Diaspora Diary

Monday, June 3, 2013

යටත් විජිත අඳුර සහ ආලෝකයෙහි නලීන්ගේ හිරගතවීම

2 කොටස

උදය ආර්. තෙන්නකෝන්
‘‘ඇත්ත වශයෙන්ම යුරෝපය යනු තුන්වැනි ලෝකයේ නිර්මාණයකි,,(ෆ්‍රාන්ස් ෆැනොන්)
නිදහසින් පසු එනම් පශ්චාත් සහ පාර පශ්චාත් යටත් විජිත කාලය ලෙසින් හඳුන්වන කාල පරාසයන් තුල සිටගෙන සිටින නලීන් ද සිල්වාගේ මතවාදි දර්ශනයට හේතුභූත වන ප්‍රධානම හේතුකාරක බලපෑම වන්නේ ලංකාව යටත් විජිත කොලනියක් වීම හා ඒ මත බටහිර මතවාදයන් රෝපණය වීමය. 1505- 1948 දක්වා වසර  443 කාලය පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් යටතේ දී විනාශයට පත්වෙමින් කඩතොලු වූ ඉතිහාස මාර්ගය සිංහල බෞද්ධ ජාතිකවාදයේ සැත්කමකින් ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ දර්ශනයේ පරම අභිලාසයයි. සියවස් හතරකට වඩා වැඩි මේ මහා අඳුර තුල ගිල්වා ඇති සිංහල ජාතිය, බටහිර යුදෙව් ක්‍රිස්තියානිකරණයෙන් හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයයේ අවතාර විසින් ප්‍රපාතයක් වෙත තල්ලුකර තිබීම හේතුවෙන් සිංහල බෞද්ධ සමාජය යලි ගොඩගැනීම ඔහුගේ මතවාදී අරගලයේ කේන්ද්‍රීය කාරණය වේ. යටත් විජිතවාදය තම මතවාදී ප්‍රවාදයේ ප්‍රධාන පදනම වන විට එහි ප්‍රතිවාදය වී ඇත්තේ පශ්චාත් යටත් විජිත යුගයේ හා පාර පශ්චාත් යටත් විජිත තත්ත්වයේ සිය දහස් අපෝහකයන්ය. මෙම විසංවාධී  ගැටුමේ දී අපේක්ෂිත හා බලකරන්නාවූ සහවාදය වන්නේ ඈත අතීතය යළි අනාගතය වෙත කැඳවීමය. ඈත අතීතය මෑත අනාගතයට කැඳවීමේ සුසමාදර්ශය  සියවස් හතරකට වඩා වැඩි පිම්මක් පැනිය යුත්තේ කාලය හා අවකශය අතර ඇති ඉතිහාසය විචල්‍ය සන්දර්භයක පිහිටුවමින් ආර්ථික විද්‍යාවේ මිල සූත්‍රයක් ආදේශ කරන්නාක් මෙනි. එසේම ඔහුගේ දාර්ශනික ප්‍රවාදයන්ගේ  අපෝහකය සූත්‍රගත වනුයේ චක්‍රීය ක්‍රියාවලියකටය.


යථාර්ථීය ඉතිහාසය මත සිට ගනිමින් සංකල්පීය අතීතයක් වෙත අනාගතය මෙහෙයවීමට කරන ප්‍රබල යෝජනාව රටක් වශයෙන් ද, සිංහල ජාතියක් වශයෙන් ද, බෞද්ධ ආගමක් වශයෙන් ද මුහුණ දෙන භෞතික අභියෝගයයි. යටත් විජිත ඉතිහාසය යන්න සුරංගනා කථාවකට වඩා එහා ගිය දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවලියක් බැවින් ඉන් විගලිත වී සිය අනන්‍යතාව ගොඩ නැංවීම කළ යුත්තේ අධිරාජ්‍යවාදය හා යටත් විජිත ඉතිහාසය අළුයම ලු කෙළ පිඬක් සේ බැහැර කරමින් ද නැතිනම් නිර්මාණශීලී ඉදිරිගාමී දාර්ශනික ප්‍රෙවේශයන්ගෙන් ද යන්න කල්පනා කළ යුතු වුවත් ලෝක දෘෂ්ටියේ අඳ බවින් සිටින නලීන්ට ලංකාව හැරුණු කොට සෙසු සියල්ල අඳුරු තිරයකින් වැසී ඇති අවැදගත් එහෙත් ඔහුව හොල්මන් කරන අවතාරයන්ය.
යටත් විජිතවාදය

ඉතිහාසය යනු වර්තමානයේ ගොඩනැංවීමක්ය යන සරළ හැඳින්වීමෙන් ලංකාව යටත් විජිතයක් බවට පත් වීමේ ඓතිහාසික සන්දර්භය වර්තමානයේ සිට තේරුම් ගන්නා අතරම, පූර්ව යටත් විජිත ඉතිහාසය යනු යටත් විජිත වාදයේ ප්‍රතිපලයක ගොඩනැංවිමකි. ඒ අනුව අපගේ ඉතිහාසය යනු බටහිර මතවාදය තුල පදනම් වූ ද, ඊට අනුකූල කුමවේදයන්ගෙන් යුක්තව අර්ථ කතනය වූ ඉතිහාසයක් ය යන්න, බොහෝ විද්වතුන්ගේ මෙන්ම නලීන්ගේ ප්‍රමුක ප්‍රවාදය වන්නේය. ඉන් විගලිතව ස්වකීය චින්තනයෙන් හා දැනුමෙන් ජාතියේ ඉතිහාසය ගොඩනැංවිම පිළිබඳ සිහිනයෙන් වර්තමානයේ සිට අතීතය දෙසට හැරී කරන අඳොනාවේ දී, එම දෝංකාරය යටත් විජිත පවුරු පදනමේ හැපී නැවත තමා වෙතම ප්‍රක්ෂේපණය විමේ කෝපය ඔහුගේ සමස්ථ ප්‍රවාදයන් තුල අඩංගුවක්ව ඇත.ඔහුගේ ප්‍රවාදයන් කෝපයෙන් වියුක්ත කර ඓතිහාසික යථාර්ථයට ගෙන ඒමේ දී පොදු එසේම මගහැරිය නොහැකි ප්‍රපංචයන්  කිහිපයක් යටත් විජිතවාදය තුල  ස්ථාපිත වේ. එනම්, අධිරාජ්‍යවාදය, යටත් විජිත ධනවාදී නිෂ්පාන මාදිලිය හා එහි සංස්කෘතිය, බටහිර ආගමික බලපැම සහ එහි අනන්‍යතාව වැදගත් සාධකයෝ වෙති. යටත් විජිතවාදී ඉතිහාසයට ප්‍රවිෂ්ට වීමේ දි, මෙම ප්‍රපංචයන් දෙස අභ්‍යන්තරික වශයෙන් පමණක් නොව බාහිර වශයෙන්ද බැලිය යුතුය. එනම් ලංකාව තුලින් සහ ලෝකය තුලින් මෙම ප්‍රපංචයන් අවබෝධ කර ගැනීම කළ යුතුය. යටත් විජිතවාදය යන්න අහම්භයක් හෝ වැරදීමක් වශයෙන් නොව ධනවාදයේ විස්ථාරිත ප්‍රතිපලයේ සංතතික අවස්ථාවකි. එය අධිරාජ්‍යවාදය තුලින් ප්‍රාග්ධනය සංසරණය කිරීමේත්, එම සංසරණයන් නැවත ලාභය ලෙසින් සමුච්ඡකරණය කිරීමේ  ආර්ථික ක්‍රියාවලියක් පමණක් යැයි කීම යටත් විජිතවාදය නැමැති වචනය තුල හිදැසක් ඇති කරන්නකි. එනිසා යටත් විජිතවාදය දේශපාලනික සංස්කෘතික මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස හැඳින ගත යුතුය.

යටත්විජිතවාදය පිළිබඳ කෙරෙන දේශපාලනික හා සංස්කෘතික මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුල දී එය තේරුම් ගැනීම සඳහා විශාල වශයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා න්‍යායන් ද සම්පාදනය වී ඇත. යටත් විජිතවාදය සමස්ථයටක් ලෙස ගෙන බැලිමේ දී, අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යට හසු වූ මහද්වීප හා රටවල් වල තරම අනුව ලංකාව යන්න නම් යටත්විජිතවාදී කේන්ද්‍රය තුල පරිවාරයකි. එහි ආධිපත්‍යයට අනුව විශාල බලපෑමක් වූ කොලනියක් ලෙස සැලකීම හෝ නොසැලකීම හෝ කෙසේ වුව, අභ්‍යක්තරිකව ලාංකිකයන් ලෙස බැලීමේ දී විශාල වෙනසක්, චලනයක් ඇති කළ  සංසිද්ධියකි. යටත්වාජිතවාදයට අනුව නම් එය ඉතා කුඩා භූමි ප්‍රමාණයකි. ලාභය සමුච්ඡගත කර ගැනීමේ තර්කයට අනුව පාඩු ලැබූ කොලනියකි. කෙසේ නමුත් ඉතිහාසය තුල එය සිදු වී හමාරය. අත්හැරිය නොහැකිය. මගැහැරිය නොහැකිය. යටත්විජිතවාදය සංස්කෘතියක් හා දේශපාලනයක් බවට පත් වී හමාර ය. අඳුර ආලෝකය, කළු සුදු පමණක් නොව වෙනත් වර්ණයන් ද, යුක්තිය අයුක්තිය, නිශ්චලත්වය චලනය, ජීවිතය හා ජීවත්වීම යන පුළුල් අර්ථයෙන් ලෝක දෙකක් නිර්මාණය කළ ඓත්හාසික සන්දර්භයකි. යටත්වාජිතවාදය නිසා අහිමි වූ අනන්‍යතාව සොයා යෑම ස්වදේශික ජාතීන්ගේ ප්‍රමුක දේශපාලන කාරණය වුවද, එම ගැටළුව ජය ගැනීම යනු ද යටත් විජිත කතිකාවේ ප්‍රමුක කාරණයකි. බ්‍රිතාන්‍යට යටත් විජිතයක්ව පැවැති අමෙරිකාව එම ආධිපත්‍යෙයන් නිදහස්ව නිර්මාණය වූ අමෙරිකාව පශ්චාත් යටත් විජිතයක් නොවී නව අමෙරිකාවක් වීම හා ඊට ස්වකීය අනන්‍යතාව සොය ගැනීමට හැකි වූ සන්දර්භය සෙසු යටත් විජිත ලෝකයට පොදු කළ නොහැකිය. එහෙත් අමෙරිකාව ස්වකිය අනන්‍යතාව ගොඩනගා ගනු ලැබුවේ අතීතයට ගමන් කිරීමෙන් නොව නූතනන්වය හා ආර්ථික දේශපාලනික බලවත්කම හා යටත්විජිතවාදයේ උගත් පාඩම තමා ස්වාමියා බවට පත්විමෙන් ගොඩනැගූ අණසක තුලය. ඉන්දියාව ආසියා කලාපයේ යටත් විජිතවාදයට ගොදුරු වූ විශාල රටක් වශයෙන් නූතන තත්තවයන්ගේ චලනයන්ට අනුව පශ්චාත් යටත් විජිත ඉන්දියාව ලෙස සූත්‍රගත කිරීමේ දී එම න්‍යායේ අනන්‍යතාව විපරිවර්තනය වෙමින් ස්වකීය අනන්‍යතාව කරා ගමන් කිරීමක් භාහිර ලෙස දැකිය හැකිය. විශාල රාජ්‍යයක් වශයෙන් විසඳා ගත යුතු අතිමහත් ගැටළු ගණනාවක් ඊට අනන්‍ය වුවත් ඉන්දියානු නිදහස් අරගලයෙන් පසුව හින්දු රාජ්‍යයක් වෙත හෝ මුස්ලිම් ඉන්දියාවක් වෙත ආ පසු හැරීමට කටයුතු කිරීමට නොහැකිව ඇත. 
යටත් විජිතවාදය හා එහි සංස්කෘතිය පිළිබඳ  කෙරෙන විග්‍රහයන්ගේ දී ඉන්දියාව තුල යටත් විජිතවාදය ස්ථාපිතවිම හා එහි සංස්කෘතියක් බවට පත් වීම නිරූපණය කෙරෙන කදිම කැඩපතක් ලෙස ඊ. එම් ෆොස්ටර්ගේ (E. M. Forster) අ පැසේජ් ටු ඉන්දියා (A Passage to India)[1] නම් නව කතාව විශේෂයෙන් උපුටා දක්වනු ලබයි. නිකොලස් . බී. ඩර්ක්ගේ හැඳින්වීමට(Colonialism and Culture) අනුව ෆොස්ටර් පෙන්නුම් කරනු ලබන්නේ යටත් විජිතවාදය යන්න නිමේශීය  අවුලිකින් යුක්ත ආඛ්‍යානයකට වඩා එහා ගිය, යටත්වාජිතවාදයම එහි ස්වභාවය බවට පත්වූවක් යන්නය. යටත්විජිතවාදය යන්න සංස්කෘතික සැකැස්මක් ලෙස දැකිය හැකි නම්, සංස්කෘතියම යටත්විජතවාදය වන්නේය. මෙම ප්‍රවාදය යථාර්ථයක් වශයෙන් ගන්නේ නම් ඊට අවැසි සුසංගත සම්බන්ධය එහෙමත් නැතිනම් යටත් විජිතවාදයෙන් පසු නව සමාජ තත්වයට අවශ්‍ය කරන්නා වූ නිමය සංස්කාතික සංසර්ගය ඇති කළ යුත්තේ කෙසේද යන්න මෙම සමාජයන් හමුවේ ඇති අභියෝගයක් වන්නේය. එසේ නොමැතිව ශතවර්ෂ ගණනාවක අතීතයට හැරී ඊට අනුවර්තනය වන්නේ නම්, එම කාරයයට ලෝකය ප්‍රමාද බව ෆොස්ටර් පෙන්වා දෙන්නේය. එම නිසා පශ්චාත් යටත් විජිත වාදී ලෝකය යන්න යටත් විජිත වාදයෙන් පසුව අප ජිවත් වන එහෙත්  එය නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකි. යටත් විජිතවාදය අප හඳුනා ගැනීමට පටන් ගෙන ඇති මාර්ගයන් තුලම ක්‍රියාත්මකවන හා අඛණ්ඩ තත්ත්වයක් යන්න පෙන්වා දෙන්නේය.මෙම දැක්ම සඳහා පෙරදිගවාදය හා ජාතිකවාදය යන න්‍යායික දෘෂ්ටීන් අතර විසංවාදී ගැටුමක් ඇති අතර ලංකාව විෂයෙහි දී නලීන් ද සිල්වාගේ ජාතිකවාදී චින්තනය ප්‍රධාන ප්‍රතිවිරෝධයන් තුනක් තුල ස්ථානගතව හිර වන්නේය
1.      භාහිර අනෙකා ප්‍රතිවිරෝදය
2.      අභ්‍යන්තර අනෙකාගේ ප්‍රතිවිරෝධය
3.      භාහිර අභ්‍යන්තර සහසම්බන්ධිත ප්‍රතිවිරෝදය

භාහිර අනෙකා ප්‍රතිවිරෝදය ලෙස ඉහතින් සඳහන් කළ බටහිර යටත් විජිතවාදී මතවාදය හා සංස්කාතික දේශපාලනය ද, බටහිර ක්‍රිස්තියානිකරණය හා යුදෙව්වාදය ද පිළිබඳ ඇති භීතිකාමය තිගැස්ම සහිත මතවාදය විරෝධය ද අභ්‍යන්තරික අනෙකාගේ ගැටලුව ලෙස සුළු ජනයා සම්බන්ධයෙන් ඇති භීතිකාමය ක්ෂතිය දැක්විය හැකිය. සිංහල බෞද්ධ ස්වෝත්තම මහ ජාතිය ලාංකීය අර්ථයට ඌණපූර්ණය කරමින් නැවත නිර්මාණය කිරීමේ  නලින් ද සිල්වාගේ  උත්සාහය වනාහී, ලෝක දැක්මෙන් සිංහල ජාතිය සුළු ජාතියක් වීම හා සුළු ජාතිය මහ ජාතියක්විමේ යථාර්ථය තුල ඇති වන මනෝමූලික භීතිය නිසා උපදින ‘‘ප්‍රභාකරනියානු වෙනම රාජ්‍ය සංකල්පය,, ඔහු තුල ඇති අභ්‍යන්තරික කේන්ද්‍රීය ගැටුමයි. 
භාහිර හා අභ්‍යන්තරය සහසම්බන්ධකරමින් යටත්විජිතවාදය හා බටහිර ක්‍රිස්තියානි හා ග්‍රීක යුදෙව්වාදය ප්‍රතිවිරෝධකර ගෙන සුළු ජාතික ප්‍රශ්නයට බද්ධකරනුයේ සුළු ජාතියක් වූ සිංහල මහ ජාතිය සඳහා වන තනි රාජ්‍යය නිර්මාණය කිරීමට ය. ඒ සඳහා හැකි සෑම අවියක්ම යොදා ගන්නා අතර එහිදී යටත් විජිතවාදයට එරෙහි වුවද පැරණි යටත් විජිත ප්‍රතිපත්තියම දමිළ ජනයාගේ ප්‍රශ්නය සඳහා යොදා ගනී. එනම් මහා අනෙකා වීමය.  ආර්ය ආනාර්ය, ශිෂ්ඨ අශිෂ්ඨ, යක්ෂ මනුෂ්‍ය, කළු සුදු ආදී ද්වන්ධාත්මක ප්‍රතිවිරෝධයන් නිර්මාණය කළ යටත්විජිතවාදයම පෙරලා අභ්‍යන්තරයට ආදේශ කිරීමය. මේ සඳහා ඔහුට ප්‍රතිපෝෂක දෙමළ ජාතිකවාදය ද ජාතික මාක්ස්වාදය ද සහයෝගය පිණිස  විසංවිදයේ සහයෝගය ලබාදෙනු ඇත. මේ පිළිබඳව වෙනම විමසීම පසෙකට තබමින් විසංවාදයේ සහයෝගයට නිදර්ශන කිහිපයක් පමණක් ඉදිරිපත් කරමි.
1.      එල්ටීටීය මහින්ද රාජපක්ෂව ජනාධිපති කරවීමේ ප්‍රති පෝෂකය
2.      ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට සහයෝගය දීම
3.      හිරු කණ්ඩායමේ මුල් කාලින, පසු කාලින හා ඩයස්පෝරාගත ස්ථාවරයන්

යටත් විජිතවාදය පිළිබඳ නව අවබෝධාත්මක කියවිමකට ගමන් කිරීමකට යටත් විජිතවාදය තුලින් නලීන් ද සිල්වා වෙතත්, නලින් තුලින් යටත්විජිතවාදය වෙතත් පිවිසයහෝත් ඔහුගේ ප්‍රවාද ගත ලේඛණ  ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා තේරුම් ගැනීම ඔහුට සහ අධ්‍යයනයට සාධාරණයක් වනු ඇත. ඒ අනුව
1.      සාර්ව වශයෙන් මතවාදය තේරුම් ගැනීම
2.      ශුද්‍ර වශයෙන් ග්‍රාම්‍ය හා ඔහුගේ වචනයෙන්ම කසිකබල් වීම
 මෙම වර්ගීකරණය නිශ්චිතව සිය ප්‍රවාද තුල වෙන් කළ නොහැකි වුවද කාලය අනුව ද කිසියම් වර්ගීකරණයකට ලක් කළ හෝත් 
1.      පූර්ව රාජපක්ෂ කාලය ගුණාත්මක කාලය ලෙසත්
2.      රාජපක්ෂ යුගය ප්‍රමාණාත්මක එහෙත් පිරිහුණු කාලය ලෙසත් නම් කළ හැකිය
පලතුරු සලාදයක් තුල රස ගුණ කැමති අකමැති දෑ තිබිය හැකිවාක් මෙන්ම ඔහුගේ සමස්ථය තුල ද අඩංගුව ඇති මිථ්‍යාව සත්‍ය බොරුව හා අතිශයෝක්තිය ද, ප්‍රඥ්ඥාව සහ උමතුවද දාර්ශනිකත්වය සහ ළමා භාවයද යනාදී වශයෙන් සන්දර්භීය කියවීමක් කළ හැකිය. එහෙත් සමස්ථය තුල ඔහුගේ මතවාදී දර්ශනය ලාංකීය දේශපාලනය හා සංස්කෘතිය  විනිවිද ගොස් ඇති බැවින් ඔහුගේ චක්‍රීය ප්‍රවාදයේ ගැටලුව ඉහත වර්ගීකරණයන් තුල දී පහත උපුටනයන් හඳුනා ගත යුතුය. 
උදය ආර්. තෙන්නකෝන්


උපුටන 1
‘‘හතළිහේ දශකයෙන් පසු සිදු වී ඇති එකම දෙය නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නායකත්වයට එංගලන්තය වෙනුවට තවත් ඇග්ලිකන් ක්‍රිස්තියානි රටක් වූ ඇමරිකාව පත්වීම ය. යටත්විජිතවාදය තවමත් පැවැත්වෙයි. එදා මෙන් අද එංගලන්ත රජුගේ ආණ්ඩුකාරවරුන් ඒ ඒ රටවල දකින්නට නැත. එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය පතුරවන පාසල්, විශ්වවිද්‍යාල, බෞද්ධ සංස්කෘතික වචනවල ගරුත්වය බාල්දු කරන ඊනියා පටිසෝතඝාමීන් ද ඇතුළු ජඩමාධ්‍ය පමණක් නොව බටහිර රාජ්‍යවලින් නඩත්තු කෙරෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් හෙවත් සිවල් සමාජ අද රට පුරා දකින්නට ඇත. අපේ රටවල තවමත් ඇත්තේ යටත්විජිතචාදය ය. එහි නව යටත්විජිතවාදයක් නැත. නව යටත්විජිතවාදය යන්න අප නොමග යැවීම සඳහා බටහිර බුද්ධිමතුන් විසින් ම තනන ලද සංකල්පයක් මිස අපේ පඬියන්ගේ නිර්මාණයක් නො වේ. බටහිරයෝ එදත් අදත් තම දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික යටත්විජිතවාදය ලොව පුරා තහවුරු කරගනිමින් සිටිති. ඔවුහු දෙබිඩ්ඩෝ නො වෙති. ඔවුන් ඊනියා මානව හිමිකම් තඹයකට නොසලකමින් අහිංසක මිනිසුන් ඝාතනය කරමින් ඉරාකයට බෝම්බ දැමුයේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඔවුන් ලංකාවේ හමුදා මානුෂික මෙහෙයුම්වල අග ඊනියා මානව හිමිකම් කැඩී යැයි චෝදනා කරන්නේ ද අහිංසක දෙමළ ජනයා මෑරීය යන දුකෙන් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට යවා ආණ්ඩුව වෙනස්කර හැකිනම් සරත් ෆොන්සේකා රූකඩ ජනාධිපති කර තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කර තිබිය දී පරමාණු බෝම්බය අත්හදා බැලීම සඳහා ජපානයට බෝම්බ හෙලූවන්ට ඇති මානව දයාව කුමක් ද?,,  කාලය- නලීන් ද සිල්වා
උපුටන 2
මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව තවමත් සිංහලයන්ගේ හදවතට නො දැනෙයි. ඔවුන්ගේ හදවතේ ඇත්තේ දෙමළ නොවන එළාරට පස්වැනි සියවසේ පමණ හිමිකර දුන් ඊනියා දෙමළ කම ය. චෝලයන් බලයට පත්වෙමින් සිටි යුගයක, පණ්ඩුකාභය රජු දවස දක්වා දිව යන සිංහලයන්ගේ පාරම්පරික අඛණ්ඩ සංස්කෘතියෙහි සංස්කරණය කෙරුණු දෙමළ එළාර සංකල්පය අද දක්වා ම ඔවුන්ගේ හදවත්හි වෙයි. පඬියන්ගේ දැන ගැනීම සඳහා කිවයුත්තේ අඛණ්ඩ යන්නෙහි තේරුම වෙනස් නොවන යන්න නොවන බව ය. ඇළ දොළ අතු ගංගා එක්කර ගනිමින් වෙනස් වෙමින් සම්මුති අර්ථයෙන් අඛණ්ඩව ගලන ගංගාවක් මෙන් සිංහල සංස්කෘතිය ද පාරම්පරික ව අඛණ්ඩ ව වෙනස් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වන්නන්ට අඛණ්ඩව වෙනස්වීම යන්න පරස්පරයක් නො වෙයි. කෙසේ වෙතත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ ව මෙන් ම බටහිරයන් තම ආධිපත්‍යය සඳහා දෙමළ ජාතිවාදයක් ඇති කර පෝෂණය කර එය සිංහලයන්ට විරුද්ධව යොදාගත් ආකාරය ද සිංහලයන් හදවතින් අවබෝධ කරගත යුතු ය.නලින් ද සිල්වා - කාලය
උපුටන 3
‘‘එහෙත් තවමත් සිංහලයන් තේරුම් නොගත් තවත් කරුණක් නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ඇති බලවත් ම තර්ජන නම් ඉස්ලාම් චින්තනයත් සිංහල ථෙරවාද බෞද්ධ චින්තනයත් බව ය. අද බටහිරයෝ ඊනියා අරාබි වසන්ත සංකල්පයක් ඔස්සේ බටහිරට නොැමෙන අරාබි රටවල ආණ්ඩු වෙනස් කරමින් සිටිති. ඉස්ලාම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ප්‍රධාන වශයෙන් ම එරෙහි වන්නේ ආර්ථික හා දේශපාලනික තලවල ය. අරාබි රටවල, විශේෂයෙන් ම ඉරානයේ, තෙල්, න්‍යෂ්ටික බලය හා යුද්ධ දේශපාලන ශක්තිය බටහිරට හිසරදයකි. එහෙත් ලංකාවට ආර්ථික ශක්තියක් හෝ දේශපාලන ශක්තියක් හෝ නැත. සියල්ල ආර්ථිකයට ඌනනය කරන්නන්ට බටහිරයන් අපට විරුද්ධ වන්නේ ඇයි දැයි සිතාගත නො හැකි ය. එහි දී බටහිර ගැති පඬියෝ බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ සිංහලයන් දෙමළ ජනයාට කර ඇති අසාධාරණ නිසා ය යන බටහිර මිථ්‍යාව පතුරවති. බටහිරයන්ට දෙමළ ජනයා කෙරෙහි පතළ වූ කරුණාව කුමක් ද? පාරිභෝගිකවාදී, පුද්ගලවාදී, තරගකාරීත්වය හුවා දක්වන, ස්වාභාවික සම්පත් විනාශ කරමින් පුද්ගල ඉන්ද්‍රියන් පිනවීම සැප සම්පත යැයි කියන, ඊනියා සත්‍යයට ළඟාවන්නේ යැයි කියන මිථ්‍යාවක් පෙරදැරි කරගත් බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ ආධිපත්‍යය පතුරවන බටහිර සංස්කෘතියට ඇති ප්‍රධාන ම සංස්කෘතික (දාර්ශනික) අභියෝගය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. බටහිරයෝ ඒ බව නො කියති. ,,නිදහසට තව කොපමණ දුර ද?

උපුටන 4
‘‘ඉංගිරිසින් අපට නිදහස දී ඇත්තේ ඔවුන්ට ගැති ආණ්ඩු පත්කර ගැනීමට හා පවත්වා ගෙන යෑමට ය. ඔවුන්ට නොනැමෙන ආණ්ඩු පත්වූ විට ඒ බිඳ දැමුමට ඔවුහු ක්‍රියා කරති. සාමාන්‍යයෙන් ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවලට බටහිරයෝ විරුද්ධ වෙති. ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට සහාය දැක්වයේ ඒ ආණ්ඩුව සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයේ පැත්ත ගැනීමත් චන්ද්‍රිකා මහජන පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් ඇය බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වීමත් නිසා ය. බණ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුවට එරෙහිව අබෞද්ධ හමුදා කුමන්ත්‍රණයක් සිදු කෙරිණි. එහි නායකයන්ගේ දරු මුණුබුරෝ අද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට විරුද්ධ වෙති. දෙමළ ජාතිවාදය යනු සිංහල බෞද්ධයන්ට හා එම සංස්කෘතියට විරුද්ධව ලන්දේසීන් හා පසුව සියුම් ව ඉංගිරිසින් තම යටත්විජිතවාදි ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා ආයුධයක් පමණකි. එය ද බටහිර යටත්විජිතවාදයෙහි ම කොටසකි. ඒ ඇතිකළෝ ද බටහිරයෝ ම වෙති. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර ආණ්ඩුව පළවා හැරීම බටහිරයන්ගේ අවශ්‍යතාව වෙයි. එහෙත් ලංකාවේ දී බටහිරයෝ අරාබියේ දී මෙන් නොව ඉතා සියුම් ව ක්‍රියා කරති. ඔවුහු පළමුව සුදු කොඩි කතාව කියවුහ. ඉන්පසු විවිධ චෝදනා ලංකාවට එරෙහි සාකච්ඡා හා යෝජනා, බෑන් කි මූන් වාර්තාව, චැනල් ෆෝ මගඩි ආදිය අපට දැකගත හැකි විය. සියල්ල නීත්‍යානුකුලවකිරීමට ඔවුහු උත්සාහ දරති. ආණ්ඩුව බටහිරයන් සමග ක්‍රියාකරන ආකාරය ගැන පාඩම් ඉගෙන නොගෙන පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඇතැම් විට ජෙනීවාහි දී ගෙනෙනු ඇත. ආණ්ඩුව තමන් පත්කරන කොමිසම්වල වුව ද වාර්තා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අපි කියමු. උගත් පාඩම් කොමිසමේ බටහිර දැනුම ලත් මහත්ම මහත්මීන් බටහිරයන් අනුකරණය කරමින් සිතන්නේ ඊනියා සිංහල ආණ්ඩුවලින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බව ය. ඒ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යැයි කියමින් බටහිරට බොරුවට විරුද්ධ වන්නෝ කුහකයෝ ය. ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ සිංහල ජනතාව අනුමත කරන යෝජනා පමණ ය. සිංහලයන්ගේ අදහස් නොවිමසා කිසිදු ප්‍ර්‍රශ්නයක් විසඳීමට ඉඩ නොදිය යුතු ය. අපට නිිදහස බොහෝ දුර ය. අප ඒ සඳහා අනවරතයෙන් සටන් කළ යුතු ය. අප ඒ සටන් දිනන්නේ ජෙනීවාහි දී හෝ නිව්යෝක්හි දී හෝ නොව ලංකාවේ වීදිවල ය. අප බටහිර විරෝධී ජාතීන්ගේ ප්‍රබල සංවිධානයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන අතර වඩා වැදගත්ව ජනතාව ආණ්ඩුව වටා ඒකරාශි කිරීමට කටයුතු කළ යුතු ය. අනාගතයේ දී පැනවිය හැකි ආර්ථික සම්බාධකවලට පමණක් නොව නේටෝ ආක්‍රමණවලට ද අප සූදානම් විය යුතු ය.,, නිදහසට තව කොපමණ දුර ද?
උපුටන 5
උතුරේ ප්‍රශ්නය හුදු ඉඩම් බෙදීම පිළිබඳ ප්‍රශ්නයක් යැයි කියන්නෝ බටහිරයන්ගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගත් පුස්සෝ ය. මිනිසුන් යුද්ධ කරන්නේ ඉඩම් අල්ලා ගැනීමට පමණක් නොවන බව පසුගිය සියවස් ගණනාවක ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉඩම් කතන්දරය සියල්ල ආර්ථික ව්‍යුහයකට ඌනනය කිරීමට තැත්කරන්නන්ගේ ගෙතීමක් පමණක් වෙයි. මිනිස්සු විවිධ හේතු නිසා යුද්ධ කරගනිති. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සුප්‍රසිද්ධ කෘතිය මගින් බටහිරයන්ට කියා සිටියේ ෆුකුයාමා කී ආකාරයට නොවන බවත් ඉතිහාසය නිම වී නැති බවත් අනාගතයේ දී සභ්‍යත්ව ගැටුම්වලට සූදානම් විය යුතු බවත් ය. එහෙත් මෙරට ඇතැම් ජාතිකවාදියකු එය වැරදියට තේරුම් ගෙන එය සංස්කෘතියෙහි වැදහත්කම බටහිර පඬිවරයකු ද තේරුම් ගත් අවස්ථාවක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළේ ය. එහෙත් මුල් අවස්ථාවේ දී ම ඔහු නිවැරදි කර ගැනීමට අපට හැකි විය. එහෙත් එයින් කියැවෙන්නේ සංස්කෘතික ගැටුම් නොමැති බව නො වේ.
බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවායෙහි ආර්ථික හා දේශපාලන සංරචක මෙන් සංස්කෘතික සංරචකයක් ද වෙයි. බටහිරයන් අපේ රටවලට පැමිණියේ සංස්කෘතික ආධිපත්‍යය ද අප මත පැටවීමට ය. අද එය අධ්‍යාපනය මගින් මෙන් ම ජනමාධ්‍ය මගින් ද සිදුවෙයි. විශේෂයෙන් ම ඉංගිරිසිහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට හෝ එසේ නොහැකි නම් එය දුර්වල කිරීමට හෝ කටයුතු කළහ. අප දෙමළ ප්‍රශ්නය දකින්නේ ඒ සඳහා ලන්දේසීන්ගෙන් පසුව ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී පෝෂණය කෙරුණු ප්‍රපංචයක් ලෙස ය. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික නායකත්වය දෙමළ වෙල්ලාලයන්ට හිමිකර දීමට ය. සර්වජන ඡන්දයෙන් පසු එය කළ නොහැකි බව තේරුම්ගත් දෙමළ නායකයෝ හා ඉංගිරිසිහු අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ඊළමක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි දී ඔවුහු ඒ පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි යන සංකල්පය ඉන්දියාවත් සමග එකතු වී යොදාගත්හ. ඉඩම් ප්‍රශ්නය දෙමළ ජාතිවාදයට එකතු වූයේ ඒ අයුරෙන් ය. එසේ නැතිව ඉඩම් බෙදාගැනීමට නොහැකි ව ඒ කටයුත්ත කරගැනීම සඳහා දෙමළ ජාතිවාදීන් ඊළමක් වෙනුවෙන් සටන් කළා නො වේ. කෙසේ වෙතත් ඉනද්ියාවේ මැදිහත්වීමෙන් ඉඩම් බලතල පළාත් සභාවලට හිමිකර දීමට ජේ ආර් ජයවර්ධන මෙන් ම රනිල් වික්‍රමසිංහ ද සජිත් ප්‍රේමදාසගේ පියා වූ ආර්. ප්‍රේමදාස ද ක්‍රියාකළහ. එසේ නැතැයි සජිත් ප්‍රේමදාස කියන්නේ ද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසීමට නොදන්නා ඔහු යොවුන් පාර්ලිමේන්තුවටවත් සුදුසු නො වේ. දැන් ත්‍රස්තවාදය නිම වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය දැයි රනිල් වික්‍රමසිංහ ඒ අතර අසයි. ඔහු ත්‍රස්තවාදය නැතිකිරීමට උදවු දුන් පුද්ගලයෙක් නො වෙයි. ඔහු ඊනියා සටන් විරාම ගිවිසුම් ආදිය මගින් ඊළමට මග කැපී ය. එහෙත් ඔහු කතාකරන්නේ තමා ත්‍රස්තවාදය නැතිකළ පුද්ගලයා ලෙස ය. ත්‍රස්තවාදය දැන් නැතිකර ඇති නමුත් නැවත එය ඇතිවීම වැළැක්විය යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය එබැවිනි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇති එ ජා පක්‍ෂයට දෙවියන්ගේ ම පිහිට ය. නලින් ද සිල්වා- කාලය




[1] අන්තර්ජාලයෙන් කියවීමට http://www.epubbud.com/book.php?g=RB9SCDM5 හෝ චිත්‍ර පටය නැරඹීමට- http://viooz.co/movies/8365-a-passage-to-india-1984.html

Monday, May 20, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනික...

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනික...: හැඳින්විම පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන්...

නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනිකයන් ලෙස



හැඳින්විම
පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන් අප්‍රමාණව විවිධ විෂයයන් ඔස්සේ කියවිය හැකිය. එම කියවීම් ශාස්ත්‍රාලීය පර්යේෂණ අධ්‍යයනයන්ගේ සිට අනෙකුත් උගත් බුද්ධිමතුන්ගේ දැනුම් සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සංයුක්තව සමාජය තුල විවිධ හැඩයන්ගෙන් ස්ථාපිත වී ඇත. සංවර්ධනය, දියුණුව, සමෘධිය, සාමය සංහිඳියාව, සමානාත්මතාව ආදී නොයෙකුත් සුභවාදී පරමාර්ථ පෙරදැරි කරගෙන සියලු දේශපාලන පක්ෂ සංවිධාන ඇතුලු සියල්ල තම ප්‍රතිපත්තියට අන්තර්ගත කරගෙන ඇත.  මෙකී තේරුම් ගැනීම හෝ නැවත ගොඩ නැංවීම යන අදහස තුල එක් අතකින් ගම්‍යමාන වන අරුත වන්නේ පවත්නා සමාජ ක්‍රමය යටත් විජිත පාලන ක්‍රමයේ සංතතික දිගුවක් බවය. ඓතිහාසිකව පැමිණි ස්වභාවික පරිනාමීය සමාජ ගමනට බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද නව සමාජ ක්‍රමය වන්නා වූ යටත් විජිත ධනවාදය හා බටහිර ආර්ථික සමාජ සංස්කෘතික අගයයන් විසින් පැවැතුණු සාම්ප්‍රදායික සමාජ ක්‍රමය විනාශයට යොමු කර ඇති බව යන්න ප්‍රධාන පෙළේ තේරුම් ගැනීමකි. එය හොඳ සහ නරක, කළු සහ සුදු, අතීතය නූතනය, බටහිර හා පෙරදිග, දියුණු හා නොදියුණු යන ද්විත්ව ප්‍රතිවරෝධතාවන් හැඟවුම් කරනු ලබයි. එම තේරුම් ගැනීම ජාතිකවාදී මතවාදයේ දී මෙන්ම මාක්ස්වාදී මතවාදයේදී ද යම් සමාන කමක් ගනු ලබන්නේ ධනවාදය හා අධිරාජ්‍යවාදය යන ප්‍රතිවිරෝධයන් සමාන ආකාරයෙන් එකට සිට ගැනීමේ දී ය. ඒ අනුව ජාතිකවාදය අතීතය දෙසට හැරී තම අනන්‍යතාව අත හැරුන තැනට පියමංකිරීමට ප්‍රයත්න දරන අතර සමාජවාදී මතවාදය අනාගතයට හැරෙමින් යුතෝපියානු රාජ්‍යයකට සිහින මවන්නේය. මෙම මතවාදයන් දෙකටම ධනවාදය හා අධිරාජ්‍යවාදය හැරුණු විට හමුවන ප්‍රධාන අනෙක් ප්‍රතිවිරෝධය වනනේ බහුතර සිංහල ජනකායක් සහිත ලාංකීය සමාජයේ සිටින අනෙක් සුළුතර කොටසක් වන දමිළ ජනකාය ය. මෙම මහා පොදු සාධකය හමුවේ දී ජාතිකවාදය හා සමාජවාදය අතීතයට ගමන් කිරීම කරනු ලබන්නේ මහ ජාතිකත්ව අනන්‍යතාව නිර්මාණය කර ඇති ඉතිහාසය වෙතටය. ලිඛිත හා භෞතික ඉතිහාසයට අනුව සිංහල මහ ජාතිය වුවත් සුළු ජාතිය වීමේ අවිඥාණික භීතිය විසින් මෙම මහා පොදු සාධකය මෙකි මතවාදයන් දෙකටම අවසානයේ ගෙන එන්නේ ප්‍රතිගාමී සංජානනයකි. (ශුද්‍ර තලයේ ක්‍රියාත්මක සමහර වාමාංශික පක්ෂ කණ්ඩායම් මෙහි විලෝමය ද නියෝජයන කරන යථාර්ථයක් ද ඇත.)  මෙකී මතවාදයන් දෙකට අමතරව විකල්ප ලෙස පෙනෙන අනෙක් මතවාදයන් ලෙස ලිබරල්වාදී සාම මතවාදය හා සාකල්‍යවාදී මතවාදය ද ලෙස පෙළ ගැස්විය හැකිය. කුමන පෙළ ගැස්වීමක් වුවද, පශ්චාත් යටත් විජිත ලාංකීය ඉතිහාසය තුල අධිනිශ්චය වී ඇති බලසම්පන්න මතවාදය වන්නේ ජාතිකවාදී ප්‍රවේශයය. විකල්ප   දර්ශනවාදී මතවාදයක් ලෙස ඇති මාක්ස්වාදය පදනම් කරගත් සමාජවාදි මතවාදී ප්‍රකාශනය ද පශ්චාත් යටත් විජිත සන්දර්භයේ දී ලංකාව තුල අවසානයේ ගොනුවනුයේ ජාතිකවාදී මතවාදයටමය. සාකල්‍යවාදී හා ලිබරල් සාමවාදී මතවාදයන් පුළුල් ලෝක දැක්මක් පෙන්නුම් කරන්නේ වුවද, මර්ධනකාරී සාම්ප්‍රදායික රාජ්‍යයට අවනත සන්දර්භයේදී එය ද වක්‍රාකාරයෙන් ජාතික මතවාදයටම සේවය කරන අතර රැඩිකල් සමාජ වෙනසක බලාපොරොත්තුවක් තැබිය හැකි සමාජ බලවේග බිහිවීම සමස්ථ ජාතිකවාදයේ බලය තුල අකර්මන්‍ය වීම හා එය නියෝජනය කරන උගත් මධ්‍යම පාංතික චින්තනයන් සිය වෘත්තීමය හා ආයතනික ව්‍යුහයන් තුල සාම්ප්‍රදායික ලාංකිකයාම වී ඇත.
එබැවින් මේ අප ගෙවන කාල පරිච්ඡේදය යනු   පාර පශ්චාත් යටත් විජිත සන්දර්භයකි. එනම් යටත් විජිත ව්‍යුහයන්, මතවාදයන්, දේශපාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රපංචයන්ගෙන් යුත් පශ්චාත් යටත් විජිත ආකෘතිය විනිවිද යන, පරමය තත්ත්වයකට පත්ව ඇත. එය නූතන ධනවාදයේ ආනිශාංෂික ප්‍රතිපලයක කොටසකි. මෙම  දේශපාලන සමාජීය හා සංස්කෘතික තත්ත්වය තුල විකල්පය යන්න කුමක් දැයි යන උභතෝකෝටිකය තුල අතරමං වනු ඇත. ධනවාදයට විකල්පය සමාජවාදය යන ලෝක සම්මත ප්‍රවාදය ලංකාව විෂයෙහි භාවිතාවක් බවට පත්ව ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව හෝ නූතන වර්ධනයන් සහිත මාක්ස්වාදයට පදනම්ව හෝ නොව, ආකෘතික වශයෙන් ලෙනින්වාදයට හා රුසියානු මොඩලයට අනූන වූ සන්දර්භීය වශයෙන් ආපසු ජාතිකවාදයට ගමන් කරන භාවිතාවක් දැකිය හැකි  තත්ත්වයක් තුළ ය. එය අවසානයේ අධිනිෂ්චිත කාරණයේ දී ජාතිකවාදය සමග සමානව සිට ගැනීම තුල, පශ්චාත් පාර යටත් විජිත ලංකාවට පෙන්නුම් කරන සමජවාදී භාවිතාව තුල විකල්පයක් නැත. විකල්පය වන්නේ ජාතිකවාදයේම කාසියේ අනෙක් පැත්තය. මෙය ජාතික සමාජවාදය ලෙස විකල්යක් පෙන්නුම් කළ ද අග්‍රගන්‍ය මහජාතිය ලෙස ඇති මතවාදී අරටුව විසින් සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති නිසි අනන්‍යතාත්මක විසඳුමකට අවංකව නිර්මාණාත්මක නොවීම තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් හෝ සමානාත්මතාව පසිඳලනු ලැබීමට ඇති ඉඩකඩ අවම විය හැකිය. ඒ වෙනුවට වඩාත් ලෙහෙසියෙන් විය හැකි වන්නේ නවාකාරයේ ෆැසිස්ට්වාදයකට සමාජය ගමන් කිරීම ය. එහි විපාක කුමක් වුව ද අධිනිෂ්චිත තත්තවයන් සිය වෘත්තිමය දේශපාලනය තුලට සාමාන්‍යකරණය වීම නිසා බලය පිණිස තරඟ කිරීම ද ඒ තුල අනන්‍යතාව රැක ගැනීමට දරණ ප්‍රයත්නයන් හේතුවෙන් සමාජ ප්‍රගමනයේ ප්‍රගතිශීලී දයලෙක්තිකය අඳුරු වී යෑම ඉතිහාසය තුල දැකිය හැකිය. නිශ්චිත සමාජීය තත්ත්වයන් තුල දී දර්ශනයේ දිළිඳු බවින් ගන්නා තීරණ හේතුවෙන් වැරදි වෙනස්කම්වලට භාජනය වන සමාජය නැවත නිවැරදි කර ගැනීම දර්ශනය නිවැරදි කර ගැනීමට වඩා සිය ගූණයකින් අසීරු විය හැකි බවට ඇති හොඳම නිදසුන මෙම පාර පශ්චාත් අවධියය.

වසර හැටකට අධික මෑත ඉතිහාසයේ වාමාංශික භාවිතාව දෙස බැලූ කල, මාක්ස්වාදී දේශපාලනයට ජාතිකවාදී භාවිතාව පැමීණීමේ ඓතිහාසික බලපෑම එක් අතකින් යටත් විජිත දේශපාලන භාවිතාව හේතුවන අතර අනෙක් අතට තම අනෙකා හා කරන දේශපාලනයේ දී අදූර දර්ශීවීම ද  ලංකාව සාර්ව හා ශුද්‍රාකාරයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම ලෙස පෙන්විය හැකිය. පුළුල් අර්ථයෙන් අපෝහකය තේරුම් නො ගැනීමය. ප්‍රධාන වශයෙන් ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස් පක්ෂය හා ඉන් පසුව බිහි වූ වාමාංශික දේශපාලන ධාහරාවන් ද සෘජු ජාතිවාදීත්වයක් පෙන්නුම් නොකළ ද දාර්ශනික වශයෙන් ජාතිකවාදී ය. වාමාංශික ව්‍යාපාරයේ නූතනම ප්‍රකාශනය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය සමස්ථය තුල පෙන්නුම් කරන යථාර්ථය ද ජතිකවාදයමය. එය සෙසු වාමාංශික ධහරාවන්ට වඩා ඉතා ග්‍රම්‍ය ලෙසත් රැඩිකල් ලෙසත් ජාතිවාදය ප්‍රකට කරන ජාතිකවාදයක්ය. විනාශයන් ගණනාවකට වගකිව යුත්තන් වුවත්, පාඩම් නූගතුන්ය. මතවාදීමය කාරණා මත යැයි කියමින් ඉන් ඉවත් වූ පිරිස්ගේ ද වෙනසක් පෙන්නුම් කරීමට තරම් පරිණත කමක් පෙන්වන්නේ ද නැත. එහෙත් සමාජ අවකාශය බලාගෙන සිටිනු ඇත. මේ සියල්ල පුද්ගලයින් ලෙස ජාතිවාදීන් නොවීමට නොගන්නා උත්සාහයක් ද නැත. ප්‍රායෝගික ක්‍රියාමාර්ග තේරීමේ දී ද එය පෙන්නුම් කිරීමට සමත් වන්නේ වුවද, සිංහල මහ ජාතික අනන්‍යතා අර්බුදය තුල ජාතිකවාදයෙන් පිට පැනිය නොහැකි වී ඇති අතර ඊට උපකාරක ශක්තිය සුළු ජාතික ජාතිකවාදයත්, සෝවියට් සමාජවාදයත්, යටත්විජිත විමුක්ති අරගල පිළිබඳ ප්‍රවාදයනුත්, පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුල ස්ථාපිත වි ඇති ප්‍රජාතණ්ත්‍රීය ව්‍යුහයන්ගේ ඇති ගැටලුවත් විසින් මාක්ස්වාදය සිංහල ජාතිකකරණය වීමටකට පටු වී ඇත. ඉහත හැඳින්වීම පදනම්ව මෙම ප්‍රවාදය ඉදිරියට ගෙන යැමේදී, සිංහල දේශපාලන කථිකාව තුල සිටින බුද්ධිමතුන් අතර මේ මොහොතේ දී,මතවාදීමය වශයෙන් වඩාත් බල සම්පන්න දාර්ශනිකයින් දෙදෙනෙකු පමණක්  ලාංකීය සිංහල සමාජයේ අධිනිශ්චය වී ඇත. ඔවුන් දෙදෙනා වනාහී මහාචාර්ය නලීන් ද සිල්වා සහ දීප්ති කුමාර ගූණරත්නය ය. මෙම තේරුම් ගැනීම මගේ පුද්ගලික නිරීක්ෂණයක හා අවබෝධයේ අංශුමාත්‍රයක් වන්නේ වුවත්, එය එසේ නොවන්නේ නම්, දහසක් ප්‍රවාද ගොඩනැංවීමේ අවකාශයට ඉඩතැබිමට මෙයම අවස්ථාවක් වනු ඇත.
ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.මෙම විග්‍රහය අලංකාරෝක්තික අගය කිරීමක් ලෙස කෙනෙකුට සිතුණත්, එය වනාහි යථාර්ථයට ලංවන කැඩපතකි.මෙහිදී නලින් ද සිල්වා ජාතිකවාදී දාර්ශනිකයා බවට පත් වීම හා ඔහු වටා භ්‍රමණය වන ලාංකීය සිංහල දේශපාලනය ලාංකික ජාතියක් ලෙස ගොඩ ඒමේ ගැටලුවේත්, සුළු ජාතික පීඩනයේ සමාජ වෛරසය බවට පත්වීමේත්, ලෝකය පිළිබඳ දැක්ම දූපත් මානසිකත්වයටත් ඉන් එහාට පැමිණ සිංහල ජාතියේ ලෝක දැක්ම දක්වා පටුවීමේ සන්දර්භය මුල් අධියරේදී පරීක්ෂාකිරීමට ගන්නා කුඩා උත්සාහක් ලෙස මෙසේ සටහන් තබමි.

පළමු ප්‍රවාදය: නලීන් ද සිල්වා ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා ලෙස-
මෙම ප්‍රවාදයට පිවිසීමේ දී මුලින්ම එල්ලවිය හැකි ගැටලුව හා චෝදනාව වන්නේ ගුණදාස අමරසේකරට හිමිවිය යුතු තැන කුමක් ද යන්න ය. ඔහු ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා නොවන්නේ ද යන්නය. එහෙත් ඊට ඇති කෙටි පිළිතුර නම් ඔහු ද නලීන් පිටුපස සිටවිය යුතු තැනැත්තෙක් යන්නය. එහෙත් ඔහුගේ ඇති ඓතිහාසික දේශපාලනික වැදගත්නම වන්නේ මාක්ස්වාදය ජාතිකකරණයට ලක් කිරීම පිණිස හා ජාතිකවාදයට ගැටගැසීමට නියෝජනාත්මක දෘෂ්ටිවාදය සපයන්නන් අතර ප්‍රබලයකු විම නිසාය.   අමරසේකර හා  නලීන් අතර ඇති වෙනස නලීන් ද සිල්වාට අනුවම  මෙසේ හඳුනා ගත හැකිය.
‘‘අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පී සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්දු ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රශ්න එකල අප අතින් සාකච්ඡා විණි
ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය. (කාලය)

අමරසේකරගෙන් සුවිශේෂී වන නලීන් ද සිල්වා, සිංහල බෞද්ධ ජාතික චින්තනය මත සිය සියළුම ස්කන්ධයන් තබමින් ශපථ කර සිටින ප්‍රාර්ථනය යනු එසේ මෙසේ ප්‍රාර්ථනයක් නොව, පාරමිතා පුරමින් බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා තරමටම අසීරු කටයුත්තක අපගේ ජාතිකවාදයේ දර්ශනවාදියා පෙනි සිටින්නේය. ඔහු තම පරමාර්ථය වෙනුවෙන් භෞතිකවාදයේ සිට පාර භෞත්කවාදයටත්, මනුෂ්‍යයින්ගේ සිට දෙවියන් යක්ෂයන් සමඟත් කටයුතු කරමින් තම ඒකායන ප්‍රාර්ථනයට දිවා රැය දෙක වෙහෙසෙන්නේය. එහිදී 2009 මැයි මස තම භෞතික රාජ්‍ය ස්ථාපිත කර ගැනීමට හැකිවිය. එය භෞතික පරම සිංහල රාජ්‍යය වන්නේය. බටහිර හා අධිරාජ්‍යවාදය මත නිෂ්චය වී තිබුණු තම පරසතුරුභාවය යටපත් කිරීමෙන් ලඟාකර ගත් සිංහල රාජ්‍යය. ඉන් නොනැවතී ඉන් එහාට උරුමකර ගත හැකි අතීත පාර රාජ්‍ය වෙනුවෙන් දාර්ශනික සිහින දකින්නේය. එය අවසානයකින් කෙළවර වන්නේ නම් විය යුතු වන්නේ සිංහල බෞද්ධයින් හැර අන් කිසිවකු නොමැති පරම පාර අතීත කල්පිත රාජ්‍යයකි. එය එසේ වන්නේ නම්, පට්ටපල් බොරුවක්ව ඇති බටහිර විද්‍යාව ප්‍රමුඛ සියලු ආදර්ශයන් දිවයිනෙන් අතු ගාදැමිය යුතුය. එවිට අධිරාජ්‍යවාදය හා සම්බන්ධිත සියලු ව්‍යුහයන් විනිර්මුක්ත වන අතර බෞද්ධ දර්ශනය පදනම් වූ පරම සමාජ මොඩලයක් ලංකාව තුල ස්ථාපිත වනු ඇත.ඒ අනුව කසි කබල් මාක්ස්වාදය ද, සමාජවාදය ද භූමියෙන් අතුගෑවි යනු ඇත. දෙමළ මුස්ලිම් සුළු ජාතීන් පැරණි සිංහලයින් බුදු දහමට අවනත වූවන් හෝ අනුවර්තනය වූවන් සේ සිංහල බෞද්ධ අණසක යට ශීලාචාර විය යුතු ය.  

ඔහුගේ ජාතික චින්තනයේ ඇති බරපතල කම සහ එහි ඇති දිග පළල හේතුවෙන් මේ පිළිබඳ වන ප්‍රවේශයට ප්‍රවිශ්ට වීමට එකම දොරටුවක් ප්‍රමාණවත් නොමැති බැවින් ප්‍රවේශයට පහසුව පිණිස දොරටු කිහිපයකින් උප ප්‍රවාද ගොඩ නගා ගැනීම සංකීරණත්වයෙන් ගොඩ ඒමට ඇති පිළියමකි. එසේම කර තියාගත් රෝගියා රැගෙන දුවන අතීතයේ මං සළකුණු සෙවීමටත් පහසු වනු ඇත. ඒ අනුව විග්‍රහයේ පහසුව පිණිස මෙලෙස උප ප්‍රවාදයන් ලෙස කොටස් කරගත හැකිය.
යටත් විජිතවාදය හා ධර්මපාල ප්‍රවාදය
ලාංකිය ඉතිහාසය පිළිබඳ ප්‍රවාදය
බුදු දහම පිළිබඳ පුවාදය
ධනවාදය හා අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රවාදය
මාක්වාදය පිළිබඳ ප්‍රවාදය
පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
පාර පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
මේ ආදී වශයෙන් ඔහුගේ දර්ශනය තේරුම් ගැනීමටත් ඒ තුලින් ලාංකීය සමාජයේ සෙසු ව්‍යුහයන් තේරුම් ගැනීම ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
උදය ආර්.තෙන්නකෝන්