Diaspora Diary

Tuesday, January 1, 2013

මීට වසර පහකට පෙර ජූනි 25


 http://syberstreet.files.wordpress.com/2012/06/images-5.jpg


මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “ මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ හැඟීමක් නො තිබිණි. උපන් දිනය පවා වැදගත් දිනයක් කොට සලකන්නට අවශ්‍යතාවක් නැති මට, සැමරුම් දින හෝ විශේෂිත දින එතරම් වැදගත් නොවුණත් ජුනි 25 පිළිබඳ මීට අවුරුදු පහක මතකයෙන් අතීතය අවුස්සන්නට වීමෙන් යටපත් ව තිබූ රෝගයක් යලි ඇවිස්සුනාක් මෙන් මගේ සිත නොසන්සුන් කරන්නට විය. නොසන්සුන් වීමේ සංවේදී හේතුව වන්නේ, පණිවඩය එවා ඇති සගයාගේ මනෝභාවය පිළිබඳ සිතන විටය.අවුරුදු පහක් කල් පිරෙද්දීත්, ඔහු ඇතුලු තවත් සගයින් හිර ගෙදර දින ගැනීම කරමින් නිදහස නැමති බලාපොරොත්තුවේ සිහින දකිමින් සිටින්නෝය.
ජූනි 25 ආයාසයකින් මෙනෙහි කරන්නට තරම් අමතක නොවන දවසක් බව ඇත්තකි. එහෙත් එවැනි දින කොපමන නම් ජීවිතයට එකතුවී ඇත් ද. පණිවිඩය එවන ලද සගයාත්, පණිවිඩයත් එකට එකතුව ගෙන දුන් මතකය නිසා ජූනි 25 වැනි දින අතීතයට ගොස්, එහි ඇති ස්මරණිය හැඟිම දැනෙන්නට විය. විසිපස් වැනි දිනය යනු  අප සියලු දෙනා බූස්ස රැඳවුම්  කඳවුරට ආයුබෝවන් කී දිනයයි. අප සියලු දෙනා යනු මීට වසර පහකට පෙර එනම් 2007 වසරේ දී කිසියම් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ සිංහල තරුණ කණ්ඩායමකට “ සිංහල කොටි “ නම් වූ ලේබලය සමාජගත වූ  සිද්ධයට සම්බන්ධිත පිරිසයි.
අපි සියලු දෙනා බූස්සේ රැඳවුම් කඳවුරෙහි ත්‍රස්තවාදීන් ලෙස සිරගත වී සිටියෙමු. මුලින් ම බූස්ස කඳවුර සිංහල ත්‍රස්වතවාදීන්ගේ කඳවුරක් විය. දෙවන වර දෙමළ ත්‍රස්තවාදීන්ගේ කඳවුර වුවද, එහි සිංහලයින් ද මුස්ලිම් කිහිප දෙනෙකුන්ගෙන් ද යුතුව මිශ්‍රිත කඳවුරක් විය. පළමු වරට සිංහලයින් වැඩි පිරිසකගෙන් යුතුව බූස්ස කඳවුර දෙමළ කොටි සැකකරුවන්ගෙන් ද පිරි පැවැතිණි. දෙමළ කොටියාට වඩා සිංහල කොටියා ජාතියට ද්‍රෝහියෙකු වූ අතර සමාවකට කිසිදු අවකාශයක් නො තිබිණි. එම ආකල්පය සමාජගත කිරීමේ ප්‍රමුඛ කර්යය බහුතර ජනමාධ්‍ය විසින් ඉටුකරන ලද්දේ නීතියටත් කලින් දඬුවම් දීම තුලිණි. සිංහලයින් වූ අප දෙමල කොටි සැක කරුවන් හා එකට විසීමෙන් බූස්ස කඳවුර කිසියම් වෙනසකට හැරුණේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නට විය. රැඳවියෙකු වශයෙන් කඳවුර තුල ඇති අයිතීන් පවා අහිමි වී සිටි සැකකරුවන්ට කිසියම් ආකාරයක සහනයක් සිංහල කොටි නිසා ලැබුණු අවස්ථා ඇති විය.
ඉන් පළමු වැන්න නම් භාෂාව දෙමළ විම නිසා ඇති වු අසාධාරණය විය. ඔවුන්ගේ හඬට කන් දෙන්නට තරම් සංවේදිබවක් රාලහාමීලා බහුතරයකට නොතිබුණත්, බූස්ස බාර පොලිස් ස්ථානාධිපතිවරයා රැඳවියන්ගේ හඬට කන්දුන් දුර්ලභ ගනයේ පුද්ගලයෙකු වු බව කිව යුතුය. ඔහුගේ එම ක්‍රියා කලාපයට විරුද්ධව බොහෝ නිලධාරීන් තුල ද කතාබස් ඇති වි “ කොටියෝ නලවන්න හදනවා“ යන හැඟීමෙන් යුතුව බොහෝ විට අමානුෂික ලෙස කටයුතු කරන්නට වු අවස්ථා ද දැකගත හැකි විය. යක්ෂයින් අතරට මනුෂ්‍යෙයකු පහළ වූයේ කෙසේ ද යන සිතිවිල්ල ඇතිවීම පුදුමයක් වූවත් සත්‍යය එයමය. ඔහු එසේ කළේ ඇයි යන කාරණයට ඇති හේතු පසෙක තබමින් ජුනි විසි පස්වැනිදා උදෑසන සිංහල කොටින් වු අප 26 දෙනාත් සමග තවත් දෙමළ සැකකරුවන් කිහිප දෙනකු ද, ගැහැණු කොටි සැකකාරියන් කිහිප දෙනකු ද ඇතුලු සියලු දෙනා අශෝක් ලේලන්ඩ් බසයක නංවා කොළඹට ගෙන එන්නට සූදානම් විය.
(මේ අතර ද කතා ඇත)
අප සමඟ බූස්සේ සිටි සිංහල සැකකරුවන් අතර පාතාලයේ නමගත් චරිත කිහිප පලක් ද කොටින්ගේ වැඩවලට සම්බන්ධ විම නිසා එහිම රඳවා සිටි අතර,  ඔවුන්ගෙන් නමගත් මැරයා කෝට්යේ දයා ය. ඹහු 88/ 89 කාලය තුල බූස්ස කඳවුරේම මැරකම් කරනු ලැබූ හිටපු හමුදා භටයෙකි. දෛවයේ සරදමකට මෙන් ඔහු ද බූස්සේ හිරගතව නින්ද නොයන රෝගයෙන් පෙලෙමින් පැරණි මැරකම් ස්මරණයෙන් රාත්‍රිය ගතකළේ  “ හෙට මාව නිදහස් කරාවි හෝ රිමන් කරාවි“ යන සිහින සිතිවිල්ලෙනි. ඔහුට කලින් සිංහල කොටි බූස්සෙන් කොළඹට ගෙන යෑම ඔහුට දරාගත නොහැකි දෙයක් විය.
“ කොටින්ට පුක දුන්න එවුන් රිමාඩි කරනවා අපි මෙතන අවුරුදු දෙකක් වෙන්න එනවා තවම මොකවත් නෑ“
ත්‍රස්තවාදී පණතට අනුව ඔහු ද එකම ගොඩට වැටුණු ද්‍රෝහියෙකු වුවත්, ඔහුට අනුව ද අප ද්‍රෝහින්ය. නියම අර්ථයට අනුව නම් සැම සියලු මානයකින්ම ද්‍රෝහින් වී ඇත්තේ ඔහු වැනි ඝාතකයින් වුවත්, ජාතිය නැමැති ඔටුන්න පැළඳගත් ඕනෑම තක්කඩියෙකුට සියලු ජඪකම් සාධාරණීයකරණය කරගත හැකි හෘද සාක්ෂියක් හදාගැනිමට ජාතිමාමකයෙකු විමෙන් හැකි වන්නේය. කොළඹ බලා බසය ධාවනය වෙද්දී, බසය තුල වූ වැඩි දෙනකුට විනොද ගමනක් මෙන් විය. කිහිප දෙනෙකු සින්දු කියන්නට පටන් ගත් අතර, එය ක්‍රමයෙන් වැඩි වර්ධනය වී මාංචු ලා ගත් විනෝද චාරිකාවක් වන්නට ඇත්තේ නිදහස පිණිස යන ගමනේ එක් පියවරක් පසු කළ නිසා විම හෝ තිබෙන තත්තවය තුල මිනිසා ජීවිතය සොයන නිසා විය හැකිය. සිංහල සින්දු අතරට දෙමළ සින්දු ද එක් වි සියලු දෙනා කිසියම් විනෝදයක් ලද අතර එහි කොටස් කරුවන් බවට පත්වීමට අපව මාංචු ලා රැකවලෙහි වු පොලිස් හමුදා භටයින්ට ද සිදු විය. ඔවුන් ද විනෝදයක් ලබන්නට ඇත. රංජනි නමි දමිල සහෝදරිය කැඩුණු සිංහලෙන් ගැයූ “ සුරංගනීට මාළු ගෙනාවා“ ගීතය හැමකෙනෙකුම අසා සතුටු විය. මාංචුවලට, හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ  නොහැකිය. බැඳෙන විශ්වාසය, සහෝදරත්වයට මාංචු දැමිය නොහැකිය.

අප සියලු දෙනා එදින හවස උසාවි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාණ්ඩ කර කොළඹ ඇති සිර ගෙවල් තුන වූ මැගසින්, වැලිකඩ හා සී ආර් පී යන්නෙහි විශේෂ ආරක්ෂාව ඇතිව රඳවන ලෙස නියෝග ලැබෙන විටත් එදින නිදහස අපේක්ෂාවෙන් සිටි සගයන් නො සිටියා නොවේ. රඳවා තබන ලද දින සිට විවධාකාර හිංසනයන්ට මුහුණ දෙන්නට වූයේ “සිංහල ජාතිය හා ද්‍රෝහිත්වය“  යන්න අන් කවර වරදකට ද වඩා අධිනිශ්චය කරමිනි.මංකොල්ලකාරයා ද, ස්ත්‍රී දූෂකයා ද, ජාතියක ධනය කොල්ල කෑ වැට් හොරුන්ට ද වඩා ද්‍රෝහීන් බවට පත්වීමේ ඛේදවාචකය අත්දකින්නට විය.
(මේ අතර ද කතා ඇත)

  මේ මොහොත වන විට තවත් පිරිසක් නිදහස අපේක්ෂාවෙන් සිටින අතර දේශපාලන සිරකරුවන් ගොන්නෙහි ශුද්‍රයන් බවට පත්ව ඇත. යුද්ධය හමාර කර අතපිස දා ගෙන මෙන් සිටිය ද, දේශපාලන සිරකරුවන් තව දුරටත් සිරකර සිටීම කුමන අරථයෙන් හෝ සාධාරණ නැත. අද හෙට දින මාස මග බලා දඬුවම් විඳිමින් සිටින හැඟීම දැනීම සිහිපත් කරමින්, සගයිනි ඔබගේ හැඟීම් බෙදා ගනු ලබන්නේ සිංහල කොටි  බවට පත් වූ සමස්ත  දේශපාලන ආඛ්‍යානය නිවැරදි යැයි කීමට හෝ එය සධාරණීය කරණය කිරීමට නොව, පරමාරථ වශයෙන් හා අවංකත්වය අතින් නිවැරදි වුවත්, ක්‍රියාමාර්ගික හා  දේශපාලනික අරුතින් වැරදි මගකට තල්ලු වූ ඉක්මන හා අබුද්ධික රැඩිකල් කම පිළිබඳ ස්වං විවේචනාත්මක ආස්ථානයක සිටිමින්ය.
මෙම සංසිද්ධිය මහ දේශපාලනයේ ආඛ්‍යාන අතර ඉතා කුඩා අංශුවක් වුව ද වාමාංශික ප්‍රගතිශීලී යැයි කියා ගත් සමාජ ධාරාව සතු වූ මානව වගකීම ජාතිවාදයට තල්ලු කර  අන්තිම දෙමලා ද කොටියා කොට නැසිම දක්වා රාජ්‍ය උසිගන්වමින්  සිටි දේශපාලනික සංස්කෘතියේ අතුරු නියත සංසිද්ධියක් වන්නා සේම, න්‍යායික නිද්‍රාවෙන් හා ගෝත්‍රික ප්‍රගතිශීලි විඥ්ඥාණයෙන් යුතු වූ දේශපාලන සංස්කෘතියක් උතුරු දකුණු අරගලයට උරුම වී මනුෂ්‍යත්වය පරාජය වූ නිසා ය. ඉතින් ප්‍රගතිශිලි වූ මිනිසුනි අප හැමට ශුද්‍ර දෙයින් ද බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. එය හොඳාකාරව රාජ්‍ය ඉගෙන ගෙන ඇත. අවසානයක් නැති ද අවසාන වශයෙන් කිව යුතු වන්නේ “ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ය.කිසිවකුට හෝ දඬුවම් දියයුතු යැයි සිතෙන්නේ නම්, ඔබලාට කිව යුතු වන්නේ “ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“ යන්නය.

 Image
උදය ආර්. තෙන්නකෝන්

No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න