Diaspora Diary

Monday, March 23, 2015

Pleasant Pasan- A Poet's Departure

 Image result for pasan kodikara

If I am not wrong
He who is one of
After the collapse of
Soviet Union
You brought something to literature
“Perestroika”
Not you the last
But as if
A Sack of Russian literature
Legged behind with
Head of wisdom
To give Sinhala reader
Returned from Russia

Man who is called Pasan
Pleasant is Pasan
A son of Khayyam
Vision of life
A blend of Sartre and Nietzsche  
A lover of Romeo
Smoking Juliet
Greedy alcohol
Scanty meal
Signified life
Symbol of the simple

Sleepless big eyes
Keep up tiredness
Sharp less smile
Kids may scare


Body you left out
Works your saved
Duty of a man
You did it and gone

By the “Zero”
We have to begin
Something there
To be changed

Even though it is Zero
A value is in it
You would convince
Empting the glass

Empting the world
You have gone
Placing a word
To the nihilist world
(a tribute-  to the name of the friend -  Pasan Kodikara)

Udaya R. Tennakoon





Sunday, December 28, 2014

මම ද ඔබ ද ඔවුන් ද


මම තරම් ඔබද
ඔබ තරම් මම ද
දරාගෙන අපි අපේ මතවාද
ගල්වගේ ඉඳිමු

මට ඔබගේ ද
ඔබට මගේ ද
ඇති අයිතියේ කොටස
ඉවසන්න බැරි හැටි
හිත රිදෙයි
කෝපය ඇවිස්සී
යකා නටයි
ඒ අපිට
වේදනාවක් ඇති නිසයි

දයලෙක්තිකය ගැන
අපි අපිම කතා කෙරුවට
දයලෙක්තික අපට
ඉවසීමේ කාලයක් නැත
මම මිසක අනෙකා වැරදිය

කතුරකින් කපන
පීත්ත පටියක් වගේ
සබඳකම් කැපුවහම
වාවන්නෙ නැත
මගේ නම් හද
ඔබේ හද ද
එසේ යැයි හිතුවොත් වැරදිද

එහෙම වෙන කොට
හිත රිදෙන කොට
ආ මග නතර කොට
අපි අපේ වෙන වැඩ කරන කොට

හරිම හරි සතුටෙන්
ඔබෙත් මගෙත් ඔවුන්ගෙත්
හැමෝගෙම මිතුරෙක්
ඔබේ අත ගෙන සිප
තරාදියකට දමා ඔබ
කිරයි බරයි කියමින්

බැලුම් පුම්බා පාට පාටට
අහසට අරිමින්
ඔබත් මමත් ඔවුනුත් රවට්ටා
දෙකයි පණහේ වාසියට
ඕනැම අතකට හැරී
පස්ස පෙන්නයි
මට
ඔබට
ඔවුන්ට

මම ඔබ
අපි තනි මිනිසුන්ය
කම් නැත
අපට කළ කැත වැඩ

ඔවුන් යනු අප නොවන
උතුම් ලොව
මෙලොව තව නැති
හදන්නට වෙහෙසෙන
ඔවුන්ය
ඈත හිටින හඳ තරුවල ද
අම්මා මුත්තාගේ ද
ඇස්වල කෙස් ගස් දකින
ශත දෙකේ වාසියට
කැත වැඩ නොපෙනෙන
කැත වැඩ කිරන්නේ
මනින්නේ
වාසියේ තුලාවෙනි

එයයි පොලිටික්ස්
දහම කොමිනිස්
අන්ධ නොමිනිස්
පව් නැද්ද ජේමිස්

කට පුරා ලොකුවට
සහෝදරයා කියා
මිදි යුෂ වෛරයේ
බඳුනක හළා
ඔවුන්ගේ රශ්මිය ද
හීනියට ඔතා
යාළුවගේ සූත්තිය
යයි ඉහල දුම් වළලු තියා
තිරයට මුවා වී
අතීතය
ඔබේ ද මගේද
පවා දෙන හැටි
අපි බලමු
අපි අපේ දෑ අපි ලඟ තියාන

මම ද‍
ඔබද ඔවුන් ද
අපි නොවන
අපි නොදත්
පීඩිතයන් ගැන හරිම ආදරෙන් කල්පයක් කතාකරමු
මිත්‍රයින්ට ඔය වගේ
හැමදාම මම නම් රැවටෙමි
ඔබත් එහෙමැයි මට සිතේ

උදය ආර්. තෙන්නකෝන්




Thursday, December 25, 2014

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත  කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ලාංකීය ගතිකත්වය ලංකාවටම ආවේනික නිසාවෙනි. 
පවත්නා දේශපාලන සමාජ චලනයට අනුව හා එහි රඟ දැක්වෙන ජවනිකාවන්ට අනුව අධිනිෂ්චිත දයලෙක්තිකය තේරුම් ගෙන ඇති මහ මොළ කරුවා වන්නේ චම්පික -රතන  හෙළ උරුමයයි. උපාය හා උපක්‍රම අතින් ද, නුවනක්කාරකම අතින් ද පරිණත බවක් පෙන්නුම් කරමින් ජාතිවාදී දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට විපරිවර්තනය කර ගනිමින් හීන් සීරුවේ සිය දිශාව දයලෙක්තිකව මෙහෙයවීමේ දේශපාලනික ඥාණය පෙන්නුම් කිරීම මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර  ඔවුන්ව ඔවුන්ටම සාපේක්ෂක අර්ථයෙන් සැසඳීමේ දී ප්‍රතිගාමිත්වයේ සිට ප්‍රගතිශීලී හැඩයකට වෙස්මාරු කිරීමක් ලෙස සඳහන් කළොත් නිවැරදිය. අනාගතයේ දී ලංකාවට නායකත්වය දිය හැකි ජාතිකවාදී නායකයා චම්පික වීමට ජන මනස පරිවර්තනය වීම සාධාරණය වීමට ඇති එකම වැදගත් කාරණය වන්නේ මහින්ද රාජ පක්ෂ පරාජය කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් අධිනිෂ්චිත මොහොතේ නාඩිය චම්පික- රතන හඳුනා ගැනීමින් අල්ලා ගැනීමය.
මෙම මැතිවරණ සටනින් මහින්ද නැවත ජයගත්ත ද චම්පිකගේ දේශපාලනය ඉදිරියට පවතින්නට ඉඩකඩ ඇති අතර ජාතිවාදයෙන් ඔබ්බට ගොසින් ජාතිකවාදයට විතැන්ව දෙමළ ජනයාගේ ගැටලුව දෙස පැවැති ස්ථාවරයට වෙනස් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ගෙන ගිය හොත්, අනාගත දේශපාලන සිතියම සිනාරියෝ ගත වීමට නියමිතව ඇත්තේ චම්පික වටාය. ඔහු මෑත පරපුරේ තරුණ දේශපාලනඥයයෙකු ලෙස අන් හැමටම වඩා පරිණත හා විචක්ෂණබවත් පෙන්නුම් කරමින් ලංකා සමාජය තේරුම් ගෙන ඇති චරිතයකි. එය එසේ වීමේ දී, එවැනිම අරමුණක දිශාගත වන  ජවිපෙට,  ඇති ප්‍රබල ප්‍රතිවිරෝදී සටන ඇත්තේ රනිල් හෝ මහින්ද නොව මෛත්‍රී සංධානය අතරෙන් ඇතිවන මෙම බලවේගයන් සමඟය‍. අනෙක් අය ගැන ද කිව යුත්තේ එයමය.
අනෙක් අතට දමිල ජනයාගේ ගැටළුව අරභයා චම්පිකලාගේ ආස්ථානය අනෙක් වාමාංශික පක්ෂ වන ජවිපය හෝ පෙසපෙන් වෙනස් වන තැන එතරම්ම පැහැදිලි නැති නිසා ලංකා දේශපාලනය තවමත් කැරකෙන්නේ ජාතිවාදය හා ජාතිකවාදය අතරය. ජාතිවාදය හා ජාතිකවාදය අතර ඇති වෙනස ඉතා සියුම් වුවත් අවසානයේ දී ජාතිකවාදයද ජාතිවාදය වන්නේය. මේ බව ඉතා මැනවින් පැහැදිලි කරන කුඩා පොතක් වන ජාතිභේදවාදය හා ඉන්දීය ඉතිහාසය ලිවීම තුල රොමිලා තපාර්, හර්බන්ස් මුඛියා හා බිපාන් චන්ද්‍රා යන ඉතිහාඥයින් තිදෙනා පැහැදිලි කරති. මේ නිසා කුමන මාක්ස්වාදී න්‍යායන්ගෙන් හා ලිබරල් ධනවාදී විවේචනයන්ගෙන් රොටිය පුච්චන්නට හැදුවත්, ජාතිකවාදය මුසු වූ පිටි ගුලිය එකක්මය. ඒ අනුව ගත්විට දේශපාලනයේ ඉදිරිගාමී පියවර තබා ඇති තුන්වැනි බලවේගයේ ප්‍රමුකයා වන්නේ ජාතික හෙළ උරුමයයි එය මීට පෙර පෙන්නුම් කළ ද රාජපක්ෂ පවුල් පාලනය තුල දිය වෙමින් යන්නට නියමිත මොහොතේ දී ඔවුන් එය හඳුනා ගත්තකි. මහින්දගෙන් වෙන් වී විපක්ෂය හා  සන්ධානගත වීම හා එහි බල ව්‍යුහයන්ට එකතුවීම පිළිබඳ ජවිපෙට තරම් සදාචාරාත්මක හේතු නොමැති නිසා දේශපාලනික චලනයන්වලදී නිදහස්ව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතිකම ඔවුන්ට ඇති එක වාසියකි. ඔවුන්ට ගැටලුවක් නැති තැන ගැටලුව ඇතිවිය හැක්කේ ඔවුන්ට ගැටලුවක් සේ හැඟෙන්නට ගන්නවුන්ටය. එම තත්ත්වය මෙම පොදු අපේක්ෂක සංධානයේ යම් කොටස්වලට දැනුනේ වුව ද, සරළව තේරුම් ගන්නට ඇත්තේ මෛත්‍රී සංධානය යනු ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියා කැපීම වැනි දේශපාලනික උපක්‍රමයකි. එසේ නැතිව මෙකී පොදු සංධානය විෂ්ලේෂණය කිරීමට විශේෂ රසායනාගාර අවශ්‍ය නැත. ශුද්ධවන්තයින් කවුරුදැයි හාරා ඇවිස්සිය යුතු නැත. ප්‍රතිපත්තිද පිළිබඳ විශ්වාසය තැබිය යුතු ද නැත. එය වෛශ්‍යාවන්ගෙන් පතිවත බලාපොරොත්තුවන්නාක් වැන්නකි.නමුත් ඉතා වැදගත්ම පියවර මහින්ද පරාජය කිරීමය.
පොදු විපක්ෂයේ සෙසු පාර්ශව වලට ශක්තිමත් දෘෂ්ටිවාදයක් නොමැති නිසා මෙම කුඩා කෙටි කාලය තුල දී පවා ඔවුන් සිය හැකියාව ප්‍රකට කරමින් කියන්නේ එයමය. එහෙත් ඔවුන්ව පරාජය කිරීමට මහින්දව දිනවීම හෝ ඊට වක්‍රව සහාය දීම දේශපාලනිකව අවස්ථාවාදී ප්‍රතිගාමිත්වයකි. ඒ වෙනුවට කළ හැකි වන්නේ විවෘතව ඇති අවකාශයට ඇතුලු වීමය.
ජවිපේ-
මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපය  විසින් පියවරක් ඉදිරියට ගෙන ඇතැත් තමන්ටම පරාවළල්ලක් වූ අතීත අගතීන්ගෙන් කම්පනයට පත්කොට විචිකිච්ඡාවකට පත්ව ඇත. ඒ අනුව ජවිපේ මෙම මැතිවරණයේ දී මහින්ද ට විරුද්ධව ප්‍රබල සටනක කියැලුණ ද ඔවුන් දේශපාලන පක්ෂයකට වඩා සිවිල් සංවිධානයක් ලෙස ක්‍රියා කිරීම පෙන්නුම් කරයි.
ඒ අනුව ජවිපෙ දේශපාලනික පක්ෂයක් ලෙස සිටිනුයේ හෙළ උරුමයට පිටු පසිනි. එය එසේ වන්නේ අධිනිෂ්චිත මොහොතේ අන්තර්ගත කොටස් කාරයෙක් නොවී, නැවතවරක් අනුන්ගේ ගිණුමකට මුදල් දැමීම සිදුකරමින් සිටිනු විනා තමන්ට සෘජු තීරණයකට පැමිණීමට නොහැකි දෘෂ්ටිවාදය විසින් හිරකිරීමය. මෙය මාක්ස්වාදී සාහ්ත්‍යෙය් ෆොයබා තීසිසය සිහි කරමින් කරන කොළොප්පමක් ද විය හැකිය. එහෙත් වරක් දෙවරක් නොව වාර ගණනක් සිදු කර ඇති නිසා මෙම අවස්ථාවේ පිටත සිටීම කිහිප ආකාරයකින්ම ජවිපේට දේශපාලනිකව අවාසි ගෙන දිය හැකි අතර එය ඛේචවාචකයක් මෙන්ම විගඩමක් ද වන්නේය. මන්ද ඔවුන් බලාපොරොත්තුවන හැරවුම කිරීමට අවශ්‍ය විස්වාසය පිටත සිට නොලැබීමය. මේ නිසා ඔවුන් අවසාන මොහොතේ හෝ  කළ යුතු හා ගත යුතු තීන්දුව වන්නේ ඇතුලට ගොස් “ඇත- නැත,, කොටස් කරුවෙකු වීමෙන් සිය දේශපාලන ඉදිරියට මුහුණ දීම මිසක සමාජ අධිනිෂ්චිතයේ අනු පූරක කුලකයක් නොවීමය. අනෙක් අතට දූෂණයෙන් තොර යහපාලනය සම්බන්ධයෙන් ඉතා අවංකබවක් පෙන්නුම් කරන ජවිපයට ලැබෙන වලංගුභාවය හෙළ උරුමයට වඩා එහාට ගෙන යා හැකි වන්නේ ඔවුන්ගේ බිම් මට්ටමේ දේශපාලනය තවමත් ශක්තිමක් නිසාය. කම්කරුවන් හා වැඩකරන ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණීය අයිතිවාසිකම් සඳහා ඇතුල සිට බලපෑමි කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස සඳහා සටන් කළ හැකි වනු ඇත. 
දැනටමත් සිය පාක්ෂික ඡන්ද දායකයා ඔවුන්ගේ ව්‍යංගාර්ථවත් කාව්‍ය වටහා ගෙන ඇති අතර ඔවුන් රාජපක්ෂට විරුද්ධව ඡන්දය භාවිතා කරන අතර එම ඡන්දය භාවිතවීම කිසිදු ලෙසකින් හෝ වමේ පොදු අපේක්ෂකයාට නොලැබෙනු ඇත. එසේම අරමුණ වන්නේ මහින්ද පරාජය කිරීම නම් එය එයට ප්‍රමාණාත්මක ඡන්ද ලැබීමට හැකියාවක් ඇත්තේ ඇතුලට යෑමෙන්ය. එය වනාහී සිය පාක්ෂික ඡන්ද නොව පාවෙන නැතිනම් අලුත් ඡන්දය. ඒ වගේම ජවිපේ අවසානයේ හෝ පොදු විපක්ෂයට ඇතුල් වීම සංකේතීයව මෙන්ම භාවිතාවෙන් ද ඉතා වැදගත් වන්නේ ඔවුන් බිම් මට්ටමේ ප්‍රචාරණයේ යෙදෙන ප්‍රධාන කණ්ඩියමක් නිසාය. මෛත්‍රී පෙරමුණ එය තේරුම් නොගත්තේ උවද ජවිපේ තේරුම් ගනිමින් ඇතුලට පැමිණ සිවිල් සමාජ කාර්යය කරන්නට හැකි නම්, පක්ෂයක් ලෙස අනාගතයේ සවිමත් වීමට හැකිවනු ඇත.
 එබැවින් මහින්ද පාරාජය කිරීමේ එක් ප්‍රබලයෙකු ලෙස පිටත සිටින ජවිපය ඇතුලට පැමිණීම මෙම අවස්ථාවේ දී අතීතයේ කළ දේට වඩා මුළුමනින්ම වෙනස් වන්නකි. සදාචාරාත්මකවද, තමන්ගේ දෑතේ ශක්තියෙන් බලය ලබාදුන් එම ඒකාධිපතියා තමන් විසින්ම පාරජය කර දී සමාජය නිදහස් කිරීම පැරණි පාපයෙන් ද ගැලවීමට හැකි වනු ඇත. දෙවැන්න මෛත්‍රී සංධානය පටන් ගත් ආකාරයේ අවංකකමක් පෙන්නුම් නොකරන බැවින්, ඒ සඳහා  බලපෑම් කිරීමට හා ජාතිකවාදී දේශපාලනයේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ඇතුලත සිටීමෙන් පමණි. තුන්වැන්න, එලියේ සිටීමෙන් යම් හෙයකින් රාජපක්ෂ නැවත බලයට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්දැයි ඇස්තමේන්තු කරගත යුතුය. හුස්ම ගැනීමට පවා ඉඩක් නොදෙන්නට මහජන මතය තමාට දී ඇති බව දැනටද සිතා සිටින රාජපක්ෂ පවුල ජවිපයට තනිව දේශපාලනය කිරීමට ඉඩක් නොතබනු ඇත. එවිට අනාගතයේදී නැවත එකතු වන්නට වන්නේ අද සිටින විපක්ෂය සමගමය. එම ඡන්ද දායකයා සමඟය. බොහෝවිට ඊටත් අඩු පිරිසක් සමගය. එසේම ජවිපේ ආස්ථානය ඔවුන්ගේ සම්මුතීන්ට අනුව හා බහුතර තීරණයක් වන්නේ නම් එය සාධාරණය වන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුය. ඒ අනුව මෙලෙස උපකල්පනය කළ හැකිය.
සන්ධාන ගත නොවී තනි පක්ෂයක් ලෙස දේශපාලන බලය ලබා ගැනීම.
මැතිවරණ දේශපාලන ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී නිදහසින් පසුව කාලයේ දේශපාලන පක්ෂ හා බලය ලබා ගැනීම දෙස බැලූ විට කැපීපෙනන ලකුණක් වන්නේ බහු පක්ෂ ක්‍රමයකට ලංකා දේශපාලනය ගමන් කිරීමය. කිසිදු පක්ෂයකට තනිව බහුතර ඡන්ද ලබා ගැනීමට නොහැකි සංයුතියකින් යුක්තවීම මගින් ලංකා දේශපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ අවස්ථාවන් විවර කරනු ඇත්තේ විවිධත්වය තුල සම්මුතිය යන මූලධර්මය භාවිතයට ගතහැකි ප්‍රතිපත්ති තුලින් ක්‍රියා කිරීමටය. මෙයින් එපිටට ගොසින් තනි පක්ෂයක් ලෙස ලංකා දේශපාලන බලය ලාබා ගන්නේ නම් එය කළ යුතු වන්නේ මැතිවරණ ක්‍රමයෙන් පිටතදීය. මහජන අරගලයකට නායකත්වය දීමෙන්ය. න්‍යායත්මකව එසේ කල්පනා කිරීම හා එසේ කිරීමට සූත්‍රගත කිරීමට සැලසුම් තිබෙන්නේ නමුත්, එයට පවා නායකත්වය දිය හැකි වන්නේ ජනතාව තුල විශ්වාසය දිනා ගැනීමට හැකිනම් පමණය. එසේම දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාවක් නම් පමණය. මන්ද ආර්ථික විද්‍යාවේදී සෙසු සාධක විචල්‍ය ලෙස සලකා අදාල සාධකය ගැන පමණක් ගණන් හැදීමය. එය මහින්ද රාජපක්ෂ පිළිබඳව 2005 දී ජවිපය හා එල්ටීටීය ගණන් හැදීම වැනිය. 2015 දී තවත් සමහරු ගණන් හැදීම වැනිය.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon


Wednesday, December 17, 2014

අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

 පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිණිසය. විශාල මර්ධනයකින් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත මරණයෙන් නැගිට දේශපාලනයේ නෛතිකභාවය ලබා ගැනීම පිණිස 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාවය. නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මල් බඳුන ලංඡනයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වී පසුව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ සහාය ද පොදු පෙරමුණු අපේක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට ලාබා දීමට තීන්දු වූ අවස්ථාවය. එම තීරණය එදා පැවැති දේශපාලන තත්ත්වයට හා නිදහසේ අවශ්‍යතාවයට අනුව වැරදි තීන්දුවක් ලෙස නොසැලකූ ජනයා පොදු පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරන්නට වූයේ එදා පැවැති දේශපාලනික තත්ත්වයෙන් ගැලවීමයට.   
ඉන් පසුව මගේ ඡන්දය කිසිවකුටත් නොලැබුනු අතර ලංකාවේ පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පැවැතියේ ද පවතින්නේ ද අවිශ්වාසයකි. මේ නිසා මෙරටේ දේශපාලන ක්‍රමය නව මාවතකට පැමිණිය යුතුය, නිර්මාණය කළ යුතුය යන විශ්වාසය එදත් අදත් එලෙසම පවතී.මහින්ද රාජපක්ෂගේ පළමු ජනාධිපතිවරණය වූ 2005 මැතිවරණයට පළ කළ විරෝධයේ සංකේතයක් ලෙස එදා අප විසින් හැකි ආකාරයට කොළඹ නගරයේ පෝසටර් ඇලවූයේ  කිසිවකුටත් ඡන්දය නොදෙන ලෙසයි. මෙම තිරණය එකල පැවැති වාතාවරණය හා දේශපාලන ආස්ථානයන් සසඳමින් යම් අයෙකුට කීමට හැකි වන්නේ  එම තීරණය එල්ටීටී අවශ්‍යතාවක් ඉටුකළා යන්න ය. මන්ද එම මැතිවරණයේ දී එල්ටීටීයේ ආස්ථානය වූයේ ද එයමය. අනෙක් අතට එය ස්වයං වින්දනයකි. ඉන් අනතුරුව මහින්ද- ෆොන්සේකා ජනාධිපතිවරණයේ දී ද මේ කිසිවකුට කිසිම සහයෝගයක් කිසිම ලෙසකින් ලාබා දීමට වචනයක් හෝ නොයොද වන්නට වගබලා ගන්නට වූයෙමි. නමුත් අවිඥාණිකව මහින්ද පරාජය වන්නේ නම් හොඳය යන ප්‍රාර්ථනාව පැවැතිණි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මෙම අවස්ථා දෙකේ දීම පෙනී සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ය. එනම් මහින්ද බලයට ගෙන ඒමට ප්‍රබල ලෙස දායකවීම හා සරත් ෆොන්සේකාව පොදු අපේක්ෂකයා කරමින් මහින්දට විරුද්ධව සටනේ ප්‍රධාන කසකාරයෙකු වීමය.  
දැන් නැවතත් ජනාධිපතිවරණයක් ඇත. ඡන්දය භාවිත නොකළ ද, ගත යුතු තීරණය කුමක් දැයි යන තීරණයට ඉහත අනුගමනය කළ ක්‍රියාමාර්ග මෙහිදී නිවැරදි ද යන්න සිතන්නට සිදුව ඇත. එනම් ඡන්දය වර්ජනය කිරීම හෝ මහින්දගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මෛත්‍රීපාලට සහයෝගය නොදීම කළ යුතුද යන්න ය. වාමාංශික දේශපාලනය හා ඒ මතවාදයේ මූලධාර්මික අර්ථයෙන් කල්පනා කරන්නේ නම්  පොදු අපේක්ෂක ජනාධිපති බලවේගය ද ඊට පිළිතුරක් නැත යන නිගමනයට බැසිය හැකිය. එයට සාධාරණ තර්කයන් ලෙස පෙනෙන්නට ඇත්තේ පොදු විපක්ෂය නියෝජනය කරන පාර්ශව සංයුතිය ශුද්ධ සංයුතියක් නොවන නිසාය. එසේම වම නියෝජනය කරන වමේ කණ්ඩායම්වලින් ද මෙම ඒකාධිපති රාජ්‍යය පරාජය කිරීමට  පිළිතුරක් නැත. එහෙත් දේශපාලනික වෙනසක් ඉතා බරපතල ලෙස අවශ්‍ය මොහොතක කළ යුත්තේ කුමක්ද හා කළ යුතු වන්නේ කුමක් ද යන්න උභතෝකෝටිකයක් වුවද ඒ සඳහා තුන්වැනි පිළිතුරක් විකල්ප පාර්ශවයෙන් තිබිය යුතුය යන අදහස පැන නගී. අනෙක් අතට පක්ෂ දේශපාලනයෙන් තොරව සිවිල් සමාජ අර්ථයෙන් ගත් විට විකල්ප අවකාශයක් මහින්ද පරාජය කිරීම තුල ඇත.
ගලේ කෙටූ සෙල් ලිපි පරිදි වාමාංශික අනන්‍යතාව හා ඒ තුලින් සහතික වන පැවැත්ම මත පදනම් ලෝක දැක්මට අනුව ගත හැකි තීරණයන් වන්නේ වමේ පොදු අපේක්ෂකයාට හෝ අනෙක් වාමාංශික අපේක්ෂකයන්ට සහයෝගය දීමය. නැතිනම්   නිහඬ පිළිවෙතත් අනුගමනය කිරීමය. නමුත්  දේශපාලනයේ දයලෙක්තිකය  අධිනිෂ්චිත වන්නේ පැරණි ආකාරයට නොවන නිසා,  මෙම අධිනිෂ්චිතයෙන් ගැලවිය නොහැකිය. මේ අනුව වාමාංශික අර්ථයෙන් වමේ නියෝජිතයෙකුට සහාය පල කිරීම හෝ නිහඬව සිටීම මගින් අනාගතයේ දී ශුද්ධවන්තයෙකු විය හැකිය. එහෙත් සමාජය වෙනස් වීමේ සමභාවිතාව අවමය. එය පුද්ගලවාදී හා අනන්‍යතා දේශපාලනයෙන් තම තමන්ට සාධාරණීයකරණය කර ගතහැකි වුවත් අධිනිෂ්චිත දයලෙක්තිකයට අනුව නිවැරදි ද නැතිනම් තිබෙන නිර්මාණාත්මක විකල්ය කුමක් දැයි කල්පනා කළ යුතුය.
නිර්මාණාත්මක විකල්ය යනු කුමක් ද
නිර්මාණාත්මක විකල්පය යන්න  “ ඇත- නැත ප්‍රවාදයෙන් හා ප්‍රතිවාදයෙන් බිහිවන පිළිතුර වන සහවාදයයි. මෙම ප්‍රවාදය සූත්‍රගත කරන්නේ නම් පහත ආකාරයට ද පැවැසිය හැකිය.
ඇත + නැත =  නැත
ගණිතයට අනුව (+ ) + (-) = -  (ධන + රින = රින)
නිර්මාණාත්මක විකල්පයට අනුව, ඇත + නැත = ඇත (අවකාශය)
මෙය වනාහී අධිනිෂ්චිත දයලෙක්තිකයයි. පැවතුණු යුද්ධයත්, යුද්ධයෙන් පසුව පවතින දේශපාලනය හා එහි සංස්කෘතියත් විසින් ලාංකාවේ දේශපාලනය කරන අයටත්, හිතන අයටත් උනන්දුවන අයටත් ඡන්ද දායකයාටත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාකර දී ඇති යුගය වන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයයි. මෙම කාලය වනාහී ප්‍රතිවිරෝධතා නන්නත්තාර කරන කාලයයි. එනම් නන්නත්තාර දයලෙක්තිකයයි. නන්නත්තාර දයලෙක්තිකය භෞතික දයලෙක්තිකයක් කර ගැනීමේ අධිනිෂ්චිත දයලෙක්තිකය බිහි වී ඇත්තේ ද මහින්ද පරාජය කිරීමේ දිශාව වෙතට මිස වෙනත් අපේක්ෂාවන් දෙසට නොවන බව මගේ වැටහීමයි. රාජපක්ෂව පරාජය කරමින් නිර්මාණාත්මක විකල්පය ගොඩනැගීමේ අවකාශය ඇත්තේ පවුල්වාදී මකරාගෙන් ගැලවීමෙන් පසුවය. උනුත් එකයි මුනුත් එකයි යන වැකිය වියුක්ත සංකල්පයක් වන අතර ලංකාවේ දේශපාලන යථාර්ථය සංයුක්ත කාරණාවක්ය. විනාශකාරී යුද්ධයකින් පසුව සාමය, නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සමෘධිය ඇතැයි පවසමින් ගෙන යන සෘජු වක්‍ර හා ව්‍යුහාත්මක මර්ධනය විසින්  සමාජය තුල ඉදිරිගාමී ප්‍රතිවිරෝදතාවන් හා වෙනස්කම් ඇතිවන්නට ඉඩ සැලසෙන්නේ නැති බවට ඇති නිදසුන් ඕන තරම්ය. කම්කරු අරගලවලදී රොෂේන් චානක ඝාතනය, ධීවර අරගයේ දී, ඇන්තනී ඝාතනය, ජල ප්‍රශ්නයේ දී රතුපස්වල ඝාතනය මෙන්ම සිරකරුවන්ගේ ප්‍රශ්නයකදී වැලිකඩ සිදුකළ ඝාතනද ශිෂ්‍ය අරගල ම්ලේච්ඡ ලෙස මර්ධනය කිරීම ඇතුලු සටන්කමී අරගල සඳහා කරනු ලබන මර්ධනයෙන් කියා සිටින්නේ සමාජ දයලෙක්තිකයකට ඉඩක් නැති බවය. එම චප්ප කිරීම් තුලින් කරනු ලබන්නේ මුලුමනින් හිඬකරවීමය. ජන අරගල මර්ධනය පමණක් නොව මිනිස් සමාජයක් ලෙස ශිෂ්ටසම්පන්නව ජීවත් වීමේ ජීවන විලාසිතාවන් වකුටු කර දමමින් ඔවුන්ගේ ක්‍රමයට සමාජයේ හර පද්ධතීන් විපරිවර්තනය කිරීම රාජපක්ෂ පාලනයේ ඇති භයානකම කාලකණ්කිභාවය නිසා රාජක්ෂ නැවතත් බලයට පැමිණීමේන් පසුව ලංකාවේ අරගලය කළ හැකි යැයි සිතන්නේ නම් එය ද මහා වැරදීමකි. ඔහුගේ තුන්වැනි වර පැමීණීම යනු වෙනත් මතයකට ඉඩ නොතැබීමය. යහපාලනය කරවනු ලබන්නෙ ගෝඨාභය මෑතක දී කී ආකරයට හමුදාව පොලීසිය විසිනි. එය අවබෝධ වන විට තවත් වසර ගණනක් මහලු වී දේශපාලනය ද මහළු වනු ඇත.
අනෙක් අතට විෂය මූලික හා මනෝ මූලික තත්ත්වයන්ට අනුව බල දේශපාලනයට හා ජනතා අභිලාෂයන්ට අනුව බැටිස්ටාව පරාජය කොට කියුබාවේ විප්ලවය කළ කස්ත්‍රෝ කෙනෙකුවත්, සාර් ආණ්ඩුවට එරෙහිව රුසියානු විප්ලවයට නායකත්වය දුන් ලෙනින් කෙනෙක් වත් ලංකාවේ නැත. එවැනි ජන පෙළගැස්මක්වත් නැත. එයට සරිලණ අනාගත හැඩයක සංඥාවන් ද ඇති වේ යැයි බලා පොරොත්තු විය හැකි පරිදි වමේ දේශපාලනය සිය නැඹුරුව පෙන්නුම් කරන්නේ ද නැත. එහෙත් බැටිස්ටා මාදිලියේ වියරු පාලකයෙක් ඇත. ඔහු කඳ පණුවෙක් මෙන් රට කමින් වැඩෙන්නේය. නමුදු ඔහුගේ බලයට අභියෝග කළ හැකි වාමාංශික බලවේග ද නැත. ඔහුගේ බලය වෙනස් කිරීමේ නව විකල්ප ක්‍රමයන් හා ජනතාවගේ එවැනි අභිලාෂයන් දැකිය නොහැකිය. එහෙත් ඉතා කෙටි කලක් තුල බලවේගයක් ලෙස පැමිණි පොදු අපේක්ෂක වැඩපිළිවෙල විසින් නම් කළ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන හා පොදු විපක්ෂයේ වැඩපිළිවෙලට ජනතාවගේ ආකර්ෂණයක් ඇති වී ඇත. ඡන්ද බලය මත පිහිටමින් ඒකාධිපති පාලනයට අභියෝග කළ හැකි ජන පෙළ ගැස්මක් ගොඩ නගමින් ගොඩ නැගී ඇති විපක්ෂ සංවිධානය විසින් දේශපාලනික ස්වසනය සඳහා අවස්ථාවක් ලබා දී ඇත. ගොඩ නැගෙන සංධානය ශුද්ධ සංධානයක් ද නොවුවත් එය පැරණි මාදිලිය නොවන්නේය. එය පසුගිය මැතිවරණයෙන් ෆොන්සේකා ජනාධිපති වීමට තිබුණු අවකාශය වැනි තත්ත්වයක් ද නොවන්නේය. එසේම එය ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් ද නොවන්නේ මෙම අවකාශය දේශපාලනය පිරි පහදු කර ගැනීමට ප්‍රතිසංස්කරණීය අවකාශයක් ඇති බැවිනි.
ප්‍රතිසංස්කරණය
මාක්ස්වාදී දේශපාලනයට අනුව ප්‍රතිසංස්කරණය යන්න ක්‍රමය (ධනේෂවර) පවත්වා ගැනීමට උදව් කරන්නකි. එය විප්ලවීය දේශපාලනයට පටහැනිය. එහි ඇති සත්‍යතාව වලංගු වන්නේ පවත්නා දේශපාලන අවකාශයේ ස්වභාවය අනුව මිස, සදා නිමකළ න්‍යායක් ලෙස නොවන බවට නිදර්ශන වාමාංශික ඉතිහාසයන් තුලින් ද ප්‍රකට කරති. අනෙක් අතට සමාජ පරිණාමය හා සමාජ දයලෙක්තිකය ගමන් ගන්නා අකාරය වටහා ගත යුතු ඓතිහාසික මං සළකුණු ලංකා ඉතිහාසයේ යම් යම් පරිඡ්චේද තුලින් ද පෙන්නුම් කරනු ලබයි. එය සංයුක්ත ලෙස වටහා ගැනීමට ලංකාවේ වාරි ශිෂ්ටාචාරය වෙතට හැරුණු විට පෙන්නුම් කරන ප්‍රධාන භෞතික සාධකය වන්නේ වාරි කර්මාන්තය නිර්මාණය කළ රජවරුන්, රාජ්‍ය පාලනයන්, හා එම කර්මාන්තය ප්‍රතිසංස්කරණය කළ රජවරුන්ය. සෑම පාලකයෙකුට, සෑම පාලන කාලයකටම වැව් බැඳි රජුන් වීමට නො හැකි වූ අතර සමහරුන් වැව් ප්‍රතිසංස්කරණය කළ වුන්ය. එය ඔවුන් සඳහා ඉතිහාසය විසින් ලාබාදුන් යථාරථය මිසක බලෙන් සිදු කළ හැකි කාර්යයක් නොවීය. එසේම රාජධානි රජරටින් පොළොන්නරුවටත් ඉන් අනතුරුව නිරිත දිගටත් විතැන් වූයේ ද බලහත්කාරය විසින් නොව ඇති කළ සමාජ දේශපාලන හේතු නිසාය. මෙම චක්‍රය ඊනියා නිදහසින් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය හා සංසඳනයේ දී ද පෙන්නුම් කරන්නේ එවැන්නකි. ලෝක ඉතිහාසයට ගිය ද හැම කාලයක්ම එකම ඉතිහාසයක් නොතිබිණි. අඳුරු යුග පැවැතියේ ප්‍රතිසංස්කරණයන් මුල්කර ගනිමින්ය. ගැබ් ගැනීමක් නැතිව විලි රුදාවෙන් කෑ ගැසූ පමණින් දරු ප්‍රසූතියක් වන්නේ ද නැත. ගැබ් ගත්ත ද අඩු කාලයෙන් ප්‍රසූත වන්නේ ද නැත. සමාජවාදී අර්ථයෙන් ලංකාව තුල ද ඉන් පිටතද සමාජ දීශාව ඒ වෙතට හැරී නැති බව පිළිගත යුතු යථාර්ථයක් වන්නේ සේම සමාජයට යුක්තිය සාධාරණත්වය හා සමානත්වය සාපේක්ෂකව දියුණු ධනේෂ්වර පාලන ක්‍රමයන්ගෙන් ලැබුණ ද ගෝත්‍රික ම්ලේච්ඡයන්ගේ කිසිසේත් නොලැබෙන බව ඊටත් වඩා යථාර්ථයකි. එහෙත් එවැනි  ශුද්ධ වූ මගකට අවතීර්ණය වීමේ සිහින සඳහා ද මෙම ධනේෂවර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කුසගින්න මෙන්ම වැදගත්ය. එනිසා මහින්ද පරාජය කිරීම යනු එක් අතකින් නිදහස සඳහා අරගලයක් වන අතර අනෙක් අතට ශිෂ්ටත්වය සඳහා ද වන අරගලයකි.මේ නිසා අද ඇති වී ඇති චලනය යනු බලහත්කාරයක් නොව බලහත්කාරී බල උන්මාදයකට එරෙහිව පැන නැගී ඇති සමාජ දේශපාලනික උවමනාවකි.
මෙවැනි තත්වයක් යටතේ වුව ද වාමාංශික දේශපාලනයට ඉන් ඉවත්ව දේශපාලනය කළ හැකිය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රීය අයිතිය ද ඇත. එහෙත් මෙම ප්‍රධාන දහරාවෙන් ඉවත්ව කරන දේශපාලනයේ අභිමතාර්ථය කුමක් ද යන ගැටලුවට ඇති පිළිතුරු කුමක් දැයි අවබෝධ කර ගත යුතුය. මගේ වැටහීමට අනුව නම්, එහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ අනාගතය පිළිබඳව ඇති උපන්‍යාසයයි.
එනම් “අනාගතයේ දී අපි බලයට පැමිණීමට නම් ක්‍රියා කළ යුත්තේ මෙලෙස ය,, යන්නය.
වමේ ආස්ථානයෙන් මාක්ස්වාදයට අනුව එය නිවැරදි ද. පක්ෂයක ප්‍රතිපත්ති හා බහුතර තීරණයන්ට අනුව එය නිවැරදිද යන්න තර්ක හා න්‍යායට වඩා භාවිතාව වෙත හැරී බැලිය යුතුය. අනෙක් අතට දේශපාලනය යනු ජනයාගෙන් වියුක්ත ක්‍රියාවලියක් නොවන බැවින් වම හමුවේ ඇති අභියෝගය වන්නේ පාට පක්ෂවලට බෙදී ඇති ජනයාගේ සහාය දිනා ගැනීමය. එය වියුක්තව සිටීමෙන් නොලැබෙන අතරම පාලකයන් බෙදා දක්වන ආකාරයට ජනතාවද එයට ගාල් කිරීමෙන් ජය ගත නොහැකිය. කෝටි දෙකක පමණ ජනගහනයෙන් සියයට අසූවක අනූවක පීඩිත ජනයාගේ පාලනයක් සඳහා වෙහෙසෙන්නට මෙම ජනයා දිනාගත හැකි වන්නේ කෙසේ ද, මතවාදය හා දැනුම තුලින් ජන විඥ්ඥාණය වෙනස් කිරීම අරමුණු කරගන්නේ නම්, මෙවර මැතිවරණයට වෙන්ව තරඟ වැදීමෙන් එය කළ හැකි වේද නැතිනම් එක්ව තරඟ කිරීමෙන් සිය අනන්‍යතාව මත පිහිටා ලැබී ඇති අවකාශයත්, ඇති වී ඇති අධිනිෂ්චිත මොහොත යන දෙක තුලින් ඉදිරියට ගමන් කිරීම දේශපාලනිකව ඇති සමාජ වාසිය කුමක් දැයි සිතිය යුතුය.
වාමාංශික ආස්ථානයේ සිට මාක්ස්වාදය යන්න කුමක්දැයි යන පැනයට ඇති පිළිතුර වන්නේ මාක්ස්වාදය යනු ඓතිහාසික භෞතිකවාදයයි. එනම් දයලෙක්තික භෞතිකවාදයයි. එය වනාහී මනෝරාජික කතන්දරයක් නොව පවත්නා තත්වයත් ඓතිහාසික තත්ත්වයන් ද අනුව සමාජයේ ඇති වන චලනය තේරුම් ගැනීමයි. සමාජ දයලෙක්තිකයේ පෙරටුගාමී පදනම් වන්නේ වියුක්ත තත්ත්වයන් තුල නොවන අතර එයට පාට පක්ෂ හා පුද්ගලයින් බලපානු ලබන්නේ මහා ආඛ්‍යානවල දෘෂ්ටිවාදයන් අනුවය. පීඩිතයන්ගේ නිදහස උදෙසා වන සටනක් වමට ඇත්නම් එම පීඩිතයන් දිනාගැනීම හා විඥ්ඥාතගත කිරීමට නිල් කොළ වර්ණයෙන් බෙදා දැක්විය නොහැකි අතර එහි ඓන්ද්‍රීය සහභාගී කරුවන් වීමෙන් පමණක් අනාගතයේ අරගලය මුවහත් කරගත හැකිය. වාමාංශික නොවුන ද ජාතික දේශපාලනයේ නාඩිය අල්ලා ගත බල සම්බන්න කුඩා දේශපාලන ප්‍රවාහය බවට ජාතික හෙළ උරුමයට හැකියාව ඇති වී ඇත්තේ චම්පික- රතන දේශපාලනික වශයෙන් මහාමොළ කරුවන් වීමෙනි. පොදු වික්ෂය ජයගත්තේ උවද පරාජය වූයේ වුවද අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාසිය අත්පත්වන්නේ ඔවුන්ට වන අතර ජාතික වශයෙන් ඒ හා සමාන ප්‍රවණතාවක් ඇති ජවිපය ද ඇත්තේ චම්පික- රතන අනාගතයේ පිටු පිසිනි.
එම නිසා මෙම ලිපියේ ප්‍රධාන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පොදු විපක්ෂයේ එක් පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමය හා පොදු විපක්ෂයට එළියෙ සිටින අනෙක් බලවේග වන ජනතා විමුක්තිපෙරමුණ ,පොදු වම, ද්‍රවිඪ ජාතික සන්ධානය හා  එපිට බලවේග යන සියල්ල අධිනිෂ්චිත දයලෙක්තිකයේ පාර්ශව කරුවෝ වන්නේ කෙසේ ද යන්නය. ලිපියේ දීර්ඝත්වය සලකමින් පසුවට කල්තබමි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon