේ වැඩේට තම ශුමය තාලය ධනය වගේම බුද්ධිමය දායකත්වය දෙන සියලු දෙනාටම තියෙන්නේ  මිල කළ නො හැකි ගෞරවයක්.

 

 

 සතියක නිමාව

උදය ආර්. තෙන්නකෝන්

 

No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න