(සැලකිය යුතුය: මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත. )
පාර පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ[i] මෑත කාලීන මතවාදයන් හා එහි දේශපාලනික චලනය තේරුම් ගැනීමේදී මහා මතවාදයන් තුල අධිනිෂ්චය වී ඇති චූල මතවාදයන් තුනක් රූපකාශ්‍රයෙන් විග්‍රහයට ගැනීමට මෙම ලිපිය මගින් උත්සාහ ගන්නා අතර එහි ඇති ශක්‍යතා පරිමාණය සමාජීය වෙනසකටත් සමාජීය දිශාවේ බහු මානයන් වටහා ගැනීමටත් ඉවහල් වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට මුල පුරන්නක් ලෙස මෙම සටහනට ප්‍රවිෂ්ට වෙමි. මෙහි කියැවෙන මහා මතවාදය යන්න රාජ්‍ය කේන්ද්‍රකරගත් ජනප්‍රිය සිංහල බෞද්ධ ඒකීය ජාතිවාදික මතවාදය වන අතර එහි ගාමකයන් අඩු වැඩි වශයෙන් පුද්ගලයාගේ සිට පවුල පාසල ආයතන හා සෙසු දේහයන් තුල නියෝජනය වෙමින් පෝෂණය වීම නිරන්තරයෙන් සිදු වෙද්දී, මෙම සමස්ථය තුල අධිනිෂ්චය වි ඇති චූල මතවාදී රූපක ත්‍රිත්වය පර්ෂද (cluster) ගත කළහොත් විමල්(ජවිපෙ) භාෂණ (හිරු)හා දීප්ති(එක්ස්) ලෙස හැඳින්විය හැකිය.
මෙම ත්‍රිකෝණික රූපකීය මතවාදයන් තුන වැදගත් වන්නේ පශ්චාත් මර්ධන අවධිය වූ අනූව දශකයෙන් ඔබ්බට පැමිණ ස්ථරගතව සමාජ චලනයට බලපෑම් කිරීමට ඇති හැකියාව නිසාය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස සමාජානුයෝජනය වූ විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීර වංශ වන අතර භාෂණ යනු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මතවාදී කණ්ඩනයකින් පසුව හිරු කණ්ඩායම තුල සමාජානුයෝජනය වූ රෝහිත භාෂන අබේවර්ධනය. දීප්ති යනු ජවිපේ මතවාදයෙන් එලියෙහි, එහෙත් සමාජය සොයා ගිය කෆ්කා කෙනෙකි. එම සොයා යෑමේ දී පශ්චාත් නූතන වාදය තුල සමාජානුයෝජනය වී එක්ස් නම් සමාජ සංවිධානය තුල අනන්‍ය වූ ද ඉන් පසුව එහි බෙදීමෙන් පසු තත්තවය තුල සංවිධිතව සමාජගත වූ දීප්ති කුමාර ගුණරත්නය.
විමල් භාෂණ හා දීප්ති යනු සංකේතීය රූපකයන් තුනක් පමණක් නොව එක් පරම්පරාවක් නියෝජනය කරමින් ත්‍රිකෝණික වූ මතවාදයන් තුනකි(Ideological Triangle). එක දහස් නවසින අනූවෙන් පසුව වඩාත් බැරෑරුම් ලෙස උතුර සහා දකුණ වශයෙන් ධ්‍රැවිය වූ ලාංකික භූමිය තුල මෙම රූපකයන් තුන ලාංකිය ගැබ තුල පිළිසිඳගත්තේ විකල්පය නියෝජනය කරමිනි. ග්‍රාමීය, නාගරික හා වාර්ගික වශයෙන් අනු පිළිවෙලට විමල් දීප්ති හා භාෂණ පෙළගැස්වූ විට එක් සූත්‍රයක් ගොඩනගා ගත හැකි අතර ජාතිකවාදය,වාර්ගිකවාදය හා විසංයෝජන විචාරවාදය ලෙස ද හඳුනා ගත හැකිය. තවද ප්‍රවාදිත, ප්‍රතිචාදිත හා සහවාදිත යන දයලෙක්තික සම්බන්ධය මෙම රූපක තුන එක් කර සිනමා පෝස්ටරයක් සකසා ගැනීමෙන් පරිකල්පනය කර ගත හැකිය. එහි පෙනුම විය හැක්කේ පිටට පිට දී සිටින විමල් හා භාෂණ මැද සිටින දීප්ති සහිත සිතුවම් රූපකයන්ය. එසේම මෙම ත්‍රිත්වටයහි විභවීය පොදු කුලකය වී ඇත්තේ මාක්ස්වාදයය. එපමණක් නොව මෙහි ප්‍රභවයේ මූලාශ්‍රය වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. පශ්චාත් මර්ධන කාලය තුල නැවත ගොඩ නැගුණු ජවිපයට ලාංකීය සාමාජ වෙනසේ විකල්පය නිර්මාණය කිරීමේ දාර්ශනික අපොහොසත්කම හේතුවෙන් පශ්චාත් මර්ධන අවධිය බහුමානික චලනයන්ට ගොදුරු වෙද්දී, විකල්පීය බලය නැමැති වස්තුව අන් අයගේ ගිණුම්වල තැන්පත් කර එහි පොලිය පමණක් නොව තැම්පත් මුදල් ද යලි ලබාගත නොහැකි තැන්පත්කරුවෙකු බවට ජවිපය පත්විය. එය බංකොලොත් මූල්‍ය ආයතනයක් බඳු වූ මහා ජාතිවාදී අන්තයයි. එම තැම්පත් කිරීමේ උපරිමය වූයේ සිංහල බෞද්ධ මහා මතවාදයේ පොරෝනය තුලට රිංගීමය.ඒ අනුව නාමික මාක්ස්වාදය හා සමාජවාදය, ධර්මපාල අමරසේකර හා නලීන්ගේ මහාවංශික සිංහල බෞද්ධ ජාතිවාදය තුලට දිය වන්නට පටන් ගෙන තනුක විය. එම අන්තරගත වීම ජවිපේ පුරෝගාමි මතවාදය තුල ද සැඟවුණු ඇටවිසමයක්(atavism) ලෙස පැවැති අතර, අනූ හතරේ චන්ද්‍රකා ද ඉන්පසුව මහින්දව ද බලයට පත් කරමින් සමාජ චලනයේ විකල්පීය ගුණය මහා ජාතිකවාදයට කැලතෙන්නට වීම ඓතිහාසික ප්‍රපංචයක් විය. එපමණක් නොව එය වර්තමානය හා අනාගතය මනුෂ්‍ය සමාජයක් ලෙස ආත්ම ඝාතනයකට ලක් කර ඇත. මෙම ඓතිහාසික අත් වැරුද්දේ ප්‍රතිඵලයක් ලෙස සමාජය අඳුරු මහා මහාවංශික මතවාදයේ අවතාරය සමාජ දේහය පුරා සුසමාර්ශයක් ලෙස යලි තහවුරු වීම පටන් ගන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ කවුරුත් දන්නා පරිදි මහා විනාශ කාරී යුද්ධයකට සමාජය ගොදුරුවීමය. මෙකී සිද්ධි දාමයේ සමස්ථය සැලකිල්ලට ගනිමින් ලිපියට ප්‍රස්තුථ චූල මතවාදයන් තුන සමාජය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ද අඳුරු මහා මතවාදය විපරිවර්තනය කරනු හැකි වන්නේ කෙසේ දැයි වෙන් වෙන් වශයෙන් හා සහ සම්බන්ධිත වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
විමල් විරවංශ
ජවිපය විසින් නිර්මාණය වූ විමල් ජවිපෙන් වෙන් වීමේ සලකුණ ලකුණු කර ඇත්තේ ජවිපයට යලි ගොඩට පැමිණීමට නොහැකි ලෙසය. එය සමපාත වන එක් නිදසුනක් වන්නේ එල්ටීටීයෙන් කරුනා වෙන් වීම යන්නටය. බොහෝ දෙනා මෙම විභේදනයන් සාධනීය දෙයක් ලෙස විග්‍රහ කරමින්, දැන් ජවිපය ශුද්ධ ඇත යැයි පැවසුවද විමල් ජවිපයෙන් වෙන් වූයේ එහි උරුමයේ දයාභාගය(Dayabaga) ද රැගෙනය. එනම් විමල් සවකීය දේශපාලනික පක්ෂය ගොඩනගා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සහවාස වී ඇත්තේ ජවිපය සතු දෘෂ්ටිවාදය රැගෙනය. ජවිපය හා විමල් අතර දෘෂ්ටිවාදීමය වශයෙන් වෙනසක් සලකුණු කිරීමට නොහැකි වී ඇති අතර මතු පිට තලයේදී කුමන දේශපාලන හැඩ ගනු ලැබුවද එම ක්‍රියාකාරම් තුල දෘෂ්ටිවාදී දාර්ශනික ගැඹුරක් අඩංගු වී නොමැත. මේනිසා ජවිපේ දෘෂ්ටිවාදයේ ප්‍රති නිෂ්පාදිතය වූ විමල් නම් රූපකය යන්න සමාජයට වැදගත් බලපෑමක් කරනු ඇත්තේ එම දෘෂ්ටිවාදය සමග සමාජයේ භෞතික සවරූපයට අනුවර්තනය වීමෙනි. විමල් යනු බැරෑරුම් ලෙස නොපැවැතුණු මහා මතවාදය තුලට එම මතවාදය ප්‍රති නිෂ්පාදනය කරමින් බලපැම් සහගත වූ සිය චූල මතවාදය නියෝජනය කරමින් ජාතිකත්වය පලිහ කර තමන්ට කළ හැකි ඕනැම දෙයක් කරන සෙසු දක්ෂණාංශික දේශපාලන ප්‍රපංචයකි. පශ්චාත් යටත් විජිත ජනප්‍රිය දේශපාලනට සංස්කෘතියක් වූ අගතින් සියල්ල අනෙකාට වඩා හොඳින් කරමින් සමාජය නියෝජනය කරන පිලිගත් සමාජ පිළිලයකි. එය නම් ජවිපය දෘෂ්ටිවාදය, මහා මතවාදය සමග වෙළමින් තමන් තැන්පත් කළ වටිනාකමට පොලිය ද වැල් පොලියද ලබා ගනිමින් වංචාව දූෂණය කප්පම් කොමිස් යන සකළ දූෂණයන් කරමින් සමාජය තුල යහතින් වැජඹීමේ වරප්‍රසාදය අත් කර ගත්තෙකි.එය ජවිපය විසින් තැන්පත් කළ වස්තුව පැවරුමකින් ලබාගත් උරුමකරුවෙකි. එනිසා විමල් යනු ජවිය කීම තුල ජවිපය යනු එසේ නම් කුමක් දැයි විමසා බැලුව හොත් හමු වන්නේ වෙනස් දෘෂ්ටියක් නැති ක්‍රියාකාරිත්වයකි. ඔවුන් පාර්ලීමේන්තුව තුල දී, මහා මාර්ග වීදි තුල දී සංවාද සාකච්ඡා තුල සකල විධ අගතීන්ට එරෙහිව සටන් අවි එසවුවද එවා පලක් නොවන්නේ ඇයි දැයි කල්පනා කළ යුතුය. ඔවුන් සතු වූ දෘෂිටිවාදය විමල්ට ද මහින්දටද දන් දීමෙන් සමානයන් වීම තුලය. මෙම පාර පශ්චාත් අවධියේ දී ඔවුන් ආත්මයක් නැති හඬක් ඇති කුහරයක් වී ඇත. විමල් විසින් ගොඩනංවන ලද සංකේතීය ප්‍රචාරක ලේකම් තනතුර ඹහුත් සමග වාෂ්ප වූයේ එහි පුද්ගලයා මිසක සංකේතිය බර තුනී කරමිනි. විජිත හේරත් හෝ පුබුදු ජාගොඩගේ වර්තමාන භූමිකාව පිළිබඳ සංජානනය කර ගෙන බැලුවහොත් අපගේ මනසේ අවතාර කරනු ලබන්නේ විමල් වීරවංශය. මෙය කිසිවකු හරිද වැරදිද යන්න නොව එම භූමිකාව අවසාන කරනු ලැබූ ස්වභාවයේ ගති ලක්ෂණයන්ය. වර්තමානයේ හෝ අනාගතයේ දී වමේ දේශපාලනික ගොඩනැංවීම් වල ප්‍රචාරක ලේකම් තනතුරට අර්ථ සැපයෙනු ඇත්තේ සැක සිහිතභාවයකින් හා විමල් වීරවංශගේ දේශපාලනික සිනාරියෝව තුල මතු කරන අර්තයන්ද මුසු කරමිනි. ඒ අනුව විශ්වාසය හා සැකය තුල එම තනතුරට පත්වන්නාගේ භුමිකාව විනිෂ්චය වෙමින් පැවතුන ද එහි අපේක්ෂිත භූමිකාව ඉටු වන්නේ කුමන ප්‍රමාණයෙන් දැයි විමර්ෂණය කළ යුතුය.
රෝහිත භාෂණ
රෝහිත භාෂණ යනු මහා මතවාදයට පිටු පා උතුර දෙස බලා සිටගත් සිංහල බෞද්ධ මහාවංශික ද්‍රෝහියෙකි. දකුණේ මාධ්‍ය හා සිංහල දෘෂ්ටිවාදයට, වාමාංශික ප්‍රවාහයට බලපෑම් කිරීමේ සන්දර්භය තේරුම් ගත යුත්තේ එහි ප්‍රභවය හා ව්‍යාප්තිය තුලය. ජවිපෙන් කණ්ඩනය වී හිරු කණ්ඩායම බවට පත්ව ඒ තුලින් දකුණට ඇති කර ඇති දෘෂ්ටිවාදී බලපෑමෙන් වමට හා විකල්ප අපේක්ෂාවන්ට ගැලවිය නොහැකිය. මෙහිදී හිරු කණ්ඩායම යන සාමුහික හැඟවුම්කරණයෙන් නියෝජනය වූ දකුණේ සිට උතුර දෙස බැලීමේ දෘෂ්ටිවාදය සරල ලෙස දෙමළ ජාතිකවාදය හෝ ප්‍රතිපෝෂක ජාතිවාදය ලෙස හෝ බෙදුම්වාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැකි වීම හා එහි ප්‍රාමාණික සත්‍යයක් ගැබ්වුවද මාහා ජාතිවාදය තුල පීඩනයට පත්ව ඇති වාර්ගික අන්‍යතාවයකින් යුක්ත දෙමළ ජනායාගේ යුක්තිය හා ගරුත්වය වෙනුවෙන් දකුණට පිටු පා සිට ගැනීම කිසිවටක නිෂෙධ කළ නොහැකිය. පවත්නා ක්‍රමය තුල දමිළ පීඩිතයාගේ පරිකල්පනීය රාජ්‍යෙය් චූල දෘෂ්ටිවාදී විමුක්තිදායකයාය. මාක්ස්වාදය වැනි ජාත්‍යන්තරවාදයකින් හෝ පංති දෘෂ්ටිවාදය තුල එම වාර්ගික දෘෂ්ටිවාදය පරාජය කිරීමට උත්සාහ ගත්ත ද එය යථාර්ථයක් නොවන්නේ මහා ජාතික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙන් සමාජය හා වාම දේශපාලනයට ගැලවිය නොහැකි විසාවෙනි. එසේම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන හා හඩ නැඟූ සිංහල හඬ වූයේ හිරු කණ්ඩායම පමණක් නොව තවත් පුද්ගලයින් හා සාමාජ කණ්ඩායම් උතුරේ අරගලය වෙනුවෙන් දකුණේ සිට ක්‍රියාත්මක විය. නිදර්ශන වශයෙන් සඳහන් කළ හොත් වික්‍රමබාහු කරුනාරත්න හා ඔහුගේ දේශපාලනය,දියැස කණ්ඩායම තුල සිටි ෆැට්ට්‍රික් වසන්ත අහිංසක යන අය ද නිර්මාල් රංජිත්, බෝපගේ වැනි ඇකඩමියානුවන්ද දෙමළ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් මත ප්‍රකාශ කළ වුන්ය. ( නම් සඳහන් නොකළ ද තවත් බොහෝ අය සිටින බව කරුණාවෙන් සලකන්න). එසේ වුවද යුද්ධයත් සමග ඇතිවන වෙනස් කම් හමුවේ හිරු කණ්ඩායමේ සංයුතිය වෙනස්ව අභ්‍යන්තරික ඛණ්ඩනයන් ඇති වුවත් භාෂණ නම් රූපකය තුලින් නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ හා තේරුම් ගත යුත්තේ ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේය.
ලාංකික දේශපාලනයේදී
ජාත්‍යන්තර දේශපාලනයේදී
ලාංකික දේශපාලනයේ දී මාහා මතවාදයේ අනෙකා වීම තුල බලය හා පැවැත්ම තහවුරු කර ගැනිමටත්, අවතාර ප්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍යන්ටත් මෙම චුල දාෂ්ටිවාදය ආයෝජනයකි. අනෙක් අතට දෙමළ ජනයාගේ නොවිසඳුණු ගැටලුවට ජීවයක් උතුරේ දෙමළ දේශපාලනයට ද ලැබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වැදගත්ම කාරණය වන්නේ විකල්ප සමාජ වෙනසකට දේශපාලනික සිහින දකින්නන්ට මෙකී වාර්ගික දාෂ්ටිවාදය මාර්ග බාධකයක් වීමය. අනෙක් වැදගත් කාරණය වන්නේ භාෂණ නොවන වෙනත් විකල්ප පුද්ගලයින් හෝ දේශපාලනික කණ්ඩායම් දෙමළ ජනයාගේ අයිතීන්, ස්වයං නිර්ණ අයිතිය,වෙනම රාජ්‍ය යන මූල දර්මයන් පිළිගනු ලැබුව ද භාෂණ මතවාදයට සමානව හෝ ඉන් එහාට ගමන් කිරීමට නෙහැකි වී ඇත්තේ මන්දැයි සිතිය යුතුය. ඊට ඇති පිළිතුර වන්නේ නව්‍යකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලනයය.
දෙදහස් නවයේ ජන ඝාතක යුද්ධයත් සමග දෙමළ ජනයාගේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වූ අතර වෙනම රාජ්‍ය යන්නට ඇති කොන්දේසිවල ඇති භූමිය යන්න පාර භෞමික වන්නට විය. බලහත්කාරය හා මිලිටරි ආධිපත්‍ය තුල දෙමළ නිජ බිම සිරගත කරනු ලැබුව ද දෘෂ්ටිවාදය විසින් ගොඩනංවන ලද රාජ්‍ය දෙමළ ජනයා තුල ඉදිකර යෑමට ප්‍රභාකරන්ට හැකි විය. ලාංකික දේශපාලනය තුල මෙන්ම ඩයස්පෝරා දේශපාලනය තුල කුමනාකාරයේ බෙදීම් දෙමළ ජනයා තුල ඇති වුවද කාල්පනික රාජ්‍යෙය් සිතියම සිත්වලින් මැකිය නොහැකිය. අනෙක් අතින් ඩයස්පෝරා දේශපාලනය සාකල්‍යවාදී හැඩයන්ට විපරිවර්තනය වීම නිසා භාෂණගේ උතුර දෙසට සිට ගැනීම අතිශය වැදගත් කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය යන අධිනිෂ්චිත කාරණය නැවත වටයකින් තේරුම් ගැනීමෙනි. එනම් පශ්චාත් යුද අවදියේ වැදගත්ම කේන්ද්‍රීය කාරණය වන්නේ යුද්ධයයේදී සිදු වූ අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සටන් කිරීමය. සාමය හා සංහිඳියව යන්න සමාජයක් තුල ස්ථාපිත කිරීමට නම් අගතියට පත් ජනයාට හා ජන කණ්ඩායම්වලට යුක්තිය ඉටුවීම ගැටුම් න්‍යායේ ද ජාත්‍යන්තර නිතියේ ද, ස්භාවික යුක්තියේ ද අන්තර්ගත කොන්දේසියකි. එම ක්‍රියාවලිය වෙනුවෙන් භාෂණ සෘජුවම පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලයේ වැදගත් ලකුණක් සලකුණු කරන අතර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් පිරිසට නොවැටහෙන හෝ අතහැර දමා ඇති හෝ භෞතික නොහැකියාව යන කාරණාවන්ගෙන් තේරුම්ගත හොත් ඔවුනට දෙමළ ජනයාගේ ප්‍රශ්නයේ නාඩිය අල්ලා ගැනිම පිණිස භාෂණ මතවාදය පරාජය කිරීම හෝ අතික්‍රමණය කිරීම අසීරුය.
නිදසුනකට ගත හොත් භූමිය ගින්දරින් සමතලා කොට හැට දහසකට අධික ජීවිත විනාශ කොට සිය භූමිය තුලම සිරකරුවන් කර දමා ඇති කාලයක අප්‍රයෝගික ලෙස එහි සමාජවාදය සඳහා සටන් කිරීමට ගිය ලලිත් කුගන් වෙනුවෙන් කඳුළු සැලීමේ හෘද සාක්ෂිය හා ඒ තුලින් දෙමලාව දිනා ගැනීමේ උපාය උපක්‍රම ඉතාමත් අතාර්කික හා පසුගාමි වනු ඇත්තේ අධිනිෂ්චිත කාරණාව තුල ලලිත් කුගන්ව සූත්‍රගත කර ගැනීමට ඇති දෘෂ්ටිමය දිළිඳුභාවයය. මේ නිසා දකුණේ දෙමළ දේශපාලනය හෝ වාමාංශික ජාතික මාක්ස්වාදය භාෂණ දෘෂ්ටිවාදය තුල ගැටලුවක් නිර්මාණය කරනු ඇත. එය පිළි ගැනීම හා ක්‍රියා කිරීම එක් අතකින් අභ්‍යන්තරික වශයෙන් ලාංකීය විකල්ප දේශපාලනයේ නියැලෙන්නට මර්ධනීය අභියෝගයක් විය හැකි වුවද, පිටුවහල්ව චූල දෘෂ්ටිවාදය ජාත්‍යන්තරීකරණය කිරීමට භාෂණට හැකි වීම දේශීය දේශපාලනයේ අනාගතයට බලපෑමක් නොවනු ඇත් ද යැයි සිතිය නොහැකි ද.එය ලෝක යථාර්ථයට අනුව අනාගතය තුල දී සිදු නොවනු ඇතැයි කීමට තරම් දෙමළ ජාතික ප්‍රශ්නය සරළ වී නැත.
අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේදී මෙම දෘෂ්ටිවාදය රට තුල පමණක් නොව ඩයස්පෝරාව තුල සිටින අනෙක් ක්‍රියාකාරීන්ට ගැටලුවක් වී ඇතැයි සිතන ප්‍රමාණය සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සංකල්පය හා එහි සංස්කෘතිය මහා ජාතිවාදයේ අඳුරට හෝ පාර පශ්චාත් යටත් විජිත රාජ්‍යයට අදේශ කිරීමට ඇති හැකියාව හා අවබෝධය ද, ඊට ඇති විකල්පීය කැපකිරීම් ද අවම නිසා, බටහිරට හෝ යුරෝපයට අනුව ඩයස්පෝරාව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම යන්න බැරෑරුම් අවස්ථාවකි. නොමළ ගෙයකින් අබ සොයන්නාක් මෙන් එල්ටීටීයට සම්බන්ධයක් නොමැති හෝ එම අපේක්ෂාවෙන් විගලිත් දෙමළාව සොයා ප්‍රජාතන්ත්‍රවාදය උගැන්වීම හෝ සමාජ වෙනස කිසි දිනක අපේක්ෂා කිරීම දේශපාලනික අලසකමක් හෝ මුග්ධබවක් වන්නේය. එසේම එය අභියෝගාත්මක කාරණයක් වන්නේ විදෙස්ගත දමිළ ප්‍රජාව යනු ක්‍රියාකාරිත්වයෙන්( කඳෙන්) යුරෝපය / බටහිර වුවද දෘෂ්ටිවාදයෙන් වාර්ගිකවාදී දෘෂ්ටිය තුල එතුන පුද්ගලයන්ය.මෙය උතුර දෙසට සිටගත් භාෂණ පිටුවහලේ සිට දෙමළ ඩයස්පෝරාව දෙස ද හැරී බැලීම බලපෑම් සහගතය. අනාගතයේදී ලාංකීය දේශපාලනයේ විකල්ප සිනාරියෝව ගොඩ නැගෙනු ඇත්තේ එකයි එකයි භාගය නම් ක්‍රමයකටය (1, 1, ½: one and one half system). එනම් අභ්‍යන්තරික විකල්ප බලවේගය, භාහිර විකල්ප බලවේගය හා භාගයක් වූ ජාත්‍යන්තර බලවේගය නම් සමස්ථයේ දේශපාලනය තුලිනි.එහි හැඩයට හා ගුණය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුවත්, කල්පනා කිරීමට අවස්ථාව දවසින් දවස බල කරනු ලැබීම නොවැලැක්විය හැකිය.මෙම උදා වෙන තත්ත්වය වෙනත් ලෙස ලාංකීය ගැටලුවට ප්‍රවිෂ්ටවීමට කල්පනා කරන්නන්ට ඇති අභියෝගයක් වන අතර එය වටහා ගත යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ පුද්ගලිකත්වය හෝ අන්‍යතාවන්ගෙන් ඇති දේශපාලනික බෙදීම්වලට වඩා අධිනිෂ්චිතය හා විය යුත්ත හා කළ යුත්ත තේරැම් ගැනීමෙන් පමණකි.
මෙම ලිපියෙහි ඉතිරි කොටසට ගමන් කිරීමට ප්‍රථම චූල මතවාද තුන සූත්‍රගත කිරීමේ ඉහත සහන් අසම්පූර්ණ රූප සටහන තේරුම් ගැනීමට ද කියවන ඔබට බාරවනු ඇත. එසේම අවසානයට හා අරම්භයට පැවසිය යුතු කරුණ නැවත මතක් කරමි.
මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත.
උදය ආර්. තෙන්නකෝන්
[i] මගේ අදහස් දැකිවීමේ දී පාර පශ්චාත් යටත් වාජිත යනුවෙන් නිරන්තරයෙන් හඳුන්වනු ලබන්නේ ලංකාව පශ්චාත් යටත් විජිත යන නිර්වචනයෙන් එහාට ගොස් ඇති බැවින් හා පශ්චාත් යටත් වාජිත වාදය යන දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සන්දර්භයෙන් විගලිත වීමට නොහැකි නිසාය.