Diaspora Diary

Tuesday, January 1, 2013

අඳුරට එලිය වෛරයට ආදරය අහිමි මව්බිමේ වේදනාව



 
 
 
 
2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්‍රත කරමින් විදේශයක සිට කිසියම් වේදනාවකින් පෙළෙමින් සිටිමු. 

එම වේදනාව මව්බිම පිළිබඳ වේදනාව වන්නේය(Pain of Motherland). මව්බිම පිළිබඳ වේදනාව රටෙහි පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂගේ සිට පහළම ස්ථරයේ සිටින පොදු මහජනයාට ද ඇත. විශාලතම කැබිනට්ටුවෙහි සිටින ඇමැතිවරුන්ටත්, මන්ත්‍රීන්ටත්, පලාත් සභා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ටද ඇත. බොද්ධ සංඝයාටද අනෙකුත් පූජකයන්ටද ආගමික බැතිමතුන්ටද ඇත. වියරුවෙන් බෙරිහන් දෙන නලීන් ද සිල්වාටද, ගුණදාස අමරසේකරටද, ඒ මග අනුව යන විමල් චම්පික දිනේශ් වැන්නන්ට ද ඇත. වාර්ගික ප්‍රශ්නයට විසඳුම ලෙස අන්තිම දෙමලා ද ඝාතනයට ලක්කිරීමට කඩු අමෝරා ගත් ජනතා විමුක්ති පෙරමුණ ද, මානව වර්ගයාට එරෙහිව කරන ලද ඝාතනවලදී පවතින රජය වරදකරු නොවීමට හේතුවක් ලෙස අනුපමේය මෙහෙවරක් කළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එජාපයටද මව් බිම පිළිබඳ වේදනාව ඇත. මහින්ද රාජපක්ෂ රජයේ හමුදාපති ලෙස ජන ඝාතක යුද්ධයට නායකත්වය දුන් සරත් ෆොන්සේකාටද, අනෙකුත් ත්‍රිවිධ හමුදා පොලීසයට ද මෙම වේදනාව ඇත. ඔවුන්ටද ඇති අපටද ඇති මව්බිම පිළිබඳ වේදනාවේ වෙනස කුමක්දැයි පැහැදිලි කරගත් කල්හි සුළුතරයක් වන්නාවූ අපි යනු කවුද යන්නත් අපගේ වෙනස කුමක්දැයි කිව යුතුය. මෙම සුළුතරය සුළුතරයක් වන්නේ අපගේ මව්බිමෙහි වර්ගවාදීන්ට, ජාතිවාදින්ට, මුග්ධයන්ට හා අවස්ථාවාදීන්ටද සාපේක්ෂකවය. එහෙත් මනුෂ්‍යත්වය යුක්තිය හා සාධාරණත්වය අගයන මව්බිමෙහි ජනයාත්, ලෝකවාසින්ටත් සාපේක්ෂකව අප නිරපේක්ෂක මිනිසුන් වීමේ ආඩම්බරයෙන් උදම් ඇනිය හැකිය. සියල්ලෝම හැර ගිය ද තමාට පමණක් වුවද සතුටු වීමේ සුව නින්දක සුවය භුක්ති විඳිය හැකිය. මෙකී අප යනු කවරහු ද

මෙහිදී  අපි යන බහුවචනාර්ථයෙන් ඇමතීම, සෘජුව නිශ්චිත කණ්ඩායමක්, පක්ෂයක් හෝ පිරිසක් නියෝජනය නො කළ ද,    බොහෝ සහෝදර සහෝදරියන් රට තුලම පිටුවහල් වූවන් ලෙස හා රටින් පිටත විදෙස්ගත වූවන් ලෙස සිටිමින් ලංකාවට ද එහි ජනතාවට ද ආදරය කරමින්, එම ආදරයේ පරිමාව සමාජගත කරීමේ ගැටලුවේ ද එය දේශපාලනික සමාජයට අවබෝධ නොවීමේ උභතෝකෝටිකය හේතුවෙන් කලකිරීම හා  ශුද්‍ර කොටස් බවට පත් වු පුද්ගල හා කණ්ඩායම්, අප යන කුලකයට අයත් වන්නෝ වෙති. මෙම සටහන තබන්නේ එම අප සඳහාය.

අපි යනු කවරහුද

මව්බිමට ආදරය කරන්නෝ වන අතර ඒ බිමට සියලු සත්වයෝ ද ගහකොල පරිසරය ද අයත් වන්නෝය. ඔවුන්ට ඔවුන්ගේ අයිතීන් සඳහා වූ අයිතිය පිළිගන්නා සේම එක්ව සිටීමටද කැමති නම් වෙන්ව සිටීමට ද ඇති අයිතිය පිළිගන්නා මුනුෂ්‍යයින් වන්නාහුය. එයට වංගු නොමැත. අවස්ථාවාදයන් නොමැත. කෙකර ගෑම් නොමැත. ඇවැසි නම් ආදී වාසින්ට ද ස්වංනිර්ණ අයිතියට ගරු කරන්නෝ වන අතර ඉතිහාසීය වේදනාවේ සුව නොවූ තුවලය හිමි දමිල ජනයාට ඇති අයිතියට තර්කයක් නොමැත. කුමන දර්ශනයක් වුවද, යුක්තිය සමානාත්මතාව සාධාරණත්වය මනුෂ්‍යත්වයේ පදනම නම් ඒ අපි වන්නෙමු.

කවුරුන් කැමති වුවද නැති වුවද, සිංහල බෞද්ධ හෘද සාක්ෂිය විසින් රට සුණු විසිණු කර බෙදා ඇත. කොපමණ හමුදා සේනාංක ගාල් කරමින් ද තැන් තැන් හි මුරකාවල් කළද, කාල තුවක්කු මානා අහස මුහුද අරක්ගත්තද  මිනිසුන් බෙදී ඇත. බෙදෙමින් යනු ඇත. ජාතිය මතින් ඇති කරනු ලැබූ බෙදුම වෙනත් සාධකයන් හරහා ද,මනුෂ්‍යත්වයේ බෙදීමද නොවැලික්විය හැකිව ඇත. ත්‍රස්තවාදී අණ පණත්වලට හෝ ඒකාධිපතිත්වයට මෙම බෙදීමට අඩ තැබිය නොහැකිය මර්ධනයට, පීඩනයට වෛරයට ලක්වන මිනිසාට පීඩකයාගෙන් වෙන් වීම හැර අන් මගක් නැත. බල කාමයෙන් උන්මත්තකව රජ යන අයුක්තිය දූෂණය වංචාවට ඇත්තේ කෙටි  ආයු කාලයකි. මෙම දිරාපත්වීම රැක ගැනීමට ඔසු නොමැති බව අසත්‍යයක් නොවන්නේය. එවැනි තත්වයක් තුල අප විසඳා ගත යුතු සත්‍යක් ඇත. ආදරය වෙනුවට කලකිරීම හා වෛරය හිත් තුල බිහිකර ගනිමින් සමාජගත කිරීම තවදුරටත් යථාර්ථයක් නොවන බව අප පසුකර ඇති අතීතයෙන් අඩු වැඩි වශයෙන් ඔප්පු කොට හමාරය. වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම නව මානයකින් සිදු කිරීම අද දවසේ කාර්යය වන්නේය. ආදරය හා වෛරය කලකිරීම හා ක්‍රියාත්මක වීම යන්න ආගමික චින්තනයෙන් ඔබ්බට ගොස් අලුත් තාලයේ සිතුම් පැතුම් ඇති හදවතක්  නිර්මාණය කර ගැනීමත් ඒතුලට අතීත අත්දැකීම්වල ඇති  රිදීම්, සිරීම්, තුවාල පමණක් නොව පිළිකා මෙන් ඇති සුව නොවන තුවාල පැත්තකින් තැබිය යුතු වේ. අපගේ සිහිනය අප උපන් භූමියේ අඳුර පළවා හැරීමට නම්, අපගේ මෙම ගැඹුරුතම නිහැඬියාවත්, වියුක්ත ප්‍රතිවිරෝදයත්, එක්සත් සහෝදරත්වයේ සබැඳියාවත් වසා දමා ඇති ඝණදුර පලවා හළ යුතුය.

අඳුරට අඳුර පලවා හැරිය නොහැකි අතර එය කළ හැකි වන්නේ ආලෝකයට පමණය. වෛරයට වෛරය පලවා හළ නොහැකි අතර එය කළ හැක්කේ ආදරයට පමණි.
Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that.
මනුෂ්‍යයින්, ආදරණිය සහෝදර සහෝදරියන්යින් ලෙස කල්පනා කිරීමේ දී මාටින් ලූතර්ගේ ඉහත ප්‍රකාශය  අප සඳහා බරපතල ලෙස යෝග්‍ය වන්නේය. අද අප ගැලී ගිලී සිටිනුයේ මහා අඳුරකය. එම අඳුර, තමා තමා විසින්ද, තමා අනෙකා විසින් ද යටපත් කොට ඇති අඳුරක්ය. අඳුරට ඇඟිල්ල දිගුකරන්නන් වූ අප ද අසමගිය, මමත්වය, මාන්නක්කාර සවිඥාණකත්වය වැනි අඳුරින් යටපත් කොට ඇත. මම නිවැරදිය අනෙකා වැරදිය. මම විවේචනය කරමි. මාව විවේචනයට නොකැමෙත්තෙමි. අනෙකාගෙන් ස්වයං විවේචන ඉල්ලමි. මම ගැන ස්වයං විවේචනයකට කැඩපතක් නො මැත. එබැවින් අද දවසේ අප සියලු දෙනා ගලී සිටිනුයේ නපුර විසින් සාමාන්‍යකරණය කරනු ලැබූ, මමත්වය විසින් මත් කරනු ලැබූ අඳුරකය. එබැවින් අවශ්‍යව ඇත්තේ අඳුර පලවා හැරීම සඳහා වූ  ආලෝකයයි. වෛරය පලවා හැරීමට අවැසි ආදරයයි. 

අපි අපගේ සමීපතමයා සමඟ සංවාදයකට දෑත දිගු නොකර වියුක්ත අනෙකාට උපදෙස් දෙන්නෝ වෙමු. වියුක්ත මහ ජනතාවට, පීඩිත සුළුජනයාට ආදරයේ දෑත පෙන්වන අතර සමීපතම ජනයාව සැක කරමින් වෛරයට බඳුන් කිරීමේ ද්විත්ක උභතෝකෝටිකයේ රඟ දෙන නළුවන් බවට පත්ව ඇත. වියුක්ක ආදරයේ සමාජීය ප්‍රාග්ධනය තම ජීවිතයේ වෘත්තිය හා පැවැත්ම බවට පත්කර ගනිමින් ස්වං වින්දනයක යෙදීමට හැකි වුවද අප ඉදිරියේ ඇති නපුර පැරදවීමට අපගේ ලිඛිත වචන මාත්‍රා ප්‍රමාණවත් නොවන අතර ගුහා ගතව කරන ක්‍රියාවන් ද ප්‍රමාණවත් නොවන්නෝය. මෑත කාලීන දේශපාලනික හිංසනඉතිහාසය තුල දී රට හැර යෑමට බල කරනු ලැබූ හා ස්ව කැමැත්තෙන් පිටිවහල් වූ සාමාජ ක්‍රියා කාරින්ගේ ප්‍රමාණය අති මහත්ය. ඒ අතර විවධ තරාතිරමින් ලංකා සමාජයට ආදරය කරනු ලැබූවන් අතර යුද්ධයට එරෙහිව, සුළු ජන අයිතින් වෙනුවෙන් සටන් කරනු ලැබූවන් ද  අඩු වැඩි වශයෙන් පවතින දුර්ධාන්ත ක්‍රමයට එරෙහි වූවන් ය. විදෙස් ගතව විවිධ රටවල වෙසෙන මෙකී සහෝදර ජනයාගේ ගුහාගත ස්වං වින්දනයේ සීමාවට ඇති කාල අවකාශය තවදුරටත් හුදෙකලා සටන්වලටද, පුද්ගලික ජීවිතයට ඉඩක් දීමට ලංකා දේශපාලන පරිසරය බලා නොසිටිනු ඇත. එබැවින් අප තේරුම් ගතයුතු සත්‍යක් ඇත.

රටක් ජාතියක්, සමාජයක් හා මනුෂ්‍යයින් වශයෙන් මෑත ඉතිහාසය තුල අප අසමතුන් බවට පත් සත්ව කොට්ඨාසයක් බවට පත්ව ඇත. එහි චෝදනා බර ඇඟිල්ල පවතින ආණ්ඩුවට හෝ අනෙකුත් දේශපාලන පක්ෂ වලට හා සෙසු සමාජ සංස්ථාවන්ට දිගු කිරීමෙන්   කරබා ගෙන අපට ගැලවිය හැකිය. නිදහස් වී ශුද්ධවන්තයන් විය හැකි ය. එහෙත් අප සමාජ ක්‍රියා කාරීන් ලෙස,දේශපාලකයන් ලෙස, විචාරකයින්, සිනමාකරුවන්,කවියන්, ලේඛකයන්, ජනමාධ්‍යෙව්දීන්, සාමවාදීන්, මානව හිමිකම් කරුවන් ආදී නොකේ ලේබල්වලින් පෙනී සට අප කළ කී දැයින් අපට අපගේ  හෘද සාක්ෂියෙන් ගැලවිය හැකිද යන පැනය නැවත නැවත් ඇසිය යුතු වන්නේය. අඳුර බිඳලන්න අපගේ අලෝකයේ එලිය රෑ බදුල්ලෙකුගේ තරම් හෝ ඉවහල් උණිද? වෛරය විසින් විසාදි කර ඇති සමාජයට ආදරය කරන්නට හදවතේ දොර ජනෙල් විචෘත වූයේ ද? අඩුම තරමින් පුංචි වා කවුළුවක් වත් වන්නට හැකි උණිද. උත්තරය ඔව් වුවද නැත වුවද රට වෙලා ඇති නපුරට එරෙහිව එය ප්‍රමාණවත් නැත. 

මිනිසුන්ට ආදරය කරන මිනිසුන් බවට පත්වීමේ දී අප ලත් පරාජයේ වගකීම නැවත විග්‍රහ කර ගැනීමත්, වැරදුනු තැනින් යලි යලිත් නැගිටීමේ දී, අප අපගේ ආස්ථානයන් තේරුම් ගැනීමට සමත් වන්නේ නම් හා මව් බිමට ආදරය කරන වේදනාවෙන් පෙලෙන්නෝ වන්නේ නම් අපගේ අරමුණ පොදු දිශාවක් වන්නේය. විවධ මාර්ගයන්ගෙන් පැමිණිය ද අප සැම එකතු වීමේ පොදු අරමුණු සිහිනයකින් එක මඟක් වෙත ගමන් කරනු ඇත. ඒ සඳහා වූ විවිධත්වය සහිත ඒකකත්වයකට බල කරන යථාර්ථයෙන් ගැලවිය නො හැකි ය. නපුර පැරදවීමට මමත්වය පැරද විය යුතුය. මමත්වයේ නපුර ඉතා බරපතල ලෙස පාලක පංතියේ පවුල් වාදය තුල වැඩෙමින් වර්ධනය වෙද්දි, ඔවුන් දඬු කඳේ ගැසීමට ක්‍රියා කරන බලවේග ද මමත්වයේ ගිලෙමින් මම යි නිවැරදි, මම යි ලොක්කා යන පව්කාරයාට ගල් ගසන්නා බවට පත් වූ පව්කරයන් වී ඇත. මර්වින් සිල්වාගේ සිට සරත් නන්ද සිල්වා නලින් ද සිල්වා වැනි සංකේත චරික මහා සමාජයේ දී පිරිහෙන තරමට ශුද්‍ර සමාජයේ දී අප පිරීහීමට ලක්වන්නේ නම් ඔවුන් සහ අප අතර වෙනස කුමක් ද? චංචාවෙන් දූෂණයෙන් රටම කමින් කඳ පණුවන් බවට පත්ව රට දිරාපත් කරන පාලකයින්ව පෙන්වන අතරතුර අපගේ කුඩා ව්‍යුහය තුල ඉතා සුළු වාසියකට එම දෙයම කරන්නේ නම් අප හා ඔවුන්ගේ වෙනස කුමක් ද

ඒකාධිපතිත්වය, ප්‍රජාතන්ත්‍රවිරෝදීබවට එරෙහිව අවි අමෝරා වීදි බැස වාග් ප්‍රහාරත්, අනර්ඝ වැකිවලින් පිටු පුරවන අප ප්‍රජාතන්ත්‍රවාදය හඳුනන්නේ නැති නම් තමා තුල සිටින ඒකාධිපතියාව තුරන් කිරීමට කැමැත්තක් නොමැති නම් ගෝඨාභයලාගේ සහ අපගේ වෙනස කුමක්ද

උතුර මෙන්ම දකූණ ද දකුණ මෙන්ම උතුර ද හිංසනය මුදා හරිමින් ම්ලේච්ඡත්වය විදහා පෑ අතීතයක කොටස් කරුවන් වීමේ දී ඔවුන් හැර අප පමණක් සිදු කළ හිංසනයන් නිවැරදි යැයි ගනන් බලමින් සාධාරණය කිරීමේ දී අපගේ දෑත් පිස දා ගැනීම යුක්තියට හා හෘද සාක්ෂියේ සාධාරණත්වයට එකඟ ද. එය එසේ යැයි සාධාරණ විය හැකි නම්, අපට මේ අපේ යැයි කියන මව්බිම වෙනස් කළ නොහැකිය. 

එසේ පත්ව ඇති අපම අප වෙත දිගු කරන ඇඟිල්ලේ අර්ථය විනිශ්චය කරගත යුතු වන්නේය. අඳුරට එලිය දීමට, වෛරයට ආදරය කිරීමට සොයන නව මානයේදී අප ඉදිරීයේ ඇති ගැටලුව නම්

1 දේශපාලන කාරණයේදී අපගේ රටේ ජනතාවගේ හතුරා බවට පත්ව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිත්වක් කරා ගමන් කරමින් සටින, ජන ඝාතක රජයකට, පාලකයන්ට හා ගැත්තන්ට වෛරය වෙනුවට ආදරය කළ යුතු ද

2 වර්ගවාදය, ජාතිවාදය රෝපණය කරමින් ආගම මුවාවෙන් සුළු ජාතීන් තලා පෙලා පාගා දමන්නන් හට වෛරය වෙනුවට ආදරය කළ යුතු ද

3 වඩාත් සාධාරණ, මනුෂ්‍යත්වය අගයන පරමාදර්ශී මානව සමාජයක් වෙනුවට ගෝලීය ධයවාදය විසින් අතිකරනු ලබන සියුම් ප්‍රාග්ධන සම්‍රච්ඡකරණයට, සූරා කෑමට, ආක්‍රමණික බල ව්‍යුහන් සොඳහා වෛරය වෙනුවට ආදරය කළ යුතු ද හැකි ද 

පංති සහිත බල ධූරාවලිගත සමාජයක පීඩකයාට පීඩිතයා වෛර නොකර ආදරය කළ යුතු ද? එසේ නම් ලංකාවාසී ජනයා ඉවසිලිමත්ව පීඩනය විඳ දරා කොළඹ නගරයේ කාර් රේස් පැදීමට රාජපක්ෂ දරුවන්ට ඉඩ දී වෛය වෙනුවට ආදරය කරනු  නො ලබන්නේ දැයි ප්‍රශ්න කළ නො යුතු ද

සිංහල ජාතිවාදයේ අනෙකා වූ දෙමලාව විනාශ කර ඉන් අනතුරුවද නොනැවතී රට තුල ජාතිවාදී කැළඹීම් ඇතිකරමින් සෙසු ප්‍රශ්න යටපත් කිරීම පිණිස කරන ලද උසිගැන්විම් තුලින් දෙමලා නිහඬ කර මුසල්මානුවන් වෙත බොදු බල සේනාවන් සන්නද්ධ කරද්දී ඔවුන්ට වෛරය වෙනුවට ආදරය කළ යුතුද?  කළ හැකි ද 

මෙම ජනප්‍රිය ප්‍රවාදයන් ටිකකට පැත්තකින් තබා, ආ පසු අප අප තුලට හා අවශේෂයන් වෙත හැරී බැලීම හා ඊට සුභවාදී ලෙස කටයුතු කිරීමත් තුලින් ඇතිකර ගන්නා එකමුතුව ශක්තියක් වන්නේය. සුළුතරයක් වූ අපගේ හඬ එක්සත් බවේ බහුතරය වීමෙන් ඉහත නපුර පරාජයට පත් කළ හැකි වනු ඇත. ඒ සඳහා මුලින්ම අපම අසාගත යුතු ප්‍රශ්න හා ක්‍රියා කළ යුතු විධීන් ඉගෙන ගත යුතුව ඇත.

1 මම මා වෙත හැරීම හා වෛරය වෙනුවට ආදරය ද  කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම

2 මම අප අවට ඇති සමීපතම අනෙකා වෙත හැරීම හා වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම

3 සාර්ව දේශපාලනයෙන් ශුද්‍ර දේශපාලනයට ආපසු හැරීම හා සමීපතම වූ පැරණි කාල්පනික දේශපාලනික හතුරන්ට වෛරය වෙනුවට ආදරය, කලකිරීම වෙනුවට ක්‍රියාත්මකවීම

මම මා වෙත හැරීම යනු මා විග්‍රහ කර ගනීම සඳහා ද මා සඳහා සවයං විවේචනයකින් යුතුව කැඩපතක් කර ගනිමින් අතීතය තුල මා මාගේ සමාජ දේශපාලනික භාවිතාවන් තුල දී ක්‍රියාත්මක වූ අයුරුත් , සමාජයෙන් මා හටද මා ගෙන් සමාජයට ද සිදු වූ විපාක කොතරම් ද යන්න ආපසු හැරී බැලීම විවෘතබවකින් යොමුවිය යුතු වන්නේය. එහී දී මා හට ඇති ලෝකය පිළිබඳ දැක්ම විසින් මාව නිර්ණය කරනු ලැබුව ද මගේ රට මගේ ජනතාව නැමති සිතිවිල්ලෙන් මා වෙත හැරීමේ දී මා පිළිබඳ අධි මානය  හෝ අව මානයට නව මානයක් සොයා ගැනීමට ඇති ලෝක දැක්මට තමන් ගමන් කළ යුතු අතර නිහතමානී අවංකබව මා සතු විය යුතුය.

අද දවසේ දේශීය හා ජාත්‍යන්තර බුද්ධිමත් සමාජ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වගකීම, යුතුකම හා අවශ්‍යතාව විය යුත්තේ ඉහත ජනප්‍රිය තලයේ ප්‍රවාදයන් වෙත යෙමුවන අතරම ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් තමා හා අවට ඇති මූලික ගැටලු විසඳා ගැනීමට අලුත් හදවතක් නිර්මාණය කර ගැනීමය. එසේ කියන්නට ඇති හේතු කාරණා මේ මොහොතේ පෙර දාටත් වැඩියෙන් බල කරමින් සිටිනු නොඅනුමානය. ඒ අප අඳුරේ ගිලී ආදරය අහිමි වී ඇති යුගයක ජීවත්වන නිසාය. එබැවින් මෙම ආමන්ත්‍රණය රට තුල නොරටුන් වී නමුත් තවමත් මනුෂ්‍යයින් වූ ද රටින් පිට විදේශගතව, නමුත් තවමත් මනුෂ්‍යයින් වූ දේශපාලනික හා සමාජ සහෝදර සත්වයින් සඳහා ය. 

අඳුරට අඳුර පලවා හැරිය නොහැකි අතර එය කළ හැකි වන්නේ ආලෝකයට පමණය. වෛරයට වෛරය පලවා හළ නොහැකි අතර එය කළ හැක්කේ ආදරයට පමණි."

 උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

  

  

ද්‍රෝහී මැඬියා

Image

ලාංකීය දේශප්‍රේමී පා පහරින් විසි වී ගිය පුද්ගලයින් අතරින් මා එයට ගොදුරු වූ ඉතා අල්පමාත්‍ර ශද්‍ර ජීවියෙකි. ජීවත් වූ ජීවිතයේ බහුතර කාල ප්‍රමාණයක් සිහින දකිමින්, එම සිහින යථාර්ථයක් බවට පත් කිරීම පිණිස උදව් කරමින්, සංවාද කරමින්, වරෙක ඒ සදහා සංවිධාන නිර්මාණය කරමින් කරන ලද කටයුතුවල අභිමතාර්ථය වූයේ කුමක් ද? ඒවායේ අර්ථය වූයේ කුමක් ද? සමාජයට, මිනිසාට, පීඩිතයාට ආදරය කිරීම නොවේ ද? ආගමට, ජාතියට, කුලයට වඩා පංතිය ද? පංතිය ද වරෙක යටපත් කරමින් මනුෂ්‍යත්වයට  ද ළංවීම මහා පාප කර්මයක් විය. ද්‍රෝහී විය. ඉතාම සමීපතමයා ද එයට එරෙහිව කටයුතු කරන්නට විය
ඉතින් දැන් ලාංකික ළිඳෙන් එළියට විසි වුණු මැඬියෙකි. වතුරවලවල් සොයා පැණ යමි.විශාල වූ විවිධ වූ විෂම වූ ජලාශයක මායිම කරා පැමිණ ඇත. පැවැත්මත්, ආරක‍ෂාවත්, නිදහසත්, ගෞරවයත් රැක ගනිමින් ජලාශයේ හිමි වූ කොටසක ජීවත් විය හැකිය. බොහෝ මැඬියන් පරිද්දෙන් සීතල ජීවිතයක් ගත කළ හැකිය. තමන්ගේ හෘද සාක්ෂිය රවටා ගැනීම උදෙසා ජාතික කොඩිය එසවිය හැකිය. ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගත හැකිය. එහෙත් එය කළ නොහැකි උමතුව කුමක් ද?
ළිඳට ආදරය කිරීමය. අසීමිත ලෙස ආදරය කිරීමය  ළිඳෙහි මැඬියනට ආදරය කිරීමය. අපවිත්‍රව යමින්, විෂ බීජයන්ගෙන් ගහණ ළිද ද, මැඩියන් ද සුඛිත මුදිතව ජීවත් වනවා දැකීමය. එහෙත් ළිං මැඬි ඊනියා ජාතිවාදී දේශප්‍රේමීත්වයේ පා පහරින් එළවා දැමූ ද්‍රෝහියෙකුට කළ හැකි දේ කුමක් ද?
අසංවර අපවිත්‍ර විනාශය කරා ද වංචාව, දූෂණය,සූරා කෑම යන සමාජ අයුක්තිය දේශප්‍රේමී වර්ෂාවෙන් හා උල්පත්වලින් කූඨ ලෙස වංචාකාරී ලෙස රැවටීමෙහි ගිල්වීමෙන් ද සිටින මොහොතක අනන්‍යතාවයෙන් හා ජීවත් වීමෙන් පන්නා දැමූව ද ළිඳටද මැඬියන්ටද ආදරය කරන්නෙමි. පීඩිත මැඬියන්ගේ විමුක්තිය, අයිතිය, ගෞරවය වෙනුවෙන් කළ හැකි වන්නේ කුමක් ද යන ව්‍යධියෙන් අප වැන්නවුන් නිතර දෙවේලේ පෙළෙනුයේ ළිඳෙහි ජීවත්ව සිටි කාලයේ දුටු සිහිනය නිසාය. සමාජය කෙරහි වූ අපේක‍ෂාව නිසාය. වරෙක දකුණ ද, වරෙක උතුර ද නැති   භංග වී විනාශය කරා ගමන් කළ ද විනාශයෙන් පසු ඇති වන අලූත් තත්ත්වයේ සමාජ ප්‍රගමන දයලෙක්තිකයට දායක වන්නේ කෙළෙසද, නිවැරදි මානයන්  දැක හැදින තනි තනි හුදෙකලා රාමුවල සිට සිතනවාට වඩා සාමූහික උගැන්මෙන්,අධ්‍යයනයෙන් අවබෝධයෙන්, විශ්වාසයෙන් සහෝදරත්වයෙන් කැපවීමෙන් හා ආදරයෙන් යුතුව දූෂිත මැඬියන්ගේ රාජ්‍යය බිඳ හෙළා තවත් එවන් වූ මැඬියන්ට අවස්ථාව උදා නො කර දී, පෙර වැරදි හඳුනා  ගනිමින්, යළි සකසා ගෙන පෙර දුටු පිරිසිදු සිහිනය වෙනුවෙන් එක්වීමට සිහින දකිමි. සකළ දේසවාසී මැඩියනි එක්වවි එක්වීමෙන් තොරව සමගියක් නොමැත සමගියෙන් තොර විමුක්තියක් නැත

- උදය ආර්. තෙන්නකෝන්

වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ-

Image
ප්‍රවාද අංක 2
“පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන්   වූ විනාශය  අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින් දුටු අතර ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඇති වැදගත්කම ද කියා පාන්නට විය. ග්‍රීසියේ පශ්චාත් යුද තත්ත්වය දුටු සොක්‍රටීස් පැවසූයේ යුද්ධයෙන් පසුව ඇති වන්නේ වහල් මනසක් සහිත ජඩ සමාජයක් යන්නය. එය ලංකාව විෂයෙහි ද වලංගුතාවක් ඇති යතාර්ථයක් වී ඇත.“
පශ්චාත් යුද අවධිය යනු ලාංකික සමාජය විපරිවර්තනීය(Transformative) හැඩයකට බඳුන් වෙමින් පවත්නා තරමක භයානක විනාශකාරී තත්වයකි. මෙම තත්ත්වය යුදමය තත්ත්වයට ද වඩා බිහිසුණු වන්නේ එහි විනාශකාරී මූලයන්  සීතලමය යුධ තත්ත්වයක පසුවෙමින් සමාජ දේහය ඛාදනයට හසු කීරීම හා ආත්මාර්ථය මුඛ්‍යෙ කොටගත් බල කාමයකින් යුක්ත පැරැණි සාම්ප්‍රදායික පවුල් කේන්ද්‍රීය පාලනයකට ගැට ගැසුණු සමාජයක් බවට පත්වීමය.ඒ අර්ථයෙන් ද එය පශ්චාත් වැඩවසම් තත්ත්වයකි. ආකෘතිය අතින් ගත්කල නූතනවාදී, සංවර්ධනීය සංවර්ධන චිත්‍රයක් පෙන්නුම් කළ ද, ගුණාත්මක වශයෙන් පිරිහුණු අසංවර්ධිත ලක්ෂණවලින් පසුපසට ඇදෙන්නා වූ සමාජයක් අප හමුවේ ඇත. මෙම තත්තවය ඇතුලත සිට දිකින තරමට වඩා පිටත සිට, අනෙකුත් විශ්ව සමාජ ක්‍රමයන්ගේ ඓතිහාසික ගමන් මාර්ගයන් හා එහි වර්ධනීය දෑ සමග ගැලපීමෙන්, සංසන්දනය කිරීමෙන් පසු ලංකාව විෂයෙහි නැගෙන හැඟීම මත පැවසිය හැකි වන්නේ, ලංකාව රෝගී තත්ත්වයකට විපරිවර්තනය වෙමින් යන බවය.
මෙම රෝගි තත්ත්වය හඳුනා ගැනීම හා ඊට ප්‍රති කර්ම කිරීම කෙටි කාලීනව හා දිගු කාලීනව සිදු කිරීමට සූදානම් වීම යනු ලාංකික සමාජ වෙනස උදෙසා දමනු ලබන අත්තිවාරම වන්නේය. න්‍යායික ලෙස පශ්චාත් යන විශේෂණ යෙදුම යොදා ගනු ලබන්නේම ඉන් පසු කියැවෙන නාමික අර්ථයේ ස්වභාවය වෙනස් කිරීමට මිස එය ඉදිරියට ගෙන යැමට නොවේ. නිදර්ශනයක් ලෙස පශ්චාත් යටත් විජිත යන සංකල්පයේ හැඟවුම් කරන්නාවූ අර්ථය වන්නේ, එහි තවමත් යටත් විජිත මූලයන් හා ක්‍රියාකාරිත්වයන් ඇත යන්නටය. එයට අනුව යටත් විජිතවාදයට එරෙහි සටනකින් හෝ ක්‍රියා මාර්ගික අරගලයකින් පසුව ඇති කරනු ලබන සමාජ වෙනසට පශ්චාත් යන යෙදුම භාවිත කළ නොහැකිය. එය වනාහී විප්ලවීය තත්ත්වයකි.යටත් විජිතවාදයෙන් පසු ලංකා සමාජයේ එවැනි වෙනසක් නොවුණු බැවින්, පශ්චාත් යටත් විජිත ලංකාව යනුවෙන් හැඳින්වීම වරදක් නොවන සේම, පශ්චාත් යුද තත්ත්වය ලෙස හැඳින්වීම ද නිවැරදි වන්නේ තවමත් යුද පරිසරයක් හා රාජ්‍ය විසින් මුදාහරිණු ලබන පිඩනය හා මර්ධනය හේතුවෙනි. මේ අනුව ලාංකික සමාජය විප්ලවීය වෙනසකින් නව සමාජයක් නිර්මාණය වන්නේ නම්, ප්‍රධාන පෙළේ දේශලපාලන සංස්කෘතික අර්ථයෙන් යුතු පශ්චාත් යන විශේෂණ පද විධවංසනය කළ යුතු වේ.
 ඇමරිකානු නිදහස් සටන ඊට ඇති එක් නිදර්ශනයක් වන අතර, අමෙරිකානුවන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යෙන් නිදහස් විමෙන් පසුව අමෙරිකානු සන්දර්භය සඳහා පශ්චාත් යන යෙදුම යොදා නොගනී. ඔවුන්ගේ සාහිත්‍ය පවා නව අමෙරිකන් සාහිත්‍ය වන අතර එය කොමන් වෙල්ත් සාහිත්‍ය හෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍ය  නොවන්නේය. අමෙරිකානු විප්ලවයෙන් පසුව ඔවුන්ට අනන්‍ය වූ ස්වකීය අමෙරිකානු මොඩලය තනා ගන්නට විය. නමුත් ලංකාව වැනි රාජ්‍යයන්, බ්‍රිතාන්‍යයින් විසින් හැරගිය පසු ඇති වූ  සමාජයට අලුත් තත්ත්වයක් ලැබුණේ නැත. සමාජයක් ලෙස ඉදිරියට පැමිණියේ පැරණි වැඩවසම් හා යටත් විජිත අංග ලක්ෂණ සහිත අඛණ්ඩිත සමාජයකි. එම නිසා ලාංකික සමාජය එම අර්ථයෙන් පශ්චාත් යටත් විජිත ලෙස හැඳින්වීම වලංගු වේ. අනෙක් අතට ලාංකිකයින් ලෙස නිදහස සැමරුමෙන් ආඩම්බරවීමටද සතුටු විය හැකි යථාර්ථයක් අපට ඇතැයි කිව නොහැකිය.
පශ්චාත් යන සංඥාව සහිතව ලාංකික සමාජයේ කොතෙකුත් සංඥා ව්‍යහාරිකව පවතී ද යන්න සිතීම වැදගත් වන්නේ සමාජ දේශපාලනික වෙනසක් උදෙසා යොමුවීමේ දී ය. පශ්චාත් මරණ පරීක්ෂණයේ සිට කැමති පරිදි වෙනස්කළ යුතු මිනිසාට සමාජයට අහිතකර සෑම සාංසිදධියක නාමකරණයකට මෙකී විශේෂණය යොදා ගත හැකි වේ. ඒ අනුව පශ්වාත් යුද අවධිය තුල ද තවත් පශ්චාත් ප්‍රපංචයන් එමට ඇත. පශ්චාත් පැහැර ගැනීම්, පශ්චාත් අවතැන්වීම්, පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වැනි බොහෝ සිද්ධින් ඇත. මෙකී තත්ත්වයෙන් තවත් අතීතයට ගිය විටද පශ්චාත් භීෂණ සමය, පශ්චාත් ජයවර්ධන , පශ්චාත් ප්‍රේමදාස යුග, ආදීය ද  නිදසුන් වේ.
දේශපාලනික හා සමාජ සංස්කෘතික අර්ථයෙන්  පශ්චාත් යුධ තත්ත්වය යන්න අතිශය වැදගත් අවස්ථාවකි. පශ්චාත් යටත් විජිත තත්ත්වයට ද වඩා මෙම අලුත් තත්ත්වය සුවිශේෂි වන්නේ එය මත ගැට ගැසුණු සමීපතම මානව සබඳකම් සහිත අභ්‍යන්තරික, භාහිර සමාජ දෙශපාලනය හා සංස්කෘතිය ඒ තුල ක්‍රියා කිරීම වැදගත් වන බැවිනි. මෙකී පශ්චාත් යුද තත්ත්වය නැසිය යුතු වේ. වෙනස් කළ යුතු වේ. සංකල්පීය ලෙස යුදමය තත්ත්වයක් රට තුල නැති වුවද භෞතික හා මනෝමූලික වශයෙන් පශ්චාත් යුධ තත්ත්වයක් ඇත.එම තත්ත්වය විසින් පෙර නොවූ විරූ හා බලාපොරොත්තු නොවූ සමාජ පීඩණයක් සමාජය තුල ගැබබ්බර වී ඇත.එම පීඩනය මත ගැබ්බර සමාජය වෙත වර්ධනාත්මක වෙනසක් ඇති නොවුහොත් විපරිවර්තනීය සමාජ තත්ත්වයක් ඇති වී ඒ තුල සමාජ සත්වයා ස්වභාවික විය හැකිය. එය මේ මොහොත තුල සිදු වෙමින් පවතින්නේය.
පැරණි සමාජයේ ආගම තුල ස්වාභාවික වූ මිනිසා තමාට අත්විඳිමට ඇති කරදර බාධක දෛවයට හා කර්මයට ලඝුකොට ස්වභාවික වී “ මේක ලබා උපන් හැටිමේ අපේ කරුමේ“ යනුවෙන් තමන් අභිමුක ඇති යථාරථය ආගමික යථාර්ථයකට විපරිවර්තනය කර ගන්නට විය. එවැනි තත්වයන් ලෝක ඉතිහාසයේ බොහෝ සමාජ තුල විප්ලවීය වෙනස්කම්වලට ලක් කරමින් මනුෂ්‍ය අර්ථයන්, අගයයන් සොයා ගන්නට විය. ලාංකීය සන්දර්භයේදී වෙනස්වීම් වෙනුවට, අවිච්ඡින්න ලෙස ඊට අතීත තත්තවයන් ද සෑම නිමේෂයකම සිදුවන අගතිගාමී සිදු වීම් සහිතව විපරිවර්තිත වෙමින් පවතී.මේ නිසා මුළු සමාජය පුද්ගලයාගෙන්, පවුලින් හා සෙසු සංස්ථාවන්ගෙන් විපරිවර්තනය වී ඇත.මෑත දශක දෙක තුනක කාලය තුලදී සමස්ත දේහයම එහි ඇති කාරකයන් තුල අනර්ථ වී(අතාර්ථික ) ඇත. නීතිය යන්න නිදසුන් ලෙස ගතයුතු නම් කොපමණ නම් වාර, අවස්ථා, හා පුද්ගලයින් නීතිය යන්න අනර්ථ කර ඇත් ද. නීතිය යන්න තව දුරටත් යාන්ත්‍රණයක් නොවේ යැයි කීම විවාද සහගත වුවද ඇත්ත වශයෙන්ම දැන් රටට නීතිය වැඩක් නැත. නීතිය තියෙනවා මිසක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වන ප්‍රමාණය ද සිදු වනුයේ දුබල, පීඩිත, විරුද්ධවාදීන් තලා පෙලීමට මිස යුක්තිය සඳහා නොවන බව බුද්ධිමතුන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියා ද විදේශිකයා ද පවා වටහා ගෙන ඇත.රටේ නීතිය රජුගේ නීතිය වී ඇත. පවුලේ නීතිය වී ඇත. හොරුන් තක්කඩින්ගේ නීතිය වී ඇත. ඒ නිසාම
මර්වින් සිල්වා හා නීතිය
දුමින්ද සිල්වා හා නීතිය
 සුධර්මන් රදලියගොඩ හා නීතිය
මොහාන් පීරිස් හා නීතිය
බවට පත්ව ඇත. මෙම ජනප්‍රිය නිදසුන් හැරුණුකොට ගම් මට්ටමේ සිට මැදමුලන පවුල දක්වා දත් නොදත් රහස් වු නීතීන් කොපමණ නම් වේ දැයි ගොළු, බිහිරි අඳ ජනයින් පවා දනී. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී පීඩිත ජනයා දාරියෝ ෆෝගේ Dario Fo’s We Can’t Pay? We Won’t Pay! (Non si paga! Non si paga!) .” “ගෙවන්නැත්තම් බම්බුගහන්නද (සිංහල පරිවර්තනය) (මෙම නාට්‍යෙය් සිදු වන ප්‍රධාන පෙළේ සිදුවීම් අතර වැදගත්ම දේ වන්නේ ජනතාවට ඉහල යන බඩුමිල හා ජීවන බර දරාගත නොහැකිව, පවත්නා නීතිය නොතකා නිතිය තමන් අතට ගෙන වෙළෙඳ සැල් තුලට පැන එහි ඇති ද්‍රව්‍ය බලෙන් ගැනීම ය) යන නාට්‍යෙය් නළුවන් බවට පත්වේද යන්න වෙනුවට, හැඟීම් දැනීම් නැති ලාදුරු රෝගීන් බවට විපරිවර්ථනය වීමෙන් මුදා ගැනීමට නම් බුද්ධිමත් සමාජ වෙනසක් ඇවැසිය.එම වෙනසට ඇවැසි පරිසරය නිර්මාණය කළ යුතුය.එම වෙනස් කිරීම් අතර නීතිය යන්න එක් දේහයක් වුවද, සෙසු සමස්තය ද නීතිය හා යුක්තිය කඩා වැටීමේ කැණිමඩල මත නිදන්ගත වු දේහයන්ය.  නීතිය හැසිරවීමේ සිටි ප්‍රධාන පුද්ගලයකු වූ සරත් නන්ද සිල්වා මහතා සිදුව යන විනාශයේ පශ්චාත්තාපිත සත්වයකු බවට පත්ව සිටිය ද අතීතය තුල කරන ලද වැරදිවල විපාක මුලු මහත් සමාජ දේහයම අත්විඳන මොහොතේ ඔහු ඇවෑමෙන් අසුන්ගතවූවන්ද එහිම වින්දිතයන් බවට පත්ව “ඉන්නවා“ වෙනුවට “තියෙනවා“ යන අප්‍රාණික නාමපද බවට ඉහල උසාවියේ සිට පහළ උසාවිය දක්වා ආයතන ද, පොලීසිය ඇතුලු සෙසු දේහයන් පිරිහීමකට පත්ව ඇත.
එබැවින් මෙම පරිච්ඡෙදයෙන් අලුත් තත්ත්වයකට සමාජය වෙන්ස් කිරීමට නම්, එහි ඇති රෝග කාරකයන් මැනවින් වටහා ගෙන ක්‍රියා කිරීම සමාජ වෙනසකට අර අඳින ජනයාගේ ද විශේෂයෙන් ප්‍රගතිශීලී දේශපාලනයේ යෙදෙන පුද්ගල, පක්ෂ, කණ්ඩායම් ද සිවිල් සමාජයේ ද බුද්ධිමතුන්ගේ ද කාර්යය විය යුතු වේ. මේ මොහොත තුළ දී පවා එයට අවැසි දැනුම, න්‍යාය, විවේචන හා මානව සාධකය රට තුල හා පිටත සිට ක්‍රියා කළ ද ඒ කිසිවක් ගුණාත්මකව සමුච්ඡගත වූ ධාරාවක් බවට පත් නොවීමේ ගැටලුව හේතුවෙන් එය ද විපරිවර්ථනීය තත්ත්වයකට පත්ව ඇත. භාවිතයක් නැති න්‍යාය සමාජය තුලට පිවිසීම සමාජය තුල හොල්මන් කිරිමකි. එය භාවිත සුභාවිත යථාර්ථයන් බවට පත්කර ගැනිමට නම් අද දවසේ ප්‍රගතිශිලින්ගේ කාර්ය විය යුත්තේ එයයි. එනම් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ  සම්මුතිකාමී ගිවිසුමකට පැමිණීමය.
කළ යුත්තේ කුමක් ද ඉදිරියට….
අවධාරණය: මෙහි සඳහන් කරන පශ්චාත් යන වචනයෙහි දේශපාලනික න්‍යායික අදහස  Helen Gilbert, Joanne Tompkins විසින් රචිත Post-Colonial Drama යන කෘතියෙහි අදහසක් වේ.

උදය ආර්. තෙන්නකෝන්


මීට වසර පහකට පෙර ජූනි 25


 http://syberstreet.files.wordpress.com/2012/06/images-5.jpg


මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “ මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ හැඟීමක් නො තිබිණි. උපන් දිනය පවා වැදගත් දිනයක් කොට සලකන්නට අවශ්‍යතාවක් නැති මට, සැමරුම් දින හෝ විශේෂිත දින එතරම් වැදගත් නොවුණත් ජුනි 25 පිළිබඳ මීට අවුරුදු පහක මතකයෙන් අතීතය අවුස්සන්නට වීමෙන් යටපත් ව තිබූ රෝගයක් යලි ඇවිස්සුනාක් මෙන් මගේ සිත නොසන්සුන් කරන්නට විය. නොසන්සුන් වීමේ සංවේදී හේතුව වන්නේ, පණිවඩය එවා ඇති සගයාගේ මනෝභාවය පිළිබඳ සිතන විටය.අවුරුදු පහක් කල් පිරෙද්දීත්, ඔහු ඇතුලු තවත් සගයින් හිර ගෙදර දින ගැනීම කරමින් නිදහස නැමති බලාපොරොත්තුවේ සිහින දකිමින් සිටින්නෝය.
ජූනි 25 ආයාසයකින් මෙනෙහි කරන්නට තරම් අමතක නොවන දවසක් බව ඇත්තකි. එහෙත් එවැනි දින කොපමන නම් ජීවිතයට එකතුවී ඇත් ද. පණිවිඩය එවන ලද සගයාත්, පණිවිඩයත් එකට එකතුව ගෙන දුන් මතකය නිසා ජූනි 25 වැනි දින අතීතයට ගොස්, එහි ඇති ස්මරණිය හැඟිම දැනෙන්නට විය. විසිපස් වැනි දිනය යනු  අප සියලු දෙනා බූස්ස රැඳවුම්  කඳවුරට ආයුබෝවන් කී දිනයයි. අප සියලු දෙනා යනු මීට වසර පහකට පෙර එනම් 2007 වසරේ දී කිසියම් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ සිංහල තරුණ කණ්ඩායමකට “ සිංහල කොටි “ නම් වූ ලේබලය සමාජගත වූ  සිද්ධයට සම්බන්ධිත පිරිසයි.
අපි සියලු දෙනා බූස්සේ රැඳවුම් කඳවුරෙහි ත්‍රස්තවාදීන් ලෙස සිරගත වී සිටියෙමු. මුලින් ම බූස්ස කඳවුර සිංහල ත්‍රස්වතවාදීන්ගේ කඳවුරක් විය. දෙවන වර දෙමළ ත්‍රස්තවාදීන්ගේ කඳවුර වුවද, එහි සිංහලයින් ද මුස්ලිම් කිහිප දෙනෙකුන්ගෙන් ද යුතුව මිශ්‍රිත කඳවුරක් විය. පළමු වරට සිංහලයින් වැඩි පිරිසකගෙන් යුතුව බූස්ස කඳවුර දෙමළ කොටි සැකකරුවන්ගෙන් ද පිරි පැවැතිණි. දෙමළ කොටියාට වඩා සිංහල කොටියා ජාතියට ද්‍රෝහියෙකු වූ අතර සමාවකට කිසිදු අවකාශයක් නො තිබිණි. එම ආකල්පය සමාජගත කිරීමේ ප්‍රමුඛ කර්යය බහුතර ජනමාධ්‍ය විසින් ඉටුකරන ලද්දේ නීතියටත් කලින් දඬුවම් දීම තුලිණි. සිංහලයින් වූ අප දෙමල කොටි සැක කරුවන් හා එකට විසීමෙන් බූස්ස කඳවුර කිසියම් වෙනසකට හැරුණේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නට විය. රැඳවියෙකු වශයෙන් කඳවුර තුල ඇති අයිතීන් පවා අහිමි වී සිටි සැකකරුවන්ට කිසියම් ආකාරයක සහනයක් සිංහල කොටි නිසා ලැබුණු අවස්ථා ඇති විය.
ඉන් පළමු වැන්න නම් භාෂාව දෙමළ විම නිසා ඇති වු අසාධාරණය විය. ඔවුන්ගේ හඬට කන් දෙන්නට තරම් සංවේදිබවක් රාලහාමීලා බහුතරයකට නොතිබුණත්, බූස්ස බාර පොලිස් ස්ථානාධිපතිවරයා රැඳවියන්ගේ හඬට කන්දුන් දුර්ලභ ගනයේ පුද්ගලයෙකු වු බව කිව යුතුය. ඔහුගේ එම ක්‍රියා කලාපයට විරුද්ධව බොහෝ නිලධාරීන් තුල ද කතාබස් ඇති වි “ කොටියෝ නලවන්න හදනවා“ යන හැඟීමෙන් යුතුව බොහෝ විට අමානුෂික ලෙස කටයුතු කරන්නට වු අවස්ථා ද දැකගත හැකි විය. යක්ෂයින් අතරට මනුෂ්‍යෙයකු පහළ වූයේ කෙසේ ද යන සිතිවිල්ල ඇතිවීම පුදුමයක් වූවත් සත්‍යය එයමය. ඔහු එසේ කළේ ඇයි යන කාරණයට ඇති හේතු පසෙක තබමින් ජුනි විසි පස්වැනිදා උදෑසන සිංහල කොටින් වු අප 26 දෙනාත් සමග තවත් දෙමළ සැකකරුවන් කිහිප දෙනකු ද, ගැහැණු කොටි සැකකාරියන් කිහිප දෙනකු ද ඇතුලු සියලු දෙනා අශෝක් ලේලන්ඩ් බසයක නංවා කොළඹට ගෙන එන්නට සූදානම් විය.
(මේ අතර ද කතා ඇත)
අප සමඟ බූස්සේ සිටි සිංහල සැකකරුවන් අතර පාතාලයේ නමගත් චරිත කිහිප පලක් ද කොටින්ගේ වැඩවලට සම්බන්ධ විම නිසා එහිම රඳවා සිටි අතර,  ඔවුන්ගෙන් නමගත් මැරයා කෝට්යේ දයා ය. ඹහු 88/ 89 කාලය තුල බූස්ස කඳවුරේම මැරකම් කරනු ලැබූ හිටපු හමුදා භටයෙකි. දෛවයේ සරදමකට මෙන් ඔහු ද බූස්සේ හිරගතව නින්ද නොයන රෝගයෙන් පෙලෙමින් පැරණි මැරකම් ස්මරණයෙන් රාත්‍රිය ගතකළේ  “ හෙට මාව නිදහස් කරාවි හෝ රිමන් කරාවි“ යන සිහින සිතිවිල්ලෙනි. ඔහුට කලින් සිංහල කොටි බූස්සෙන් කොළඹට ගෙන යෑම ඔහුට දරාගත නොහැකි දෙයක් විය.
“ කොටින්ට පුක දුන්න එවුන් රිමාඩි කරනවා අපි මෙතන අවුරුදු දෙකක් වෙන්න එනවා තවම මොකවත් නෑ“
ත්‍රස්තවාදී පණතට අනුව ඔහු ද එකම ගොඩට වැටුණු ද්‍රෝහියෙකු වුවත්, ඔහුට අනුව ද අප ද්‍රෝහින්ය. නියම අර්ථයට අනුව නම් සැම සියලු මානයකින්ම ද්‍රෝහින් වී ඇත්තේ ඔහු වැනි ඝාතකයින් වුවත්, ජාතිය නැමැති ඔටුන්න පැළඳගත් ඕනෑම තක්කඩියෙකුට සියලු ජඪකම් සාධාරණීයකරණය කරගත හැකි හෘද සාක්ෂියක් හදාගැනිමට ජාතිමාමකයෙකු විමෙන් හැකි වන්නේය. කොළඹ බලා බසය ධාවනය වෙද්දී, බසය තුල වූ වැඩි දෙනකුට විනොද ගමනක් මෙන් විය. කිහිප දෙනෙකු සින්දු කියන්නට පටන් ගත් අතර, එය ක්‍රමයෙන් වැඩි වර්ධනය වී මාංචු ලා ගත් විනෝද චාරිකාවක් වන්නට ඇත්තේ නිදහස පිණිස යන ගමනේ එක් පියවරක් පසු කළ නිසා විම හෝ තිබෙන තත්තවය තුල මිනිසා ජීවිතය සොයන නිසා විය හැකිය. සිංහල සින්දු අතරට දෙමළ සින්දු ද එක් වි සියලු දෙනා කිසියම් විනෝදයක් ලද අතර එහි කොටස් කරුවන් බවට පත්වීමට අපව මාංචු ලා රැකවලෙහි වු පොලිස් හමුදා භටයින්ට ද සිදු විය. ඔවුන් ද විනෝදයක් ලබන්නට ඇත. රංජනි නමි දමිල සහෝදරිය කැඩුණු සිංහලෙන් ගැයූ “ සුරංගනීට මාළු ගෙනාවා“ ගීතය හැමකෙනෙකුම අසා සතුටු විය. මාංචුවලට, හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ  නොහැකිය. බැඳෙන විශ්වාසය, සහෝදරත්වයට මාංචු දැමිය නොහැකිය.

අප සියලු දෙනා එදින හවස උසාවි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාණ්ඩ කර කොළඹ ඇති සිර ගෙවල් තුන වූ මැගසින්, වැලිකඩ හා සී ආර් පී යන්නෙහි විශේෂ ආරක්ෂාව ඇතිව රඳවන ලෙස නියෝග ලැබෙන විටත් එදින නිදහස අපේක්ෂාවෙන් සිටි සගයන් නො සිටියා නොවේ. රඳවා තබන ලද දින සිට විවධාකාර හිංසනයන්ට මුහුණ දෙන්නට වූයේ “සිංහල ජාතිය හා ද්‍රෝහිත්වය“  යන්න අන් කවර වරදකට ද වඩා අධිනිශ්චය කරමිනි.මංකොල්ලකාරයා ද, ස්ත්‍රී දූෂකයා ද, ජාතියක ධනය කොල්ල කෑ වැට් හොරුන්ට ද වඩා ද්‍රෝහීන් බවට පත්වීමේ ඛේදවාචකය අත්දකින්නට විය.
(මේ අතර ද කතා ඇත)

  මේ මොහොත වන විට තවත් පිරිසක් නිදහස අපේක්ෂාවෙන් සිටින අතර දේශපාලන සිරකරුවන් ගොන්නෙහි ශුද්‍රයන් බවට පත්ව ඇත. යුද්ධය හමාර කර අතපිස දා ගෙන මෙන් සිටිය ද, දේශපාලන සිරකරුවන් තව දුරටත් සිරකර සිටීම කුමන අරථයෙන් හෝ සාධාරණ නැත. අද හෙට දින මාස මග බලා දඬුවම් විඳිමින් සිටින හැඟීම දැනීම සිහිපත් කරමින්, සගයිනි ඔබගේ හැඟීම් බෙදා ගනු ලබන්නේ සිංහල කොටි  බවට පත් වූ සමස්ත  දේශපාලන ආඛ්‍යානය නිවැරදි යැයි කීමට හෝ එය සධාරණීය කරණය කිරීමට නොව, පරමාරථ වශයෙන් හා අවංකත්වය අතින් නිවැරදි වුවත්, ක්‍රියාමාර්ගික හා  දේශපාලනික අරුතින් වැරදි මගකට තල්ලු වූ ඉක්මන හා අබුද්ධික රැඩිකල් කම පිළිබඳ ස්වං විවේචනාත්මක ආස්ථානයක සිටිමින්ය.
මෙම සංසිද්ධිය මහ දේශපාලනයේ ආඛ්‍යාන අතර ඉතා කුඩා අංශුවක් වුව ද වාමාංශික ප්‍රගතිශීලී යැයි කියා ගත් සමාජ ධාරාව සතු වූ මානව වගකීම ජාතිවාදයට තල්ලු කර  අන්තිම දෙමලා ද කොටියා කොට නැසිම දක්වා රාජ්‍ය උසිගන්වමින්  සිටි දේශපාලනික සංස්කෘතියේ අතුරු නියත සංසිද්ධියක් වන්නා සේම, න්‍යායික නිද්‍රාවෙන් හා ගෝත්‍රික ප්‍රගතිශීලි විඥ්ඥාණයෙන් යුතු වූ දේශපාලන සංස්කෘතියක් උතුරු දකුණු අරගලයට උරුම වී මනුෂ්‍යත්වය පරාජය වූ නිසා ය. ඉතින් ප්‍රගතිශිලි වූ මිනිසුනි අප හැමට ශුද්‍ර දෙයින් ද බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. එය හොඳාකාරව රාජ්‍ය ඉගෙන ගෙන ඇත. අවසානයක් නැති ද අවසාන වශයෙන් කිව යුතු වන්නේ “ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ය.කිසිවකුට හෝ දඬුවම් දියයුතු යැයි සිතෙන්නේ නම්, ඔබලාට කිව යුතු වන්නේ “ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“ යන්නය.

 Image
උදය ආර්. තෙන්නකෝන්

පරාජිත සමාජයක මියැදෙන මනුෂ්‍යත්වයට ඇවැසි වෙනස

ප්‍රවාද අංක 1

ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත් සමාජ වෙනස යන වචක දෙක ලියන තරම්, උච්ඡාරණය කරන තරම් සුරතල් සුන්දර දෙයක් නොවන සේම රැඩිකල් විප්ලවීය ප්‍රවාදයක් වුවත් කොදෙව් භූමිය තුල යථාර්තයක් කිරීම හිතන කියන තරමට වඩා  සිය දහස් ගුණයකින් දුෂ්කර ක්‍රියාදාමයක් වනු ඇත.එහෙත් එය එසේම සිදු විය යුතු වූ බැවින් නැවත නැවත පුනරුච්ඡාරනය කළ යුත්තේ ලංකාව උදෙසා සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. මෙය හදිසි මෙන්ම අත්හළ නොහැකි වගකීමක් වනුයේ අන්කිසිවක් නිසා නොව මිනිසාට ශිෂ්ටසම්පන්නව, නිදහස්ව, නිවහල්ව, ගෞරව සම්පන්න මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමේ අයිතිය ඇති නිසාවෙනි.
ලංකාව විෂයයෙහි අවශ්‍ය වන්නා වූ වෙනස කුමක් ද යන්න භෞතිකව හා කාල්පනිකව පැහැදිලි කර ගන්නේ නම් උපන්‍යාස බොහෝ ප්‍රමාණයක් ගොඩනැගිය හැකිය. එය අතර ජීවත්වීමේ අයිතිය, යහ ආණ්ඩුකරණය,සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය නාස්තිය වංචාව හොරකම පිටු දැකීම,ජාතිය යළි ගොඩනැංවීම, මානව සංවර්ධනය,නීතියේ ස්වාධීනත්වය
යනාදී වශයෙන් තවත් බොහෝ උවමනාවන් පෙළගැස්විය හැකි අතර මේ හැම සියලු දෙයකින්ම විද්‍යමාන වනුයේ වෙනසක් උදෙසා ක්‍රියා කළ යුතු බවය.
සමාජ වෙනස යනු ආණ්ඩුකරණය මාරු කිරීමේ හෝ නායකයින් පක්ෂ හෝ පුද්ගලයින් වෙනස් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි අතර එය එසේ කළ හැකි නම් අඩසිය වසකටත් වඩා වැඩි ඊනියා නිදහසින් පසු යැයි හඳුවනු ලබන පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුල සිදු විය යුතුව තිබිණි.තට්ටු මාරු ක්‍රමයට දේශපාලන බලය එක් එක් පාර්ශවයන් අතට මාරු වුවද. ඒ තුළින් සමාජය වෙනස් වුවද, මනුෂ්්‍යත්වය, සාමය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් අයිතීන් ආදී ගුණාංග පදනම්කර ගත් සංවර්ධනීය මානව වෙනසක් වෙනුවට අප ලබා ඇත්තේ ඉතාමත් අවසනාවන්ත ඉරනමක් සහිත විකෘති වූ වෙනසකි. ප්‍රධාන වශයෙන් දකුණු සමාජයේ විශාල ප්‍රමාණයේ විනාශකාරී අරගල දෙකකුත්, උතුරු ප්‍රෙදේශය බිම් කරගත් වසර තිහකට අදික සිවිල් යුද්ධයකුත් නිර්මාණය කරමින් මනුෂ්‍යත්වයට කළ හැකි උපරිම අගෞරවයන් සිදුකිරීය. මිනිසා තිරිසනුන්ගේ තත්ත්වයටත් එහා මානයකට තල්ලුකරමින්, සකල විධ මානව ධර්මතාවන්, මිනිස් ගුණාංග සිල්ලර ලෙස වලපල්ලට දමා ඇත.
තවමත් එම අඳුරු අවතාර සමාජය පුරා හොල්මන් කරමින් සිටී.දැන් අප සතුව ඇත්තේ අතීතය විසින් ඇති කළ මනුෂ්‍යත්වය මිය ගිය සුසාන භූමියකි. මිනිසුන් වාසය කළද, අප මේ ගතකරන මොහොත යනු  මනුෂ්‍යත්වයේ අර්ථ සපයා ගැනීමට නොහැකි පරිදි සමාජ ප්‍රගමන රෝදය ආපස්සට තල්ලුකරමින් ස්වභාවිකකරණය කිරීමේ අති උන්මත්තක ඒකාධිපති වෑයමකි. මෙම තත්තවය යනු පූර්ව යුද අවධිය තුල විනාශ වූ මිනිස් හා දෙපල වලට ද වඩා භයානක ලෙස මනුෂ්‍යයාගේ ආත්මනයන් විනාශ කරමින් තවත් පසෙකින් මර්ධනය, පීඩනය, නිදහස හා ජීවත් වීමේ අරගලය සාමාන්‍යකරණය කරමින් මිනිස් අර්ථයන් විනාශ කිරීමේ ක්‍රියාවලියකි. එම අර්ථයෙන් ගතහොත් එහි සකල සියලු වගකීම් සියල්ල වර්තමාන රාජපක්ෂ රෙජීමය සතුවන නිසාවෙන්, සමාජ වෙනසේ පළමු අදියරය වන්නේ ද අන් කිසිවක් නොව මෙකී මර්ධනකාරි ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුකරණය වෙනස් කිරීමමය.
මෙකී වත්මන් පාලනාධිකාරී යාන්ත්‍රණය යනු ඇත්ත වශයෙන්ම ලාංකික කොදෙව් සමාජය පිළිබිඹු කරන්නා වූ සම්පූර්ණ කැඩපතකි. පාලක ආණ්ඩුව දෙස බැලීමෙන් රටත් සමාජයත් තේරුම් ගත හැකි අතරම සමාජය දෙස බැලීමෙන් පාලන තන්ත්‍රය ද තේරුම් ගත හැකිය. පාරීභාෂික ශබ්ධකෝෂයේ දුෂ්චර්යාව අයතාව අර්ත ගන්වනු ලබන සියලුම ආකාරයේ වචන යොදා ගනිමින් ඒවා වෙනත් අකාරයකින් සුජාතකරණය කරමින් ද ස්වයං වංචනිකත්වයේ යෙදෙමින් සිටිති. පාලකයා හා ඔහු වටා සිටින්නා වූ සහචරයින් නීතිය යුක්තිය හා ධර්මය දූෂණය කරනා කල සාමාන්‍ය වැසියාද ඊට අනරූපව අඩු වැඩි වශයෙන් බොරුව වංචාව මුල් කරගත් ජීවිතයට හුරු වීම තුලින්  මුලු මහත් සමාජය යහ පාලනය හා යහ ජීවිතය නැමති පිහිල්ලෙන් පිට පැන වෙනත් විකෘති වූ ක්‍රමයකට විපරිවර්තනය වීමේ මහා අවධානම මෙම මොහොතේ බුක්ති විඳින ආකාරය සිදුවන බොහෝ ක්‍රියාවන්ගෙන් පිළිබ්ඹු වීම පෙන්විය හැකි නිදසුන් එමට වෙති.
මෙහි ඇති එකම භයානකත්වය වනුයේ එහි ගැලී ගිලී සිටින වුන්ට නොවැටහෙන අංගයක් වී එයම ජීවන විලාසිතාවක් වීමය. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කරදුන් මහා අනර්ඝ ගුණ වගාවන් හා ධර්මතාවන්  යැයි මතුරනා වචන මාත්‍රයක් ද, බුදු දහම විකෘති කරමින් එහි හරයන්ට පටහැනි ම්ලේච්ඡත්වය වර්ගවාදය හා ජාතිවාදය කරපින්නාගත් රැවටිළිකාර සමාජ පිළලයක් ඊනියා අතිත කාම උමතුවෙන් ද, බටහිර යටත් විජිත බල රාජ්‍යයන් විසින් උරුම කරනු ලැබූ පාරිභෝගික සමාජ ජීවන ක්‍රමයකුත්, ගෝලීය ධනවාදය  හා  ලිබරල් ධනවාදී සිහින බලාපොරොත්තු පිරිපුන් විපරිත හැඩයකට සැකසුණු සමාජ මොඩලයක් හා තවත් පසෙකින් විකල්ප ප්‍රති විරෝධී යැයි සිතන සමාජ ජීවිතය වෙනස් කර ගැනීමේ සමාජවාදී හෝ කොමියුනිසට්වාදය යන අල්ප මාත්‍ර සමාජ භාවිතාවන් ද විකෘති ලෙස අලෙවි කරන සමාජ කණ්ඩායම්ගෙන්ගෙන් යුක්කව මිශ්‍ර  වූ  සමාජ කැඳ හැලියක් අපට උරුමව ඇත. ඒ අනුව ලාංකීය පශ්චාත් යටත් විජිත ඉතිහාසය යනු කාලයෙන් කාලයට, එක එක වේසයන්ගෙන් පැමිණ  සිදු කර ඇත්තේ සහ සිදු කරමින් සිටිනුයේ මෙම විපරිත කැඳ හැලිය රත්කර කෑමය.
 එය පෙර නොවූ විරූ ලෙස එකිනෙකට සහසම්බන්දිත ගැලවිය නොහැකි යාන්ත්‍රණයක් කර ඇත. වත්මන් පාලනය විසින් එය කැඩපතක් බවට පත්කර ඇත.ඊට ඇතුලු වූ අයෙකුට යලි පිට විය නොහැකි ආකාරයේ සම්බන්ධතා ජාලයකට හසුකොට ඇත. එය හරියටම පාතාල සමාජයට එක් වූවෙකුට, යලි ඉන් පිට විය නොහැකි වන්නා සේය. වර්තමාන රාජපක්ෂ බල න්‍යෂ්ටිය විසින් ඔහු වටා සිටින දේශපාලකයින්, ව්‍යාපාරකයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරකයින් සඳහා සෘජුව හා වක්‍රව සංඥා කරනු ලබන්නේ මෙම පාතාල න්‍යායමය. මෙම වෛරස න්‍යාය විසින් පුද්ගල හා සමාජ දුර්වල ඉන්ද්‍රියන් කරා ඇතුලු වී ග්‍රහණයට හසුකර විසන්ධි කිරීම ප්‍රමුක උපක්‍රමය වේ. විසන්ධි කිරීමෙන් නොනැවතී ඔහුට අවශ්‍ය ගොදුරට නීතියට යුක්තියට පටහැනි ඕනැම දෙයක් කිරීමටත්, ඉන් ජීවත් වීමටත් ඉඩ දී ඇත. මහා බුද්ධිමතුන්ගේ සිට සමෘධිලාභියා දක්වා වූ සියලූම දේහයන් තුලට මෙකී වෛරසය කවා ඇත. සමාජය පාතාල ලෝකයක් බවට පත්කොට හමාරය. කිසිවකුට ඉන් ගැලවිය නොහැකිය. නලීන් ද සිල්වාට ද වික්ට අයිවන්ට ද ගුණදාස අමරසේකරට ද, ඩග්ලස් දේවානන්දටද මෙකී පාතාල න්‍යායෙන් ගැලවිය නොහැකි ය. තම රෙජීමය තුල සිටින්නා වූ සන්ධානගත විමල්, චම්පික වාසු ආදී සංකේතිය පංචස්කන්ධයන් කිසිවකුට ද ගැලවිය නොහැකි අතරම විපක්ෂයේ බොහෝ පුද්ගලයින්ටද ගැලවීමක් නැත. එම අර්තයෙන් ජනතාවටද ගැලවිල්ලක් නැත. රාජ පක්ෂ නම් මකරා තම වරිගය වට කොට ගත් කේන්ද්‍රය ගොඩ නගා ඇති බැවින් සියල්ලට සිදු වී ඇත්තේ එය වටා නැටීමටය. නටන නටන තරමට පැවැත්ම සහතික වන බැවින් සංඝයා ද, කතෝලික පූජකයාද, බුද්ධිමතා ද ,කලාකරුවා ද, මාධ්‍යෙව්දියා ද වාමාංශිකයාද, විපාක්ෂිකයා ද , සමෘධීලාභියා ද, අනෙකුත් හොර දෙටුවෝද, ත්‍රස්වාදීන් කරනු ලැබූ හතුරු මිතුරන් ද, සෑම සියලු දෙනාම නටන ඔබරය වටා නටති. දැන් අප හමුවේ ඇත්තේ එකී විපරිවර්තනීය දිශාවක් කරා වේගයෙන් ඇදෙමින් කුණුවෙමින් යන අඹ ගෙඩියක් වන් වූ කොදෙව්වකි. මෙය ජාති ආලයෙන්, අධිරාජ්‍යවාදයෙන්, එල් ටීටීඊ පුනර්භවයෙන්, භූමිය දෙකඩ කිරීමෙන්, ඩයස්පෝරා ත්‍රස්තවාදයෙන් ආදී සීනි තැවරූ අයිසින් තට්ටුවකින්, කුණුවෙමින් යන රට, ජාතියක් නැති ජාතිය බැන්ඩේජ් කරමින් සිටී.  මේ තුල අඩු වැඩි වශයෙන් සෑම සියලු දෙනාම පරාජිතයන්ය. තාව කාලික ජයක් ලැබ ඇත්තේ මුලින් හැඳින් වූ පාතාල සමාජය පමණි. කුඹුරට පවා තාර දමන්නට සැදැහැවත් වුවද ඒ තුල රජයන්නේ වංචාව දූෂණය නාස්තිය කොමිස් ගැසීම හා අවසානයේ යුරෝපා, අමෙරිකා සිංගප්පූර්  ආදි රටවල බැංකු ගිණුම් විවෘත වීම මිස මානව සංවර්ධනය පිණිස වන කාපට් මාවත නොවන බව සමාජීය ම්ලේච්ඡත්වය, වංවාව බොරුව, රැවටීම ආදී අගයන් හා ධර්මතා වේගයෙන් ඒ මත ගමන් කරන ආකාරයෙන් ප්‍රකාශමාන වේ.එම අර්තයෙන් සමාජ වෙනස නම් වන ආදර්ශ මොඩලය කුමක් ද හා ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න ප්‍රගතිශීලී මිනිසාගේ යුතුකම හා වගකීම වන බැවින්, ඒයට ඇවැසි සම්පත්,දොර කවුලු යතුරු මොනවාද යන්න සොයා ගැනීමට ප්‍රයත්නයෙහි යෙදෙන මිනිසාගේ කොටස උදෙසා ශක්තියක් සැපයීම මෙම ප්‍රවාදයේ අරමුණ වේ.

උදය ආර්. තෙන්නකෝන්