නෙගටිව්ව ඔළුවෙන්
හිතුවොත්
උත්තරයෙ කෙළවර
කොහේ දැයි දන්නවා
මචං
ඒ උනත් ඒකෙන්
ගැලවෙන්න
අමාරුයි මචං
නෙගටිව් එකම
පොසිටිව් කරං හිතුවත්
මොනවද කරන්නේ
මචං
උන් හරිද අපි
වැරදි ද
දන්නෙ නෑ මචං
අපි වැරදි නං
උන්ටත්
හරියන්න ඕනෑ
අපි හරි නං
ඇයි මෙහෙම
හිතෙන්නේ මචං
මචං කියන්නටත්
කෙනෙක් නෑ මචං
මටම මම
කියන්නෙමි මචං
ප්‍රථම
පුරුෂයත් මමයි
උත්තම
පුරුෂයත් මමයි
මධ්‍යම
පුරුෂයත් මමයි
මම ගාව මමත්
මම ගාව අපිත්
මම ගාව
ඔවුනුත්
ඉන්න එක තමයි
ප්‍රශ්නේ මචං
මම නිසා අපි
වෙන්න
අපි නිසා මම
වෙන්න
මම අපි නිසා
ඔවුන් වෙන්න
අමාරුයි මචං
කොහෙදෝ ඉඳන්
ඇවිදින්
නෙගටිව් එකක්
බයිස්කෝප්
පෙන්වමින්
වෙන් කරනවා
ඔළුව
පොසිටිව්ව
හිතුවත් මචං
හිනා උනත්
මුහුණ
හිත දන්නවා
හිනාවක් ද බව
කථා කෙරුවත්
බරට
මම දන්නවා තරම
මේ බොරුව
දරන්නට බෑ මචං
සකල දේශ වාසී
නිර්ධනයිනි
එක් වව්
කිව්වට
එක් වෙන්න බෑ
නේද මචං
මම හෝ උඹ
නැත්තම් ඔවුන්
නොවෙන්නට
පුළුවනි
පීඩිතයෙක්
නිර්ධනයෙක්
දුප්පතෙක්
එහෙමත් නැත්තං
හොදි නැති තලප
වගේ
ගිල්ල
තියරිවලින්
අනුන් ගැන
උණු වෙන
පපුවක්
නෑ නේද මචං
උණු උනත්
කරන්න පුළුවන්
බිජ්ජක්
තියෙනවද මචං
එහෙමත්
හිතෙනවා මචං
කාලයේ හැටිද
ධනවාදය ද
බඩට පයින් ගහන
නව නිදහස ද
නරුමවාදයේ
කරුමය ද
බුද්ධාගේ
දර්ශනය
ජීසස්ගෙ චරිතය
තව තව ඈ
කැඩපත්
අබිං කිව්වත්
මාක්ස් දිහාවට
හැරෙන්න
බැරි ඇයිද මචං
කකුලේ හිට
ඔළුවට
කන එකට රෙන
එකට
ධනවාදයට
බැන්නට
කොමිනිස්
වෙන්න පුළුවන් ද මචං
මේ වචන ටික මට
කියා ගත්තෙමි. නාන කාමරයට ගොස් කණ්ඩිය දෙස බලා සිටියෙමි මඳ වේලාවක්. කසියම්
සැහැල්ලුවක් පැතුවද හිසෙහි බර තුරන් වූ බවක් නොදැනුණි. ඉන් පසු හොඳටම නා ගත්තෙමි.
මටත් නොදැනී කපුගේ ගේ උළ ලේනෝ සිංදුව නොදැනීම කිය වුණෙමි. ජාත්‍යන්තර ගීතයේ නාදය
හිත තුලින් මිශ්‍ර වී ගියේය එළියට පැමිණ ජනේලය දිහා බලා ගත්තෙමි. එකකට එකක්
විවිධයි. මම අපි ඔවුන්. වට පිට බලා සිනා සුනෙමි. බක බක ගාමින් නොව ඒ මටමය.
උදය ආර්. තෙන්නකෝන්