Diaspora Diary

Tuesday, January 1, 2013

වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ-

Image
ප්‍රවාද අංක 2
“පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන්   වූ විනාශය  අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින් දුටු අතර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඇති වැදගත්කම ද කියා පාන්නට විය. ග්‍රීසියේ පශ්චාත් යුද තත්ත්වය දුටු සොක්‍රටීස් පැවසූයේ යුද්ධයෙන් පසුව ඇති වන්නේ වහල් මනසක් සහිත ජඩ සමාජයක් යන්නය. එය ලංකාව විෂයෙහි ද වලංගුතාවක් ඇති යතාර්ථයක් වී ඇත.“
පශ්චාත් යුද අවධිය යනු ලාංකික සමාජය විපරිවර්තනීය(Transformative) හැඩයකට බඳුන් වෙමින් පවත්නා තරමක භයානක විනාශකාරී තත්වයකි. මෙම තත්ත්වය යුදමය තත්ත්වයට ද වඩා බිහිසුණු වන්නේ එහි විනාශකාරී මූලයන්  සීතලමය යුධ තත්ත්වයක පසුවෙමින් සමාජ දේහය ඛාදනයට හසු කීරීම හා ආත්මාර්ථය මුඛ්‍යෙ කොටගත් බල කාමයකින් යුක්ත පැරැණි සාම්ප්‍රදායික පවුල් කේන්ද්‍රීය පාලනයකට ගැට ගැසුණු සමාජයක් බවට පත්වීමය.ඒ අර්ථයෙන් ද එය පශ්චාත් වැඩවසම් තත්ත්වයකි. ආකෘතිය අතින් ගත්කල නූතනවාදී, සංවර්ධනීය සංවර්ධන චිත්‍රයක් පෙන්නුම් කළ ද, ගුණාත්මක වශයෙන් පිරිහුණු අසංවර්ධිත ලක්ෂණවලින් පසුපසට ඇදෙන්නා වූ සමාජයක් අප හමුවේ ඇත. මෙම තත්තවය ඇතුලත සිට දිකින තරමට වඩා පිටත සිට, අනෙකුත් විශ්ව සමාජ ක්‍රමයන්ගේ ඓතිහාසික ගමන් මාර්ගයන් හා එහි වර්ධනීය දෑ සමග ගැලපීමෙන්, සංසන්දනය කිරීමෙන් පසු ලංකාව විෂයෙහි නැගෙන හැඟීම මත පැවසිය හැකි වන්නේ, ලංකාව රෝගී තත්ත්වයකට විපරිවර්තනය වෙමින් යන බවය.
මෙම රෝගි තත්ත්වය හඳුනා ගැනීම හා ඊට ප්‍රති කර්ම කිරීම කෙටි කාලීනව හා දිගු කාලීනව සිදු කිරීමට සූදානම් වීම යනු ලාංකික සමාජ වෙනස උදෙසා දමනු ලබන අත්තිවාරම වන්නේය. න්‍යායික ලෙස පශ්චාත් යන විශේෂණ යෙදුම යොදා ගනු ලබන්නේම ඉන් පසු කියැවෙන නාමික අර්ථයේ ස්වභාවය වෙනස් කිරීමට මිස එය ඉදිරියට ගෙන යැමට නොවේ. නිදර්ශනයක් ලෙස පශ්චාත් යටත් විජිත යන සංකල්පයේ හැඟවුම් කරන්නාවූ අර්ථය වන්නේ, එහි තවමත් යටත් විජිත මූලයන් හා ක්‍රියාකාරිත්වයන් ඇත යන්නටය. එයට අනුව යටත් විජිතවාදයට එරෙහි සටනකින් හෝ ක්‍රියා මාර්ගික අරගලයකින් පසුව ඇති කරනු ලබන සමාජ වෙනසට පශ්චාත් යන යෙදුම භාවිත කළ නොහැකිය. එය වනාහී විප්ලවීය තත්ත්වයකි.යටත් විජිතවාදයෙන් පසු ලංකා සමාජයේ එවැනි වෙනසක් නොවුණු බැවින්, පශ්චාත් යටත් විජිත ලංකාව යනුවෙන් හැඳින්වීම වරදක් නොවන සේම, පශ්චාත් යුද තත්ත්වය ලෙස හැඳින්වීම ද නිවැරදි වන්නේ තවමත් යුද පරිසරයක් හා රාජ්‍ය විසින් මුදාහරිණු ලබන පිඩනය හා මර්ධනය හේතුවෙනි. මේ අනුව ලාංකික සමාජය විප්ලවීය වෙනසකින් නව සමාජයක් නිර්මාණය වන්නේ නම්, ප්‍රධාන පෙළේ දේශලපාලන සංස්කෘතික අර්ථයෙන් යුතු පශ්චාත් යන විශේෂණ පද විධවංසනය කළ යුතු වේ.
 ඇමරිකානු නිදහස් සටන ඊට ඇති එක් නිදර්ශනයක් වන අතර, අමෙරිකානුවන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යෙන් නිදහස් විමෙන් පසුව අමෙරිකානු සන්දර්භය සඳහා පශ්චාත් යන යෙදුම යොදා නොගනී. ඔවුන්ගේ සාහිත්‍ය පවා නව අමෙරිකන් සාහිත්‍ය වන අතර එය කොමන් වෙල්ත් සාහිත්‍ය හෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍ය  නොවන්නේය. අමෙරිකානු විප්ලවයෙන් පසුව ඔවුන්ට අනන්‍ය වූ ස්වකීය අමෙරිකානු මොඩලය තනා ගන්නට විය. නමුත් ලංකාව වැනි රාජ්‍යයන්, බ්‍රිතාන්‍යයින් විසින් හැරගිය පසු ඇති වූ  සමාජයට අලුත් තත්ත්වයක් ලැබුණේ නැත. සමාජයක් ලෙස ඉදිරියට පැමිණියේ පැරණි වැඩවසම් හා යටත් විජිත අංග ලක්ෂණ සහිත අඛණ්ඩිත සමාජයකි. එම නිසා ලාංකික සමාජය එම අර්ථයෙන් පශ්චාත් යටත් විජිත ලෙස හැඳින්වීම වලංගු වේ. අනෙක් අතට ලාංකිකයින් ලෙස නිදහස සැමරුමෙන් ආඩම්බරවීමටද සතුටු විය හැකි යථාර්ථයක් අපට ඇතැයි කිව නොහැකිය.
පශ්චාත් යන සංඥාව සහිතව ලාංකික සමාජයේ කොතෙකුත් සංඥා ව්‍යහාරිකව පවතී ද යන්න සිතීම වැදගත් වන්නේ සමාජ දේශපාලනික වෙනසක් උදෙසා යොමුවීමේ දී ය. පශ්චාත් මරණ පරීක්ෂණයේ සිට කැමති පරිදි වෙනස්කළ යුතු මිනිසාට සමාජයට අහිතකර සෑම සාංසිදධියක නාමකරණයකට මෙකී විශේෂණය යොදා ගත හැකි වේ. ඒ අනුව පශ්වාත් යුද අවධිය තුල ද තවත් පශ්චාත් ප්‍රපංචයන් එමට ඇත. පශ්චාත් පැහැර ගැනීම්, පශ්චාත් අවතැන්වීම්, පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වැනි බොහෝ සිද්ධින් ඇත. මෙකී තත්ත්වයෙන් තවත් අතීතයට ගිය විටද පශ්චාත් භීෂණ සමය, පශ්චාත් ජයවර්ධන , පශ්චාත් ප්‍රේමදාස යුග, ආදීය ද  නිදසුන් වේ.
දේශපාලනික හා සමාජ සංස්කෘතික අර්ථයෙන්  පශ්චාත් යුධ තත්ත්වය යන්න අතිශය වැදගත් අවස්ථාවකි. පශ්චාත් යටත් විජිත තත්ත්වයට ද වඩා මෙම අලුත් තත්ත්වය සුවිශේෂි වන්නේ එය මත ගැට ගැසුණු සමීපතම මානව සබඳකම් සහිත අභ්‍යන්තරික, භාහිර සමාජ දෙශපාලනය හා සංස්කෘතිය ඒ තුල ක්‍රියා කිරීම වැදගත් වන බැවිනි. මෙකී පශ්චාත් යුද තත්ත්වය නැසිය යුතු වේ. වෙනස් කළ යුතු වේ. සංකල්පීය ලෙස යුදමය තත්ත්වයක් රට තුල නැති වුවද භෞතික හා මනෝමූලික වශයෙන් පශ්චාත් යුධ තත්ත්වයක් ඇත.එම තත්ත්වය විසින් පෙර නොවූ විරූ හා බලාපොරොත්තු නොවූ සමාජ පීඩණයක් සමාජය තුල ගැබබ්බර වී ඇත.එම පීඩනය මත ගැබ්බර සමාජය වෙත වර්ධනාත්මක වෙනසක් ඇති නොවුහොත් විපරිවර්තනීය සමාජ තත්ත්වයක් ඇති වී ඒ තුල සමාජ සත්වයා ස්වභාවික විය හැකිය. එය මේ මොහොත තුල සිදු වෙමින් පවතින්නේය.
පැරණි සමාජයේ ආගම තුල ස්වාභාවික වූ මිනිසා තමාට අත්විඳිමට ඇති කරදර බාධක දෛවයට හා කර්මයට ලඝුකොට ස්වභාවික වී “ මේක ලබා උපන් හැටිමේ අපේ කරුමේ“ යනුවෙන් තමන් අභිමුක ඇති යථාරථය ආගමික යථාර්ථයකට විපරිවර්තනය කර ගන්නට විය. එවැනි තත්වයන් ලෝක ඉතිහාසයේ බොහෝ සමාජ තුල විප්ලවීය වෙනස්කම්වලට ලක් කරමින් මනුෂ්‍ය අර්ථයන්, අගයයන් සොයා ගන්නට විය. ලාංකීය සන්දර්භයේදී වෙනස්වීම් වෙනුවට, අවිච්ඡින්න ලෙස ඊට අතීත තත්තවයන් ද සෑම නිමේෂයකම සිදුවන අගතිගාමී සිදු වීම් සහිතව විපරිවර්තිත වෙමින් පවතී.මේ නිසා මුළු සමාජය පුද්ගලයාගෙන්, පවුලින් හා සෙසු සංස්ථාවන්ගෙන් විපරිවර්තනය වී ඇත.මෑත දශක දෙක තුනක කාලය තුලදී සමස්ත දේහයම එහි ඇති කාරකයන් තුල අනර්ථ වී(අතාර්ථික ) ඇත. නීතිය යන්න නිදසුන් ලෙස ගතයුතු නම් කොපමණ නම් වාර, අවස්ථා, හා පුද්ගලයින් නීතිය යන්න අනර්ථ කර ඇත් ද. නීතිය යන්න තව දුරටත් යාන්ත්‍රණයක් නොවේ යැයි කීම විවාද සහගත වුවද ඇත්ත වශයෙන්ම දැන් රටට නීතිය වැඩක් නැත. නීතිය තියෙනවා මිසක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වන ප්‍රමාණය ද සිදු වනුයේ දුබල, පීඩිත, විරුද්ධවාදීන් තලා පෙලීමට මිස යුක්තිය සඳහා නොවන බව බුද්ධිමතුන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියා ද විදේශිකයා ද පවා වටහා ගෙන ඇත.රටේ නීතිය රජුගේ නීතිය වී ඇත. පවුලේ නීතිය වී ඇත. හොරුන් තක්කඩින්ගේ නීතිය වී ඇත. ඒ නිසාම
මර්වින් සිල්වා හා නීතිය
දුමින්ද සිල්වා හා නීතිය
 සුධර්මන් රදලියගොඩ හා නීතිය
මොහාන් පීරිස් හා නීතිය
බවට පත්ව ඇත. මෙම ජනප්‍රිය නිදසුන් හැරුණුකොට ගම් මට්ටමේ සිට මැදමුලන පවුල දක්වා දත් නොදත් රහස් වු නීතීන් කොපමණ නම් වේ දැයි ගොළු, බිහිරි අඳ ජනයින් පවා දනී. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී පීඩිත ජනයා දාරියෝ ෆෝගේ Dario Fo’s We Can’t Pay? We Won’t Pay! (Non si paga! Non si paga!) .” “ගෙවන්නැත්තම් බම්බුගහන්නද (සිංහල පරිවර්තනය) (මෙම නාට්‍යෙය් සිදු වන ප්‍රධාන පෙළේ සිදුවීම් අතර වැදගත්ම දේ වන්නේ ජනතාවට ඉහල යන බඩුමිල හා ජීවන බර දරාගත නොහැකිව, පවත්නා නීතිය නොතකා නිතිය තමන් අතට ගෙන වෙළෙඳ සැල් තුලට පැන එහි ඇති ද්‍රව්‍ය බලෙන් ගැනීම ය) යන නාට්‍යෙය් නළුවන් බවට පත්වේද යන්න වෙනුවට, හැඟීම් දැනීම් නැති ලාදුරු රෝගීන් බවට විපරිවර්ථනය වීමෙන් මුදා ගැනීමට නම් බුද්ධිමත් සමාජ වෙනසක් ඇවැසිය.එම වෙනසට ඇවැසි පරිසරය නිර්මාණය කළ යුතුය.එම වෙනස් කිරීම් අතර නීතිය යන්න එක් දේහයක් වුවද, සෙසු සමස්තය ද නීතිය හා යුක්තිය කඩා වැටීමේ කැණිමඩල මත නිදන්ගත වු දේහයන්ය.  නීතිය හැසිරවීමේ සිටි ප්‍රධාන පුද්ගලයකු වූ සරත් නන්ද සිල්වා මහතා සිදුව යන විනාශයේ පශ්චාත්තාපිත සත්වයකු බවට පත්ව සිටිය ද අතීතය තුල කරන ලද වැරදිවල විපාක මුලු මහත් සමාජ දේහයම අත්විඳන මොහොතේ ඔහු ඇවෑමෙන් අසුන්ගතවූවන්ද එහිම වින්දිතයන් බවට පත්ව “ඉන්නවා“ වෙනුවට “තියෙනවා“ යන අප්‍රාණික නාමපද බවට ඉහල උසාවියේ සිට පහළ උසාවිය දක්වා ආයතන ද, පොලීසිය ඇතුලු සෙසු දේහයන් පිරිහීමකට පත්ව ඇත.
එබැවින් මෙම පරිච්ඡෙදයෙන් අලුත් තත්ත්වයකට සමාජය වෙන්ස් කිරීමට නම්, එහි ඇති රෝග කාරකයන් මැනවින් වටහා ගෙන ක්‍රියා කිරීම සමාජ වෙනසකට අර අඳින ජනයාගේ ද විශේෂයෙන් ප්‍රගතිශීලී දේශපාලනයේ යෙදෙන පුද්ගල, පක්ෂ, කණ්ඩායම් ද සිවිල් සමාජයේ ද බුද්ධිමතුන්ගේ ද කාර්යය විය යුතු වේ. මේ මොහොත තුළ දී පවා එයට අවැසි දැනුම, න්‍යාය, විවේචන හා මානව සාධකය රට තුල හා පිටත සිට ක්‍රියා කළ ද ඒ කිසිවක් ගුණාත්මකව සමුච්ඡගත වූ ධාරාවක් බවට පත් නොවීමේ ගැටලුව හේතුවෙන් එය ද විපරිවර්ථනීය තත්ත්වයකට පත්ව ඇත. භාවිතයක් නැති න්‍යාය සමාජය තුලට පිවිසීම සමාජය තුල හොල්මන් කිරිමකි. එය භාවිත සුභාවිත යථාර්ථයන් බවට පත්කර ගැනිමට නම් අද දවසේ ප්‍රගතිශිලින්ගේ කාර්ය විය යුත්තේ එයයි. එනම් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ  සම්මුතිකාමී ගිවිසුමකට පැමිණීමය.
කළ යුත්තේ කුමක් ද ඉදිරියට….
අවධාරණය: මෙහි සඳහන් කරන පශ්චාත් යන වචනයෙහි දේශපාලනික න්‍යායික අදහස  Helen Gilbert, Joanne Tompkins විසින් රචිත Post-Colonial Drama යන කෘතියෙහි අදහසක් වේ.

උදය ආර්. තෙන්නකෝන්


No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න