Diaspora Diary

Tuesday, April 22, 2014

පීඩිතයින්ගේ ගීතය


යුරෝපේ පුරා පමණක් නොවේ ඇවිදිනා
දිනා ගන්න සතර දියත හොල්මන් කරනා
බලා ඉන්න ඉර හඳ තරු අඳුර දුරලනා
පෙළෙන මිනිසුනේ එක්වෙමු පාර ඇත තනා

සටන් පෙරමුණට දස දෙස හේතු උපදිනා
ජාත්‍යන්තර ගීය අපිට සමගිය කියනා
දෙසට බසට තනුව අනුව පද ගොනු කරනා
නිර්ධන නිර්වචන පංති මඟ පළල් වුණා

හඬක් ඇති මහත් ජන බල අහස දෙදෙරනා
බියෙන් තොර බිමක් උදෙසා අතක් එසවෙනා
අයිතියක් නිසා ජන ගඟ පාරට හැරෙනා
සිහිනයක් නොවේ තැන තැන ලොවේ නැගිටිනා


උදය ආර්. තෙන්නකෝන්

Thursday, April 17, 2014

ඉගිලුණු දෙවියන් ඇවිදින මිනිසුන්


උන් අසුන් මත
තබා සැඟ වූ වත
නැඟිට සංසුන් හිත
යාඥා කරන ඔබෙ අත

ආත්මය මිළින පිළිමය
බලාගෙන ඔබේ චලනය
පැතිර යන නිහඬ රිද්මය
ඔබටම අනින හී සරය

Tuesday, April 15, 2014

කාහල නාදයට පෙර පසු නැටුම

 

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර ගන්න තියෙන අවස්ථාවන් හා හැකියාවන් වල ඇති තරම ප්‍රමාණය අනුව ය.
සෑම වසරකම අවුරුද්ද එනවා. අපි වසසට යනවාත් එක්ක අවුරුද්ද පිළිබඳ හැඟීම් වෙනස් වෙනවා. විග්‍රහයන් සිතුම් පැතුම් විවිධාකාර උණත්, අවුරුද්ද සංකේතයක් ලෙස එසේම පවතිනවා. මේ සංස්කෘතික ප්‍රපංචය සරලයි. ඒත් ඒ තුල ඇති දේශපාලනය සංකීර්ණයි

Saturday, April 12, 2014

නැතුවා නොවේ




හිනාවක් කියයි විලාසය
බලෙන් හංගන්න හැදුවට
ඇස් දෙකට බැරිවෙයි
දෘෂ්ටිය නිවැරදිව ගන්නට

කේශ නාලිකා රුධිර ධමනි යටකර
මතුවෙයි හදවතේ ඇති දෙය
ගැඩවිල් පණුවෙක්ගෙ පස්මෙන්
අයාස හිනාවේ මතු පිට

Tuesday, April 8, 2014

මම මචං අපි


නෙගටිව්ව ඔළුවෙන් හිතුවොත්
උත්තරයෙ කෙළවර
කොහේ දැයි දන්නවා මචං

ඒ උනත් ඒකෙන්
ගැලවෙන්න අමාරුයි මචං
නෙගටිව් එකම පොසිටිව් කරං හිතුවත්
මොනවද කරන්නේ මචං

උන් හරිද අපි වැරදි ද
දන්නෙ නෑ මචං
අපි වැරදි නං
උන්ටත් හරියන්න ඕනෑ
අපි හරි නං
ඇයි මෙහෙම හිතෙන්නේ මචං

මචං කියන්නටත් කෙනෙක් නෑ මචං
මටම මම කියන්නෙමි මචං
ප්‍රථම පුරුෂයත් මමයි
උත්තම පුරුෂයත් මමයි
මධ්‍යම පුරුෂයත් මමයි

මම ගාව මමත්
මම ගාව අපිත්
මම ගාව ඔවුනුත්
ඉන්න එක තමයි ප්‍රශ්නේ මචං

මම නිසා අපි වෙන්න
අපි නිසා මම වෙන්න
මම අපි නිසා ඔවුන් වෙන්න
අමාරුයි මචං

කොහෙදෝ ඉඳන් ඇවිදින්
නෙගටිව් එකක්
බයිස්කෝප් පෙන්වමින්
වෙන් කරනවා ඔළුව
පොසිටිව්ව හිතුවත් මචං

හිනා උනත් මුහුණ
හිත දන්නවා හිනාවක් ද බව
කථා කෙරුවත් බරට
මම දන්නවා තරම
මේ බොරුව දරන්නට බෑ මචං

සකල දේශ වාසී නිර්ධනයිනි
එක් වව් කිව්වට
එක් වෙන්න බෑ නේද මචං
මම හෝ උඹ
නැත්තම් ඔවුන්
නොවෙන්නට පුළුවනි
පීඩිතයෙක්
නිර්ධනයෙක්
දුප්පතෙක්

එහෙමත් නැත්තං
හොදි නැති තලප වගේ
ගිල්ල තියරිවලින්
අනුන් ගැන
උණු වෙන පපුවක්
නෑ නේද මචං
උණු උනත් කරන්න පුළුවන්
බිජ්ජක් තියෙනවද මචං
එහෙමත් හිතෙනවා මචං

කාලයේ හැටිද
ධනවාදය ද
බඩට පයින් ගහන නව නිදහස ද
නරුමවාදයේ කරුමය ද

බුද්ධාගේ දර්ශනය
ජීසස්ගෙ චරිතය
තව තව ඈ කැඩපත්
අබිං කිව්වත්
මාක්ස් දිහාවට හැරෙන්න
බැරි ඇයිද මචං

කකුලේ හිට ඔළුවට
කන එකට රෙන එකට
ධනවාදයට බැන්නට
කොමිනිස් වෙන්න පුළුවන් ද මචං

මේ වචන ටික මට කියා ගත්තෙමි. නාන කාමරයට ගොස් කණ්ඩිය දෙස බලා සිටියෙමි මඳ වේලාවක්. කසියම් සැහැල්ලුවක් පැතුවද හිසෙහි බර තුරන් වූ බවක් නොදැනුණි. ඉන් පසු හොඳටම නා ගත්තෙමි. මටත් නොදැනී කපුගේ ගේ උළ ලේනෝ සිංදුව නොදැනීම කිය වුණෙමි. ජාත්‍යන්තර ගීතයේ නාදය හිත තුලින් මිශ්‍ර වී ගියේය එළියට පැමිණ ජනේලය දිහා බලා ගත්තෙමි. එකකට එකක් විවිධයි. මම අපි ඔවුන්. වට පිට බලා සිනා සුනෙමි. බක බක ගාමින් නොව ඒ මටමය.

උදය ආර්. තෙන්නකෝන්





Monday, April 7, 2014

සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ


මධ්‍යම රාත්‍රිය ද පසුකර
ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව
නින්දක් ඇඟට නොදැනෙන
ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ
විඥ්ඥාණයට නොපැමිණි
අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම

Friday, April 4, 2014

අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය


උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම්
සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම්
ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම්
විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම්