Diaspora Diary

Sunday, March 31, 2013

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම




දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම් කරමින් සිටී. ජාතිවාදය හා අවස්ථාවදය ද, බලය හා මුග්ධත්වය ද යන ගැටලුවන් පිරි ඇති නූල් බෝලය නැමැති ලංකා සමාජය ගැට ගැසී ඇති ස්වභාවය හා එම ගැට ලෙහා දැමීමට ගන්නා ක්‍රියා මාර්ග වෙනුවට, ඉවසිල්වන්ත කමක් හා ගැට ලෙහීම සඳහා ක්‍රමවේදයක් නැති තැන කරනු ලබන සරල දෙය වන, ගැට තවත් තද කිරීම කරමින් සිටී.යුද්ධය නැමැති ගැටයට වැඩිම කාලයක් හිරව ඒ හේතුවෙන් ඇති වූ තවත් ගැට රාශියක අඩංගුව බවට මෙකී නූල් බෝලය පත්ව ඇත. ලෙහා දැමීමට හැකි ගැට පවා ලෙහා දමන බව පෙන්වමින් කරනු ලබන්නේ, එම ගැට තව තවත් තද කරමින් සිටීමය. එනම් ගැටලු යටපත් කිරීමය. මර්ධනය කිරීමය. අවසානයේ දී ඒවා කපා දැමීමය. නැතිනම් විනාශ කිරීමය. කපා දැමීම සිදුවන්නේ කිසිවක්ම කරකියාගත නොහැකි වූ විටකය.
දැන් කල්පනා කළ යුත්තේ සැබැවින්ම අප පසුකරමින් සිටින්නේ එම අවධියේ ද යන්න ය. එම කල්පනාවට උත්තරය නම් ඔව් යන්න ය. ලෙහන්නට බැරි, ලෙහන්නට උවමනාවක් නැති, එය සමඟ සෙල්ලම් කරන රාජපක්ෂ ඔබරය වැල්ලේ කැරකෙන්නේය. නොයෙක් ආකාරයේ මැජික් සංදර්ශන වලින් ආකර්ශනය ලබා ගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව පවතී. හිරි වැටුණු සමාජය එදිනෙදා අරගලයට එක්ව ජීවිතයේ ශිකරය තරණය කරද්දී, ඔවුන්ව සතුටු කිරීමට පහසුම මැජික් සංදර්ශනය වන ජාතිවාදය අලුත් ආකාරයකින් කරලියට ගෙනවිත් ඇත. සුළු ජාතීන් දෙකක් දෙපස තබා ගෙන සිංහල මහ ජාතිවාදය විසින් ඔවුන්ව පාලනය කිරීම හා එහි ප්‍රතිවිරෝධයන් තම පැවැත්මේ අනාගත ආශිර්වාදය කරගැනීමට රාජපක්ෂ පවුල් පාලනය සිය උපාය මාර්ගය කර ගන්නේ නම්, ඔහුගේ පමණක් නොව මුළු මහත් සමාජයේ ඛේදවාචකය අලුත් වටයකින් ආරම්භ වීම නොවැලැක් විය හැකි වනු ඇත.
නිදහසින් පසු ලංකාව සරළ සමාජ වර්ගීකරණයකට ලක් කළ හොත් විවිධ විෂයයන් හා කාලවලට අනුව බෙදා වෙන්කර එකට මුසු කර විග්‍රහ කළ හැකි අතර එම වර්ග කිරීම් බෙදීම් හා න්‍යායගත කිරීම සියල්ල එකට මුසු වූ එකම තැනක් බවට පත්ව ඇති යුගය ලෙස රාජපක්ෂ පාලන කාලය වන මෙම විනාශයේ  අරම්භක යුගය ලෙස සැකිය හැකිය. මතුපිටින් දකින ආගන්තුකයෙකුට හෝ ඉතාලියේ සිට මැදපෙරදිග සිට නිවාඩුවක් ලබා මව්බිමට පැමිණෙන සිංහ කොඩිය අතට ගත් සිංහල බෞද්ධයෙකුට ද යුදධයේ පිහිටෙන් සරණාගතව යුරෝපා රටක පුරවැසිකම ගත්ත හා පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව ආරක්ෂාකාරී දේශපාලනයට අනුගත වූ දමිළ සංචාරකයන්ට නම් ලංකාව දියුණුව කරා යන සේද මාවතකි. එසේම වංචාවෙන් දූෂණයෙන්, දේශපාලනික පිහිටෙන් කූඨ ව්‍යාපාර, කුඩු ජාවාරම්කරුවන්ට නම් ආශ්චර්යයක් වී ඇත. එහෙත් රටක්, සමාජයක්, සංස්කෘතියක් කියා කියනු ලබන්නේ එයට නම් ලංකාව දියුණව කරා ගමන් කරන අඩු ආයුෂ සහිත රටකි. එහෙත්  ඊට වඩා වෙනස්ව බුද්ධිමත්ව සන්සුන් සිතින් රටක් ලෙස සමාජයක් ලෙස මනුෂ්‍යයින් ලෙස කල්පනා කරන්නන්ට අවශ්‍ය නම්, මෙම ගෙවී යන නිමේෂය පිළිබඳව ඇති වන්නේ තැති ගැන්මකි.බියකි. දුක මුසු වූ තරහකි. අපේක්ෂා භංගත්වයකි. චලිතයේ ස්වභාවය අනුව මොනයම් ආකාර හෝ යහපතකට නැමීයාවක් දක්වන ස්වභාවයක සලකුණක් නැත. මෙම තත්ත්වය යහපත උදෙසා හැරවීමේ ක්‍රමවේදයක් ද නැත. තිබෙන ක්‍රමවේද ප්‍රමාණවත් නොවන අතර එය මාරාන්තික රෝගයක් ඇති ලෙඩෙකුට දෙන පැනඩෝල් පෙත්තක් වැනි ය. එම නිසා දැන් උදා වී ඇත්තේ  හදිසි අවස්ථාවකි. 

හදිසි අවස්ථාව හඳුනා ගැනීම
සිදු වෙමින් යන විනාශය විසින් අනාගතයේ  සිදුවීමට නියමිත විනාශය හඳුනා ගැනිම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. බහුතර සමාජය විනාශයේ සහභාගී  කොටස් කරුවන්  වීම තුල මෙහි ඇති අනතුරේ ප්‍රමාණය දැනෙන්නේ නැත. සමාජ විනාශය සඳහා සහභාගිත්වයෙන් මෙපිටට විත් ඊට විරෝධය දක්වන්නාගේ ආස්ථානයට ගොනු කිරිම හදිසි අවස්ථාව සඳහා ඇති දේශපාලනික ක්‍රියා මාර්ගය වනු ඇත.  එහෙත් දිනෙන් දින දකින්නට ලැබෙන සිදුවීම් මඟින් ගම්‍ය කරන යථාර්ථය වන්නේ විරුද්ධාභාෂයය.  
 එලියෙන් හා කාර්කික ඥාණයකින් බැලීමේ දී ලංකා සමාජ දයලෙක්තිකය ඉතා කැමැත්තෙන් තෝරා ගෙන ඇත්තේ විනාශයමය.  මෑත ඉතිහාසයේ අත්දැකීම්වලට අනුව අප හැම සියලු දෙනාට සමාජයක් ලෙස මිනිසුන් ලෙස ජීවත් විමට ඉගෙන ගත හැකි පාඩම් ඉතිහාසය විසින් ඇති තරම් කියා දි තිබුණ ද නැවතත් එවැන්නකටම අත වැනීමේ සංඥාවක් ලෙස බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායම් මතු වීම හා ඊට රාජ්‍ය අනුමැතිය හා නිහඬතාවය විසින් සාධාරණීයකරණය කර ඇත. නීතියක් යුක්තියක් ධර්මයක් නැති සමාජයක බිහිවනු ඇත්තේ ම්ලේච්ඡයන් පිරිසකි. එය දිනෙන් දින පෙන්නුම් කිරීම මුළු මහත් සමාජ දේහය පුරාම පැතිර ඇත. හිංසනය ජාති මාමක වීර ක්‍රියාවක් බවට පත් කරමින් සාධාරණිය කරණය කිරීම රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ භයානක ප්‍රවණතාව පැපිලියාන සිද්ධියේ දී සිහිගන්වනු ඇත්තේ  83 ජූලි කෝලහාලයය. බෞද්ධ සංඝයාවහන්සේ නමක් ගල්වලින් අදාල ගොඩනැගිල්ල විනාශ කරද්දී, පොලිස් ආරක්ෂකයින් බලාගෙන සිටිති. ඇත්තටම සමහර විට පොලිසියට එම අවස්ථාව පාලනය කිරීමට උවමනාවක් තිබුණ ද එසේ කළ නොහැකි වී ඇති අදිසි බලයේ පාලනය සම්මත නීතියෙන් ඔබ්බට ගොස් ඇති බව කදිමට පෙන්වන අතරම, එයින් ගම්‍ය කරන නපුර මොන තරම් විශාල විය හැකි දැයි අද ගණන් බැලීම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. ඒ අනුව හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීම, සාමාන්‍ය අවස්ථාවක දී ක්‍රියා කරන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. ගෙයක් ගින්නකට හසුව ඇති විටක, මුලින්ම කළ යුත්තේ ගිනි නිවා දැමීමට ක්‍රියා කිරීමය. එවැනි අවස්ථාවක් වනාහි කොන්දේසි විරහිත තත්ත්වයකි. වාද බේදකම්, දර්ශන මතවාද පසෙක ලා අනතුරින් ගෙදර ගලවා ගැනීම ය. මේ මොහොත තවත් ගින්නක් ඇවිලිමට පටන් ගන්නට සැරසෙන වෙලාවකි. දේශපාලනයේ දී මෙම තත්ත්වය කෙසේ වැදගත් වේද, කෙසේ ක්‍රියා කළ යුතුද යන්න විවාධ සම්පන්න කාරණයක් වුවත් විනාශයේ හදිසි අවස්ථාව  දැන් සමාජීය වගකීම අභ්‍යන්තරික වශයෙන් ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. එනම් ආරාක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම( Responsibility to Protect) යන මානව වාදී සංකල්පය පිළිබඳව දේශීය දේශපාලනය තුල සිතා බැලීමය.

සාමාන්‍ය ලෙස මෙම වගකීම පවතින්නේ ගැටලුව පවතින රටෙහි රාජ්‍යයටය. සියලු ජනයාගේ වගකීමට නෛතිකව බැඳී ඇත්තේ වෙනස්කමකින් තොරව සැලකීමටය. වර්තමාන රජය දෙමළ ජනයාගේ සුවිශේෂී වූ මූලිකම අයිතිවාසිකම් පවා කඩකරමින් පීඩිතයන් බවට ද ඔවුන් තවදුරටත් සවකීය රටවැසියන් ලෙස කල්පනා කරනු වෙනුවට යටත් වැසියන් කර ඇති අවස්ථාවක් එක් පසකින් නිර්මාණය කර තිබෙන අතර අනෙක් පසින් එම ලබ්බට තැබූ අතම පුහුලට තැබීමේ අවස්ථාව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හා ආරක්ෂාව සැලසෙන බව සාක්ෂි සහිත රහසකි. මෙකී රාජ්‍ය ආරක්ෂාව සරල බවේ සිට සංකීර්ණත්වය දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ඓතිහාසික සාධක ද සිය පැවැත්ම පදනම්කර ගෙන ජාතියේ ආරක්ෂාව බවට විතැන් කිරීම නැවත වටයකින් කළ හැකිය. ඒ සඳහා වන නියම මෙවලම අන්කිසිවක් නොව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයම ය. ලෝකෝත්තර දර්ශනයක් ලෙස බිහිව ව්‍යාප්ත වූ බුදු දහම, ලාංකීය සංදර්භයේ දී රාජ්‍ය සමඟ මිශ්‍රව ලෞකික ආයතනයක්  වීමෙන් හා ආගම හා රාජ්‍ය අනතර් පැවැත්මක් ඇති කරගැනීමේ ඓතිහාසික සංදර්භයේ දී ඇති වූ දෘෂ්ටිවාදය එහි ප්‍රකාශනය වන්නේය. ආගම බුදු දහම වන විට රාජ්‍ය සිංහල වීම තුලින් උපන් සිංහල බෞද්ධ මතවාදය රාජ්‍යෙය් මතවාදය බවට පත්වීම යනු ෆැසිස්ට් තත්ත්වයකි. පාලකයා හා රාජ්‍ය ෆැසිස්ට් වීම හා මහ ජාතියේ දෘෂ්ටිවාදය ෆැසිස්ට් වීමෙන් ඇතිව ඇති ප්‍රතිථලය වන්නේ   මහ සමාජය ද ෆැසිස්ට් වීම ය.
ෆැසිස්ට්වාදයේ නැඟීම
 එම නිසා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම යන ප්‍රවාදය රාජපක්ෂ පවුල් රාජ්‍යයට වලංගු වන්නේ නැත. එබැවින් මෙම අවස්ථාව හඳුනා ගැනීම පවුල් රාජ්‍යය  හැරුණු විට සෙසු දේශපාලන බලවේගවල වගකීමේ කොටසකි. රාජ්‍යයක්, පාලකයෙක්, පාලක පවුලක් හා සමාජයක් මහ ජාතියේ  ෆැසිස්ට් හිස්ටීරියාවෙන් පෙළෙමින් සිටින අවස්ථාවක දී, දේශපාලනය කිරීම යනු තමන් සිතා සිටින පරමාදර්ශිය, අනාගත අපේක්ෂණයන් සහිත ව්‍යාපෘතිය නොවනු ඇත. එසේම එයට අවස්ථාව ද නො සලස්වනු ඇත.
එල්ටීටීය විනාශ කිරීමෙන් පසුව උතුරේ දේශපාලනය කිරීමට සැලසුම් කළා නම්, එම ෆැසිස්ට් සැලසුමේ ප්‍රතිපලයේ යථාර්ථය දැන් තේරුම් ගත හැකි ය. අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තවාදී ක්‍රියාවන් තුලින් ඇති කරනු ලබන විනාශයෙන් අප්‍රසාදයෙන් අඩපණ වන ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට න්‍යාය සැකසෙන දේශපාලනය ද, පාලකයන් මාරු වීමෙන් හෝ ආණ්ඩු මාරු වීමෙන් තමන්ට බලයක් ලාබා ගත නො හැකි බැවින් විනාශයෙන් පසුව ඇතිවන අලුත් තත්ත්වය තමන්ට අවකාශය උදාකර දේ යන න්‍යායෙන් න්‍යාය සැලසුම් කරන දේශපාලනය ද, එක් සුළු ජාතියකට විනාශය සිදු වෙද්දී අනෙක් සුලු ජාතිය මහා ජාතියේ හිංසනයට සයෝගය දීම යන විනිච්ඡයෙන් දැන් උඹලගෙ වාරය යන නිහඬ සතුටු සිතිවිල්ලේ ඇති දමිළ දේශපාලනය ද, මේ සියල්ල තුල විදේශ මැදිහත් වීමකින් වෙනසකට බලාපොරොත්තු තබන දේශපාලනය ද යන මෙකී නොකී න්‍යාය පත්‍රවලින් වර්තමානයත් අනාගතයත් නිශ්චය කරනු ඇත. එහෙත් එයට ඉඩක් ලැබේද, අවකාශයක් ඇති වේද යන්න මෙම හදිසි අවස්ථාවම තීරණය කරනු ඇත.
පාලක පංතීන් මෙන්ම සෙසු බලවේගයන්ද අධිනිෂ්චය වන්නා වූ ප්‍රධාන සමාජ දයලෙක්තිකය තම උපාය මාර්ගය බවට පමණක් පත්කර ගනිමින් දේශපාලනය තේරීම යනු තම අරමුණට ලඟාවිම නොව තමන් ඇතුලු සමාජයම විනාශයකට ගමන් කිරීමකි. මන්ද රට ඇත්තේ ෆැසිස් තත්ත්වයකය. මෙය තේරුම් ගැනීමට  ෆැසිස්ට්වාදය  යන්න පිළිබඳව ද තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මෙම යෙදුම  මුලින්ම භාවිත කරනු ලැබුවේ ඒකාධිපති දක්ෂිණාංශික  ජාතිවාදී පාලන ක්‍රමයන් වූ ඉතාලියේ මුසොලෝනි ( 1922-43), නාසි ජර්මානු පාලන කාලයේ දී වූ අතර ස්පාඥ්ඤයේ ෆ්‍රැන්කෝ ද ෆැසිස්ට්වාදීන් වීය. ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්‍රෙෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත්, ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමත්, බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්‍රෙව්ශයකට ඇතුලු වීමේ  ප්‍රවණතාවය දක්වනු ඇත.
එසේම ජෝර්ජ් ඕවල්ගේ විග්‍රහයට අනුව, ජාතිවාදය යන්න විශ්වීය ලෙසම සලකනු ලබන්නේ නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී ලෙසය. නමුත් මෙය ජාතික ව්‍යාපාරයන්ට ආදේශ කිරීමේදී ප්‍රකාශකයා ලෙස පිළිගැනීම නොකරීම තුල පමණක් පවතිනු ලැබේ. අරාබි ජාතිවාදය. පෝලන්ත ජාතිවාදය, ෆින්ලන්ත ජාතිවාදය, ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය, මුස්ලිම් ලීගය, යුදෙව්වාදය, සහ අයි. ආර්. ඒ යන සියල්ල විස්තර කරනු ලබන්නේ ෆැසිස්ට්වාදි ලෙස නමුත් එකම ජනතාව ලෙස නොවෙති.

බැලූ බැල්මට අර්ථකථනය කිරීමට හෝ තේරුම් ගැනිමට නොහැකි බවක් ෆැසිස්ට් ක්‍රමයක් තුල දක්නට ලැබීම සුවිශේෂත්වයක් ද වන අතර ආර්ථික දියුණුවක් ද පෙන්නුම් කරනු ලැබේ. අනෙක් අතට ෆැසිස්ට් යන සංඥාර්ථයෙන් ජර්මනිය ඉතාලිය මතකයට නැඟුණ ද, ෆැසිස්ට් සමාජයක් නිශ්චිත නිර්වචයකට යටත් කිරීමට ද අසීරු බවට ද නිදසුන් ඇති අතර ලංකාව ද අප හමුවේ ඇති තවත් නිදසුනකි. ඉතාලිය, ජර්මනිය හා ස්පාඥ්ඥය සම්බන්ධයෙන් ට්‍රෙට්ස්කිගේ විග්‍රහයට අනුව පොදු ලක්ෂණයක් වන්නේ සුළු ධනේෂ්වර කොටස් වන නව මධ්‍යම පංතික කොටස්, රාජ්‍ය ආයතන හා පරිපාලන, පුද්ගලික අංශවල කොටස් ඉතා පහසුවෙන් මෙම බහුජන ව්‍යාපාරයන් සඳහා යොමු වීම කැපී පෙනෙන්නකි. එක් අතකින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රෙමයේ දී ලාභය හා තරඟය අතර ඇති ගැටුමේ එක් ප්‍රතිථලයක් යැයි ද බොදුබල සේනා වැනි ෆැසිස්ට් කල්ලි මෙහෙයවන ආකාරයෙන් පෙනී යන්නකි. මුස්ලිම් වෙළෙඳ ආර්ථිකයට බෞද්ධ වෙළෙඳ ආර්ථිකය මහා ජාතියේ උරුමයක් ලෙස කඩා පැනීම මුස්ලිම් විරෝධයේ එක් වැදගත් ලක්ෂණයක් ද වන්නේය.


බුද්ධිමතුගේ නායකත්වය

මෙම භයානක තත්තවය තව තවත් වර්ධනය විමට ඇති ප්‍රවණතාත්මක වර්ධනයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ද, සම්ස්ථයක් ලෙස පවතින පාලන ක්‍රමයේ විනාශකාරීත්වය හේතුවෙන් ද විය නොහැකි බලකිරීමකට පවත්නා දේශපානයන්ට එක් විය යුතු යැයි යෝජනා කළ යුතු වුවද පවත්නා දේශපාලනික සතුරුභාවයන් හේතුවෙන් එක්වීම යන්න අති මහත් දුෂ්කර තත්තවයක් වුවද, තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ගෙන් වියුක්තව පොදු නපුර පැරදවීමට අවශ්‍ය ක්‍රමවේදයකට සූදානම් විම ප්‍රගතිශීලින්ගේ කාර්යභාරයක් ද වන අතර මෙතෙක් සමාජයේ නිහඬව සිටින බුද්ධිමතුන්ගේ පුනරුදයකට කාලයක් ද වනු ඇත. පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසය බිඳිම හා පලුදුවිම තුල දැන් කළ යුතුව ඇත්තේ රටෙහි යහ පැවැත්ම උදෙසා යාණ්ත්‍රණයක් සැකසීම හා එය ජයග්‍රහණය කරවිමට අවමයේ සිට උපරිමය දක්වා කැප කිරීමය. ඒකාධිපතිවාදයෙන්, ෆැසිසිට්වාදයෙන්, පවුල්වාදයෙන් යුක්ත විනාශයෙන් රට බේරා ගැනීමට සාමුහිකත්වයෙන් තොරව ජයග්‍රහණයත් නොමැත. එසේම දාර්ශනිකයන් පාලකයන් වන තුරු හෝ ලෝකයේ පාලකයන්ට හා කුමාරවරුන්ට දර්ශනයේ බලය හා ආත්මය තිබෙන තුරු, සෙසු ලෝකය පාපයෙන් තුරන් නොවනු ඇත. ප්ලේටෝ නම් දාර්හනිකයාගේ මෙම අදහසේ යථාර්ථය ලංකාවට අතිශය වලංගුවක්ව ඇත. ඥාණවන්තයින්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා දාර්ශනිකයන්ගේ සේවාව අවශ්‍ය කරන හදිසි අවස්ථාවකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon








Thursday, March 21, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය: ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය,   සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන...

අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය





ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය,  සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු ලබන නාමකරණයට දේශපාලනික අර්ථයක් ඇත. එය පශ්චාත් යටත් විජිත යන යෙදුමට ද පොදුවන අතර, ලංකාව විෂයෙහි දී, භාෂාමය ලෝකයේ නිතර කියැවෙන අලුත් වචනය වන පශ්චාත් යුද අවධිය යන දේශපාලනික හැඟවුම්කරණය පුණර්උච්ඡාරණය කිරීමේ සන්දර්භය තේරුම් ගැනීම දේශපාලනික, සමාජීය සංස්කෘතික හා ආචාර ධාර්මික වශයෙන් වැදගත් වනු ඇත. 
 
දෙදහස් නවයේ මැයි මස නන්දිකඩාල් කලපුවට කොටු කරනු ලැබූ දෙමළ විමුක්ති සටන යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශවය විසින් සළකුණු කරනු ලැබූ නිදහස, පීඩනයට පත්, අගතියට පත් ජනයාට නිදහසක් නොවී, යුද්ධය හා යුද්ධයට හේතුකාරක මූලයන් විසින් බිහිකර ඇති ප්‍රතිවිරෝධයන් හා ආකල්පයන් තවමත් ක්‍රියාත්මකව පැවතීම තුල පශ්චාත් යුද තත්ත්වය යන නාමකරණය දේශපාලනය තුල බැරෑරුම් ලෙස වලංගුව පවතී.
 
පශ්චාත් යුද තත්ත්වයෙන් මිදීමේ හැකියාව, පවත්නා මහින්ද පාලන ක්‍රමයට ඇත්තේ වුවද, එය දේශපාලනික මුග්ධබවෙහි සාගරයක ගිලී සිටීම හේතුවෙන් විසඳුමක් නො මැති තැන, යුක්තිය පසිඳලීම හා සාමය ස්ථාපිත කිරීම අනාගතයේ ඇති සිහිනයකි. එය අභ්‍යන්තරය තුලින් සාපේක්ෂක වශයෙන් පිළිගත හැකි අයුරකින් හෝ විසඳා ගිනීමට නොහැකි නම්, එය තුන් වැනි පාර්ශවයක කාර්යයක් වනු නොවනුමානය. වසර තිහකට අධික කාලයක් පුරා විවිධ හැඩයන්ගෙන් වර්ධනය වූ වාර්ගික ගැටුම හා මහා විනාශයකින් කෙළවර වූ සිවිල් යුද්ධය විසින් ඇති කරනු ලැබූ අගතිය විසින් යුක්තිය අපේක්ෂා කරන්නේය. යුක්තිය ඉෂ්ට කිරීම යන්න ජයග්‍රාහකයාගේ සාමයේ ( Victor’s Peace) වචන පෙළහර පෑමෙන් ඔබ්බේ ඇති සංකිර්ණ ක්‍රියාවලියකි.එය දේශපාලන වේදිකාවන්ගේ, එදිනෙදා පාදඩ මාධ්‍ය භාවිතාවේ, ජාතිවාදී, වර්ගවාදී පෙළඹ වීම් සහිත ව්‍යාපෘතීන්ගේ කොටසක් නොවන අතර එහි ඇති අති මහත් බර දේශීය දේශපාලනයට ඇති වගකීමක් වන්නේ නමුත් එය හරියාකාරව ඉටු නොකිරීමේ අසමාර්ථය දේශීය දේශපාලයෙන් ඔබ්බට විතැන් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියක් යන්න ලෝක ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයන්, යුධ අපරාද, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් පිළිබඳ හැරී බැලීමේදී හොඳින් පෙනී යන්නකි.

අනෙක් අතට, ලංකාව දූපතක් ලෙස සාගරයෙන් වටව වෙනම ලෝකයක් ලෙස සලකා දේශපාලනික තීන්දු ගනු ලැබුව ද, සිතාගෙන සිටිය ද, ලංකාව නැමැති ජාතික රාජ්‍ය සෑම සියලු ආකාරයකින්ම ජාත්‍යන්තරය හා ගැට ගැසී ඇත. නූතන භූ දේහපාලනය හා අන්තර්ජාතික ක්‍රියාකාරීත්වයත්, ජාතික රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හේතුවෙන් ස්වයිරීත්වය යන පැරැණි නිර්වචනය ද අර්ථ රාමුවෙන් පිට පැන ඇත. සම්භාව්‍ය ජාතික රාජ්‍යෙය් නිර්සචනයන් විනිවිද පුළුල් වීම සිදු වී ඇති බැවින් ස්වයිරීත්වය ප්‍රායෝගිකව ඇති යථාර්ථය කුමක් ද යන්නත් බැලීම රටෙහි තරම හා ක්‍රියාව අනුව තේරුම් ගත යුතුය. එසේම වසර තිහකට වඩා පැරණි වාර්ගික ගැටුමේ ප්‍රතිථල අභ්‍යන්තරිකත්වයෙන් ඔබ්බට විතැන් වී ජාත්‍යන්තරකරණය වීම අතීතයේ සිට ප්‍රසාරණය වීම මිස හැකිලීමක් දක්නට නැත. මේ නිසා පශ්චාත් යුද ලංකාව යනු නිකම්ම නිකම් වචනයක් නොව, විශ්ව ප්‍රඥ්ප්තීන්, ජාත්‍යන්තර නීතින්, හා මානව ශිෂ්ටාචාරයේ සම්මුතිකාමී වගවිමේ සන්දර්භයන් තුල නිර්ණය වන්නා වූ සංසිද්ධියක් වී ඇත. දේශීයව කුමන ගණන්කාර කම් ප්‍රදර්ශනය කළ ද, තර්ක විතර්කයන්ගෙන් ජය ගනිමින් ජත්‍යාල සුඛාස්වාදයක් ලබා ගත්ත ද, ලාංකික ජනාවාර්ගික ප්‍රශ්නය හා විනාශකාරී යුද්ධය විසින් ඇති කළ ප්‍රතිථලයනට වගවීමේ ජාත්‍යන්තර සන්දර්භය නිර්මාණය වී ඇත.නිර්මාණය කරමින් සිටිති. එය සාපේක්ෂ වශයෙන් ලෝකයේ අන් සිදුවිම්වලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීම මිස නොසලකා හැරීමක් ලෙස සැලකිය නො හැකි ය. මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති මාතෘකාවන් අතර ප්‍රධාන වී ඇත්තේ, යුධ අපරාධ( War Crimes) හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity) යන චෝදනාවන්ට වගවිය යුතු ද යන කාරණාය.

යුද අපරාධ(War Crimes)

යුද අපරාධ නැමැති සංකල්පයේ ආත්මය නැතිනම් හදවත යනුවෙන් සැලකෙන්නේ රටක හෝ එහි හමුදාවෙහි ක්‍රියාකාරකම් සඳහා අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවය. ජාත්‍යන්තර නීතියේ දී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු  දරුණුම ගණයේ අපරාධ අතර ඇති අපරාධයන් ය.මේවා ඉතා බැරෑරුම් ලෙස සලකනණු ලබන අතර එම අපරාධයන් සඳහා ගත වන කාල වකවානුවක් ද නොමැති ය. එයින් අදහස් වන්නේ අපරාධයන්ට වරද කරුවන් වන්නන් සඳහා දඬුවම් පැමිණවීමට අපරාධය සිදු වූ කාලයේ සිට කොපමණ කලක් ගතවන්නේ ද යන්න සලකනු ලබන්නේ නැත යන්න ය.

යුද අපරාධ පිළිබඳ සංකල්පය මෑතක පැමිණියක් ය. දෙවන ලෝක යුද්ධයට පෙර එය සාමාන්‍යෙයන් පිළිගණු  ලැබුවේ යුද්ධයේ ස්වභාවයේ කොටසක ඇති භයානක දෙයක් ලෙස වන අතර යුද අපරාධයන්ගේ වාර්තා ගත නිදසුන් ග්‍රීක හා රෝම කාල පරිච්ඡේදයන් වෙත ගමන් කරනු ඇත.

විසිවන ශතවර්ෂයට පෙර හමුදාවන් නිරන්තරයෙන්ම සතුරු හමුදාවට හා සටන්කරුවන් නොවන පුද්ගලයන්ට ද ඉතා අමානුෂික ලෙස සලකන්නට විය. එහෙත් යුද්ධය ජය ගත් පසු එම අපරාධ වලට පදනම් වූවන්ට කිසිදු දඬුවමක් තිබුණේ ද යන්න ගැටලුවකි. සෙන්පතියන් හා දේශපාලනඥයින් සාමාන්‍යෙයන් ඕනෑම දඬුවමක දී යුද්ධයකදී ක්‍රියාකළ ආකාරයෙන් බේරී පලා යන්නට විය. එසේ නොමැතිව, ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව වරදකරුවන් කිරීම හෝ දඬුවම් දීම සිදු වන්නේය.

යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යුහාත්මක ප්‍රෙව්ශයක් හෝ දේශපාලන නායකයින් හා හමුදා නායකයින්  ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ තත්වයන් පිලිබඳව හෝ ඔවුන්ගේ බට කණ්ඩායම් සම්බන්ධව අපරාධමය වගකීමක් ගත යුතු ද යන්න කිසිදු විදියේ පොදු ගිවිසුමක් නොතිබිණි. මෙම ආකල්පයන් වෙනසකට ලක් වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර දශ ලක්ෂ ගනන් ජනයා විශේෂයෙන් නාසි ජර්මනිය විසින් යුදෙව්වන් ඝාතනයට ලක් විමේ දී හා ජපානය විසින් සිවිල් වැසියන්ට හා යුද සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකිම නිසා ය.

සාමාන්‍යෙයන් ජයග්‍රහණයට පත් රටක් හෝ පාර්ශවයක් යුධ අපරාද සඳහා නඩු කිමට පිවිසීම හෝ තම ජනයාට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවන්නේ කලාතුරකිනි.මේ නිසා එවැනි යුධ අපරාධ නඩු යනු වෛරය පිරිමැසිමේ නඩු  ලෙස සැලකිය හැකි අතර තමන්ගේම අයුක්තියේ ක්‍රියාවන් ලෙස දැකිය හැකිය. මෙම තත්තවය එසේම නොවන බව වියට්නාම යුද්ධයේ දි අමරිකානුවන් යුද අපරාධවලට වගකිව යුතු බවට ද  පැරණි යුගෝස්ලාවියාව මෙම සම්ප්‍රධායට විශේෂිත ව්‍යතිරේකයන් ලෙස දැකිය හැකිය.(BBC Ethic Guide)
ලංකාවෙහි පැවැති යුද්ධය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන යුද අපරාධ සම්බන්ධ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව යුද අපරාධ කණ්ඩායම් තුනකට හෝ වර්ග සංහාරය යන්න ඇතුලත් වන්නේ නම් හතරකට වැටෙන්නේය.

1.      සාමයට එරෙහි අපරාධ (Crimes against peace)
2.      යුද අපරාද(War Crimes)
3.      මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity)
4.      වර්ග සංහාරය(Genocide)

මෙම වර්ගකිරීම්වලට අදාලව අපරාධ බවට ඇතුලත්වන කරුණු ජාත්‍යන්තර අපරාධ අධිකාරණයේ රෝම ප්‍රඥප්තියේ ද,(Rome Stature of the International Criminal Court) ජිනීවා සම්මුතියේ ද අඩංගුව පවතින අතර ලාංකීය සන්දර්භය එයට ඇතුලත් ද නැත් ද යන්න පිළිබඳ දැවෙන කාරණයක් වී ඇත.

යුද අපරාධ සම්බන්ධ විෂයය පශ්චාත් යුද තත්ත්වය හා අත්‍යන්ත සබඳකමක් පෙන්නුම් කළ ද එය ඈතක ඇති විෂයයක් වී ඇත.ඒ පිළිබඳ අපේක්ෂා සහගතව සිටින හා කටයුතු කරන පාර්ශවයන්ට කාලයේ ඉවසීමටත්, දේශිය හා ජාතයන්තර දේශපාලනයේ චලනයේ දිශාවන් වෙතත් අවදානය යොමු කළ යුතුව ඇත. එහෙත් යුද්ධයකින් පසුව ඇති විය යුතු සංහිඳියාවට ඇති නොහැකියාව විසින්ම යුද අපරාධ යන ඈතක ඇති නපුර ලං කර ගැනීමට පාලක රෙජීමය අති සමත්කමක් දක්වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දක්වන සංවේදී බවේ තරම නිසාය. මෙම තත්වය යටතේ යටත් පිරිසෙන්,දේශීය හා විශ්ව සම්මුතීන්ට අනුව අගතියට පත් වූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු වුවද අභ්‍යන්තර හා භාහිර බල දේශපාලනයේ දී, අතීතය තම තමන්ගේ න්‍යාය පත්‍ර බවට පත්කර ගෙන එක් කොටසක් ක්‍රියා කරන අතර, එම අතීතයම ඉන් ඔබ්බට පැමිණ පැවැත්මක් බවට පත්වීමේ යථාර්ථයෙන් ද ගැලවිය නොහැකි වී ඇත. මෙම යථාර්ථයේ ගැටලුව මනුෂ්‍යත්වය හා යුක්තිය මතම පදනම්ව සංයුක්ත ලෙස වර්ග කිරීමේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තේරුම් ගත යුතුය. එනම් දේශීය යථාර්ථය හා ජාත්‍යන්තර යථාර්තය යන සරළ බෙදීම් දෙකය.

දේශීය යථාර්ථයේ අනුකූලතාව ජාත්‍යන්තර යථාර්ථයට සහ සම්බන්ධයක් ඇති අතර යුක්තිය සාමය හා සංහිඳියාව සඳහා නැගෙන ජාතික තෙරපුම මෙහිදී වැදගත් සාධකයකි.එහෙත් මෙම සංවේදී කාරණාව සම්බන්ධයේ දී, මහා ජාතිවාදයේ අඳුරු සෙවනැල්ලට සියල්ලෝ එකතු වී කටයුතු කිරීම, රාජපක්ෂ ආණ්ඩුවට පමණත් නොව පරම්පරා ගණනකට මහ ජාතිවාදය ඔසවා තබන්නකි.මෙය තේරුම් ගැනීමේ වැදගත් අවස්ථාව වන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හා සම්බන්ධ ක්‍රියාවලියය. මානව හිමිකම් හා සම්බන්ධ වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලිය තේරුම්ගත හැක්කේ, රාජපක්ෂ හැර සියල්ලන්ගේ සාමාජ හෘද සාක්ෂියේ නිරුවත වසා ගැනීමේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනය ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට විවිධ මතයන් ගෙන හැර දක්වමින් විරුද්ධ වීමේ දේශපාලනය මෙන්ම මනෝභාව ද වැදගත් වන්නේ ජාතිවාදය යන්න වචන ඔබ්බේ ඇති ආකල්පමය, මුල් බැසගත් සංස්කෘතික ලක්ෂණ හා සෙසු සමස්ථයන් තුලින් ඇති කරන මානසික තත්ත්වය නිසාය. මෙම ජාතිවාදය වසා ගැනීමේ ඇති ජනප්‍රියම ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදයයි.(අධිරාජ්‍යවාදය යන්න ඓතිහාසිකව පැන නැගුණු ලෝක යථාර්ථයක් වුවද එය තේරුම් ගැනීම නිෂ්චිත තත්ත්වයන් යටතේ කළ යුත්තකි.)

වඳුරා සමඟ සිට ගැනීම නොහොත් අධිරාජ්‍ය විරෝධී සටන 

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රවාදයේ ධූරාවලි ලැයිස්තුවට අයිති නොවන දේශපාලන කණ්ඩායම කුමක්දැයි නම් කිරීමට පවා අසීරුවන තරමට මානව  හිමිකම් හා අධිරාජ්‍යවාදය සමඟ ගැට ගසා ඇත. මෙකී ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ ජාතියක් ලෙස, සිංහල බෞද්ධ වාමාංශිකයින් ලෙස, සිංහල දෙමළ මුස්ලිම් රාජපක්ෂ හිතවාදීන් ලෙස හා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස උසේ අනු පිළිවෙලට රාජ පක්ෂ පිටු පසින් ධූරාවලි ගත කළ හැකිය. එයට අනුව සිංහලයින්ගේ අණසකින් යුත් රටක් ඇත. මනුෂ්‍යයින් ලෙස සමාජයක් නැත. බලය මත පදනම් වූ ලෝක දැක්මකින් යුතු කුඩාම දේශපාලන කණ්ඩායම්වල සිට විපක්ෂය හා පාලක පක්ෂය යන කොටස් වලින් යුතු සමස්ථය  මනුෂ්‍යත්වයේ යථාර්ථයෙන් මෙපිට ඇත.මේ අනුව පශ්චාත් යුද අවධියේ දේශපාලනික අර්ථය නැති කිරීමට නම් රටක් හා ශිෂිට සමාජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇත. අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට ඇති මූලයන් ආකස්මිකව ඇති වූවක් නොවන අතර අවිහිංසාවාදයේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමට හේතු වූ මූලයන් බුද්ධිමත්ව සමාලෝචනය කරමින් මහා ජාතියේ සුළු ජාතික භීතියෙන් නොව මනුෂයත්වයේ මිනුම් දඬුවලින් ප්‍රශ්නයට ඇතුල් විය යුතු වේ. එසේ ඇතුලු විමේ දී, ප්‍රධාන වගකීම රටක ජනයා නියෝජනය කරන පාලන ක්‍රමය සතුවන අතර එය විසින් එය ඉටු නොකරන්නේ නම්,සෙසු දේශපාලන ප්‍රවාහ හා සිවිල් සමාජය හමුවේ ඇත් ප්‍රධාන වගකීමක්වනු ඇත. එහෙත් අභාග්‍යයකට නැත්තේ ද එම හඬමය. තිබෙන හඬ ද මහ ජාතිවාදය විසින් යටපත් කර දමා ඇත.

පැවතුණු යුද්ධයත්, සිදු වූ මානව හිමිකම් උල්ංඝණයන් හා අපරාධයන් සඳහා සෘජු වග උත්තරකරුවන් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් වග කිව යුතු අතර ඔවුන්ට පමණක් වගකිමේ දෑත් දිගු කිරීමෙන් සමාජයක් ලෙස ගැලවිය නො හැකි ය. වක්‍රාකාරයෙන් මානව සංහාරයන් හා යුධමය ක්‍රියාවලියක් දක්වා සමාජ මනස දෘෂ්ටිමය ලෙස මෙහෙය වූ පිරිස් ද සපුරාම වගකිව යුතු වන්නේය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය විසින් නිර්මාණය කරනු ලැබූ, රාජපක්ෂ ආණ්ඩුවේ සහායක බලවේග මෙම මානව විරෝධී සංහාරයට ආචාර ධාර්මිකව වගකිව යුත්තෝ වන්නෝය. එහෙත් මෙම වගවීමට විනිශ්චයාසනයක් දේශියව හෝ ජාත්‍යන්තරව නොමැත. ඒ සඳහා කොතෙතුත් සාක්ෂි ගබඩා වුවත් ඊට වගවීමේ සමාජ හෘද සාක්ෂියක් පවා නොමැත්තේය. 

මීට වසර දෙකකට ප්‍රථම එනම් 2011 වර්ෂය මුල දී අන්තර් ජාලයට මුදාහල වීඩියෝ පටයක් ඇත. මෑතක දී ද ෆේස් බුක් සමාජ මාධ්‍ය  ජාලයට මුදාහැර ඇති අවස්ථාවක දී, එය නැරඹුවෙමි. කථා නායකයා පූජ්‍ය දඹර අමිල හිමියන් ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකි. අමිල හිමියන්ගේ ඹප්පු කිරිමට අනුව යුද ජයග්‍රහනයේ සැබෑ  උරුමකරුවන් අන් කිසිවකු නොව, යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සහ රාජපක්ෂ රෙජිමයට යුද්ධය සඳහා ඔක්ෂිජන් දුන් ජනතා විමුක්ති පෙරමුණ හා ඒ හා බද්ධ වූ බහු ජන ව්‍යාපාරයන්ය. එසේ නම්, එම යථාර්ථයට ප්‍රතිමුකව යුද්ධයේ සිදු වූ අපරාධ වලට වග උත්තර කරුවන් වීමේ අයිතියක් ඔවුන් සතු නොවන්නේ ද.(වීඩියෝ පටය). මහින්ද රාජපක්ෂ යුද්ධය පස්සට අදින අවස්ථාවේ දී හරියට බල්ලෙකු නෑවීමට ගෙන යන්නාක් මෙන් ඔහුව යුද්ධය වෙත දක්කන ලද්දේ ජවිපය බවට එහි නායකත්වය විසින් පිළි ගන්නා සත්‍යයකි. මෙම ප්‍රකාශය ජවිපේ නායක සෝමවංශ අමරසිංහගේ ආඩම්බරකාරී හේතු පාඨයක් වුවද එහි ඇති මානුෂීය ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට සමාජයක් ලෙසම සිංහල සමාජය අසමත් වී ඇත. එසේම චම්පික රණවක වැනි ජාතික හෙළ උරුමය  නායකත්වය ද ඊටම නො දෙවෙනි ස්ථානයක සිටින අතර නලීන් ද සිල්වා අමරසේකර වැනි දෘෂ්ටිවාදී ජාතිවාදී බලවේගයන් ද යුද්ධය ජය ගැන්වීමේ ලැයිස්තුවෙහි ඇත.යුද්ධයේ අවසාන කාලය වන විට, බහුතර දකුණු සමාජය යුද්ධයේ ජයග්‍රාහී විඝඨනය නාට්‍යානුසාරීව ජන මාධ්‍ය හරහා කොටස්කරුවන් බවට පත්ව ජයග්‍රහනයේ ආශ්වාදය බුක්ති විඳින්නට විය. රතිඥ්ඥා බෙර හඬ නන්වමින් අවසන කිරි උතුරා කිරිබත් කමින් මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ගැටුමේ හේතුවට ඵලයක් සොයා ගැනීමේ අසමත්කමේ ව්‍යාධියෙන් පෙලෙමින්ය.

එහෙත් 2009 මැයි මාසයෙන් පසුව මහා සතුරාගෙන්, මහා අනෙකාගෙන් නිදහස් වූ සමාජය ඉතිහාසයේ අවසානය යැයි යන හැඟීමකින් කටයුතු කළ ද, මහා රික්තයකින් මහා සමාජය ගල් ගැසෙන්නට වූයේ විනාශයත් සමඟ අහිමි කරගත් හෘද සාක්ෂිය සහිතවය. සංඛ්‍යාත්මක වශයෙන් සුළු පිරිසක් හැරුණු විට, බහුතරයේ කැමැත්ත අභිලාෂය හා මනෝභාවය වූයේ ඓතිහාසික සතුරාගේ කඩා වැටීමය.විනාශයමය. එනම් දෙමළාගේ අවසානය ය.

දූපතක් රටක් රාජ්‍යයක් තුල ජන වර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් ඇති විය. එය ස්වකීය රාජ්‍යෙය් අවශ්‍යතාවයට කැමැත්තට හා අභිලාෂයට පමණක් අනුව සිදු වූවක් නොවූ අතර එසේ වූවත් ලෝක සම්මතයෙන්, නීති හා සම්මුතීන්ගෙන් බැහැරව ක්‍රියා කළ නොහැකි බව දිනෙන් දින යථාර්ථයක් වී තිබේ. අත්තනෝමතිකව බලය හා මුග්ධකම මත ඕනෑම දෙයක් කළ හැකි වුවද එහි විපාකයන්ගෙන් බැහැර විමට පහසු නොවන බව පෙනී යන්නේ, යුද්ධය අතර තුර හා අවසානයේ දි හා ඉන් අනතුරුව සිදු වූ යේ යැයි සලකන මානව විරෝධී අපරාධයන් විසින් සාක්ෂි සපයන නිසාය.

තුන්වැනි බලවේගය

එහෙත් යුධ අපරාධ, හා මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා සෘජු වගකීම නෛතිකමය වශයෙන් පාලක රෙජීමයට පැවරුණ ද සදාචාරාත්මක වශයෙන් ඇති සමාජ වගකීම නිර්වචනය වී නොමැති සමාජයක් තුල, සෙසු අයගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය.රාජපක්ෂව දඬුකඳේ ගැසීයෙන් හෝ බලයෙන් පහ කිරීමෙන් මිය ගිය සමාජ ආත්මයට පිළියමක් වන්නේ නැත. සමාජ සංහිඳියාවක් හෝ යුක්තියක් හා සාමයක් ලැබෙන්නේ නැත. එය නිවැරදිව නිදසුනකින් තේරුම් ගැනිමට නම්, නාසි ජර්මනිය වෙත හැරීම වටිනාකමක් ගෙන දෙන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, යුද්ධයේ දී සිදු වූ අපරාධ හිට්ලර් මතට පටවා චෝදනා නගන්නට වුවත් ඔහු පසු පස සිට නිහඩව සහය වූ ජාතික සමාජවාදී බහුතරය සිටින්නට විය. යුද්ධයෙන් පසුව සංහිඳියාව ඇති කිරීමේ දී නිහඬව සිටි පරම්පරාවේ වරද හා සදාචාරය පිළිබඳ ගැටුම මතු කළ අවස්ථාවක් වූයේ 1968 ජර්මන් ශිෂ්‍ය අරගලයයි.

1968 ව්‍යාපාරයේ හදවත වූ පරම්පරා ගැටුමක හැඟීම ඇති කිරීමට විශෙෂිත බලයක් ජර්මනිය තුල ගෙන දුන්නේ නාසි කාල පරිච්ඡේදයෙ දීර්ඝ සෙවැවැල්ල විසිනි. පැරිසියේ සිසුන් ඒකාධිපති ඩිගොල්ට එරෙහිව අරගල කරද්දී, ජර්මානු සිසුන් තමන්ව දුටුවේ, හිට්ලර්ට සහ නාසින්ගේ අපරාධවලදී නිහඬව කුමණ්ත්‍රණකාරීව උන් තම දෙමව්පියන් අපරාධයන්ට සහාය දීමට එරෙහිව කළ අරගලයන් ලෙසය.(Utopia or Auschwitz: Germany's 1968 Generation and the Holocaust)
නමුත් ලංකාවේ රාජපක්ෂට හා පාපකාරී සමාජ පරම්පරාවට යන සමස්ථයට එරෙහිට ඇඟිල්ල දිගු කිරීමේ සැබැ ලාංකීය උවමනාව ඇති ව්‍යාපාරයකට ඇති කාලය දුරය. නිසි ගර්භාෂයක පිළිසිඳ ගත යුතු එම කළල නම් වූ සමාජ ප්‍රබුද්ධත්වයට සංසර්ගගත විම අද යුගයේ ලාංකික සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු අලුතින් හිතන ජනයාගේ කාර්යය වනු ඇත. එය හුදෙකලා සංසිද්ධියක් නොවන අතර පුළු ල් ලෝක දැක්මක් සතු කරගත් ප්‍රතිපත්තිගරුක, ආචාර ධර්මීය මනුෂ්‍යත්වයේ ව්‍යාපාරයක් විය යුතුය. විවිධත්වයට ගරුකරමින් තමන්ට ඇති අයිතිය අනෙකාට ද ලැබිය යුතු නම්, එයට ජාතිය, වර්ගය, හා භූමිය බාධකයක් නොවීමේ සරල සිද්ධාන්තයවත් වටහා ගතහැකි මිනිසුන් ද ව්‍යාපාරද, අදහස් හා මතවාද අලුතින් කල්පනා කළ යුත්තේ, දිනෙන් දින මිනිසා අලුත්වන නිසාය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිතන ක්‍රියාකරන විකල්ප තුන්වෙනි බලවේගයකට ලංකාවේ මනස පෑදේවා!!!

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon




Monday, February 11, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය: අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහය...

වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය




අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක කිසිවක් හිමිකර ගැනීමට නො හැකි විය. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයාට ජීවිතය යන්න සිහිනයක් වී ඇත. සමස්ත සමාජයට අපේක්ෂාවන් මල්පල ගැන්වීම වෙනුවට සිදුව ඇත්තේ බල්ලෙකුගේ මළකුණකට කම්පා වී අඳෝ අය්යෝ කී මිනිසා, නිදහසින් පසු  කාලයේ මිය ගිය මිනිස් ජීවිතවලට සංඛ්‍යාත්මක ප්‍රමාණයෙන් කම්පා වීමේ ප්‍රමාණය දක්වා වැඩි දියුණු වී මනුෂ්‍යත්වය යන්න සිල්ලර වෙමින් සාමාන්‍ය දෙයක්   බටව පත්වීමය. පසුගිය කාලය මහා විනාශකාරී යුද්ධයකින් නිමා වූ සමාජයක්, රටක් හා ජාතියක් ලෙස භෞතික හා අධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත්වීම තුල සමාජය මහා රික්තයකින් යුක්ත වී ඇත. සෑම සියලු ක්‍රියවක්ම අස්ථිකරණයට මත්තේන් යල් පැනීමේ හා අර්ථ විරහිත වීමේ නව  සංස්කෘතිය ස්වාභාවික වී සමාජය තුල  සාමාන්‍යකරණය කරමින් දිශාවක් නැති දිශාවකට ගමන් කරමින් ඇත. ඒ තුලට සියල්ලෝ වැකුම් ක්ලීනරයකින් මෙන් උරාගෙන ඇත. ඉන් පිටතට පැමිණ, විකල්පයක් නැති දේශපාලනයට නව විකල්පයක් වීම හිතන තරම් නම් පහසුවක් නොවනු ඇත. ආණ්ඩු මාරු කිරීමෙන් එහා ගිය නව ප්‍රතිපත්තිගත සමාජ වෙනසක විප්ලවකාරී විපරිවර්තනයක් සඳහා වන දේශපාලන හා සමාජ විද්‍යාවක් අත්‍යවශ්‍ය මොහොතක් වී ඇත. ඒ මොහොත කල් දැමිය නොහැකි සේම, පරුණි මළ බැඳුණු දෘෂ්ටිවාදයන් කරපින්නාගත් ජීවන සංස්කෘතිය කනපිට පෙරලා අලුතින් ක්‍රියා කිරීමට ඉහල සිට පහළටත් පහල සිට ඉහලටත් සමාජය කොනිති ගැසිය යුතු වේ.

විනාශ වූ උතුර ද කුරුවල් වූ දකුණ ද, මෙම දිශාවකින් තොර වූ දේශපාලනික නූලු බෝලයේ ලෙහා ගත නොහැකි ගැටලුවලට හිර වී ඇත. දකුණෙන් උතුර කියවීම හෝ උතුරෙන් දකුණ කියවීම තවදුරටත් වලංගුවන්නේ කුමණ සන්දර්භයක දී ද යන්න නැවත නැවත සිතා බැලීමෙන් හා ක්‍රියාකිරීමෙන් පමණක් නොව පාර ජාතීය වශයෙන් සිතීමෙන්, මේ නව විකල්පය සොයාගත හැකිවනු ඇත. මෙම විකල්ප චින්තනයේ ප්‍රමුක පෙළේ විද්‍යාවන් දෙක වන්නේ ධනවාදය හා සමාජවාදය යන සමාජ ලෝක ක්‍රමයන්ය. එක ලෝක ක්‍රමයක් යථාර්ථයක්ව ලෝකය පුරා විවිධ හැඩයෙන් ගමන් කරද්දී, අනෙක් ක්‍රමය බිඳ වැටුණු එහෙත් ගොඩ නැගිය යුතු සිහිනයක්ව අප ඉදිරියේ ඇත.
  
නිදහසින් පසුව පැමිණ ඇති මෙම දීර්ඝ කාලය සමාජ ක්‍රමයක් ලෙස ගමන් කරනු ලැබුවේ කුමන අවශ්‍යතාවයන් පෙරදැරිකරගෙන දැයි ඇසූ කල, පාලක සෑම පංතියකම අපේක්ෂාව වූයේ සංවර්ධනීය මාවතකට අවතීර්ණ වීමටය. මෙකී සංවර්ධනීය මාවත යනු පෙරදිග ආදර්ශයන්ට වඩා වඩාත් ලංවූයේ බටහිර වෙතට ය. සමාජවාදයට වඩා ධනවාදයට ය. එහෙත් මෙතෙක් ආ කිසිදු පාලන ක්‍රමයකට ධනවාදයේ සංවර්ධනීය යැයි සලකන යහපත් අංගයන් ලබා ගැනීමට හෝ ඒ සඳහා මහන්සි වීමට ගන්නා උත්සාහයන් වෙනුවට සිදු වූයේ පැරැණි සමාජ ක්‍රමයන් තුල වූ පසුගාමි අසමතුලිත ලක්ෂණ සහිත සමාජ භාවිතාවන් හා ධනවාදය තුලින් මිනිසා අනර්ථයට පත්කරන්නා වූ භාවිතාවන් වෙත ගමන් කිරීමය. මේ නිසා නිදහසින් පසු යුගයේ ලාංකීය සමාජය යටත් විජිත ධනවාදය හෝ නව යටත් විජිත ධනවාදය හෝ පරිවාරයේ ධනවාදය හෝ තැරුව්කාර ධනවාදය හෝ උත්තරාරෝපිත ධනවාදය හෝ විශේෂණයක් නොමැතිව, ධනවාදය ලෙස නම් කළ ද, ලංකාව පසුකරමින් සිටිනුයේ කුමන ධනවාදයක් ද යන්න තේරුම් ගත යුත්තකි. සමාජවාදය යථාර්ථයක් කර ගැනීමේ සිහිනයේ සිටින්නාගේ ආස්ථානයේ සිට ලාංකීය සමාජ ක්‍රමය හැඳින ගැනීම හා ධනවාදය තේරුම් ගැනීම අති මහත් වැදගත් වන්නේ, වචන පුනර් උච්ඡාරණයෙන් එහා ගිය විද්‍යාවක අවශ්‍යතාව දැනෙන මොහොතකය.

 යටත් වාජිතවාදය හා ධනවාදය

යටත්විජිතවාදය හා ධනවාදය අතර ඇති සම්බන්ධය දෙස බැලීමේ දී, සමීර් අමින්ට (Samir Amin)අනුව මෙම ක්‍රියාවලීන් දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි දෙයක් ය. ධනවාදය යන්න තුලම යටත් විජිත වීම සිදු වන අතර වඩාත් නිවැරදිව කිවහොත් අධිරාජ්‍යවාදී වීම එහි සංවර්ධනීය කාල පරිච්ඡේදයන් තුල සැලකිය යුතු ලෙස දැකිය හැකිය. ස්පාඥ්ඥය ප්‍රංශය හා  බ්‍රිතාන්‍ය විසින් 16 වැනි සිය වසේ දී අමෙරිකාව ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදයේ හා යටත්විජිතවාදයේ පළමු නූතන තත්ත්වය විය. අතිශය අමානුශික ආකාරයේ  උතුරු අමෙරිකානු ඉන්දියානු ජන සංහාරයත්, ඉන්දියානු සමාජයන් හා ලතින් අමෙරිකාව වහල් ක්‍රමයකට ඇද දැමූ අතර කලු ජාතික වහල් ක්‍රමය උතුරු දකුණු මුළු මහද්වීපයම පුරා පැතිරෙන්නට විය. මේ උදාහරණවලට එහාට ගොස් නිවැරදිවම ගත හොත් ඉතිහාසයේ විවිධ අවධීන්වලදී  ව්‍යාප්තවීමේ තර්කයට අනුව අපිට දක්නට හැකිවන්නේ ධනවාදය විසින් කේන්ද්‍රය(ධනේශ්වර සූරාකෑමේ ක්‍රමයේ හදවත) හා පරිවාරය(යටත්කර ගත් රටවල් හා ජනයා) අතර සංගත ලෙස දෙයාකාර බෙදීමක් ගොඩනංවා ඇති බවයි. 

ලංකාව විෂයෙහි ද මෙම තර්කය අදාල වන අතර අධිරාජ්‍යවාදී පාලන කාලය තුල යටත් විජිත ධනවාදය ස්ථාපිත වුව ද යටත්විජිතවාදීන් ලංකාව හැර යාමෙන් පසුව ඇති වූ තත්තවය පරිවාරයේ ධනවාදය ද, යටත්විජිත ධනවාදය ද යන ප්‍රශ්නයේ දී තරමක ගැටලු කාරී ය. නිදහසින් පසුව පාලනයට ආ පන්තීන්ගේ සංවර්ධනිය අර්ථය වූයේ ධනේශ්වර ක්‍රමයකට හැඩ ගැන්වීම වුවත් මේ තාක් එය කරා ගමන් කිරීමට තරම් සමාජ විද්‍යාවක් සහිත දේශපාලනයක් නොමැති විය.ධනවාදයේ අවශ්‍යතාව සෘජු වචනවලින්ම සමහර පාලන පංතීන්ගෙන් නොකියැවුණි ද, සංකල්පීය හා හරයාත්මක අතින්  සංවර්ධනය යන්න ධනේෂ්වර ක්‍රමය ඉලක්ක කර ගත්තක් විය. එහෙත් පශ්චාත් යටත් විජිත දේශපාලනය තුල සිදු වූ විපරිවර්ථනය වූයේ දිශාවකින් තොර දිශාවකටය. සංවර්ධනය යන්න අතීතයෙන් ලබා ගන්නට ඇති දෙයක් යන ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වූ අතර, එය ප්‍රායෝගික ලෙස ධනේෂ්වර මාදිලියට ගැට ගැසී ඇත. ආර්ථික ජීවිතය හා සංස්කෘතික ජීවිතයේ අසම්බන්ධිත ලක්ෂණවලින් වූ දයලෙක්තික සබඳතාවන්වල ප්‍රතිඵලයන් උභතොකෝටික සහවාදයන් බවට නිර්මානය විම තුල සමාජයක් ලෙස අතරමං වීමක් සිදු වීම කර ඇත්තේ නිදහසින් පසු බල දේශපාලනයේ සිදු කළ විපාකයන් හේතුවෙනි.

සමාජ ක්‍රමයක් නැතිනම් ලෝක ක්‍රමයක් ලෙස බිහි වූ ධනවාදී ක්‍රමය, සමාජයේ ඓතිහාසික පරිණාමයේ විප්ලවීය අවධියක් වන විට, එය පහත් හෝ දෙවැනි වන්නේ මාක්ස්වාදී දර්ශනයෙන් පෙන්වා දෙන සමාජවාදයට හා කොමියුනිස්ට්වාදයට මිස වහල් වැඩවසම් සමාජ ක්‍රමවලට නොවේ. එහෙත් ලාංකීය සමාජය පැරැණි උරුමය නැවත කැඳවීම හා අතීත කාමය තුලින් පෙන්නුම් කරනුයේ සමාජ සංවර්ධනයේ ආපසු හැරීම ය. සාමාන්‍යෙයන්, අඩුවැඩි වශයෙන් සමාජ ඇගයුම් හා ධර්මතා ද, සදාචාරය හා නීති රීතින් ද, යුක්තිය හා සාධාරණත්වය යන්න වර්තමානයට වඩා අතීතයේ යහපත්ව පැවතුණේ යැයි කතා කිරීම, බඩු මිල ඉහල යැම පිළිබඳව කතා කරන තත්ත්වයට(අදට වඩා පාන් ගෙඩියේ මිල අඩුවීම) පත්ව තිබීමෙන් කියා පානුයේ සමාජ සංවර්ධනය යන්න වර්තමානයේ සිට අතීතයට ගමන් කරන්නක් බවය. ප්‍රායෝගික සමාජ ජීවිතය හා දේශපාලනික දෘෂ්ටිවාදයන් අතර විශාල හිදැසක් හා බෙදිමක් ඇත. මෙම තත්ත්වය නිසා ලංකා සමාජයේ දේශපාලනික හා දාර්ශනික ගැටලු ගණනාවක් පැන නැගී ඇති අතර මෙම ගැටලුම හේතු කොට ගෙන සාමාන්‍ය පුද්ගලයාගේ සිට රාජ්‍ය නායකයා දක්වාත්, වාමාංශිකයාගේ සිට විප්ලවවාදියා දක්වාත්, පවුලේ සිට කණ්ඩායම්, පක්ෂ දක්වාත් ඇති යථාර්ථය නම්, තමන් කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා කම සහ හිතාගෙන කරන දෙය හා සිදුවන දෙය යන්න දෙකක් වීමය. මෙම ගැටලු වල ඇති විශේෂතා අතර කැපී පෙනෙන ලක්ෂණ දේශපාලනික සන්දර්භයේ දී සලකා බැලීමේ දී හමු වන්නේ

1. පසුගාමී සමාජ ඇගයුම් හා පරමාදර්ශ, සුසමාදර්ශ ලෙස සමාජයට යළි පැමිණීම
2. සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ(යුරෝපයේ) ප්‍රජාතණ්ත්‍රවාදයේ  ඉල්ලීම් වීම
3. ධනවාදයේ යහ අංග සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් අධිරාජ්‍යවාදයේ බලහත්කාරකම් වෙත විස්ථාපනය වීම 

ඉහත ප්‍රවාදයන් එකිනෙක දෙස හැරී බැලීමේ දී, පරැණි සමාජයේ පැවැති අගයන් සෑම පාලකයකුම සුසමාදර්ශී වෙනසක් (දේශපාලනයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස)සඳහා යොදා ගනු ලැබීම කැපී පෙනෙන ලක්ෂණයකි. යටත් විජිත පාලකයින් ලාංකීය යටත් විජිත කොලනිය අතහැර ස්වදේශිකයන්ට බාර දීමේදී, දේශිය පාලකයන්ට පැවැති ගැටලුව වූයේ රට පාලනය ගෙන යා යුත්තේ කේසේද යන්නය. යටත් විජිත වාදය විසින් ඇති කරන ලද ධනේශ්වර ප්‍රගතිශීලි හරයන් සහිතව ඉදිරියට යෑම වෙනුවට නැවතත් පැරණි ක්‍රමයේ අංග ලක්ෂණ උත්තරාරෝපණය කරන්නට විය. මේ සඳහා   යටත් විජිත  පාලන කාලයේ බිහි වූ සිංහල බෞද්ධ මතවාදය හා යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයන් බලපෑමක් කරන්නට විය. සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට අමතරව යටත් විජිත සමයේ පැමිණි මාක්ස්වාදී මතවාදයන් තුලින් ද අධිරාජ්‍ය විරෝධී තහවුරුව සමඟ සමාජවාදී ආදර්ශයන්ගෙන් යුත් සමාජ ක්‍රමයක් පෙන්නුම් කළ ද භාවිතාව තුලදී ධනේශ්වර සංවර්ධනයේ අංගයන්වත් ලබා ගන්නවා වෙනුවට එම මත වාදයන් පවා උත්සුක වූයේ පැරණි ක්‍රමය සුසමාදර්ශයන් කර ගැනීමටය. සුළු ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා කළ අයුරු හා පශ්චාත් යටත් විජිත ධනේශ්වර පාලන ක්‍රමයන් සමග සභාග ගත වීමෙන් ඇති කළ වෙනස්කම් අවසානයේ අතීතයට ගමන්කරන්නට විය.

විශේෂයෙන් පණස්හයේ බණ්ඩාරණායක සභාගය යනු  පරණි සමාජ ඇගයුම් සුසමාදර්ශ ලෙස උත්තරාරෝපනය කිරීමකි. මෙම යුගය සමාජ ප්‍රගමනයේ රිවස් ගියරය ක්‍රියත්මක කළ අවධියක් වූ අතර, එම තර්කනයන් නිශේධ කිරීමට තරම් ප්‍රගාමී තත්තවයන් ඇති කිරීමට සමත් නව පාලන ක්‍රමයන් නොතිබීම තුල, ලංකා සමාජයේ බණ්ඩාරණායක දේශපාලනය අදටත් වලංගුවක් බවට පත් මතවාදයක් වී ඇත. මහින්ද රාජපක්ෂ පාලනය යනු ද ඊටත් වඩා දරුණු ඝණයේ අව පරිණාමයක් වෙත ගමන් කරන්නක් වන අතර එයට දිශාවක් පවා අහිමිව විනාශ කරමින් ගමනේ යන බුල්ඩෝසරයක් වැනිය. පශ්චාත් යටත් විජිත දේශපාලන සංස්කෘතිය ගසක කඳකට සම කළ හොත් පාලක පන්තීන් එහි වූ කඳ පණුවන්ය.මෙම පණුවන් අතරින් රාජපක්ෂ යනු විශාල කඳ පණු කුලකයකි. ඉතා වේගයෙන් මෙකී කඳ නමැති සමාජය කා දමමින් සිටින්නෙකි. තමන් තර වුවද කඳ විනාශයට පත්වන බවට හැඟීමක් නොමැත්තෝය.

දෙවැනි කරුණ වන්නා වූ සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් වීම යන්න අදටත් වලංගුවක් වී ඇත්තේ ලාංකික සමාජය එක් අතකින් ධනේශ්වර සමාජයක ඇති සංස්කෘතික අංග ලක්ෂණ අත්පත් කරගෙන නොමැති බැවිනි. අනෙක් අතට සමාජවාදය වශයෙන් අවිඥාණික බලාපොරොත්තුව වී ඇත්තේ බෞද්ධ සමාජවාදයක් හා බෞද්ධ මාකස්වාදයක් ය. එය හරි හෝ වැරදි හෝ යන්නට වඩා වැදගත් වන්නේ සමාජ සංවර්ධනය යන්න නිර්වචනය කර ගැනීමට නොහැකි වීමය. වමේ ව්‍යාපාරය සමාජවාදය වෙනුවෙන් කරන්නා වූ සටන් හා ඉල්ලීම් බටහිර විරෝධී, ධනේෂ්වර විරෝධී හැඩයක් ගන්නේ වුවද සමාජවාදය යන්න ධනේෂ්වර සංවර්ධනයේ ඉල්ලීම්ය. ඉන් එහා වූ දිගුවකට සටන් කිරීමට හැකියාවක් නොමැත්තේ සමාජ යථාර්ථය එය නොවන නිසාය. එනම් සමාජවාදය ද ලෝක ක්‍රමයක් නම්, අප සිටිනුයේ මාක්ස්ට වඩා ගව් ගණනක් පිටු පසිනි. මේ නිසා වම අදටත් යම් ආකාරයක අතරමංවීමක නොසිටින්නේද යන්න කල්පනා කළ යුත්තකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නීතිය හා යහ පාලනය යන්න ධනේෂ්වරයේ ඇති වූ ඓතිහාසික යහපත් අංගයන් ය. අනෙක් අතට සරළ අර්ථයෙන් ගත් කල වමේ ව්‍යාපාරයේ සටන් පාඨ යනු වෘත්තීය සමිති සටන් පාඨයන්ය. වැටුප් වැඩි කර ගැනීම, බඩු මිල අඩුකර ගැනිම හා සමාජයේ ප්‍රතිසංස්කරණයන් සඳහා වූ ඉල්ලිම් ය. වීප්ලවීය අර්ථයෙන් කරන්නා වූ හා කළ බොහෝ දෑ කේන්ද්‍ර වී ඇත්තේ ඒ වෙතය. ධනේෂ්වර රාජ්‍යයන් හා සැසඳීමේ දී, යටත් විජිත වාමාංශික දේශපාලනයේ සමාජවාදී ක්ෂිතඡය යන්න දියුණු ධනේෂ්වරයක ඇති ප්‍රජාතණ්ත්‍රීය ඇගයුම්ය. එහෙත් වැරදි සංකල්පයන් තුල පැටලීම නිසා, සමාජ සංවර්ධනය තුල අතරමංවීමක හිර වී ඇත. අනෙක් අතට ධනවාදී පාලක පන්තීන් යැයි චෝදනාවට ලක්ව ඇති සෑම පාලක පංතියකටම තම ධනේශ්වර උවමනාව ඉටු කිරීමට හැකි වූයේ නම්, ලංකාවේ වමේ ව්‍යාපාරයේ දිශානතිය වෙනස් වීමට ඉඩ ඇත. මේ නිසා වමට සිදුව ඇත්තේ ඉහත කී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් සඳහා සමාජවාදී නමින් අරගල කිරීමටය. මෙම සටන සැබෑ අවබෝධයකින් කරනු යේ නම්, එම බලාපොරොත්තුව පළමු අදියර ලෙස සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නොවනු ඇත. පැරණි වාමාංශික අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු නම්, රුසියාවම එයට පාඩම් පොතකි. ලෙනින්ගේ විප්ලවයෙන් පසු ලියවිලි ද ගුරුවරයෙකි. එසේම අද අප සිටින වකවානුව අතීතයට වඩා මුළුමනින්ම වෙනස් තත්ත්වයකි. එහෙත් ලංකාවේ වමේ අරගලය තවමත් නව මානයකට නිර්මාණය වීමක් දැකිය නොහැකිය.

මෙවැනි තත්ත්වයන්ට පත්වීමට හේතුවූයේ රටක් හා සමාජයක් ලෙස සංවර්ධනය ලෙසින් හඳුන්වන්නා වූ නියමාකාර ධනවාදය කැන්දා ගැනීමට නොහැකි වීමය. මහින්ද රාජපක්ෂ අද අත්කරගෙන ඇති ඉරණමේ ඓතිහාසික හේතුව එහිම දිගුවක් වන්නාසේම සමාජවාදය කතාකරන වමේ බොහෝ අයගේ වරදවා වටහා ගැනීමේ සමාජවාදය යනු ධනේශ්වර බලාපොරොත්තුම ය. එය පැහැදිලි වන්නට නම් බටහිර ධනවාදය ක්‍රියාත්මක වන හැටි හා ප්‍රජාතන්ත්‍රවාදයේ අංග ලක්ෂණ බුක්ති විඳිය යුතුය.මේ නිසාම වමේ ප්‍රමුක සටන් පාඨයක් වන ලිබරල් ධනවාදය යන්න සමාජයට ආගන්තුක වන්නේත්, පීඩනයට පත් මිනිසාට යථාර්ථයක් නොවන්නේත් එම නිසා ය. ලිබරල් ධනවාදය පිළිබඳ කථිකාව ලෝකය පුරා පුනර් උච්ඡාරණය කිරීම හා බොහෝ දේශපාලනික හා දාර්ශනික න්‍යායවේදීන්ගේ විවේචනයට හසු වූවකි. ලාභය වැඩි වශයෙන් සමුච්ඡගත කිරීමට නම්, ප්‍රාග්ධනයට නිදහසේ ගමන් කිරීමට ඉඩ සකසා දිය යුතුය. ආර්ථිකය නිදහස් කළ යුතුය. නිෂ්පාදන පරිභෝජනය වැඩි වැඩියෙන් කළ යුතුය. මෙම ආර්ථික ක්‍රියාවලිය තුල දී මිනිසාගේ සංස්කෘතික ජීවන විලාශය ද ඊට අනුව වෙනස් වන අතර,මිනිසා වෙළෙඳපල ක්‍රමය තුල නන්නත්තාරවීම හා පරිභොජනවාදයේ ගොදුරුවීම ධනේශ්වර ලෝක ක්‍රමයේම නරුම යථාර්ථයක් වී ඇත. පීඩිතයා ද එම සිහිනයේම ගිලී ගැලී ටෙලිවිෂනය ඉදිරිටයේ සිහින දැක, සිහින පවා නොමැති නින්දක වැටෙන්නේ පරිභෝජනවාදී සිතිවිල්ලේම ගිලෙමිනි. තමා උපයන ප්‍රමාණයට එහා සිහින සාක්ෂාත් කර ගැනීමේ හෙට දවස පතන තත්වයක් තුල වමේ ලිබරල් කථිකාව යනු භික්ෂුවක් ගිහියන්ට දෙසන බණක් හා සම වන්නේය. 

සමීර් අමින්ට අනුව ලිබරල් ධනවාදය   මූලිකවම පදනම් වන ප්‍රධාන මුලධර්ම හතක් පිළිබඳව විග්‍රහ කරන අතර එය සාරංශ ගත කළහොත් මෙසේය. 


1.      ආර්ථිකය පුද්ගලික අංශය මගින් පාලනය කිරීම හා නිදහස් තරඟයේ ඉල්ලිම් මත ක්‍රියාත්මක වීම

2.      ශ්‍රම වෙළෙඳපල නිදහස් කළ යුතුය.

3.      ඊනියා රාජ්‍ය සේවය පෞද්ගලිකකරණය කළ යුතුය.

4.      පොදු අවශ්‍යතාවන් අවම මට්ටම දක්වා අඩුකළ යුතුය

5.      ණය කළමණාකරණය කළ යුත්තේ පුද්ගලික අංශයේ උපකල්පනයන්ට අනුවය

6.      රාජ්‍ය අයවැය, ණය නොමැතිව තුලනය කළ යුතුය

7.      ගැටලුවෙහි ඇති මූලධර්ම හය ක්‍රියාවට නැගිය යුත්තේ ගෝලිය කරණය වු ලෝකයේ සියලු ජාතික මට්ටම්වලදි පමණක් නොව කලාපිය හා ගෝලීයව ජාත්‍යන්තර සම්බන්ධතාවලට අනුවය.
 
ලාංකික සන්දර්භය තුලදී වමේ භාවිතාව සඳහා වඩාත් ව්යවහාරික ලෙස ලිබරල් ධනවාදය සමාජයට ආදේශ කිරීමෙන් අත් විය හැකි හා පැනිය හැකි පිමි කුමක් දැයි කල්පනා කළ යුත්තක්ම වන අතර ඊට අවැසි කාලය පමිණ ඇත්දැයි , ලිබරල් ධනවාදය යන්න එක් අතකින් පමණක් හමන සුළඟක් දැයි ද අවබෝධ විය යුතුය.


ධනවාදය න්‍යායක් ලෙස ලෝක ක්‍රමයක් වුවත්, සමාජ සැකසුම්වල, ඊට අනන්‍ය ලක්ෂණ නිසා වෙනස් මාදිලියක හැඩය ගන්නා අතර ලාංකීය සමාජයට ද එය පොදු කාරණයක්ව ඇත. අදහස් කරන්නා වූ සංකල්පිය ධනේෂ්වර හැඩය ප්‍රායෝගිකව සමාජය තුල නොමැති තැන, සමාජය මත  නියම ධනේශ්වර විරෝධී සටන් පාඨ එවැනි සමාජයන්ට විකාරයක් වන්නේය. ඒ සඳහා ඇති ලඟම නිදසුන නම්, ලිබරල් ධනවාදය පිළිබඳ කරන උච්චාරණයන් ය. ගෝත්‍රික හා අඩු වැඩි වශයෙන් වැඩවසම් ගති ලක්ෂණ ද ධනේශ්වර ආකෘතික හැඩය පෙන්නුම් කරන පාලනයකට, භාහිරින් එකතුවන ධනේශ්වර අංගයන් සඳහා විරෝධතාව ලෙස ලිබරල් ධනවාදය හතුරා කර ගැනීම හා එයට එරෙහි වීම තම ජයග්‍රහණය සඳහා වන පලිහ කරගන්නා විට, ධනේෂ්වර ගති ලක්ෂණයන්ට වඩා නරක පසුගාමි ගති පෙන්නුම් කරන යථාර්ථය මඟ හැර දේශපාලනය කිරීම යනු කරන්නේ කුමක් ද යන්න වටහා නොගැනීම විකල්ප දේශපාලයේ උපාය උපක්‍රමික ගැටලුව වේ. මහින්දගේ පැරණි ගෝත්‍රික සමාජ භාවිතාවේ නපුර හා එයින් වෙන සමාජ හානිය ප්‍රශ්න නොකර, එය ජනතාවට වටහා නොදී, මහින්ද ලිබරල් ධනවාදයේ සිංහල බෞද්ධ ඒජන්තයා යැයි කී කල, එය ජනතාවට පමණක් නොව මහින්දගේ උපදේශෙකයන්ට ද නොතේරෙන්නකි. මහින්ද ධනේශ්වර පාලකයෙකු නම්, යුද්ධයෙන් පසුව සමාජ ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබීම, ධනේශ්වරයේ සුවිශේෂි ලක්ෂණයක් විය යුතුය.  එහෙත් ඔහුට එය කළ නොහැකි වන්නේ ධනේශ්වර ක්‍රමයේ ඇති දුබල කම නිසා නොව, පශ්චාත් යටත් විජිත දේශපාලනයේ දෘෂ්ටිවාදී නරකතම දිගුවක ඇති ප්‍රතිඵලය නිසාය. බලයේ රැඳී සිටීම සඳහා තමා සතු බලයෙන් තමා කැමැති දෙයක් කිරීම යනු ඉතා පැරැණි බාල ක්‍රමවේදයක් වන අතර ඒ හේතුවෙන් තමාට අත්වන ඉරණම පිළිබඳව ශාස්තර කියන්නෙකුට හෝ ප්‍රවීන දේශපාලන විද්‍යාඥයින්ට පවා සූත්‍ර ගත කළ නොහැකි වන්නේ, ඔහුට ප්‍රතිපක්ෂ පාර්ශවයන් ද කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා නිසාය.

ලිබරල් ධනවාදයට විරුද්ධ ව කරන අරගලයේ විකල්ප විසඳුම සමාජවාදය නම් ඊට නියමිත සමාජිය හැඩයක් හා න්‍යායක් ඇත. එහෙත් දේශපාලන අරගලය පශ්චාත් යටත් විජිත ඉතිහාසය පුරාම රාජ්‍ය සමග බද්ධවූයේ රාජ්‍යෙය්  ප්‍රතිසංසකරණ සඳහාය. අනෙක් අතට සුභසාධනවාදය හා රාජ්‍ය ධනවාදය සඳහාය. පවතින පාලන පංතීන් අතර හුදු සටන් පාඨ අරගල දියත් වුවද යථාර්ථයක් ලෙස ධනවාදී ආර්ථිකය ඊට අවැසි දේ කරගන්නා අතර, බොහෝ විට පමා වී හෝ සාක්ෂාත් කරගන්නේය. මේ නිසා සමාජ විප්ලවයකට සූදානම්වන වමකට තෝරාගත යුතු සටන් පාඨ යථාර්ථවාදී වීම සිදුවිය යුතු අතරම, ලංකාව වැනි රටකට ලිබරල් ධනවාදය හෝ අධිරාජ්‍යවාදය තවදුරටත් වලංගු සටන් පාඨ නොවනු ඇත.

පණස්ගණන්වලදී අතර මැදි පංතියකයට මාරු වූ බලය අදවන විට පාදඩ කල්ලියක් දක්වා මාරු වී ඇති අතර එය සිදු වූයේ ධනවාදය හෝ අධිරාජ්‍යවාදය නිසා නොව ජාතිවාදය මුසු වූ අතීතකාමී චින්තනය නිසාය. මේ යුගයේ නූතන ලාංකික සටන් අතර ප්‍රමුක විය යුත්තේ ඵලයේ හේතුවට ප්‍රතිකර්ම සොයමින් නව පන්නයේ ප්‍රතිපත්ති සහිත නව මිනිසුන්ගේ ක්‍රියාන්විතයකි.

මහින්ද රාජපක්ෂ පාලනය යනු  ද දිශාවකින් තොරව තමන් විසින්ම කුණු කර ගනිමින් හා කුණු වෙමින් යන එහෙත් තමන් දන්නා එහෙත් නොදන්නා දේශපාලනයකි. මහින්ද රාජපක්ෂ විවිධ මාදිලියේ උප්පරවැට්ටීන් යොදමින්, කුමන ආකාරයේ විජ්ජා පෑවද ඔහු හා ඔහුගේ බලකාමය ගමන් කරනුයේද දිශාවක් නැති දිශාවකටය. නීතියේ ආධිපත්‍ය හිතුවක්කාර ලෙස සෙල්ලමකට ගෙන වික්‍රමයන් පෑවද ඔහුගේ පරාජයේ හතර රියන දිනෙන් දින ලඟාකරගනිමින් සිටින්නේය. එහෙත් එම පිරිහීමට සාපේක්ෂකව සමාජය ද අනෙක් දේශපාලන බලවේග ද පිරිහී ඇති යථාර්ථයක් තුල, රාජපක්ෂ පාලනයේ අවසානය නිර්ණය කිරීමට තරම් සමාජ දයලෙක්තිකය විශ්වසනීය තත්ත්වයක නොමැත. අනෙක් අතට රාජපක්ෂ පාලනයට අවශ්‍ය කරන පසුබිම එක්වරම අහසින් කඩා වැටුණක් නොවූ අතර, එය මේ මොහොත වන විට එහි ඓතිහාසික  ගමනේම භයානක දිගුවක් බවට පත්ව ඇත.

මේ නිසා ලංකා දේශපාලනය තුලට ලෝක දේශපාලන ආදාර්ශන් ආදේශ කිරීම හෝ අතීතයේ සිදු වූ පරිදි සිදු වීම හෝ දෛවය අනුව සිදු වීම හෝ සිදුවන්නට ඉඩක් තිබේද යන්න සැක සහිත ය. පශ්චාත් යටත් විජිත දේශපාලන ඉතිහාසය  යනු වරින් වර ඉස්සරහට පස්සට ගියර් දමමින් සික්සැක් ධාවනයක නිරත වූ සමාජයක් යැයි කීම සම්පූර්ණ කිරීමට එක් එක් පාලන අවදි පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. මේ නිසා ලංකාව වැඩවසම් හෝ ගෝත්‍රික හෝ ධනවාදී හෝ වශයෙන් වෙන් කළ හැකි රාජ්‍යයක් නොව, වැඩි වශයෙන් ධනේශවර ආකෘතියක් ඇති සංස්කාතික වශයෙන් සෑම අංගයක්ම ඇති ඔම්ලට් ධනවාදයකි. ප්‍රාග්ධනයට ගමන් කිරීම පිණිස යටිතලය ඉදි කළ ද ප්‍රාග්ධනයට අවශ්‍ය සංස්කෘතිය හා ශික්ෂ්ණය නොමැති වීම  තුල එම ප්‍රාග්ධනයේ ගමන් මග සංකීර්ණ වන අතර ධනවාදය සමාජ ක්‍රමයක් යන යථාර්ථය තුල ලාංකික සන්දර්භයට  අනුව ඊට අනුගත වන ධනවාදයක් බිහිවීම වලක්වනු නොහැකි අතර, එවිට වමේ සමාජවාදී ඉල්ලීම යනු  සම්භාව්‍ය ධනවාදයේ සංවර්ධනාත්මක ඉල්ලිම්ය. ඒ අනුව ඔම්ලට් ධනවාදයේ ඒජන්තයන් වන්නේ ජාතිවාදය කරපින්නාගත් දෘෂ්ටිවාදීන් හා දේශපාලන ක්‍රියාකාරීන්ය. මහින්ද රාජපක්ෂ වටා සිටින්නන් හා ඊනියා අධිරාජ්‍යවිරෝධී ගෝශා නඟන විමල්, චම්පික, ටිල්වින්, දඹර අමිල වැනි ලවුඩ්ස් ස්පීකර්ය. 

මේ නිසා පශ්චිත් යටත් විජිත ඔම්ලට් ධනවාදයේ නියම පිළිබිඹුව වන්නේ මහින්ද චින්තන දේශපාලනයයි. චින්තයක් නොතිබුණු පුද්ගලයකුට, චින්තකයන්ට පවා නිගා කොට ලේඛණ ගත කළ ලියැවිල්ල යනු ඕනෑම අදහසක් තමාගේ බලය තහවුරු කිරීමට හෝ වාසියක් අත් කිරීමට ඉඟියක් සපයන්නේ නම් එය මහින්ද චින්තනය වන අතර ඒ තුල, කොමියුනිස්ට්වාදීන්ට, සම සමාජ සමාජවාදීන්ට, ජාතික හා ජාතිවාදීන්ට, විප්ලව වාදීන්ට, ලිබරල් වාදීන්ට හා එකී නොකී ඕනෑම සතුරෙකුට පවා නියෝජනය කළ හැකි  යැයි පෙන්නුම් කරන චින්තන ක්‍රමයකි. එහෙත් එහි යථාර්ථය නම් තෝන් ලබා දිය යුතු බූරු පිටියකි. කප්පම ලබා දෙන්නේ නම් ඔනෑම අයෙකුට සෙල්ලම් කළ හැකිය. බණ්ඩාරණායක විසින් ආරම්භ කරන ලද මෙම සංකල්පය එහි වර්ධනයේ උපරිමය බවට  රාජපක්ෂ අභිෂේක ලබන්නට විය. නිදහසින් පසුව ලංකා සමාජයේ ගමන් මග සාපේක්ෂ අර්ථයෙන් හෝ නිවැරදි කර ගැනීමට නොහැකි තැන, නිර්මාණය වූ මෙම ඔම්ලට් තත්ත්වය ලෝකය හා ලෝක අගයන් හා ධර්මතාවලට අනුව නම් විකෘති හැඩයකි. මෙම විකෘතිය ප්‍රකෘති කිරීමේ නව විකල්ප දේශපාන භාවිතාව සමාජගත කිරීම, යුගයේ විප්ලවීය අවැසිකමකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon