Diaspora Diary

Sunday, January 20, 2013

භාෂාවේ ත්‍රස්තවාදය හා ඩයස්පෝරා ත්‍රස්තවාදය- Terrorism in Language and Terrorism in Diaspora




ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට  ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත් දුෂ්කර ජීවිතයකට මග පෙන්වා ඇතැයි කීම නිවැරදි යැයි සිතමි. එහෙත් අහම්බය විසින් බොහෝ ඉරණම් තීරණය කරණු ලබන අතර, මෙම අහඹු ඩයස්පොරා ගතවීම යනු ජීවිතය, සිතුම් පැතුම්, ලෝකය තේරුම් ගැනීමට කැඩපතක් වී ඇත. අද වන විට මුළු ලෝකයම ඩයස්පෝරාවක් වෙමින් පවතින කාලයක් වී ඇත. ඒ ධනවාදය ලෝක ක්‍රමයක් බවට පත්වෙමින් මානව සම්බන්ධතාවලට කර ඇති බලපෑම නිසාය. සන්නිවේදන තාක්ෂණයේ සිදු වී ඇති සහ සිදු වෙමින් පවතින විප්ලවීය වෙනස මෙම සම්බන්ධතා පුළුල් කිරීමටත්, එම පුළුල් කිරීමේ ක්‍රියාවලියේ ම ප්‍රතිවිරුද්ධ කොටසක් ලෙස සම්බන්ධතා පටු කරමින් මිනිසා අනෙකාගෙන් ද සමාජයෙන්ද විගලිත කිරීම ද සිදු වෙමින් ඇත.

තමා තමාට අහිමි කිරීමේ තොරතුරු හා අවශ්‍යතාවන්ගෙන් පිරී ඉතිරී යන ලෝකයක් නිර්මාණය කිරීමට ගෝලීය ධනවාදයට හැකියාව පැවතුනි ද, එම පිරී ඉතිරී යන අවශ්‍යතා ලෝකය, හිඟ කමින් පෙළෙන මිනිසාට සාධාරණ ලෙස බෙදා හැරීමට හැකියාවක් නැති අර්ථය තුලත්, මානව පැවැත්මේ සෙසු අංග වන අනන්‍යතාව, ගෞරවනීය ලෙස ජීවත්වීමට ඇති අයිතිය නැති කිරීම,  නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යන කරාණාවලින් එක්තරා කොටසක් ඩයස්පෝරා කර ඇත. එම පිරිස තමා තමාට ද, තමා පවුලට ද, තමා රටට ද  පිටුවහල් වී රට තුලම ජීවත් වන කොටසක් වනවා සේම රටින් පිටද  ජීවත් වන කොටසකි. මෙම අදහස පවතින අර්ථ කතනයට තරමක් වෙනස් කමක් පැවැතිය ද ඩයස්පෝරව පිළිබඳ ඇති මිත්‍යා මතික අදහස දුරු කිරීම දේශපාලනික හා සාමාජික අර්ථයෙන් සලකන විට ලංකාව සම්බන්ධයෙන් අද දවසේ වැදගත් යැයි හැඟෙන බැවින් මෙම සටහන තබමි.

අසංස්කෘතික, පාදඩ ජන මාධ්‍ය හා ආත්ම කෙළෙසාගත් බුද්ධිමතුන්ගේ ද කෛරාටික, දිග පළල නොමැති දක්ෂිණාංශික  මෙන්ම ලිබරල් හා වාමාංශික දේශපාලනයේ  අසංවර සමාජ මැදිහත්වීම   හේතුවෙන් පශ්චාත් යටත් විජිත ලංකා සමාජයේ  අඩ සිය වසකට වැඩි කාලයක් තුල කරන ලද හා කරමින් සිටින භාෂාවේ ප්‍රචණ්ඩත්වය හා සංස්කෘතික විකෘතිය නිසා බොහෝ සංකල්පවලට ඇති භාෂාමය අර්ථ විකෘති කිරීමෙන් රටත් ජාතියක් හා ජන සමාජයක් ලෙස වූ විනාශයන් මිනිස් ජීවිත හා දේපල වලින් පමණක් නොව අනාගත පරම්පරාවකට මනුෂ්‍යයින් වශයෙන් ජීවත් වීමට ඇති අයිතිය ද අහිමි කර ඇත.

මෙම ලියමන ස්ථානගත කිරීමට  අදාලව නිදර්ශන කිහිපයක් මතුකර ගනිමින්, භාෂාමය දේශපාලනයේ මිථ්‍යාමතික සන්දර්භය තේරුම් කර ගනිමු.
 
නිදර්ශන 1

සමාජවාදය


යටත් විජිත පාලන කාලය තුල දී ලංකාවට පැමිණි මාක්ස්වාදී දර්ශනය පදම්කරගත් සාමාජවාදී සංකල්පය පශ්චාත් යටත් විජිත කාලය තුලදී එකල පැවැති ආණ්ඩු මතවාදයන් විසින් සමාජගත කරනු ලැබුවේ ඊට ආවේනික අර්ථයට ප්‍රතිවිරුද්ධ අර්ථයකි. එක පැත්තකින් මාක්ස්වාදය හා සමාජවාදී චින්තනය පදම්කරගත් දේශපාලන ක්‍රියාකාරීන් නිර්මාණාත්මක නොවීමේ වාසිය අතට ගත් දක්ෂිණාංශික දේශපාලකින් සමාජවාදය යන්න මානව විරෝධි වැඩපිළිවෙලක් බවට පත් කළ අර්ථ ගැන්වීම තුලින් ජනිත කළ භීතිය සමාජය තුල අදටත් පැතිර පවතින්නේය.  වයස පණස් පහට වැඩි මිනිසුන් මරණයට පත් කරන බවටත්, රුවන් වැලී මහා සෑය කඩා දමා එහි ඇති ගඩෛාල්වලින් ගෙවල් හදන බවටත්, ගොවියන් සතු ඉඩම් අත්පත් කරගන්නා බවටත් ඇති කළ මතවාදය සුළුවෙන් තැකිය නොහැකිය. භාවිතයේ හා මතවාදයේ කුමන අඩු පාඩුකම් පැවැතිය ද, සමාජවාදී සංකල්පය ලෝක ක්‍රමයක් ලෙස මෙතෙක් පැවති හා පවතින ක්‍රමයන්ට එහා ගිය මානව සංවර්ධන  අවධියක් යන්න වෙනුවට මිනිසාට සතුරුකම් කරන්නා වූ යක්ෂයකු බවට පත්කරනු ලැබවේ කොමියුනිස්ට්වාදය යුරෝපය පුරා ගමන් කරන හොලමන් අවතාරයක් ය යන ප්‍රවාදයට සම කරමිනි.

නිදර්ශන 2

ෆෙඩරල් වාදය/ සන්ධීය ක්‍රමය

සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට විකල්ප විසඳුමක් ලෙස මෑත ඉතිහාසයේ කතිකාවකට බඳුන් වූ මෙම සංකල්පය, ඊට ආවේණික ඓතිහාසික හා ප්‍රාෙයා්ගික උදාහරණ පවා පරයා යමින් සංකල්පීය අර්ථයට මුළුමනින්ම වෙනස් අර්ථයක් නිර්මාණය කිරීමට ජාතිවාදී  දේශපාලණඥන්ට හැකි විය. රටක පවතින ගැටලු වෙන් වීමකින් තොරව විසඳා ගැනීමට ඇති ආණ්ඩු ක්‍රමයක් වූ ෆෙඩරල්වාදය ලංකාවට අනුව රට බෙදා වෙන් කරන්නක් බව, බලයට කෑදර දක්ෂිණාංශික මෙන්ම වාමාංශික කියාගත් ජාතීවාවාදීන්  හඩ නඟන්නට වූ අතර තවමත් එය නැවතී නැත.  ෆෙඩරල්වාදය පිළිබඳව මූලික අවබෝධයකට පැමිණිය හොත් එය නිර්වචනය කර ගත හැකි වන්නේ
රාජ්‍යයන් එක්සත් මණ්ඩලයක් (League)ලෙස,  සංධානයක් ( alliance) ලෙස, හෝ සංගමයක් (Union) වැනි ආකාරයකට, එක් එක් රාජ්‍යයන් වෙනම ස්වධිපත්‍යයකින් යුතුව යම් ආකාරයකට ප්‍රාෙද්ශීය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යාමට සැදුම්ලත් අවස්ථාවක දී ද, අනිත් අතට ජාතික ක්‍රියාවලීන් සඳහා ආණුඩුව මධ්‍ය ගතව ක්‍රියාත්මක වීම සිදු වීමට අවශ්‍ය වේ නම්,මෙවැනි තත්ත්වයක් සඳහා  ෆෙඩරල් ආණ්ඩුවක් ස්ථාපිත කර ගනී.  එහි කිසි වටක රට බෙදීමක් පිළිබඳ හැඟවුම් කාරකයක් නැත.(උපුටා ගැනිම)

ෆෙඩරල් වාදය යනු  ජාතියක් සංවිධානය වීමේ විධික්‍රමයක් වන බැවින් ඒ සඳහා එකම ප්‍රදේශයක හා ජනතාවකට විධිමත් අධිකාරියකින් යුතු ආණ්ඩු ක්‍රම දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සමන්විත  වූවකි. ආණ්ඩුවේ ඒකකයන් අතර බලය බෙදා ගැනීමක් කරනු ලබයි. ලෝකයේ බොහෝ ආණ්ඩු බ්‍රිතාන්‍යෙය් මෙන් ඒකීය ආණ්ඩු වන අතර සියලුම බලය මධ්‍යම ආණ්ඩුව වෙත ගොණු වි ඇත. රටක ජීවත්වන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ඒකීය මධ්‍යගත පාලන ව්‍යුහයකට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් නොමැති නමි වඩාත් ප්‍රායෝගික ක්‍රමයන් සඳහා යොමු වීම ශිෂ්ට මනුෂ්‍ය වර්ගයාගේ ස්වභාවය වන්නේය.(උපුටා ගැනිම) ලෝකයේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයන් ක්‍රියත්මන වන රාජ්‍යන් දෙස බැලීමේ දී මෙය තේරුම් ගත හැකි වුවත්, ලාංකික දේශපාලන ක්‍රියාධරයාට ඇති අනවබෝධය නම් අංශක එකසිය අසූවකින්ම වෙනස් ය.

සමාජවාදය වෙනුවෙන් තවමත් ලෙනින්ගේ, මාක්ස්ගේ හා රුසියාවේ නිදර්ශනාත්මක පිහිට පතන ලාංකික ජවිපේ සහ ඉන් විගලිත පෙරටුගාමීන්ට පවා සැකයක්ව නයාට අඳුකොල කරනු ලැබූ රෝහණ විජේවීරියානු ආගමිකත්වය විසින් දැන දැනම මිථ්‍යාව යථාර්ථය බවට පත්කර ඇත. එම ආගමික අබිං යථාර්ථය අවස්ථාවාදයේ කොටසක්ව වීජේවීරියානු දරුවන් තම උරුමය කරගෙන සිටීම, විකල්ප වෙනසකට භෞතික හැකියාවක් ඇති ලංකාවට කරන්නා වූ විනාශය අලුත් බීජාංකුර මිහි මත ජනිත වීමට ද ඇති පාපකාරී ශාපයක් වී ඇත. වෙනස් නොවේ නම් විනාශය නම් වු දහම පසක් කරමින් එය ඔවුන්ට පමණක් නොව සමස්ථයේම විනාශය බවට පත් කිරීමේ විප්ලවීය ව්‍යාපාර බවට පසුගිය ඉතිහාසයත්, අනාගතයත් මුහුණ දෙනු ඇත. ෆෙඩරල් වාදය යන්න රට බේදීමක් නොවන බව තේරුම්ගත් කොටි සංවිධානය ද ඊට එරෙහි වූයේ ඔවුන් වෙනම කොටසක් අවශ්‍ය වූ නිසා ය. එහෙත් ඔවුන්ට පමණක් නොව ෆෙඩරල් වාදයත් රට බෙදීම යන ජාතීවාදී උන්මත්තකත්වයට  පත් වෙමින් පෙළහර පෑ භාෂාමය නොමග යැවීමට තවත් උදාහරණයකි.

සක්‍රීය නිදසුනක්-

ඩයස්පෝරාවේ සාමාජිකයින් බවට පත්ව ඇති ලාංකික ප්‍රජාව අතර විජේවීරියානු භක්තිකයන් ද යුරෝපය පුරා සිටින අතර ඔවුන් බලය බෙදීමකට හෝ දෙමළ ජනයාගේ ස්වංනිර්ණ අයිතියට අනුමැතියක් නොමැතිව මස් රාත්තලේ න්‍යාෙයන් දෙමළ ජනයාගේ ගැටලුව සමාජවාදයෙන් විසඳීමටම පමණක් දිව නැමෙද්දී, ලෝකයේ විවිධ භාෂාවන් කතා කරන ජාතීන්ගේ ප්‍රශ්නයන්ට සාර්ථක විසඳුම් ලබා දී මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමට ඇති සමාජයක් නිර්මාණය කර ඇති සවිස්ටර්ලන්තය වැනි රටවල සිට, එහි බලය බෙදා ඇති අයුරු හා එහි වාසින් භුක්ති විඳින අතර තුර , ලංකාවට නම් ෆෙඩරල් හෝ බලය බෙදීමක් සඳහා සිතන්නටවත් කැමැත්තක් දැක්වීම වීජෙවීරියානු පාපයට ගොදුරුවීමක් සේ දකිති. වෙන ඕනැම අයෙකුට රටකට ස්වයංනිර්ණයට හෝ බලය බෙදීමකට පක්ෂ වුවද, ලංකාවට නම් අරහං නම්. සමාජවාදී ජාතිවාදී විජේවීරියානු මතවාදය සිංහල බෞද්ධ ජාතිවාදයට දෙවැනි නොවන්නකි. ඉතින් මෙම සමාජය ද සංකල්පීය අර්ථකතන වැරදි ලෙස තම වසියට විග්‍රහ කර ගැනීම හලාල්වලට විරුද්ධවීමේ කාසියේ අනෙක් පැත්ත වන්නේය

 ඩයස්පෝරාව



රටක ජීවත් වන මිනිසාට සිය ඕනෑ එපාකම්වලට අනුව සාපේක්ෂක අර්ථයෙන් ජීවත් වීමට අයිතියක් නොලැබෙන පාලන ක්‍රමයන් තුල මිනිසාට සිදුව ඇත්තේ ඊට එරෙහිව අරගල කිරීමයට ය. පුද්ගලයාගේ පටන් විශාල සමාජ ව්‍යාපාර දක්වා අරගල දියත් වුවද, සිදුකරනු ලබන සෘජු හා වක්‍ර රාජ්‍ය මර්ධනය  හේතුවෙන් ජීවිතය අහිමි වන, අත්අඩංගුවට පත්වන, අතුරුදහන් වන, හා නිහඬ වීමට බල කරන රාජ්‍ය මෙන්ම සෙසු මර්ධනයන් තුල මිනිසාට තම භූමියෙන් පිටුවහල් වීමට සිදු වීම යථාර්යක් ව පවතී. එසේ පිටුවහල් වීම සමාජ දේශපාලන සංස්කෘතික ආගමික කාරණා හා බද්ධ වුවද, රජ්‍යයකට සිය ජනයාට ජීවත් වීමට සැලැස්වීමේ අසාර්ථකභාවය හේතුවෙන් ආර්ථික කාරණා මතද මිනිසාට පිටුවහල් වීමට බලකිරීමේ දේශපාලන යථාර්ථයක් ඇත. මේසේ පිටුවහල් වූ ජනයා විවිධ හැඩයන්ගෙන් විවිධ රටවල ජීවත්වන අතර ඔවුන් විවධ අනන්‍යතා කණ්ඩාම්වලට අයත්වන්නෝ වෙති. මෙලෙස විදේශගත වූවන් සඳහා දේශාපාලන අර්ථයක් ගැබ් කළ විට එම කණ්ඩායම් හඳුන්වන නාමකරණය වන්නේ ඩයස්පෝරාව ලෙසය. ලංකාව විෂයෙහි ගත් කල කිසියම් විකෘති අර්ථයකට නාමකරණය වී  ඇති මෙම වචනාර්ථය ප්‍රකෘතිගත දේශපාලන හා සමාජ යථාර්ථයක් කිරීම පිණිස එහි ඓතිහාසික පසුබිම හා මෑත කාලීන හැඩයන් තේරුම්කර ගනීම වැදගත්වනු ඇත.
 
ඩයස්පෝරාව යනු කුමක්ද යන අර්ථකතනයේ දී, වචනාර්ථයේ ඓතිහාසික පසුබිම බිහිවනු බවට තොරතුරු පැමිණෙන්නේ ග්‍රීසියෙන් යැයි කියැවේ. Dia යන්නෙහි තේරුම තුලින්, නැතිනම් එහා යන්න ද, speiro යන්න විසිරීම, ව්‍යාප්තිය යන අර්ථයයි. ඒ අනුව යම් හේතුවක් තුලින් විසිරී සිටින හෝ ව්‍යාප්ත වී සිටින යන අර්ථ ඇති වචනයට අනුව සැලකුව ද, සාම්ප්‍රදායික අර්ථයෙන් සැලකීමේ දී විශේෂිත තත්වයක් ඇති අතර ඉන් කියැවෙන්නේ ශුද්ධ වූ භූමියෙන්(ඊශ්රායලයෙන්) පිටුවහල් වූ යුදෙව්වන් ඔවුන්ගේ ගෝලීය ව්‍යාප්තිය පිළිබඳවය. මෑත කාලයේ දී ඩයස්පෝරා යන හැඟවුම ආගමික, සංක්‍රමණික සහ සංස්කෘතික අර්ථයෙන් ප්‍රතිපත්ති විෂයක් දක්වා විතැන් වී ඇත. ඒ අනුව ඩයස්පෝරා යන්න විවිධ කාරණා මූලික කර ගනිමින් ජාතික රාජ්‍යෙයන් එහා ඇති අනන්‍යතා දේශපාලනයේ දේශපාලනික  හඳුනාගැනීමක සිට පාරජාතික තත්ත්වයන් වර්ධනයන්ට සහ නැවත ගොඩ නැංවීමේ ව්‍යාපෘති බවට පත්ව ඇති බව දැක ගත හැකිය.  සංවර්ධනය සඳහා විදේශික ජනයාගේ  දායක කරන මුදල් ද ආයෝජන හා ප්‍රජාතන්ත්‍රීයකරණය යන කාරණා ද අවධානයට ලක්ව ඇත.

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ පුළුල් අර්ථකතනයට අනුව ඩයස්පෝරවක් ලෙස සැලකෙන්නේ වාර්ගික හා ජාතික ජන කණ්ඩායම්වල  පලා ගොස් ඇති සමාජිකයන් සේම ඔවුන් තමන්ගේ මව්බිම සමඟ සම්බන්ධතා නඩත්තු කරන්නා වූ  අය ලෙසය. ඩයස්පෝරා යන පදය පාර ජාතික ජනකාය යන අදහස ද  ගෙන යමින්,  තම මව් බිමේ සම්බන්ධතා පවත්වමින් එහෙත්  මෙහෙත් බවට පත්ව එක තැනක ජීවත් වන ජන පිරිසකට ය.

ලංකාව විෂයෙහි සලකා බැලූ කල, අවුරුදු තිහකට වැඩි වාර්ගික ගැටුමකට මැදිව සිටින  ලංකාවේ දේශපාලන සමාජයට අදටත් එයට නිසි විසඳුමක් නැති කාලකණ්නි භූමියක් බවට පත්වීමෙන් උපන් හේතුවේ කොටසක් ලෙස ලෝකය තුල ලංකාවේ ඩයස්පෝරාවක් බවට පත්ව ඇත. විවිධ ස්වරූපයන්ගෙන් සමන්විත මෙම ජනකාය රාජ්‍ය මතවාදී දේශපාලනික නාමකරණයකට ලක්කරමින් ඔවුන්ව හැඳින්වීම සඳහා යොදා ගනු ලබන දේශපාලනික භාෂාර්ථය වන්නේ ඩයස්පෝරාව යනු රාජ්‍ය විරෝධීන් යන්න ය. රාජ්‍ය වීරෝධී අර්ථයේ ද්‍රඪ දිගුවක් ලෙස ත්‍රස්තවාදීන් ලෙසය. මෙම අර්ථ ගැන්වීම, රජ්‍යයට අවශ්‍ය කරන සෑම විටකමත්, අවිඥ්ණානිකව හෝ සවිඥ්ණිකව රජ්‍ය මර්ධන මතවාදයට සේවය කරන මාධ්‍ය හා මාධ්‍යකරුවන් විසින් ලංකා සමාජය තුල ව්‍යාප්ත කරන ලද වැරදි අර්ථ සංජානනය තුලින් මහත් විනාශයකට මග පාදා ඇත. මේ සඳහා ඇති ඉතාම ලඟ නිදසුන නම්, ජාතිවාදී පුවත් පතක් වන දිවයින පුවත් පතට රචනා ලියන ආරක්ෂක ලියුම්කරු නමින් පෙනී සටින කීර්ති වර්ණකුලසූරිය නැමැත්තාය. ඔහුට අනුව ඩයස්පෝරාව යනු රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී පිරිස්ගෙන් සමන්විත කොටසකි. මෙම ග්‍රාම්‍ය මාධ්‍ය මතවාදය රාජ්‍යෙයේ පමණක් නොව වැඩි වශයෙන් මාධ්‍ය හා සමාජ මතවාදය බවට පත්ව ඇත. රටෙහි සිදුවන මානවහිමිකම් කඩකිරීම්, ප්‍රජාතණ්ත්‍ර විරෝධී රාජ්‍ය ක්‍රියාවන්, නිදහස වෙනුවෙන්, ජීවත් වීම වෙනුවෙන් රටින් පිට නැගෙන සෑම හඬක්ම අර්ථකථනය වනුයේ ඩයස්පෝරාවේ ත්‍රස්තවාදයක් ලෙසය.

මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වන අවස්ථාවන් වන්නේ මානව හිමිකම් සැසි පැවැත්වෙන කාල පරිචිඡෙදයන් හිදී ය.මෙසේ භාෂාමය මිථ්‍යා මතික අර්ථ ගැන්වීම්වල සමාජ විරෝධී මතවාදයන් පාලක ආණ්ඩු පමණක් නොව විකල්ප දේශපාලන වෙනස්කම්වලට සටන් කිරීමට සූදානමක් පෙන්වන වාමාංශික රැඩිකල්වාදීන්ට ද යථාර්ථය වී ඇත්තේ වර්ණකුලසූරිය මතවාදමය ය. ඔහු විසින් තමාට සහ තම පක්ෂයට, කණ්ඩාමට පහර දෙන තුරුම, ඔහුගේ වචන ඔවුන්ගේ විශ්වාසය වන්නේය. මෙම නොමග යැවීම නිවැරදි කර ගැනීම හා ඊට එරෙහිව ක්‍රියා කිරීමේ සමාජ දේශපාලනික වගකීම ඩයස්පෝරා දේශපාලන ප්‍රජාවේ ද රට තුල ඩයස්පෝරා වී සිටින දේශපාලනික ප්‍රජාවට ද ඓතිහාසික ලෙස පැවරි ඇතැයි විශ්වාස කරමි. එම අර්ථයෙන් බලමින් ලාංකීය ඩයස්පෝරාව වැරදි අර්ථකථනයකට පත්කිරීමේ දේශපාලනය හඳුනා ගැනීම වැදගත් වනු ඇත.

ලාංකික ඩයස්පෝරාවට අයත් විදේශගත ජනයා අතර මෙකී ඩයස්පෝරා වර්ගකරණයේ දී සුවිශේෂී වන්නේ දෙමළ ජනයා ය. වසර තිහකට අධික අරගලයක ප්‍රතිඵලයක් ලෙස විදෙශගත මෙකී ජනයා යුරෝපය හා සෙසු රටවල සරණාගතයන් බවට පත්ව ඉන් යම්කිසි ප්‍රමාණයක් එම රටවල පුරවැසිභාවයට ද හිමිකම්පාමින් තමන්ගේ මව්බිම සමඟ ද නොකැඩුණු සබඳකම් පවත්වාගෙන යන්නෝ ය. ඩයස්පෝරාව යන්න වෙනම පාර ජාතීය කොටසක් බැවින්, ලංකා දෙමළ සමාජයේ  සමාජ ස්ථරායනය හඳුනා ගන්නා තරමටම එක් අතකින් සංකීර්ණය. සාපේක්ෂ වශයෙන් පරිසමාප්ත විග්‍රහයක් කිරීමට නම්, ඒ පිළිබඳ පුළුල් පර්යේණ කළ යුතුය. එහෙත් දෙමළ ඩයස්පෝරාව නිර්වචනය කර ගැනීම හෝ තේරුම් ගැනීම කළ යුත්තේ, දෙමළ ජනයාගේ අරගලයට දක්වන ප්‍රගතිශීලි ප්‍රතිචාරයේ දෘෂ්ටිවාදයෙන් මිස, මර්ධන රාජ්‍යයකට හෝ ජාතිවාදයට උදව් දෙන මතවාදයකින් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. එසේ නොමැති නම්, උගත් බුද්ධිමතෙකු වන දයාන් ජයතිලකගේ ඩයස්පෝරාව පිළිබඳව ඇති  විශ්වාසය හා අවබෝධයත් පිළි ගත හැකිය.(දයාන්ගේ අදහස් අන්තර්ගත ලිපිය) ඔහු දෙමළ ජනයා ඝාතනයට ලක් කළ හා එම මතවාදය වෙනුවෙන් පෙනී සිටිමින්, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යුක්තියේ වචන තැවරූ තර්ක විතර්ක කඩුව රුගෙන රංගනයක යෙදෙමින් තමන් නැසූ, විනාශ කළ රාජ්‍යයට ඈදීමට කරන ඩයස්පෝරාව පිළිබඳ විග්‍රහයට වඩා අප බැලිය යුතු වන්නේ වෙනත් මානයකිනි. එම මානය අන් වෙන යමක් නොව, දෙමළ ජනයාට ඉතිහාසය පුරාවට සුදු වූ අසාධාරණයට යුක්තිය ඉටු වීම සඳහා වූ මානය වන්නේ ය.

 එම උවමනාවන් හා තම පීඩිතයා වෙනුවෙන් ඔවුන් තවමත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතර, එයට ලැබෙන නාමකරණය වන්නේ ත්‍රස්තවාදීන් යන ජනප්‍රිය ලේබලය ය. එහෙත් මෙකී රටට ද්‍රෝහී යැයි සලකන මිනිසුන්ගෙන් ලංකා ආර්ථිකයට කරන, කරන ලද ප්‍රගතිශීලී කාර්යය මහ බැංකු වාර්තා හොඳින් දන්නා මුත්, එය යථාර්ථයට වැඩක් වන්නේ නැත. අදටත්, ඔවුහු ලංකාව යන හැඟීමෙන් නොවුව ද තම ඥාතී හිත මිත්‍රාදීන් වෙනුවෙන් කරන සක්‍රීය මැදිහත් වීම හැරුණු කොට උතුරු වසන්තයෙන් හෝ නැගෙනහිර වසන්තයෙන් ලැබෙන ලබ්බක් නොමැත. එම ව්‍යාපෘති රාජපක්ෂ පවුලට හා හිතමිත්‍රයන්ට ආර්ථික තෝතැන්නක් වූවද එම ප්‍රෙදේශවල ජනයාගේ ජන ජීවිතයට ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්නේ යැයි තර්ක ගොඩ නැගිය හැකි වුව ද ඇත්ත ඇත්තේ ද්‍රෝහීන් අතය. පසුගිය යුදමය කාලය තුල දී උතුරු නැගෙනහිර ගැටුම් ආර්ථිකයේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දෙසත්, එය ගැටුමට මැදි වූ ජනයා අවම මට්ටමින් හෝ දරා ගනු ලැබුවේ රාජ්‍ය සුභ සාධනය හෝ එල්ටීටීඊ මැදිහත් වීම නිසා නොව, මෙකී වැඩකරන ඩයස්පෝරා ජනතාව නිසාය. සන්ලයිට් සබන් කැටය රුපියල් දෙසීය ඉක්මවද්දී, භූමිතෙල් ලීටරය රුපියල් අටසියය දහස වෙද්දී, ඔවුන්ට දරාගැනීමට හැකි වූයේ අඩුම වශයෙන් පවුල් දෙකකට තුනකට එක් හෝ පුද්ගලයකු විදෙශ්ගතව ඔවුන් වෙනුවෙන් කරන මැදිහත්වීම නිසාය.

මගේ ජීවමාන අත් දැකීමට අනුව නම්, යුරෝපයේ සරණාගතව ප්‍රාථමිකම අවස්ථාවේ පවා සිටින වැසියෙකුම අවම වශයෙන් රුපියල් දස දහසක්/ විසි දහසක් වත් මාසිකව තම පවුල්වල ඥාතීන්ට හෝ හිත මිත්‍රාදීනට ද, ණය තුරඅස් ගෙවීමට ද ලංකාවට යවන්නෝය. ඒ ඔවුනට කෑමට ලැබෙන මුදල පවා ඉතිරිකරගෙනය. රැකියා කරන්නෝ ඊට වඩා වැඩි දායකත්වයක් කරමින් විදේශ විනිමයේ ප්‍රධාන කොටස් කරුවෝ වන්නෝ ය. අනෙක් අතට තම දේශපාලන අරගලය වෙනුවෙන් වසර ගණනකට ණය ගැතියන් බවට පත්වෙමින්, තම විමුක්තිකාමීන් වෙනුවෙන් රැස්කළ මුදල් ප්‍රමාණය උතුරු නැගෙනහිර වචනාර්ථයෙන් සමෘධිමත් කිරීමට තරම් මහා ධනස්කන්ධයක් විය. එය අධිරාජ්‍යවාදීගේ හෝ බෙදුම්වාදය පෝෂණය කරන්නට උපකාර කළ  මුදල් නොව, තම කායික ශ්‍රමයේ කැඹුරුම් මහන්සියේ අස්වනුය. අද එම අස්වනුවල කොටස් කරුවන්ව ඒවා යහමින් බුක්ති විඳිනුයේ රාජපක්ෂ පවුලය. හිතවතුන් ය. අනාගතයේ දී පවා ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පෑව ද උතුර සහ නැගෙනහිර ජනයාට එහි විපාක විඳින්නට වීම සාපේක්ෂ අර්ථයෙන් අඩුය.

ඩයස්පෝරා  වර්ගීකරණයේ ආර්ථික කොටස ලෙස මැදපෙරදිග, ඉතාලිය හා සෙසු රටවල ශ්‍රමිකයන්ගේ දායකත්වය ද වැදගත් වුවද, ඔවුන් මෙම මිථ්‍යාමතික ත්‍රස්තවාදී නාමකරණයට අයත් නොවන අතර සැබැවින්ම විදේශ ගත ජනයාගෙන් ආර්ථික ප්‍රතිලාභ ගලාඑනු ලබන්නේ සිංහල ජාතිවාදියාගේ පරම සතුරාගෙන් ය. ඩයස්පෝර දේශපාලනය නිවැරදි ලෙස කේන්ද්‍රගත කළ දිනක එහි යථාර්ථය රටටම සන්නිපාතයක් වනු ඇත. අනාගතයේ මතු යම් දිනක පටන් එම යථාර්ථය ඉටු වීමට ලාංකික දේශපාලනය ඉක්මන් කරන අතර, විකල්ප දේශපාලන බලවේග තේරුම්ගත යුතු ඇත්ත ඇත්තේ ද එතැනය. ඒ රාජ්‍ය යන පැරණි සංකල්පය සම්ප්‍රධායෙන් ඔබ්බට විතැන් වීම ආරක්ෂා කිරීම සඳහා ජාතික  හා ගෝලීය ධනවාදයට ඇති නොහැකියාව නිසාය එහෙත්  මේ සියල්ල වෙනස් කළ හැකි වන්නේ මිනිසාටය. නිර්මාණශීලී මිනිසාටය. පීඩිතයාගේ විමුක්තිය පතන නිර්මාණශීලි මිනිසා මෙහි කොටස්කරුවන් නොවන තැන, ඩයස්පෝරාවට ද්‍රෝහිත්වයෙන් මිදිය හැකිවන්නේ රාජපක්ෂලාට කශේරුකාව නැමීමෙන්ය. අඥාණත්වය, ආත්මාර්ථය ඊට අධිවේගී මාර්ගය කපමින් සිටී. වැළකී සිටීම හා සටන් කිරීම ඩයස්පෝරාවේ කාර්යය වන අතර ලාංකීය විකල්ප නිර්මාණශීලි දේශපාලනයේ  නූතන කාර්යයේ වැදගත් කොටසක් වන බව නම් අවිවාධිතය.
  
උදය ආර්. තෙන්නකෝන්

Wednesday, January 9, 2013

කොදෙව්වේ ලෝක දැක්ම සහ කොදෙව්වට ලෝක දැක්මක් The worldview of the island and a worldview to the island





කොදෙව්වේ ලෝක දැක්ම සහ කොදෙව්වට ලෝක දැක්මක්
The worldview of the island and a worldview to the island

පළමු කොටස

අප උපන්, අප ජීවත්වන, ගෙදර ගම ප්‍රෙදේශය රට වශයෙන් ගත් කල්හී, ලංකාව කෙරෙහි ඇල්මක් ඇත්තේ අපගේ රට වන නිසාය. අපගේ පරිසරය ගහ කොල දෙමාපියන් නෑයන්, හිත මිත්‍රාදීන් නිසාය. මම කියා යැයි පමණක් සිතමින් ජීවත් වන්නට හිතුවත්, මට පමණක් ජීවත් වන්නට නොහැකිය. දෙමාපියන්, ඥාතීන් හිත මිතුරන් ගහ කොල පරිසරය පමණක් යැයි කියා හිතුවත් ජීවත් වීම හිතන තරම් ලෙහෙසි පහසු වන්නේ නැත. මේ නිසා අප හැමට රටක් සමාජයක් ලෝකයක් ලෙස පුළුල් ලෙස ජීවත් වන්නට නම් මානව සම්බන්ධතාවන්ගෙන් යුක්ත වූ ක්‍රමයක ගමන් කිරීමට සිදු වන්නේය. මෙසේ ගමන් කිරීමේ දී එකිනෙකා තමන් භාහිර ලෝකය දකින ආකාරයක් ඇත. ඉතිහාසය පුරා විවිධ කාල වකවාණු පසුකරමින් පුද්ගලයන් හා සාමාජයක් ජාතියක් ලෙස අප සතුව ඇති දැක්ම කුමක්ද යන්න පිළිබඳව කල්පනා කිරීමේදී, මදකට නතරව ඒ පිළිබඳව විමසිලිමත් වීම මෙම ලිපියේ පරමාර්ථය වේ. 

පුද්ගලයා, පවුල, සමාජය, රට රාජ්‍ය ආදී සකල කේෂත්‍රයන් තේරුම් ගැනීමට, අවබෝධකර ගැනීමට කොතෙකුත් දර්ශන, මතවාද හා න්‍යායන් අප ජීවත්වන ලෝකයේ දක්නට ඇත. පෙර දිග වේවා, බටහිර වේවා, ඉතිහාසය පුරාවට නිර්මාණය කරනු ලැබූ සංකල්පීය ප්‍රපංචයන් මිනිස් ජීවිතය හැඩගැන්වීම පිණිස බොහෝ මාර්ගෝපදේශයන් ගෙනහැර දක්වා ඇති සැටි ආගමික අදහස්, දේශපාලනික සමාජ මනෝවිද්‍යාත්මක, දාර්ශනික යනා දී චින්තනයන්  තුලින් දැකිය හැකිය. කොතෙකුත් චින්තනයන්, ආගම් හා දේශපාලනික මතවාදයන් මානව ශිෂ්ටාචාරය පුරාවට  බිහිවෙමින්  භාවිතයේ යෙදෙමින් පැවතිය ද, මනුෂ්‍යයින් වශයෙන් සකල විධ පෘථිවි තලයේ වෙසෙන්නාවුන්, පරිසරය හා අනෙක් තිරිසනුන් යැයි හඳුන්වනු ලබන ජීවීන් අතර අප(මිනිසා) අසමත් සතුන් බවට පත්ව ඇත.ඒ මනුෂ්‍යයින්ම වීම නිසාය. තිරිසන් සත්වයාගෙන් මිනිසා වෙනස් වනු ඇත්තේ බුද්ධිය හා චින්තනය දියුණුවිමේ ඓතිහාසික පරිණාමය නිසාය.එහෙත් මෙම  මනුෂ්‍ය හැඩය අනෙකාගෙන්(සත්වයාගෙන්) වෙනස්වීමට නම්, පුද්ගලික හා සාමාජීය වශයෙන් ගොඩනගාගත් සම්මුතිකාමී අගයයන් ධර්මතාවන්, ප්‍රතිපත්ති, නීති ආදී ගිවිසුම් පිළිපැදිය යුතු වේ. ඒවා අතරට ඉතිහාසය තුලින් පැමිණි සංකල්ප අතර මිනිස් අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සමානාත්මතාව, අනන්‍යතාව, ගෞරවය, ස්වංනිර්ණය වැනි සොයා ගැනීම් මිනිස් සමාජයට පැමිණ ඇත්තේ මිනිසා සහ මිනිසා අතර මිනිසා හා සමාජය ජාතීන් රාජ්‍යයන් අතර ඇති අනවතර අරගලය නිසාවෙනි. 

කුමන මාදිලියේ ගැටුම් හෝ යුද්ධයන් හෝ විවිධ අරමුණු වෙනුවෙන් නිර්මාණය කළ ද, මනුෂ්‍ය සංහතියේ මානව අපේක්ෂාව වන්නේ සම්මුතිකාමී සහජීවනයකින් ජීවත්ව අවසාන අපේක්ෂාව ලෙස සාමයෙන් ජීවත්වීමය. මෙම අපේක්ෂා අර්ථයෙන් මිනිස් සමාජය කොතෙක් ප්‍රමාණයකට සමත් වී ඇත්දැයි යන්න ලෝකය පුරාවට සාපේක්ෂක වුවද ලංකාව නමින් අන්‍යය වී ඇති රටෙහි මිනිසුන් වශයෙන් ජීවත් වීමට කොතෙක් දුරට සමත් දැයි කල්පනා කළ යුතුව ඇත්තේ දිනෙන් දින පිරිහෙමින් ගලා යන සාමජ භාවිතාවේ ලෝක දැක්ම ගැටලුකාරී නිසාවෙනි.

ම්ලේච්ඡ සමාජයේ සිට සභ්‍ය සමාජය දක්වා සමජය පරිණාමය වී විකාශනය වුවද අනෙකාගෙන් මිනිසා සමත් යැයි හෝ දියුණු යැයි කිව හැකිද? එසේ කිව හැකි නම් දැක්විය හැකි මිනුම් දඬු මොනවාද යන්න සෙවීමේදී අප හමුවට එන මූලික පදනම් සංකල්පය වන්නේ මනුෂ්‍යත්වය යන ගැඹුරු අදහසය.  පුද්ගලයාගේ සිට රාජ්‍ය හා පාලකයා දක්වා සෑම සමාජ ක්‍රමයකම අඩුවැඩි වශයෙන් මෙම සංකල්පය, එනම් මනුෂ්‍යත්වය පිළිබඳ වූ අර්තකථනය ඉතිහාසය පුරාවට විවිධ හැඩයන්ගෙන්  වර්ධනය වී ප්‍රතිරාව ගෙන දෙන්නේය. මනුෂ්‍යත්වය පිළිබඳ කථිකාව ලංකාව විෂයෙහි පුද්ගලයා, සමාජය, රාජ්‍ය හා අනෙකුත් දේහයන් තේරුම් ගැනීම උදෙසා සංවාදගත කළහොත්, අපහට ලැබෙන පිළිතුර සැනසුම්දායක විය හැකි ද? අප සමාජයේ මනුෂ්‍යත්වය පිළිබඳ කථිකාවේ දාර්ශනික පදනම සමාජගත වනුයේ පැරණි බෞද්ධ හා හින්දු දර්ශනයෙන් ද පසුව බටහිර ක්‍රිස්‍තියානි දර්ශනය හා ඉස්ලාම් දර්ශනය යන ආගමික පදනම් ද පසු කාලීනව ඇති වූ සමාජ දේශපාලන දර්ශනයන්ගේ අදහස් තුලිනි. මෙකී දර්ශනයන් අඩු වැඩි වශයෙන් සිංහල හා දෙමළ, මුස්ලිම් හා සෙසු කුඩා සමාජයන් තුල වෙන් වෙන්ව ද මිශ්‍රිතව ද ශිෂ්ටාචාරය යැයි කියන සමාජ සැකසුම අතීතය විසින් සකසා යුග ගණන් ගෙවමින් පැමිණ ඇත.

අප මනුෂ්‍යයින් ලෙස කුමන තලයන්ගේ ජීවත් වන්නේ ද යන්න සමාජ මනෝ විෂ්ලේෂණ දැක්මක් ඔස්සේ තේරුම් ගනිමින් අප පුද්ගලයන්, පවුල්, සමාජයන් හා රට රාජය ලෙස කුමන ඉසව්වක ජීවත් වන්නේ ද යන්න තෙරුම් ගැනීමට පදනම් කර ගනු ලබන්නේ ලෝක දැක්ම නම් වූ සමාජ මනෝවිශ්ලේෂණ සංකල්පයයි. මෙම සංකල්පය ඔස්සේ ලාංකික සමාජයේ පුද්ගල හා සමාජ දේශපාලනික කණ්ඩායම්වල ඇති සවභාවය සහ ඊට ඇවැසි යයි සිතන කැඩපතක පරාවර්තනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය යුතුකමක්ව ඇත.

ලෝක දැක්ම යනු කුමක් ද- what is worldview?

ලෝක දැක්මක් යනු පුද්ගලයින් සහ කණ්ඩායම් ඔස්සේ ස්වභාවය සහ යථාර්තයේ ස්වභාවය  දැකීමකි. එසේම මනුෂ්‍ය ජීවිතයේ අරමුණ නැතිනම් මනුෂ්‍ය ක්‍රියාවලිය සහ  මනුෂ්‍ය සම්බන්ධතා  පිළිබඳ දෘෂ්ටිමය මානසික ආකෘතියකි. මුලු මහත් දෘෂ්ටිය තුලින් කෙනෙකු ලෝකය දක්මින් අර්ථකතනය කරනු ලබයි. ඒ අනුව පුද්ගල හා කණඩායම් ක්‍රියා කරණු ලබයි. එ ඔස්සේ මෙහෙයවනු ලබයි.

කුමන හෝ තරාතිරකම සෑම පුද්ගලයෙකුටම ලෝක දැක්මක් ඇත.එය දැන හෝ නොදැන හෝ පුද්ගලයා සතු දෙයක් වේ. මෙම ලෝක දැක්ම අප අවට ඇති යතාර්ථයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද, අර්ථකතනය කරගනු ලබන්නේ, තේරුම්ගනු ලබන්නේ හා සංජනනය කරගනු ලබන්නේ කෙසේද යන්න හැඩගස්වනු ලබයි. මේ ලෝක දැක්ම(දැකීම්) අනෙකාට පිළිගත හැකි හෝ පිළිගත නොහැකි, ප්‍රකෘති හෝ විකෘති බවට පත්වීමට අප ක්‍රියා කරන, සිතන, හා සලකනු ලබන සෑම දෙයක්ම හැඩගස්වනු ලබයි. 

පුද්ගල හා සමාජ යන තල දෙකෙහිදීම අප විසින් දකින, අනෙකා සහ විශාල වශයෙන් ලෝකය දකින අයුරු නියෝජනය කරයි.වඩාත් වැදගත් වන්නේ එම දෘෂ්ටිය යථාර්ථය බවට පත්කරගන්නේ කෙසේද යන්නය.ලෝක දැක්ම ජීවිත කාලය පුරාවටම වර්ධනය වන අතර අධ්‍යාපනය, පවුල් සම්ප්‍රදාය, ආගමික විශ්වසයන් දේශපාලනික මතවාදයන් සහ ජනමාධ්‍ය වැනි දේ තුලින් පරම්පරාවෙන් පරම්පරාවට විකාශනය කරනු ලබන්නකි. අප ජීවත්වන නූතනම අවධිය තුල ඇති තාක්ෂණික මෙවලම් හේතුවෙන් ඉතා වේගයෙන් වර්ධනය වීම සඳහා ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතිශය දැවැන්ත කාර්යයක් සිදු කරනු ලබයි.

උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ  ලාංකීය ජාතිය පිළිබඳ  ලෝක දැක්ම රාජ්‍ය විසින් පිළිගත් සාමාන්‍ය (ප්‍රකෘති) දෙයක් ලෙස සලකණු ලබයි.මෙම සිංහල ජාතිය පිළිබඳ ලෝක දැක්ම තුල අපගේ චින්තන සිතිවිලි හැඟීම්, සහ ක්‍රියාකාරකම් ඒ තුල ගොඩනංවනු ලබයි. මේ අනුව සිංහල බෞද්ධ  මානය තුල සිට සෑම දෙයක්ම මැනීම හා ප්‍රකාශ කිරීම කරනු ලබයි. අනගාරික ධර්මපාල,නලින් ද සිල්වා, ගුණදාස අමරෙසේකර වැන්නගේ ද දෘෂ්ටීන් දෙස බැලීමේ දී අවබෝධකර ගත හැකි වේ.

එපමනක් නොව, අපගේ ඉතිහාසයේ වංශ කථාව ලේඛණ ගත කර ඇති මහාවංශය බුද්ධිමත්ව කියවා බැලූ කල සිංහලයාගේ ලෝක දැක්ම ගොඩනංවා ඇති අයුරුත් එය අවිච්ඡින්න ලෙස ගලා ගෙන එන ආකාරයෙන් බැස ගත හැකි නිගමනයන් මොනවාද

සරල ආකරයෙන් ගත්විට, සිංහල බෞද්ධ යථාර්ථය සමවන්නේ වාර්ගික ජන කණ්ඩායම ලෙස (සිංහල බෞද්ධ), ආගම ලෙස (ථෙරවාද බෞද්ධ), භෂාව ලෙස(සිංහල),  වංශය ලෙස( ආර්ය සිංහල), සහ ජාතිය  ලෙස (ශ්‍රී ලංකා) යන්නට ය. මෙම යථාර්ථය තුල ලාංකික කොදෙව් ජාතිය යනු සිංහලයන්ගේ භූමිය වන්නා වූ ආර්ය වංශයෙන් යුත් සිංහල කතාකරන ජනයාගෙන් යුත් බෞද්ධ ජාතියක් වේ. මෙම දැක්ම තුල සිංහල ජාතික වාදි මතවදය යන්න ථේරවාද බුද්ධාගමෙන් ද සුපිරි යැයි කියන (ආර්ය) වංශයකින් යනුවෙන් ස්වං මමත්වකරණයට පත්ව, ද්‍රවිඪ දෙමල ජනයන් විසින් ආක්‍රමණය කරනු  ඇතැයි යන අනාගත බියකින් යුතු විශෙෂිත බැඳීමකින් ජාතිකරණය වූවකි. (ඩග්ලස් ඇලන්, උයන්ගොඩගේ උපුටනය)

ඉතිහාසය පුරා මෙලෙස පැමිණ ආ ලෝක දැක්ම රටක් ජාතියක් ලෙස උපරිමස්ථානයට පැමීණියේ විශාල ජන ඝාතක යුද්ධයකින් ද ඉන් අනතුරුව, මානව විරෝධී හිංසන හා සදාචාරයමය පරිහාණියක ගැලීමෙන් නොනැවතී එම ලෝක දැක්ම උත්තම ඝණයේ මතවාදයක් කිරීමෙනි.

ලෝක දැක්ම  අපගේ අද්විතීය පුද්ගල ජීවන අත්දැකීම් සහ සාමූහික සංස්කෘතික ඉතිහාසයන්ගේ ප්‍රමාණයන් විසින් හැඩගන්වනු ලබන අපගේ‍ විඥාණයේ වර්ධනයට සෘජුව  ඇතිකරන ප්‍රතිචාරය තුලදී වර්ධනය වීම සිදු වේ. සාමාන්‍යෙයෙන්  අප සතුව ඇති විඥාණය ලෝක දැක්මේ කොටසකට පමණක් සවිඥ්ඥාණික වේ. වැඩි කොටස, රැඳී පවතිනු ඇත්තේ අපගේ සවිඥ්ඥණික දැනුවත්බවෙහි මතුපිට පතුලෙහිය.


ගැටුම පදනම් වූ ලෝක දැක්ම- Conflict- based Worldview



අප බොහෝ දෙනා විසින් සමකාලීන ලෝකයේ දී, ජීවිතයට අත්දැකීම් ලබා ගනු ලබන්නේ, ලැබෙනුයේ ද අවබෝධකර ගනු ලබන්නේ ද ගැටුම කේන්ද්‍රකරගත් මානයකිනි.මේ කාරණය නිසාවෙන් අද සමාජයන්ගේ අති ප්‍රමුඛ ලෝක දැක්ම ලෙස අපව දැනුවත් කරනු ලබන   දර්ශනයන්, සංකල්පයන්, සහ විද්‍යාත්මක/ මිථ්‍යාත්මක න්‍යායන් විසින් ඒවා ගැටුමට උරුමයක් සේ සලකන, අවශ්‍යවන්නා වූ මනුෂ්‍ය ස්වභාවයේ අංගයන් හා ජීවන ක්‍රියාවලියට අදාල දෑ හඩගස්වා ඇත. ගැටුම කේන්ද්‍රකරගත්  ලෝක දැක්මන් යනු  මුල්  කාලීන යුග වල දී පුද්ගලයින්ගේ  හා සාමූහික වශයෙන්  පරිණතභාවයට පත් වූ ක්‍රායාවලීන්ගේ සුවිශේෂිත ලක්ෂණයන් වෙති.
පුළුල් ලෙස පිළිගත් ගැටුම පදනම්කර ගත් ලෝක දැක්ම සඳහා  දායක වූ විද්‍යාත්මක හා දාර්ශනික න්‍යායන් අතර ප්‍රමුක පෙළේ නිදර්ශන වන්නේ, චාල්ස් ඩාවින්ගේ ස්වභවික වර්ණවාදී න්‍යාය theory of natural selection, කාල් මාක්ස්ගේ පංති ගැටුම පිළිබඳ න්‍යාය theory of class struggle, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශන න්‍යාය, the Tri-Partite Psyche සහ ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොල, the Free-Market System
ඩාවින්ගේ න්‍යායට අනුව,  සියලුම ජීවිත පවතිනුයේ අරගලය, තරඟය, සහ ගැටුමේ රංග භූමිය තුල දීය.  පරිනාමයේ ප්‍රතිපලය වන්නේ බලවතාගේ පැවැත්ම „Survival- of-the Fittest“යන්න ය. සමාජ ඩාවින්වාදය, න්‍යායක් වශයෙන් ඩාවින් විසින් කළ සොයා ගැනීම්  යටත්විජිතවාදය, නිර්බාදිත ධනවාදය මෙන්ම ඒකාධිපතිවාදය පවා සුජාතකරණය කිරීමට, පදනම් වූ  විශ්වසයක් ඇති කළ අතර  සෑම මනුෂ්‍යයෙයකුටම ජීවත් වීමට හා  ශක්ති සම්පන්න වීමට කරන අරගලයක් ලෙස මනුෂ්‍ය අන්තර් සම්බන්ධතා නිරන්තරයෙන් අනෙකා කෙරෙහි බලපැම් කරන්නට විය.

මාක්ස්ගේ න්‍යායට අනුව ඉතිහාසය මෙහෙයවනු ලබන්නේ  දෘඪ වූ පංති දෙකක නො වැලැක්විය හැකි අනවතර අරගලයකිනි. නිෂ්පාදනය හිමිකරුවන් සහ එම හිමිකරුවන්ට ශ්‍රමය සපයා වැඩ කරන කොටස ලෙසය. ඉතිහාසය  නොනවතින ලෙස තල්ලු කරනු ලබන  ගැටුමේ චක්‍රය  ව්‍යස්ථාපිත සාමය සඳහා අවසානයකට ගෙන ආ හැකි වන්නේ ප්‍රාග්ධනය හිමි පංතිය තුරන්කිරීමෙන් පමණකි ය යන්න මාක්ස්වාදයේ හරයාත්මක දැක්ම විය.

ෆ්‍රොයිඩ්ට අනුව ජීවිතය පාලනය කරනු ලබන්නේ (වැඩි වශයෙන් අවිඥාණකව) ආශයන් දෙකකිනි. ලිංගිකත්වය (කාම තෘෂ්ණාව) සහ  ආක්‍රමණය ( මරණීය ආශය) වෙති. පුද්ගලයන් නිරන්තරයෙන්ම මෙම ආශයන්  දෙක හේතු කොට ගෙන ගැටුම අත් දකින අතර  ඇතුලත ගැටුම සිදුවනු ඇත්තේ මනෝ ධාතුවෙහි ඉඩ් (id), ඉගෝ(ego) සහ සුපර්ඉගෝ (super ego)අතර ය. ෆ්‍රොයිඩගේ රචනා ශතවර්ෂයක් වසා දැමීමට ලක්කර තිබුණු බටහිර සමාජයට බලපෑම් කළ අතර, පරම්පරාවකින් පසුව පරම්පරාවක් ලෙස  ඔහුගේ න්‍යායන් පුද්ගල වර්ධනය සඳහා යොදා ගනු ලැබුවේ ජීවිතයේ අර්ථය තක්සේරු කිරීමටය.

ඇඩම් ස්ම්ත්ගේ න්‍යායට  අනුව තරඟය යන්න නිරෝගිමත් ආර්ථික ජීවිතයක පදනම සේම එය පුද්ගලයන්  සාර්ථකත්වය සඳහා මෙහෙයවනු ලබයි. ශක්තිමත් ආර්ථිකයක් විශේෂිත වන්නේ තරගය සහ  ශක්තිවන්තයාගේ පැවැත්ම මතය. වැඩි වශයෙන්ම, තරඟය පිළිබඳ මූලධර්මය සියලුම වර්ගයේ අන්තර පුද්ගල සහ ජාත්‍යන්තර සබඳකම් මෙහෙය වීමට භාවිතා කරන්නට විය.

ඓතිහාසික වශයෙන් මෙම න්‍යායන් සමාජ හා දේශපාලන වෙනස්කම සඳහා  බලසම්පන්න ප්‍රගාමකයක් සපයන්නට විය. නිර්මාණවාදයට ඇති තර්කයට  ප්‍රතිවිරුද්ධව පරිණාමවාදය පිළිබඳ න්‍යාය මිහිමත ජීවිතයේ සංවර්ධනයටත් එය තව දුරටත් ගවේශනය කරමින් අත්හදා බැලීමට ප්‍රමාණවත් පහැදිලි කිරීමක් සපයන්නට විය. නිදහස් වෙළෙඳ පල ආදර්ශය(මොඩලය) වැඩවසම් හා යටත් විජිත ව්‍යුහයන් තුල  සමාන්‍ය වෙළෙන්දන්ට එතෙක් ලාභ ඉපයීමට නොහැකිව පැවැති  තත්වය විවෘත කරන්නට විය. පංති අරගලය පිළිබඳ න්‍යාය ආර්ථික, සමාජීය හා දේශපාලන කටයුතුවල දී ප්‍රධාන වශයෙන් යුක්තිය හා සමානාත්මතාවයේ අවශ්‍යතාව පිළිබඳ ජන සවිඥාණකත්වයකට දායකත්වය සපයන්නට විය. එතෙක් පැවැති  යක්ෂ ප්‍රේත වැනි අන්ධ විශ්වාසයන් ෆ්‍රොයිඩගේ න්‍යායන් තුලින්  මානව මනෝවිද්‍යාත්මක තත්ත්වයකට පත් කිරීමට හැකි විය.

මෙකී න්‍යායන්ට අනුව ගැටුම පදනම් කරගත් විශේෂිත ලෝක දැක්මන් දෙකක්  අද ලෝකයේ ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ලෝක දැක්මන් විවිධ ප්‍රමාණයෙන්ගෙන් මනුෂ්‍ය සමාජයන් නියෝජනය කරනු ලබයි. ඒවායින් ප්‍රධාන වශයෙන් පුද්ගල සහ සාමාජීය වශයෙන් වර්ධනීය අවධීන් දෙකක් ලෙස පැවැත්මේ  „Survival phaseඅවධිය  සහ අනන්‍යතා  „identity phase“ අවධිය පිළිවෙලින් හඳුනාගනී. පහතින් සාකච්ඡා කරනු ලබන පැවැත්ම පිළිබඳ ලෝක දැක්ම සහ අනන්‍යතාව පිළිබඳ ලෝක දැක්ම වෙන් වෙන්ව කතා කළ ද බොහෝ විට පුද්ගලයින් හෝ සාමාජිය ලෙස මෙම දෙකම වෙන්ව මෙන්ම එකට මිශ්‍රිතව ක්‍රියාත්මක වීම දැකිය හැකිය.

පැවැත්ම පිළිබඳ ලෝක දැක්ම - Survival Based Worldview 

පැවැත්ම පිළිබඳ ලෝක දැක්ම  කෘෂිකාර්මික නැතිනම් පූර්ව කාර්මික කාලවල සාමූහික සංවිධානයේ මුල් දශකයට සහ පුද්ගල ජීවිතයේ අර්ධයකට අනුරූපි වන්නේය. බල අසමතුලිතයේ තත්ත්වයන් පොදු වශයෙන්  ද අනතුර, අනාරක්ෂාව  සහ ඊට ගොදුරුවිය හැකි ආකාරයේ සංජානනීය තත්ත්වයන් දැකිය හැකිය. මෙම දැක්ම දරිද්‍රතාවයේ, අයුක්තියේ, අරාජිකත්වයේ, කායික  තර්ජනය, හෝ ඕනෑම මොහොතක ඇති යුදමය තත්ත්වය සහ ඕනෑම සංස්කෘතික පසුබිමක ඇති තත්ත්වයන් යටතේ වර්ධනය විය හැකිය.  නොනැසී ජීවත්වීමට අවැසි අවස්ථාවේ දී, මනුෂ්‍යයින්, පුද්ගල සහ සමූහික යන දෙපිරිසම තමන්ගේ පැවැත්ම සඳහා බියකින් පසුවන අතර මෙලෙස ආරක්ෂාව අපේක්ෂාවෙන් බලය සොයාගෙන යන්නේය. අනතුරින් පිරුණු ලෝකයක දී, නියෝගය සහ ආරක්ෂාව ඉහලම අගයක් ගනී. මෙලෙස පැවැත්ම පිළිබඳ තත්ත්වයන් තුල,  එය එකෙකු හෝ කුඩා මිනිස් කණ්ඩායමකට ශක්තිය හා බලහත්කාරය තුලින්  බලය ලබා ගැනීම ද අනෙක් අයට තම ආරක්ෂාව හා රැකරවණය තහවුරු කර ගැනීම පිණිස බලය යොදවන පිරිස අනුගමන කිරීම ප්‍රකෘති දෙයක් වන්නේය. මෙම අවධිය තුල ඇතිවන මිනිස් සබඳතා අසමාන බලය බෙදා ගැනීමකින් ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බලහත්කාරය යෙදවීම මූලික වශයෙන් විශ්වාසය තැබීම සුවිශේෂී දෙයකි. මෙම අවධියෙදී බලහත්කාරය යෙදවීම බල පරාක්‍රමය සත්‍යය වන්නේය” “might is right” යන මතයේ විශ්වාසයෙන් සාධාරණියකරණය කරනු ඇත.
ප්‍රධාන වශයෙන්ම, පැවැත්ම පිළිබඳ අවධියේ චින්තනයේ නැඹුරුව සැලකිය යුතු ප්‍රමාණයේ ප්‍රචණ්ඩත්වය වන අතර එවැනි අවධියක ජනතාව( පුද්ගල සහ සාමූහික) ලෝකය භයානක දෙයක් world as dangerous ලෙස දකිමින්, පාලනය හා බලහත්කාරයේ මූලධර්ම ක්‍රියාත්මක කරමින්, ජීවිතයේ අවසාන අරමුණ වන්නේ කෙනෙකුගේ  සහ එම කණ්ඩායමේ ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමටය.
පැවැත්ම පිළිබඳ ලෝක දැක්මෙන් ක්‍රියාත්මක වන සමාජයන් බලයෙන් යුක්ත ඒකාධිපතිවාදයකට නුඹුරුවක්  දක්වන අතර එවැනි තත්ත්වයක් තුල විවිධත්වය තුල ඒකකත්වයේ (unity in diversity) සන්දර්භය තුල කල් පවත්නා සාමයකට ඇති නිර්මාණාත්මක නැඹුරුව දැකිය නොහැකිය. පැවැත්ම පිළිබඳ ලෝක දැක්ම තුලින් මනුෂ්‍ය කණ්ඩායම් සහ සමාජයන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ බලය හා සම්පත්වලට හැකියාවක් පැවැතිය ද ඒකාධිකාරී බල භාවිතාව ඊට තහවුරුවක් ඉල්ලා සිටිනු ලබන අතර, අන්ධ බවින් යුතු කීකරුකම සහ බලය නොමැති කමින් නිශ්ක්‍රීය ඉවසීමකට මග පාදනු ලබයි. ඒකාධිපති ආයතනයන්  සහ සමාජයන් ක්‍රමාණුකූලව කාන්තාවන්, ළමයින්, සුළුජන කණ්ඩායම්, විදේශිකයින් සහ බලය හා ධනය අහිමිකමේ අවාසියෙන් සිටින්නන් නොසලකා හරිමින් අපහරණයට ලක්කිරීමට පෙළඹෙනු ඇත. මෙම තත්ත්වයන් තුල පුද්ගලයන්ට  තම ආවේනික හැකියාවන් වර්ධනය කරගැනීමට ඉඩ කඩක් නොමැති අතර  එම නිසාම සමාජය ඉදිරිය කර ගමන් කිරීමට නොහැකිව බහුතරයක ජනයාට දායාද කළ හැකි නිර්මාණාත්මක දායකත්වය නොසලකා හැරෙනු ඇත. එවැනි තත්ත්වයක් තුල සාමය සහ ඊට අදාල සැකසුම ඒකාධිපති  ක්‍රමයක නිර්මාණය කරනු ලබන්නේ මායාත්මක තත්ත්වයකි. ක්‍රමය පවතින්නේ බල අසමතුලනයක් ඇති තාක් කල්, සහ ඒ තුල පාලකයන්ට හා පාලක පංතියට, තමාට අවනත ජනයාට නියෝග පැනවීමට සහ යටත්කර ගැනීමට හැකි තත්ත්වයක් තුලය.මේ අනුව පැවැත්ම මත පදනම් වූ ලෝක දැක්මේ ප්‍රධාන අංග ලක්ෂණ සාරාංශ ගත කළවිට

පැවැත්ම පිළිබඳ ලෝක දැක්ම - Survival Based Worldview
 

සංජානනය- Perception     
   »»»»»»»
ලෝකය භයානකය- world is dangerous
ක්‍රියාත්මක මූලධර්මය- operating principle
   »»»»»»»
බල පරාක්‍රමය සත්‍ය වේ- Might is right
සම්බන්ධතා මාදිලිය- Mode of Relationship
   »»»»»»»
දෙකට බෙදීම- Dichotomous
අවසාන අරමුණ- Ultimate Purpose
   »»»»»»»
පැවැත්මට සහ පාලනයට - To Survive and Control
තීරණය කිරීමේ මාදිලිය-Mode of Decision Making
   »»»»»»»
ඒකාධිපතිවාදය/අත්තනෝමතිකත්ව Athoritarian/ Absolutist


ඉදිරි කලාපයට මතු සම්බන්ධය

උදය ආර්. තෙන්නකෝන්-  Udaya R. Tennakoon